මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට ඔවුන්ගේ සියලු ඉඩම්, නිවාස මානුෂික මෙහෙයුමේ අයිතිකරුවන් වූ හමුදාව විසින් අත්පත් කර ගෙන තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ ඉඩම්වල අයිතිය තබා, ඒවාට පිවිසීමටවත් හමුදාවෝ අවසර දුන්නේ නැත. ඔවුන්ගේ නිවාසවල හමුදාව පදිංචි වී, ඉඩම්වල හමුදාව වගා කටයුතු සිදු කරන ලද්දේ ඔවුන්ගේ ඉඩම් මෙනි. මුල්ලිකුලම දේවස්ථානය මිනිසුන්ගෙන් තොර කලාපයක් වී තිබිණි. ඇතැම් විශේෂ දිනයක හැරෙන්නට දේවස්ථානයට පිවිසීමට මුල්ලිකුලම් මිනිසාට හමුදාවෙන් අවසර ගත යුතු විය. දෙමළ ජනයා දහස් ගණනින් සංහාරය කළ, මානුෂික මෙහෙයුම කොතරම් මිනිස් නිදහස යටපත්කර කර සිටියේ ද යත්, දෙවියන් යැදීමට හමුදාවෙන් අවසර ගත යුතු විම කෙතරම් බියකරුද? කෙතෙරම් අශිෂ්ඨද? නමුත් දකුණට ඒ අශිෂ්ඨත්වය තවමත් නොදැණුනු සේයකි.

නමුත් රාජපක්ෂ විසින් පොහොසත් කරන ලද ඒ හමුදා අධිපතිවාදයට එරෙහිව මුල්ලිකුලම් මිනිසාද 2015 ජනවාරියේ දී රාජපක්ෂ පළවා හැර ‘යහපාලනයක්‘ සදහා සිය ‘කැමැත්ත‘ නොපිරිහෙලා ඉටු කලේය. ඒ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් යහපාලනය දුන් පොරොන්දු පිළිබද විශ්වාසය තබමිණි. ‘අපි මෛත්‍රීපාල මහත්තයාට ඡන්දේ දුන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතුව, නමුත් දැන් අවුරුදු දෙකක් වෙනවා, කිසිදු දෙයක් වුනේ නැහැ. කරුණාකරලා ආයෙත් අපිව රවට්ටන්න එපා‘ සිය දරුවන් ඉල්ලා උපවාස කරන මවක් වව්නියාවේ දී කීවාය.

වසර 11ක් අවතැන්ව සිටින මුල්ලිකුලම් මිනිසුන්, යහපාලනයෙන් වසර දෙකකට පසු නැවත වරක් සිය නිදහස, ආත්මය ඉල්ලා මහපාරේ උපවාසයක නිරත වෙමින් සිටින්නේ විසල්ව ඉදිකර ඇති නාවික හමුදා සංකීර්ණය ඉදිරියේය. දින 18ක් තිස්සේ නාවික හමුදා පිවිසුම ඉදිරියේ මුල්ලිකුලම් මිනිසුන් අද ද උපවාසයේ සිටින්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඉස්මත්තේ ය.

දැන් මේ වන විට අලුත් අවුරුද්දට කිරි ඉතිරවීමට ගන්නා කුඩා මැටි මුට්ටි දකුණේ සෑම මාර්ගයකම සුළභ දසුනකි. සෑම වසරකම අඩු වැඩි වශයෙන් මේ දර්ශණය දකුණු ලංකාව පුරා දක්නට නොලැබිනි නම් එය අධික වර්ෂා දිනයක ය. නමුත් 30 අවුරුදු යුද්ධය මිලිටරි ලෙස අවසන් වූ 2009 මැයි 18ට පෙරත්, ඉන්පසු උදා වූ සිංහල දෙමළ අවුරුදු සමයන් 8ක ද උතුරේ සහ නැගෙණහිර බොහෝ දෙමළ මිනිසුන්ගේ නිවෙස්වල ඒ අලුත් මැටි මුට්ටියේ කිරිබත ඉදුනේ නැති තරම්ය. ඉදුනේ නම් ඒ දහසකුත් කදුලු සහ වේදනාවන් මොහොතකට යටපත්කර ගනිමින් ඉදුනු කිරිබත්ය.

නමුත්, එළඹෙන අලුත් අවුරුද්දේ ද මහපාරේ සිට, මුල්ලිකුලම් මිනිසුන් සිය විරෝධාතාවයේ සාමූහික බත ලිප තබන්නේ දැඩි අධිෂ්ඨාණයකින් බව ඔවුන්ගේ ඇස්වලින් ලෝකයටම කියාපානු ඇති. බර අවිවලින් සිය ආත්මයන්ම විනාශ කළ පසු ද, ඉතිරි වී ඇති ඒ මිනිසුන්ගේ සිය සාමුහික අධිෂ්ඨානයේ බර ‘යහපාලනයට‘ තවමත් නොදැනුනු සේයකි.

සිය අයිතින් වෙනුවෙන්, අයුක්තියට එරෙහිව, යුක්තිය උදෙසා වන, ඒ සාමූහික අධිෂ්ඨානය විසින් මුල්ලිකුලම් මිනිසුන් තව තවත් මුවහත් කර ඇත්තේ සිය ‘අන්තිම කැමැත්ත‘ ඔවුන් විසින් ලෝකය හමුවේ තැබීමට ද එඩිතර වෙමින් ය. ‘‘අපි, අපිට අයිති අපේ ඉඩම්වලට යනකම් අපි මේ සටන දිගටම කරනවා. දැන් යුද්ධයක් නැහැ. ඒ නිසා අපේ ගම්බිම් වලට අපි යන්නම ඕන. අපේ අන්තිම කැමැත්ත එයයි.‘‘ ඒ ඔවුන්ගේ අධිෂ්ඨානයේ මුවහත් හඬයි.

මර්දනයේ සාහසිකත්වය හමුවේ, දිවි ගලවාගත් පීඩිත මිනිස් සමූහයාගේ යුක්තිය ඉල්ලා සිදුකරන මේ සාමකාමී වෑයමට දකුණේ ආණ්ඩුව පිටුපෑවහොත්, ඔවුන්ගේ ඉතිරි වී ඇති මුවහත් සාමුහික අධිෂ්ඨානය විසින් දකුණේ ‘යහපාලන විනෝදය‘ නම්, කවුරු අකමැති වුවත් දෙදරුම් කෑමට නියමිතය.

මේ මුල්ලිකුලම් මිනිසුන්ගේ ‘සාමූහික අධිෂ්ඨානයේ‘ හඬයි! (මෙහි සිංහල අනුවාදය වීඩියෝවට පහළින් දක්වා ඇත) YouTube here

ඒ මුල්ලිකුලම් මිනිසාගේ අන්තිම කැමැත්තයි.

“වෙන කොහේවත් අපි යන්නේ නැහැ. වෙනත් තැනකට ගිහින් අපිට ජිවත් වෙන්නත් බැහැ. අපි ජිවත්වුණ ගම්බිම් තියෙනවා. ඒවා අපට නැවත ලබා දෙන්න. අපි පොඩිකාලේ ඉදළම හැදුණේ වැඩුණේ, අපේ ජීවිත ගොඩනැගුණෙත් අපේ ඒ ගම්බිම්වලයි. අපේ අනන්‍යතාවය තියෙන්නෙත් ඒවායේ. ඒ නිසා අපිට අපේ ගම්බිම් ඕන. අපිට අපේ ජීවිතවල ගොඩක් දේවල් නැති උනා. දේපල, ජීවිත, ජීවත්වුණු තැන්, අවසානයේ දී අපිට ඉන්දියාවට පවා පලා යන්න සිද්ධ වුනා. එහෙදිත් අපිට, නැවත අපේ දේවල් නැති උනා. දැනට අපිට ඕන, අපේ කටයුතු කරගන්න, අපිට අපේ කෝවිල, අපේ පාඩුවේ ජිවත් වෙන්න අපේ ඉඩම්, ඒ වගේම අපේ අපි හිටපු ගම් අපට නැවත ලබා දෙන්න.”

“අපිට ඉතා ඉක්මණින් අපේ ගම්වලට යන්න ඕන. ඒක තමා අපේ අන්තිම කැමැත්ත. අපි, අපිට අයිති අපේ ඉඩම්වලට යනකම් අපි මේ සටන දිගටම කරනවා. දැන් යුද්ධයක් නැහැ. ඒ නිසා අපේ ගම්බිම් වලට අපි යන්නම ඕන. අපේ අන්තිම කැමැත්ත එයයි. මේතැනින් පස්සේ අපි කෙලින්ම යන්නේ අපේ ගම්බිම්වලට පමණයි. අපි මේ තැනට ඇවිත් දවස් 17 ක් වෙනවා. අපිට කවදාද ස්ථිර පිළිතුරක් දෙන්නේ ඒ දෙන තාක්කාල් අපි මෙතැනම ඉන්නවා.”

“අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ ගම් අපට ලබා දෙනතාක් අපි මේ ස්ථානයෙන් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. මාස කීයක් වුණත් අපි අරගල කරනවා. අපි මේ තැනින් අයින් වෙන්නේ නැහැ.”

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

##


සබැදි සටහන්

| ‘යුක්තිය’ ඉල්ලන මුල්ලිකුලම් මිනිසුන්ගේ හදවත

| ‘ආශ්චර්යෙන්’ පාගාගෙන සිටි මුල්ලිකුලම් මිනිසුන් නැවතත්, නැවතත් සිය ජීවිතය ඉල්ලයි.

| #Photosphere #360 #Streetviews මිලිටරි ආධිපත්‍ය තුළ සඟවා ඇති ‘මුල්ලිකුලම් දේවස්ථානය‘