Image By: President’s Media Division
කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්නවා කියල ජනවහරේ තියෙනව.ඒ අනුව බැලුවාම නොකන්න හිතුනොත් තලගොයා වුනත් කබරගොයා කියල අතහැර දාන්නත් පුලුවන්. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අවුරුදු 47 කාලයක් මට හොඳට මතක තිබෙනවා.ඒ කාලය ඇතුළත මැතිවරණ ප්රකාශණයෙන් පිට කිසිවක් නොකල හෝ අපි කිසිවක් නොකල යුතුයි කියා සටන් කල ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ ඔවුන් ගේ උපදේශක දේශිකාවන් හෝ පාර්ලිමේන්තුවක් හෝ මා දැක්කේ නැහැ. හැබැයි ඉතිහාසය පුරාම එහෙම නොවුන නිසා අද හෝ මැතිවරණ ප්රකාශණය අනුව රට පාලනය නොකලයුතු යැයි කියන මතයේත් මා නැහැ.
මේවන විට ධනපති ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරනයන් කලයුතු සීමාවන් පිළිබඳව රටතුළ විවාදයක් මතුවෙලා තිබෙනව. මෙහිදී ජනාධිපති උපදේශකයෙක්වන මන්ත්‍රී රතන සාදු කියා සිටින්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහන් පරිදි ජනමත විචාරණයකට තුඩුදෙන කිසිඳු ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරනයකට නොයා යුතු බවයි. මේ ගැන තවත් හොඳින් පැහැදිලි කරල උපාය මාර්ගික ව්‍යවසායකත්ව කළමණාකරන ආයථනයේ සභාපති අශෝක් අබේගුනවර්ධන මාර්තු 19 ඉරිදා “සත්හඞ” පුවත්පට පැහැදිළි කිරීමක් කරල තිබුනා.ඔහුම කියනා පරිදි පාඨලී චම්පික රණවකට ආශක්ත වී 1990 ගණන් වලදී ඔහු “ජනතා මිතුරෝ”හි ආරම්භක සාමාජිකයෙක් වී ඇත.එහෙත් අදවන විට හෙළ උරුමයේ සුජාත භාවය අහෝසි වී ඇති බැවින් වර්තමාන නායකයා රතන හිමිය. (විජේවීර ගේ පියාමෙන් මොහුගේ පියාද කො.ප. ක්‍රියාකාරී සාමාජිකයෙකි.)
ඔහුගේ පැහැදිලි කිරීම් අනුව මාහට තේරුම් ගියේ මේවනවිට සිරිසේන ජනාධිපතිවරයා හුදු මුද්‍රාවක් බවට පත්වී විවිධ මතභේද ඇති කණ්ඩායම් තීරක බලය හසුරුවන බවයි. එසේ වූවේ ඇයිද යන්න හේතු කාරණා රාශියක් ඉදිරිපත් කර ඇත. මෙය සාකච්ඡා කලයුතු බැරෑරුම් කරුනකි. මන්ද සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ ලේකම්වරයෙක්, මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් ලෙසින් මිස මන්ත්‍රී මහින්ද මෙන් අරගලකරුවෙක් ලෙසින් ප්‍රසිද්ධියක් ඉසුලූවෙක් නොවන්නේය. නමුත් තවමත් පසුගාමී ජනතාවකගේ සදාදරණීය නායකයා ලෙස වැජඹෙන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලක්ෂ හතරකින් පරාජය කලේ මේ ජනාධිපතිවරයාය. එසේ ජයග්‍රහනය කොට තවම ගෙවී ගියේ වසර දෙකක් පමණි. එතරම් කෙටි කලකින් හෙතෙම මුද්‍රාවක් බවට පත් වූවේනම් එසේ වූවේ අබේගුනවර්ධන ඉදිරිපත් කරන්නාවූ හේතු නිසාද ? නැතිනම් එයට හේතුව අබේගුනවර්ධනලා හා රතන සාදුලාද ?
ජනාධිපතිවරයාට පක්ෂව සිටින අය දෙවන, තෙවැනි පෙළ සිටින්නන් වීමත් ජනාධිවරණයේ ප්‍රතිපත්ති ප්රකාශණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇප කැප නොවූ, ප්‍රතිඥා නොදුන් පිරිසක් කැබිනෙට් එකේ සීටීමත් සිරිසේන ජනාධිපතිවරයා මුද්‍රාවක් බවට පත්වීමේ ප්‍රධානතම ගැටළුව යැයි අබේගුනවර්ධන කියයි. එහෙත් සිය අදහස් දැක්වීමේ ආරම්භයේදීම ගුනවර්ධන පවසන්නේ, මහින්ද පරාජය කිරීමෙන් පසු යන්නේ කොහාටදැයි බල පෙරළියට එකතු වූ බලවේග වලට අදහසක් තිබුනේ නැති බවය. ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ වූ යම් යම් කාරණා වලට පමණක් මේ බලවේග එකඟ වූ බවය. එසේනම් ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්රකාශණය ගෙඩිය පිටින්ම එසේ ඉටු කල යුතු යැයි ගුනවර්ධනලා අද බලපෑම් කරන්නේ මන්ද?
වෙනදා මැතිවරණ වේදිකාවලදී එකිනෙකා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයන් පිළිබඳව වාද විවාද තිබුනත් 2015 දී එසේ වූවේ නැති බව ගුනවර්ධනලා ඉක්මනින්ම අමතක කර දමා ඇත. එදා ලක්ෂ 62කගේ එකම ප්‍රතිපත්තිය වූවේ මහින්ද පරාජය කිරීමය. ඒ වෙනකක් නිසා නොව යුද්දයෙන් බෙදා වෙන්කල රට ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ මඟින් නැවැත එක් කිරීමටය. විධායක බලතල අහෝසි කොට ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමටය. මහජන දේපොළ මංකොල්ල කෑ එවුන්ට, උතුරේත් දකුණේත් හමුදා හා වෙනත් නිල නොවන මිනීමරු කණ්ඩායම් සොයා දඬුවමට ලක්කිරීමත් ඒ අතර විය. උතුරේත් දකුණේත් ඡන්දදායකයාගේ එකම ප්‍රතිපත්තිය මෙය විය. ජාත්‍යන්තර සහයෝගයත් එයට ලැබුනේ එනිසාය. .
එසේනම් මහජනයාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට “ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා වෙනසකට යෑම නොකරමියි” යනුවෙන් ඡේදයක් ඇතුළත් කරන්නට ඇත්තේ රතන සාදු සහ ගුනවර්ධනලා යැයි දැන් අපට සිතා ගැනීමට හැක. ඒ බව සහතික කරන්නේ අබේගුනවර්ධනමය. හේ මෙසේ කියයි.“..ජනතා මිතුරෝ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සියයට අනූවක්ම (90%)”මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ අන්තර්ගතය…” දැන් ගුනවර්ධනලා ලක්ෂ 62 කට කියන්නේ “ජනතා මිතුරෝ” ප්‍රතිපත්ති ප්රකාශණය ක්‍රියාවට නඟන්න කියා නොවේද? නංගී පෙන්වා අක්කා දෙනවා යැයි කියමනක් ඇත්තේ මෙවැනි සටකපට වැඩ වඩා හොඳින් තේරුම් ගැනීමට විය යුතුය. ගුනවර්ධනලා කල යුත්තේ 2020 දී සිය ප්‍රතිපත්ති ප්රකාශණය වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමය. එවිට තමන්ට කෙතරම් ජනමතයක් තිබේදැයි උරගා බැලිය හැක. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා ගේ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතීන් අද එකී වාක්‍යයේ එල්ලී ඉන්නේ මන්ත්‍රී මහින්ද සමඟ සම්මුතියකට යෑමට හෝ සිය ජාතිවාදී සිංහල බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට වියයුතුය. 1956 දී එවකට පැවැති මන්ත්‍රී ආසන 95 න් 56 ක්ම බණ්ඩාරනායකගේ ශ්‍රී.ලං.නි.ප.හවුල ලබා ගත්තේද සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු ලබා දෙමිනි. එනයින් බලන කල මේවා වැදුම්ගේ දෝෂය. එනිසා ඒ අය කොහොමත් මහින්ද මන්ත්‍රීට ආදරේය. ඇමැතිකම්වලට ඊටත් වඩා ආදරේය. හිරගෙවල ලැගීමට කොහොමත් අකැමැතිය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැගිය යුතුය යන නිර්නායකයන්හි මූලධර්ම විසින් සිදුකර ඇත්තේ සිංහල දෙමළ අන්තවාදින් ඇවිස්සීම යැයි ගුනවර්ධන චෝදනා කරයි. එමෙන්ම එ.ජා.ප.නායකත්වයෙන් දැනට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත හසුරුවන්නේ යුද්දයට, ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව සිටි පිරිසක් ය යන්න තවත් චෝදනාවකි. එබැවින් ඒ අය සිටින්නේ අහසේ නිසා මහපොළොවේ සිටින්නන් ගේ යෝජනාවක අවශ්‍යතාවයද හෙතෙම අවධාරනය කර සිටී.
බලය බෙදීමට විරුද්ධ උතුරේ අන්තවාදීන් කවුදැයි මා දන්නේ නැත. එහෙත් පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලා සිටින උතුරේ මහ ඇමැතිවරයා අන්තවාදියෙකැයි බොහෝ අඳබාල දේශපාලනඥයන් හා ඇතැම් මාධ්‍යකාරයන් ලියන කියන බවනම් කවුරුත් නොදන්නා දෙයක් නොවේ. ඒත් සෙරුප්පු යැයි කී සැනින් බාටා මතක් වන්නාසේ දකුණේ අන්තවාදින් යැයි කී සැනින් ටක්කෙටම ඔය කියන්නේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝලබාලයන් බවනම් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඉතින් පරාජය කල මේ බලවේගය ඇවිස්සී තව දුරටත් දුරස්වුනහොත් එහි පාඩුව මහින්ද මන්ත්‍රී නැති ශ්‍රී.ල.නි.ප.ආණ්ඩුවක් 2020 දී ගොඬනැඟීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට මිස වෙන අන් කවරෙකුටද? එනිසා යුදවාදින් නන්නත්තාර කරන්නාවූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ අහසේ සිටිනවුන් මිස වෙන කවුද?
සිංහල හා දෙමළ ජනතාව අතර අවබෝධය හදා ගන්නා වැඩ පිළිවෙලක් ආණ්ඩුවට නොතිබීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට නැවැත රටට බලපෑම් කිරීමට අවස්ථාවක් උදාවී ඇති බව ගුනවර්ධන කියයි. ඒ අතරම ජාතික සංහිඳියාවක් ගොඩනඟා ගැනීමට උදාවූ අනඟි අවස්ථාවක් මේනිසා අහිමි කරගනිමින් සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි. මේ අවධාරණය ඉතා වැදගත්ය. එහෙත් ඒ අවධානමට රට පත්වූවේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ගුනවර්ධන උත්සාහ නොකරයි. ඒ වෙනුවට මන්ත්‍රී රතන හිමිගේ ජාතික සභාවෙන් ජනගතකර ඇති “තිරසර යුගයකට මඟ” ලියැවිල්ල මේ සියලු දෝෂයන් නිවාරණය කිරීමේ බලගතු ඖෂධ වට්ටෝරුවක් බව හෙතෙම දැඩි විශ්වාසයෙන් යුතුව කියයි.
මන්ත්‍රී රතන හිමි මේ ලියැවිල්ල ජනගත කරමින් කල කතාවේදී සඳහන් කලේ උතුරේ රථවාහන හැසිරවීමේ පොලිස් බලතලත්(ආයුධ රහිත), ඉඩම්වල අයිතිය ඔප්පුවකින් දෙමළ ජනයාට ලබා දීමෙනුත් ඉඩම් පොලිස් බලතල ප්‍රශ්ණය ඉතා සරලව විසඳාගත හැකි බවය. 56 දී භාෂා පණත සම්මතවෙද්දී ඊට විරෝධය පාමින් චෙල්වනායගම්ලා ඇරැඹි සාමකාමී සත්යග්රහ ව්‍යාපාරය 2009 දී සිංහල ආණ්ඩු යටපත් කලේ ලක්ෂ ගණන් වූ දෙමළ ජනතා ඝාතනයක් තුළින් ය. එසේ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වූ දෙමළ නිදහසේ සටන පිළිබඳවත් රාජ්‍ය මිනීමරු කල්ලි ආරක්ෂා කිරීම වෙනුවෙනුත් කරන්නා වූ අඞහැරයෙන්ම මන්ත්‍රී රතන හිමි එන්නේ මොකාටදැයි අමුතුවෙන් විග්රහ කලයුතු නැත. මන්ත්‍රී මහින්ද දැන් මාර්කට් කරන්නට බැරිබව යුදවාදීන්ට වැටහී ඇති අතර මන්ත්‍රී මහින්දත් එය තේරුම් ගෙන ඇතැයි සිතේ. මන්ද උග්‍ර ගෝඨා විරෝධියෙක් ලෙසින් පසුගිය කාලයේ රඟපෑ, මන්ත්‍රී මහින්දගේ කිට්ටුවන්තම සඟයාවන මන්ත්‍රී වාසුදේවත් දැන් දැන් මහින්ද මන්ත්‍රී සමඟ ගෝඨාගේ ‘‘වියත් මඟ” ට යන්නට පටන් අරගෙන ඇත. ඒ මඟ හැර වෙන මඟක් නැතෙයි කියල සමහර විට ඒ අයටත්මේ අවුරුදු දෙකේදී තේරුම් යන්නට ඇත. මන්ත්‍රී රතන සාදුලාගේ ගුනවර්ධනලාගේ” ජාතික සභාව” මේ වියත් මඟ කාපට් කරන ප්ලාන්ට් එකය. “තිරසර යුගයකට මඟ” ගෝඨාගේ “වියත් මඟට”යන ප්‍රධාන පිවිසුම් මඟය.
පසුගිය මාර්තු 24 අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ද ලංකාව පිළිබඳ ලැබුනු සහතිකය අවදානම් සහගත එකක් ය. එහිදී රාජ්‍ය අපරාධකරුවන් දඩුවම් නොලබා සිටීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්වුනි. මේ ප්‍රතිපත්තිය විසින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව බව නැවැතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා අවධාරණය කලේය. පුදුකුඩීරිප්පුවේ සෙල්ලම්මාත් තමන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ “පැහැරගත්තු, භාර දුන්නු අපේ දරුවන්ට, මිනිස්සුන්ට මොකද වුනේ කියාපල්ලා” කියා මේ ටිකමය. ඒ යුක්තිය ඉටුනොකර සිංහල හා දෙමළ ජනතාව අතර සමඟි සමාදානයක්, සාමයක් ඇතිකර ගන්නා මඟක් නම් මහකොමසාරිස්වරයා නොදන්නවාසේම සෙල්ලම්මා හෝ අපත් දන්නේ නැත. ඒත් තමන් ඉන්නේ මහපොළොවේ යැයි සිතන, දෙමළාගේ සිතුම් පැතුම් ඔවුන්ටත් වඩා හොඳින් දන්නවායැයි කියන අබේගුනවර්ධනලා, මන්ත්‍රී රතන සාදුලා ළඟනම් ඒ මඟ හැර වෙනත් මඟක් තිබෙනවාය. අවශ්‍ය නම් ජත්‍යන්තර ප්රඥ්ඥප්තීන් නොතකා හරිමින් ද රජයකට කටයුතු කල හැක. අද උතුරු කොරියාවේ නායකයා, ඉන්දුනීසියාවේ නායකයා කටයුතු කරන්නේ එලෙසය. හැබැයි එහි ඵලවිපාක විඳින්නේ සමස්ථ ජනතාවමය. 71 ත් 88 – 89 ත් සිංහලයා යුක්තිය නොඉල්ලාම අමතක කර දැම්මේය. එහෙත් දෙමළා කකුලේ තැවැරුනු කොහොල්ලෑ ගුලියක් මෙන් එල්ලි එල්ලී මරණයේ මුවවිට හිඳිමින් වුව යුක්තිය ඉල්ලා සටන් කරති. ට්‍රැෆික් පොලිසියකින් හෝ ඉඩම් ඔප්පුවකින් ඒ යුක්තිය හිලව් කලහැකි යැයි සිතීම මුග්ධභාවය ප්‍රදර්ශණය කරවන්නකි.
අප මෙසේ සිතුවත් මහපොලොවේ පයගසා සිටිනා ගුනවර්ධනට මන්ත්‍රී රතන සාදු, වීරකාව්‍යවල ඉන්නා චරිතයකි. ගුනවර්ධන මෙසේ කියයි.”ජාතික හෙළ උරුමය මහින්ද පරාජය කලයුතුයි කියල අදහසක් තිබුනේ නැහැ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ සමඟ වේදිකාගත වීම ප්‍රශ්ණයක් වෙලා තිබුනේ. ඒත් 2014 සැප්තැම්බර් මාසයේ රතන හිමියන් ගේ “පිවිතුරු හෙටක් ජාතික සභාව” මහින්ද පැරැදවීමේ තීන්දුවක් ගත්තා. ඒ අනුව මහින්ද පරදවලා මෛත්‍රී දිනෙව්වා වාගේ රට හදන ජාතික ලියැවිල්ලත් ජයග්‍රහනය කරවනවා..”
හැබැයි මේ කතාව කීවේ තව අවුරුදු පනහකට විතර පස්සේ නම්, දෙවියන් වහන්සේ දින හයකින් ලෝකය මවලා හත්වැනි දවසේ නිවාඩු ගත්තා වාගේ විශ්මය ජනක කතාවක් වෙන්න පුලුවන්. ඒත් සිදුවුනු හැමදෙයම තවමත් කාට කාටත් මතක තිබෙන නිසා මේවා සීරියස් විහිලුය. මාවිල් ආරුවලට ගිහිල්ල හමුදාවට ශක්තිය දුන් දෙමළ ජන ඝාතක යුද්දයේ පියා මන්ත්‍රී රතන සාදුයි කියලත් කතාවක් තියෙනව. මාවිල් ආරු සටන පටන් ගන්න කොට ජැක්සන් ඇන්තනීගෙ ඉඳල ඥානසාර දක්වා මුලුමහත් සමාජය ඉල්ලා සිටින්නේ මේ යැයි යුද මතවාදයක් සමාජගත කරල තිබුනේ. ඒ මතවාදයට හරියන ජනාධිපතිවරයෙක්,ආරක්ෂක ලේකම් කෙනෙක් හා හමුදාපතිවරයෙක් රටේ හිටිය. උතුරේ දෙමළ ධනපති නායකයනුත්,ජාත්‍යන්තර ධනපතියනුත් දෙමළ විමුක්ති අරගලය හමාරයක් කරන්න තීන්දු අරගෙන තිබුනේ. ඒ සඳහා අවු:04ක කාලයක් ජත්‍යන්තර ප්‍රජාව නිමල් සිරිපාල ඇමැතිවරයාට දුන්නා. ඇමෙරිකාව තමයි ජාත්‍යන්තර මුහුදේ තිබූ එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ නැව් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ. තාක්ෂණය ඇතුලු අනෙකුත් අවි ආයුධ ඉංදියාව,චීනය,රුසියාව,පකිස්ථානය ඇතුලු රටවල් භාරගත්ත.(ඊනියා සිංහල දේශප්‍රේමීන්ට මේවා කියා ගන්න බැහැ )ඉතින් මන්ත්‍රී රතනසාදු කලේ මේ තිබූ විෂයබද්ධයේ වාසිය ලබා ගැනීම ඉක්මන් කරවීමයි.
2014 සැප්තැම්බර් මහින්ද පරාජය කල යුතුයි කියල රතන සාදුල තීන්දු ගන්නා විට මහින්දට යුද්දයට සහය දුන් ජාත්‍යන්තර ප්‍රජාව හිටියේ මහින්ද ඉවත් කරල ඔවුන් ගේ නව සමාජ, ආර්ථික,දේශපාලනික ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන ආණ්ඩුවක් බිහි කරගන්න. ඒ වෙන කොට මහින්දගේ ආණ්ඩුව පරාජය කල යුතුයි කියන ප්‍රබල ජනමතයක් රට තුළත් ගොඩනැගිලා තිබුනෙ. ඒ වෙනුවෙන් බොහෝ දෙනා බොහොදේ පරිත්‍යාග කලා. ඇතමුන් ජීවිතය පවා. මේ දෙගොඩ තලාගිය මහින්ද විරෝධී ජනප්රවාහයට පනිනවා හැර රතන සාදුලාට ඒමොහොතේ වෙන කලයුතු යමක් ඉතිරි වෙලා තිබුනේ නැහැ. මොකද තමන්ට ඕන දිසාවට ගලන ජනගඟ හරවා ගන්නනම් වතුරට බහින්නම ඕන. වතුර මොනතරම් අපිරිසිඳු වුනත් කරන්න දෙයක් නැහැ. රනිල් එක්ක වේදිකා ගතවෙන්න බැහැ කියල චම්පික වගේ රතනසාදුත් එදා පැත්තකට වෙලා හිටියානම් “ජනමත විචාරණයකට තුඩුදෙන කිසිඳු ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරනයකට නොයා යුතුයි” කියන වගන්තිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුල් කරගන්න ලැබෙන්නේ නැහැ. මේ අනුව ගුනවර්ධන කියන්නා වාගේ චම්පික රණවකට සාපේක්ෂව රතන සාදු ඉදිරියෙන් ඉන්නේ.
හැබැයි අද ජාතික හා ජාත්‍යන්තර දේශපාලන යථාර්තය වෙනස්. ඒ නිසා උඩුගම් බලා පීහිනීමක් තමයි ගුනවර්ධනලා රතන සාදුලා අද කරන්නේ. නැතිනම් දේශපාලන යථාර්තය වෙනස් කරන්න තමයි ඔවුන් ගේ මේ උත්සාහය. එතැනදී ගන්නා ස්ථාවරය අනුව නම් සිරිසේන ජනාධිපතිවරයා ගුනවර්ධන අද කියන්නාවූ මුද්‍රාවක් වේවිද නැද්ද තීන්දු වේවි. එවගේම දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අද තිබෙන්නා වූ උනන්දුව මෙයට වසරකට පමණ උඩදී තිබුනා නම් තත්වය බොහෝ වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඒනිසා අගමැතිවරයාගේ 2020 මැතිවරණ ප්‍රකාශණයේ තවත් වගන්තියකට මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉතුරු වේවිද ? කොහොම වුනත් අශෝක් අබේගුනවර්ධනලාට රතන සාදුලාට අපි ස්තුති කල යුතුයි. මොකද සිරිසේන ජනාධිපතිවරයාටත් වික්‍රමසිංහ අගමැතිවරයාටත් දැන් ඉතින් එළියේ නටන්නම වෙනවාය.
ඥානසිරි කොත්තිගොඩ