Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision
දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය උරගා බැලූ යුද බිමක් බවට පත් විය. රාජපක්ෂවාදීහු කසළ කුරැල්ලක් මගින් ආණ්ඩුව දුර්වල කිරීමට මාන බැලූහ. මර්දන නීතියකින් තොරව ඊට මුහුණ දීමට ආණ්ඩුව අසමත් වී තිබේ.
මීතොටමුල්ල ඛේදවාචකය සියැසින් දැක වාර්තා කිරීමට මා එහි ගියේ 15දින දහවල්ය. විනාශයට පත් ජනයා විසූ පෙදෙස් ද, යුද හමුදාව මිහිදන් වූවන් සෙවීම් කරගෙන යන ඉසව් ද පැමිණිළි බාර ගැනීමේ ස්ථානය වූ රාහුල විදුහලද හරහා මම ඇවිද්දෙමි.
ශිෂ්ඨ රටක මෙවැනි ඛේදවාචකයක් වූයේ නම් ප්‍රථමයෙන්ම ඉදිවන්නේ ප්‍රථමාධාර මාධ්‍යස්ථානයයි. එවැනි ස්ථානයක් හෝ ප්‍රථමාධාර ළකුණක් හෝ මම ඇවිද ගිය මඟ නොදිටීමි. කිසිම තැනක සූදානමින් තැබූ ගිලන් රියක් නොදුටුවෙමි. කුණු කන්දට යටවී මියැදුනු ජනයාගේ සිරුරු බැකෝ රථ යොදා ගොඩ ගනිමින් පැවැති මුත් එම සිරුරු හදුනා ගැනීම පිණිස තැබීමට වෙන් වූ පිරිසිදු කූඩාරමක්වත් නොවීය. සෙබළුන් විසින් ගෙනා ඒ සිරුරු තබන ලද්දේ මහමඟ අද්දරක බිමය. එම සිරුරු හදුනා ගැනීමට ඥාාතීන්ගේ නම් කෑ ගසා අඬ ගසන ලද්දේ ද ගම් වැසියන් විසිනි. ඔවුහු එතැනම හඬා වැටුනි. මිනිස්සු ජංගම දුරකථන උස්සමින් ඒ දර්ශන වීඩියෝ ගත කළහ.
එමෙන්ම මෙවැනි ඛේදවාචකයක් වූ කළ නිත්‍ය ලෙස එම ස්ථානයෙහි රුදී සිටිමින් විපතෙහි ස්වභාවය සහ වර්ධනයන් පිළිබඳව රට මෙන්ම එමගින් රටෙහි පාලකයින්ද දැන්වත් කරන ජනමාධ්‍ය ආයතන කිසිවක්ද නොදුටුවෙමි. සනීපාරක්ෂක ස්වේච්ජා සේවකයකු හෝ නොදිටීමි. ඔවුන්ට වතුර බෝතලයක් හෝ දෙන්නට කෙනෙකු සිටියේ නැත.
ශිෂ්ඨත්වයද කුණු කන්දටම යටවී තිබුණි.
ඒ වන විට ඛේදවාචකයට පැය 24ක් ආසන්නවී තිබුණ ද ලෝකයේ කොතැනක හෝ බෝම්බ ප්‍රහාරයක් වූ සැනින් කණගාටුව ප්‍රකාශ කර යවන ජනපති හෝ අගමැති හෝ අදාළ ඇමැතිවරයකු හෝ සිය කණගාටුව මෙම ජනයා වෙත ප්‍රකාශ කර තිබුණේ නැත. ජනයාගේ වේදනාව කෝපයක් බවට වර්ධනය වී තිබුණි. ඒ කොතෙක්ද යත් යළි කුණූ ලොරි රැගෙන පැමිණයහොත් ඒවායේ රියදුරන් පුලුස්සා මරණ බවට අයකු ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.
දැන් අපට ඇසෙන්නේ කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ හොඳම වැඩසටහන තමා සතුවූ බවට රාජපක්ෂගේ සිට ඉසුර දේවප්‍රිය හරහා චම්පික රණවක දක්වා කැරෙන අඬාපාළිය.
මෙම කුණු කන්දෙන් ප්‍රදේශයට වන විනාශය පිළිබඳව 1990 ගණන් මැද භාගයෙහිදී අප පවත්වාගෙන ගිය ‘යුක්තිය‘ පුවත් පතෙහි ලිපි පෙළක්ම පළ කළෙමු. එකළ අපේ අවධාරණය වූයේ රාහුල විදුහලෙහි ඉගෙනුම ලබන දරුවනට මේ කුණූ කන්ද නිසා වැළදී ඇති රෝ පීඩා සහ එහි ජනයාට විදින්නට සිදුව තිබූ ගැහැටය. දැන් ඉන්පසු දශක දෙකක් ගතවී තිබේ.
2004 සුනාමි ව්‍යසනයට පසුදා එය ආවරණය කරන අතරම මඩකළපුවෙහි සහන සේවාවන්හි නියතු වූ අප දුටු තත්වය සහ පසුගිය 15දින මීතොටමුල්ලෙහි එක්තරා සමානකමක් තිබුනි. එනම් ආණ්ඩුවක් නොතිබීමයි. යුද හමුදාව හැරුණ විට මීතොටමුල්ලෙහි ආණ්ඩුවක් ඇති බවක් නොපෙනුනි. අඩුම වශයෙන් පනස් දෙනෙකු පමණවත් මියෑ දී තිබූ බව එහි ජනයා හොදින්ම දැන සිටියදී ආණ්ඩුව සහ ජනමාධ්‍ය මියගිය ගණන හයක්, හතක් යනාදී ලෙස දක්වමින් තිබුණි. ඛේදවාචකයෙහි බරපතලකම තේරුම් ගැනීමට ආණ්ඩුවට පැය 24කට වඩා ගතවිය. ඊට හේතුව වූයේ එම ජනයා පත්ව සිටි තත්වය සම්බන්ධයෙන් සැබෑ චිත්‍රයක් ලබා ගැනීමට ආණ්ඩුවට නොහැකි වීමයි. ආණ්ඩුව අන්ද වී තිබුණි. එයට මහජනයාගේ හැඟීම් සංවේදනය වන්නේ නැත.
මේ වනාහී අසමත් ආණ්ඩුවක සොහොන් ළකුණුය.
සමත් ආණ්ඩුවක් වී නම් එයට ලෙහෙසියෙන්ම කණු කන්ද විසින් ගිලගත් ජීවිත ගලවා ගන්නට අවස්ථාව තිබුණි. අඩුම ගණනනේ දෝලාවෙන් දෙන කතා පයින්වත් ගමන් කරවන්නට හැකියාවක් වී නම් මේ ජීවිත විනාශ වන්නේ නැත.
මීතොටමුල්ල අප විසින්ම ඇතිකරගත් ඛේදවාචකයක් බවත් ඊට අප සැවොම වගකිවයුතු බවත් සැබෑය. එමෙන්ම අප අත්දැකීමෙන්ම දන්නා තවත් කාරණයක් වන්නේ නූතන ලෝකයෙහි මෙවැනි හදිසි ඛේදවාචකයන් ඇතිවීම අලුත් දෙයක් නොවන බවයි. ඛේදවාචකයන් ඇතිවීමට පෙර වැළැක්වීම ශිෂ්ඨත්වයේ ළකුණය.
එමෙන්ම එවැනි ඛේදවාචකයක් ඇතිවූ විට ඊට නිසි පිළියම් කිරීමද එම ශිෂ්ඨත්වයේම ළකුණකි. ආණ්ඩු පවතින්නේ එවැනි තත්වයන් වහාම නිසි පරිදි කළමණකරනය කිරීමද පිනිසය.
ඛේදවාචකයෙන් දිනකට පසු එහි ගිය ඇමැති සාගල රත්නායක සහ දින හතරකට පසු එහි ගිය අගමැති වික්‍රමසිංහ හැරුණ විට ආණ්ඩුවේ වෙනත් කිසිදු ප්‍රධානියකු එම ජනයා හමුවීමට ගිය බවක් නොදිටීමි. ජනාධිපතිවරයාගේ කිසිදු නියෝජිතයකු එම ජනයා හමුවට නොගියේ මන්ද? යැවීමට තරම් කෙනෙකු නොසිටියේ නම් එයම කොතරම් අසමත්කමක්ද?
සියළු අවමගුල් උත්සව රජයේ වියදමින් පවත්වන බව කියා ආණ්ඩුවේ වියදමින් ලබා දෙන ලද මෘතදේහ බහාලූ පෙට්ටි ඉතා බාල වර්ගයේ ඒවා වූ අතර ඒවා කඩා වැටීම වැළැක්වීමට ලණුවලින් ගැට ගසන්නට සිදුව තිබුණි. දැන් එම පෙට්ටි සැපයීම බාරව සිටි නිලධාරීන් කියන්නේ අලුත් අවුරුද්දට මිනී පෙට්ටි සාප්පු වසා තිබූ බැවින් එම බාල පෙට්ටි මිලදී ගැනීමට සිදුවූ බවයි. මුදල් තිබියදීත් ශිෂ්ඨ ලෙස මළ සිරුරු භූමදානය පිනිස පෙට්ටි ලබා ගැනීමට බැරි ආණ්ඩුවක්!
මීටත් වඩා අසමත්බවක් තවත් තිබිය හැකිද?
අනතුරුව ආණ්ඩුව කියා තිබුණේ මිය ගිය අයෙකුට ලක්ෂය බැගින් වන්දි ගෙවන බවය . එනම් තිස් දෙනකුට ලක්ෂ තිහකි. නමුත් එම ජනයා ලක්ෂයේ වන්දිය ප්‍රතික්ෂේප කළෝය.
මෙම ඛේදවාචකයට දෙසතියකට පෙර වාර්තා වූයේ ජනාධිපතිවරයාට එකක් ලක්ෂ 300ක් වටිනා වෙඩි නොවදින වාහන දෙකක් ගෙන්වා ඇති බවයි. තවත් ඇමැතිවරයකු සිය තිරුබදු රහිත වාහන බලපත්‍රය ලක්ෂ 210කට අළෙවි කළ බවට ද වාර්තාවක් පළ විය. එජාප උප නායකයකු වන පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන්වා ගත් වාහනයේ වටිනාකම ලක්ෂ 600ක් බව වාර්තා විය. කෘෂිකර්ම අමාත්‍යාංශයට යැයි අගමැති උපදෙසින් බදු ගත් එනමුත් තවමත් පාවිච්චියට ගත නොහැකි සබීතා පෙරේරාට අයත් රාජගිරියේ ඩීපීඒ ටවර් නම් ගොඩනැඟිල්ලට දැන් මාස 12ක් පුරා මසකට රුපියල් ලක්ෂ 201 බැගින් බදුගෙවා ඇත්තේද මිනිස් ජීවිත 30ක් ලක්ෂ 30කට මිල කළ මේ ආණ්ඩුවමය.
කොතරම් අසංවේදී ආණ්ඩුවක්ද?
ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ජාවකින් පසු 18වන දින මුදල් අමාත්‍යංශය කියා සිටියේ විනාශ වූ නිවාස වෙනුවෙන් උපරිමය ලක්ෂ 25කට යටත්ව වන්දි මුදල් ලබා දෙන බවයි. ඉන් දෙදිනකට පසු අපදා කළමනාකරන අමාත්‍යවරයා කියා සිටියේ නිවාස වන්දි සඳහා සීමාවක් පනවා නැති බවත් තක්සේරු වටිනාකම අනුව වන්දි මුදල් තීරණය කරන බවත්ය. කව්ද හරි කියා දන්නේ කව්ද?
මීතොටමුල්ලෙහි සංචාරයකට ගිය අගමැති වික්‍රමසිංහ සිය පිරිවර සියක් දෙනා මැද තමන් පමණක් මුව සහ නාස් ආවාරණයක් පැළඳ සිටින ජයාරූපය මෙම ඛේදවාචකය සහ ආණ්ඩුවේ අසමත් බව පෙන්වන අපූරු සංඛේතයක් වැන්න. ආණ්ඩුව ජනයාට හෝ ජනයාගේ ප්‍රශ්ණවලට සංවේදී නැත. එය දැනටමත් දේශපාලන බලය නැමැති එක්ටැම්ගෙයි ජීවත්වන්නට පටන් ගෙන තිබේ.
වැළැක්විය හැකිව තිබූ මීතොටමුල්ල ඛේදවාචකය මෙන්ම ඉන් පැන නැඟුනු ජනතා වෛරයද ආණ්ඩුවට අනතුරු හැඟවීමේ සංඥාවකි. මහත්වරුනි, දැන්වත් එක්ටැම් ගෙයින් බැස මහ පොළවට එන්න!
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya