වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන සලකා බැලීම ඉතා වැදගත් වේ. හුදු න්‍යායෙන් ඔබ්බට ගොස් මහපොළවේ ජීවත් වන අපේම මිනිසුන් වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ මුහුණ දී ඇති තත්වය සහ ඔවුන්ගේ සිතුවිලි එකතු කිරීම මෙහි මූලික අරමුණ වේ. මේ ඒ සඳහා වූ පළමු ප්‍රවේශයයි.

මීට දින කිහිපයකට පෙර මහාචාර්යය ජී.එච්. පීරිස් මහතා හමුවීමට මා හට අවස්ථාවක් ලැබුණි. කාලයක පටන් දන්නා හඳුනන අයෙකු වන මේ අපූරු මිනිසා බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ ජෙරී නමිනි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක් වූ අයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යයවරයෙකු ලෙස කටයුතු කළ හෙතම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් කොට ඇති අයෙක් වන අතර ජගත් අත්දැකීම් රාශියක් ලැබුවෙකි. දේශපාලනික මතවාදය සම්බන්ධයෙන් ඔහුටම ආවේණික වූ චින්තනයක් මෙන්ම එම චින්තනය ඕනෑම වේදිකාව අර්ථගැන්වීම සඳහා පෘථුල දැනුමක් හිමි අයෙකි. මේ නිසා මෙම සටහන ආරම්භයේදී ඔහු ගැන සටහන් කිරීම වැදගත් යැයි සිතුවෙමි.

මහාචාර්යය ජෙරීගේ නිවාස බලා යන අතර වාරයේදී අහඹු සිදුවීමක් සිදු විය. එනම් මා මහාචාර්යය වරයාගේ නිවසට රැගෙන ගිය ත්‍රීවීලරයේ රියදුරාය. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වූ අතර, රටේ පවතින දේශපාලන තත්වය ගැන මනා අවබෝධයෙන් පසුවන්නෙක් බව ඔහුට ඇහුන්කම් දීමේදී අවබෝධ වේ. එම නන්නාදුනන මිනිසාගේ දේශපාලන දැක්ම අපූරුය. එදින ඉන්දන සැපයුම්කරුවන්ගේ වර්ජනයක් හේතුවෙන් මාර්ගය අවහිර වී තිබූ අතර ඔහුට මා හට ගමන් කිරීමට තිබූ මාර්ගය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි විය.

“මම මීට කලින් හමුදාවේ හිටියේ, මගේ දුවලා දෙන්නත් හමුදාවේ ඉන්නේ. එක්කෙනෙක් දැන් විශ්‍රාම යන්න කිට්ටුයි”, ඔහු හදිසියේ හමු වූ මා හට කිසිඳු වගවිභාගයක් නොමැතිව පැවසුවේය. ඉන් පසු රණවිරුවන් විසින් කරනු ලැබූ උද්ඝෝෂණය ගැන සඳහන් කරනු ලැබුවේ තමන්ගේ ඥාතීයෙකු මුහුණ දී ඇති තත්වය ගැන විස්තර කරමිනි. “ විශ්‍රාම යෑමට වසර දෙකක් තිබියදී එයා විශ්‍රාම ගියා. ඊට පස්සේ මහින්ද මහත්තයා ඉලෙක්ෂන් එකක් තිබ්බා. ඒකේදී එයා පොරොන්දු වුණා ඒ හැමෝටම විශ්‍රාම වැටුම් ගෙවන්න අවශ්‍යය පියවර ගන්නවා කියලා. ඒත්, එහෙම කරන බවට පිළිගත් ලේඛණයක් නෑ. කට වචනෙට කිව්ව දේ මේ හැමෝම විශ්වාස කළා. නමුත් එලෙක්ෂන් එකෙන් මහින්ද මහත්තයා පැරදුණා. ඉතින් මහින්ද මහත්තයා නිකමට වගේ පොරොන්දු වුණ දේ තමයි මෙයාලා දැන් මෛත්‍රී මහත්තයාගෙන් ඉල්ලන්නේ”, ඔහු අදාළ කාරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් සඳහන් කළේය.

“මගේ පෞද්ගලික මතය තමයි මේවගේ අසාදාරණ ඉල්ලීමේ කරලා, ආණ්ඩුවට බලපෑම් කරන ඒක සාදාරණ නෑ කියන එක,” ඔහු සඳහන් කළේය. බොහෝ ගැටලු එක්තරා කණඩායමක් විසින් නිර්මාණය කරන්නක් මිස එහි ඇත්ත සොයා යෑමේදී පවතින්නේ වෙනත් අරමුණක් බව බොහෝ අවස්ථාවලදී තමන් අත්දුටු බව ඔහු වැඩිදුරටත් කිව්වේය.

###

ඔහුට සවන්දීම ඉතාම වැදගත් අවස්ථාවක් බව අවිවාදිතය. ඉන් පසු මහාචාර්යය ජෙරීගේ නිවසට ගියෙමි. කාලයක පටන් දන්නා හඳුනන මහාචාර්යයවරයා සුපුරුදු සිනහවෙන් මා පිළිගත් අතර දීර්ඝ කතාබහක් සඳහා මුල පිරුවෙමු. දිවිභාෂා ප්‍රඥයෙකු වන හෙතම මා හට අවසන් වරට හමු වූයේ වසර හතක පමණ කාලයකින් පසුය. ඉහත සඳහන් කළ ආකාරයෙන්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලනයේ සහයකයෙකු ලෙස පෙනී සිටින ඔහු තම මතය පෘථුල වශයෙන් සාදාරනීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු මෙන්ම පර්යේෂණ සතු අයෙකි. ජෙරී යනු, තමන්ගේ විෂය සම්බන්ධයෙන් ව්‍යාජ දැනුමක් කරපින්නා ගෙන හුදු පටු ප්‍රසිද්ධියක් වෙනුවෙන් පොරබදන්නෙකු නොවේ.

“අනූව දශකයේ වර්දරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන විට එය ලෝක විහිළුවක් වුණා. නමුත් ඉදිරි කාලයක උතුරේ මහඇමති විග්නේශවරන් හෝ එවැනි අවබෝධයක් ඇති වෙනත් අයෙකු එවැන්නක් ප්‍රකාශයට පත් කළොත් එය තව දුරටත් විහිළුවක් බවට පත් වන්නේ නෑ. මන්ද, ඒ වනවිට අවශ්‍යය ජාතික, කලාපීය මෙන්ම අනතර්ජාතික පරිසරය නිර්මාණය කර තිබෙණු ඇත,” මහාචාර්යය ජෙරී උතුරේ සහ නැගෙනහිර පළාත් වල පවතින තත්වය ගැන ඉදිරිපත් කරන මූලික අදහස වේ.

මහාචාර්යය ජෙරීගේ අදහස පමණ ඉක්මවා හුවා දැක්වීමක් හෙවත් අසාමාන්‍යයකරණයක් ලෙස බැලූ බැල්මට පෙනුණද හෙතම තම මතය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රවේශමෙන් සිදු කළේය.

මහාචාර්යය ජී.එච්.පීරිස් Photo ©Nilantha Ilangamuwa

ශ්‍රී ලංකාව එක් රටක් ලෙස පවත්වා ගන්නේද? එය විවිධ දේශපාලන විෂමාර්ථයන් මූලික කරගනිමින් විවිධ අර්ථකතනයන් ඔස්සේ ගමන් කොට ඒකීයභාවය සුමට සහ නොදැනෙන ලීලාවෙන් නැති කරන්නේද? යන්න කාලාන්තරයක් තිස්සේ රට තුළ දෝලනය වෙමින් පවතින ප්‍රභල ගැටලුවකි. එසේම ප්‍රධාන දේශපාලන විවාදයකි.

රාජ්‍යය සංස්ථාව තුළ පවතින මූලික දෙදරා යෑමට නියමිත පිළියමක් නොයොදා පළාත් නොව ගම් වශයෙන් හෝ සිදුකරන බලය බෙදීම දීර්ඝකාලීන විසඳුමක් නොවන බව අවිවාදිතය. මන්ද රාජ්‍යය සංස්ථාව තුළ හෝ දේශපාලන බලය මෙහෙවන පිරිස තනි තනිව ගෙන බැලුවහොත් ඔවුන්ගේ වාර්ගිකත්වය හෝ දේශපාලන පිළිගැනීම් සෑමවිටම පෞද්ගලික අභිලාශයන් හමුවේ ද්විතීක වේ. රාජ්‍යය සම්පත් හොරකම් කිරීමට හෝ අපහරණය කිරීමට වාර්ගිකත්වය කාරණයක් නොවන බව දක්නට ලැබේ. එනම්, ප්‍රජාවන් අතර සිදුකරන ප්‍රභල බෙදීම ඔස්සේ ඔවුහු තම පෞද්ගලික අභිලාශයන් පිරිමසා ගැනීම සඳහා ඇතැම් බරපතළ ගැටලු මෙවලම් ලෙස භාවිතා කරති.

එනයින් බලන කළ මහාචාර්යය ජෙරී පෙනී සිටින මූලික අදහසට ශක්තිමත් මෙන්ම හේතුවාදී පදනමක් තිබේ. රටේ සාමන්‍යය මිනිසුන්ට එක්ව ජීවත් වීමට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරීම වෙනුවට තෝරාගත් ජන කණඩායමට අයත් කොලනි නිර්මාණය කිරීම ඔස්සේ දිගුකාලීන සාමයක් ඇතිවේද යන්න ගැටලු සහගතය.

නමුත් මෙම මූලික කාරණය වටා ඇති සැබෑ කාරණා ගැන දැනුමැති රාජ්‍යය පරිපාලන ව්‍යුහයක් සහ ආණ්ඩුව තුළ සිටින ඇතැමුන් සතු අවබෝධය ඉතාම පටු වන අතර ඔවුහු රටේ බරපතළ ප්‍රශ්න ගැන අහස් මාළිගා තැනීම නිතරම පාහේ දක්නට ලැබෙන කාරණයකි.

පැය ගණනාවක් පුරා පැවැත් වූ කතා බහ, තවත් වැදගත් තැනකට තල්ලු කරමින්, මහාචාර්යය ජෙරී සිරියාවේ ලද අත්දැකීම් ගැන විස්තර කළේය. 2000 වසරේ මුල් භාගයේ සිරියාවේ අධ්‍යනයක් සඳහා ගිය ගමන ගැන යළි සිහිපත් කළ හෙතම එකළ සිරියාව ඉතාම සමෘද්ධිමත් රටක් වූ බවත් පැය 24 පුරාම ඕනෑම අයෙකුට කිසිඳු කරදයක් නොමැතිව දමස්කස් නගරයේ ගමන් කළ හැකිව තිබූ බවත් සඳහන් කළේය.

“කවුරු හරි ඇහුවොත් ලංකාව හැර නිවාඩුවක් ගත කිරීමට කැමතිම තැන කුමක්ද කියලා, මම තෝරා ගන්නේ සිරියාව. ඒ තරමට සිරියාව සැබෑ සාමකාමී මෙන්ම ආරක්ෂාකාරී ප්‍රදේශයක් ලෙස මම දැක තිබෙනවා”, යැයි ජෙරී සඳහන් කළේය.

එවැනි රටක් වර්තමානයේ මුහුණ දී ඇති තත්වය ඉතාම කනගාටුදායක වන්නා සේම, එය බාහිර බලවේග විසින් හිතාමතාම නිර්මාණය කරනු ලැබූ අර්බුදයක් ලෙස මහාචාර්යයවරයා දකින්නේය.

දීර්ඝ කතාබහ අවසානයේ “දකුණු ආසියාවේ දේශපාලන ගැටුම්” (පොලිටිකල් කන්ෆ්ලික්ට් ඉන් සවුත් ඒසියා ) නැමති කෘතියේ පිටපතක් ලබා දුන් හෙතම මීළඟ ජනාධිපතිවරණය කුමන ස්වභාවයක් ගනු ඇත්දැයි දළ අනුමානයක් ඉදිරිපත් කළේය.

“මෙම පවතින තත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගමන් කළහොත්, ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ඉතාම පළල් වී ඇති බැවින් එහි සම්පූර්ණ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙනු ඇත. එවැනි තත්වයකදී අඳුරු වළාවන් වලින් යළිත් රට අරක් ගනු ඇත,”

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතාවාදය ගැන ගැඹුරු අවිශ්වාසයක් දක්වන ඔහු සඳහන් කළේය.

මහාචාර්යය ජෙරී විසින් රචනා කොට ඇති කෘතීන් කිහිපයකි. එ සියල්ල තුළින් මෙරට ගැටුම් සහ භූ-දේශපාලනික වටපිටාව මෙන්ම දකුණු ආසියාව මනා ලෙස විමසීමට ලක් කොට තිබේ. සිත් ඇදගන්නා කාරණය වන්නේ, තම විෂය සම්බන්ධ මනා දැනුමක් මෙන්ම එය තම තම මතය තහවුරු කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ඔහු සතු වීමය.

###

අදාළ හමුවෙන් දින දෙකකට පසු වදහිංසාවට ලක් වූ වින්දිතයින් කිහිප දෙනෙකු හමු වී දීර්ඝ වශයෙන් කතාබහ කිරීමට අවස්ථාව ලැබුණි. නන්දන මනතුංග පියතුමා විසින් මෙහෙයවන ප්‍රකට මානව හිමිකම් ආයතනයක් වන “මානව හිමිකම් කාර්යාලය” ඊට ලබා දුන් සහයෝගය අගනේය.

කිසිම හේතුවකින් සාදාරනීකරණය කළ නොහැකි වදහිංසාව යනු මිනිසා විසින් තවත් අයෙකු මෙල්ල කිරීම සඳහා භාවිතා කරන අමානුෂික මෙවලමකි. කිසිඳු වරදක් නොකර වදහිංසාවට ලක් වූ අයවලුන්ට එරෙහිව පොලිසිය විසින් බොරු නඩු පවරා ඔවුන්ගේ ජීවිත බිල්ලට ගෙන ඇති ආකාරය ඛේදජනකය. පොලිසිය හමුවේ කෙනෙකුගේ ජීවිතයට ලැබෙන වටිනාකම ඉතාම පටු දෙයක් වී ඇති ආකාරය මෙම වින්දිතයන්ට ඇහුන්කම් දීමෙන් අවබෝධ වේ.

වදහිංසාවට ලක්කොට ඇත්තේ තනි පුද්ගලයෙකු වුවද එහි බලපෑම මුළු පවුලටමය. බොරු නඩු පවරා ඔවුන්ගේ චරිතය පමණක් නොව මුළු පවුලේම ගරුත්වය ක්‍රමානුකූලව වැනසීමට රාජ්‍යය පාර්ශවය නියෝජනය කරන පොලිසිය වැනි ආයතන වල සිටින ඇතැම් නිලධාරීන් කටයුතු කොට ඇත. ඒ ගැන සහ එම වින්දිතයින් ගැන ලිවීමට ඇති දෑ විශාලය.

එවැනි අතිවිශාල මෙන්ම සංකීරණ ගැටලු විසඳීම සඳහා රාජ්‍යය යාන්ත්‍රනය ගමන් කරන ඉබිගමන තුළින් ගම්‍ය වන්නේ රට වැටී ඇති අඝාදයය.

රාජ්‍යයට හෝ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩු පාර්ශවයට මෙවැනි ගැටලු බරපතළ මෙන්ම වහා මැදිහත් විය යුතු කාරණා ලෙස අවබෝධ වන්නේ කවදාද යන්න මෙම වින්දිතයින් දෙස බැලීමේදී නැගෙන මූලික කාරණය වේ.

පොලිසියේ ප්‍රහාරයට ලක්වීමෙන් කකුලක් කොට වීම හෝ ඇඟ පුරා පැල්ලම් ඇතිවීම මෙන්ම ජීවත් වී සිටි නිවසින් ඉවත් වීමට සිදුවීම යනු මෙම ගැටලුවේ මතුපිට තලය නියෝජනය කරන රෝග ලක්‍ෂණ පමණි. මෙම ගැටලුව ඊට වඩා බරපතළ සමාජ සහ දේශපාලන බලපෑම් පාරම්පරිකව ඇතිකොට තිබේ.

තම ආච්චි හදිසියේ මරණයට පත්වීම ගැන එම පවුලේ කාන්තාවන් තිදෙනෙකු (ඉන් දෙදෙනෙකු කුඩා ගැහැණු දරුවන් වෙති.) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහර දෙනු ලබයි. මිරිස් කුඩු පවා දමමින් සිදුකොට ඇති පහර දීමට හේතුවන සැක කටයුතු අපරාධයේ සැකකරුවන් වූ ඔවුහු අවසානයේ නිදොස් කොට නිදහස් වෙති.

නිදහස් වන විට තම ජීවිතයේ මීළඟ අවධිය සමාජීය වශයෙන් විනාශ වී හමාරය. අධ්‍යාපනය කඩා වැටී ඇත. පවුල බෙදී වෙන්වී ඇත. පවුලේ සාමාජිකයින් එකිනෙකා සදාකාලීක සතුරන් බවට පත් වී ඇත. මෙවැනි තත්වයකදී ආණ්ඩුව මත පැවරී ඇති වගකීම් නිසිලෙස සිදු නොවූ විට ඇතිවන තත්වය මොවුන්ගේ ජීවිත දෙස බැලීමෙන් දක්නට ලැබේ.

රාජ්‍යය නොවන සංවිධාන සහ අනෙකුත් ආයතන ගැන බරපතළ විවේචනයක් ආණ්ඩුවේ සිටින ඇතැම් දේශපාලනඥයින්ට තිබේ. නමුත්, එම විවේචනාත්මක වාග් මාලාවන් වලට අනුරූපව තත්කාලීන විකල්පයක් ඔවුහු ඉදිරිපත් කොට නැත. හුදු විවේචන වලින් සමාජයට සිදුකොට ඇති හානිය සුළුපටු නොවේ.

වදහිංසාව සමාජ රෝගයක් ලෙස ගැනීමේදී පෙනී යන මූලික කාරණය වන්නේ ඊට සීමා මායිම් නැති බවයි. නීතිය වල් වැදුණු තැනක විඳවීම යනු පුරවැසියාට මුහුණ දීමට සිදුවන නියතයකි. බොහෝ වින්දිතයන් හට ඇහුන්කම් දීමේදී දක්නට ලැබෙන මූලික කාරණය එයයි.

අපරාධ පරීක්‍ෂණ ක්‍රමවේදය තුළ පවතින ගැඹුරු ඛේදජනක තත්වය විසින් රටට ලබා දී ඇති ප්‍රධාන පණිවිඩය වන්නේද එයයි. අමාත්‍යය සාගල රත්නායක මහතා රටේ සෑම පොලිස් ස්ථානයකටම සී.සී.ටී.වී. කැමරා සවි කිරීමක් ගැන සහ ආසියාවේ හොඳම පොලිසිය තමන් තනන බව සඳහන් කළද ඒ සඳහා වූ ප්‍රයෝගික වැඩපිළිවෙල ඉතාම සෙමින් ගමන් ගන්නා එකකි.

###

ඉන් පසු මන්නාරමේ ශිලාවතුර ප්‍රදේශය බලා යෑමට අවස්ථාව ලැබුණේ හිතවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟය. එය ඉතාම වැදගත් ගමනක් වූ අතර එහිදී දැක බලා ගැනීමට හැකි වූ දෑ මෙහිදී සරලව හෝ සටහන් තැබීම වැදගත් යැයි සිතේ.

මන්නාරමට යෑමට පෙර සෙට්ටිකුලම ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියකට ගමන් ගත් සගයින් එහි ප්‍රධානියා වූ ජෙයබාලන් පියනම සමඟ කතාබහා කිරීමට අවස්ථාවක් සලසා දෙනු ලැබීය.

මන්නාරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක තමන්ගේ ඉඩම් ඉල්ලා උද්ඝෝෂණය කරන දෙමළ ජනතාවගේ වත්මන් තත්වය මෙන්ම රටේ පවතින දේශපාලන තත්වය ගැන කතා කිරීමට ජෙයබාලන් පියනම අමතක නොකළේය.

ඔහුට අනුව මෙම ඉඩම් ජනතාවට ලබාදීම සහ රටේ අභ්‍යන්තර නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ශක්තිමත් පොලිසියක් ඇති කිරීම අත්‍යවශ්‍යය වේ. අනෙකුත් ත්‍රිවිද හමුදා රටේ සිවිල් ජනජීවිතය සමඟ බද්ධ කිරීමෙන් ප්‍රජාවන් අතර නවාකාරයක ගැටුම් ඇතිවිය හැකි බව ඔහුගේ මතය වේ.

එසේම දෙමළ දේශපාලන නියෝජනය ගැන බරපතළ විවේචනයක් ඉදිරිපත් කළ හෙතම දෙමළ ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින දේශපාලන බලවේගයක් නොමැති බවත්, ඉදිරිපත් වී සිටින දේශපාලන කණඩායම් සහ පක්ෂ කෙරෙහි ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැති බවත් සඳහන් කළේය.

භූමියේ පවතින සැබෑ තත්වය එයයි. එසේම සාමන්‍යය වැසියන්ට කතා බහා කිරීමේදී පවා අවබෝධ වන මූලික කාරණයක් තිබේ. එනම් රටේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් කෙරෙහි අවංක විශ්වාසයක් ඇති අයෙකු සොයා ගැනීම ඉතාම අසීරු කටයුත්තකි. කොටින්ම කිවහොත් එවැනි පුද්ගලයෙකු තවමත් මා හට හමු වී නොමැත.

මීට අමතරව පැවති ආණ්ඩුව ගැන යහපත් දෑ කතා කරන හෝ වත්මන් ආණ්ඩුව ගැන යහපත් ලෙස කතා කරන පිරිස්ගේ වගතුග සොයා බැලීමේදී පෙනී යන්නේ කුමන හෝ දේශපාලන වාසියක් ඔවුන්ගේ අදහස් වල මූලික නියෝජනය බවයි. මෙවැනි මට්ටමක පවතින සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අගය කරන නිදහස් සහ නිවහල් තත්වයක් ඇතිවීම යනු දවල් හීනයක් පමණක්දෝ යන සැකය තිබේ.

මන්නාරමේ මුල්ලිකුලම ප්‍රදේශයේ වැසියන්ගේ ඉඩම ගැටලුව මේ වනවිට විසඳා ඇති කාරණයකි. නමුත් මෙම කාරණයේදී මතක් කළ යුතු කාරණා කිහිපයක් තිබේ. හමු වූ බොහෝ දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රධාන කාරණයක් විය. එනම්, හමුදාව සමඟ අර්බුද නිර්මාණය කර ගැනීමේ වුවමණාවක් තමන්ට නොමැති බවත් හමුදාව ඇතැම් අවස්ථා වලදී තමන්ට සහ තම දරුවන්ට සහය වන බවත්ය.

භරණ නාවික හමුදා කඳවුර ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට යොදා ගෙන මුස්ලිම් ආගමික නිවසක මිදුලය. එසේම උද්ඝෝෂකයින්ට අවශ්‍යය මූලික පහසුකම් ස්වකැමත්තෙන්ම සපයා තිබුණේ අදාළ මුස්ලිම් ආගමික පවුලක් විසිනි.

ඒ අතර වසර ගණනාවක් තිස්සේ සරණාගතයින් ලෙස ඉන්දියාවේ ජීවත් වූ පවුලක සාමාජිකයින්ද වූහ. යළි සිය රටට පැමිණෙන කාලය වන විට එනම් 2016 වන විට මෙරටින් ගිය සරණාගතයින් සඳහා ඉන්දීය ආණ්ඩුව කළ මූලික ගෙවීම් ගැන එහි සාමාජිකයෙකු කියා සිටියේ, ඉන්දීය ආණ්ඩුව ගෘහ මූලිකයාට ඉන්දීය රුපියල් 1000 ක්, ඔහුගේ බිරිඳට රුපියල් 750ක් සහ දරුවෙකුට රුපියල් 400 බැගින් මාසික ගෙවීමක් සිදුකොට තිබුණි. ඊට අමතරව ඔවුන්ට ප්‍රදේශයේ කුලී වැඩ කිරීමෙන් යමක් උපයා ගෙන දෛනික අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීමට අවස්ථාව ලැබුණු බව ඇය සඳහන් කළාය.

යුද්ධයෙන් පසු ප්‍රදේශයේ ඉඩම් වල පවතින ආරවුල සම්බන්ධයෙන් නිවැරදි සහ පැහැදිලි ස්ථාවරයක් වත්මන් ආණ්ඩුවට හෝ රාජ්‍යය නියෝජනය කරන බලධාරීන්ට තිබේද යන්න ගැටලුවකි. විශේෂයෙන් ප්‍රදේශය භාරව සිටින නාවික හමුදා නිලධාරීන් මෙම කාරණය සම්බන්ධයෙන් දැනගත යුතු මූලික දෑ ගැන හෝ අවබෝධයෙන් කටයුතු කිරීමක් දක්නට නොලැබේ. ඔවුහු බලවත් සැකයකින් පසුවන වේදනාවේ ප්‍රකාශනයන් ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඔවුහු බරපතළ සැකයකින් පසුවෙති.

කෙසේ වෙතත් මුල්ලිකුලම් ජනතාව දින 38ක් පුරා කළ උද්ඝෝෂණය නිමාවට පත් වූයේ ඔවුන් ඉල්ලා සිටි ඉඩම් යළි පවරා දීමෙනි. නමුත් එය රටේ ප්‍රධාන මාධ්‍ය තුළ කිසිඳු වටිනාකමක් නොලැබුණු කාරණයක් විය. මෙවැනි මූලික කාරණා සම්බන්ධයෙන් පෘථුල විවාද ඇතිවිය යුතු නමුත් දැක ගත හැකිවන්නේ විවිධ දේශපාලනඥයින් හෙලන පුරසාරම් පමණි.

ජනතාව සමඟ කතාබහා කිරීමෙන් පසු මන්නාරමේ කතෝලික පූජකවරයෙකු ලෙස කටයුතු කරන නේරු පියතුමා සමඟ ඉතා කෙටි කතාබහකට අවස්ථාව ලැබුණි. ඔහුගේ අසනීප තත්වය අප අතර ඇති විය යුතු දීර්ඝ සංවාදය නවතා දැමීමට සමත් විය. යුද්ධය පැවති අවධියේදී සිවිල් වැසියන් සමඟ පොර බැදුණු ප්‍රධාන කතෝලික පූජකවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වන හෙතම දෙමළ ජනතාව මුහුණ දුන් තත්වය ගැන ප්‍රායෝගික අත්දැකීම් ඇත්තෙකි.

නේරු පියතුමා Photo ©Nilantha Ilangamuwa

ජනතාවගේ වේදනාව අභිමුඛව පැන නොගිය පූජකවරයෙකු වන හෙතම ප්‍රදේශයේ සිදු වූ ගැටුම් හේතුවෙන් බරපතළ බලපෑමට ලක් වූවෙකු බව ඔහුගේ අදහස්වලට ඇහුම්කම් දීමේදී අවබෝධ වේ. හෙතම, රටේ දේශපාලන නායකත්වය ගැන මෙන්ම රාජ්‍යය පරිපාලන ක්‍රමවේදය ගැන කනස්සල්ලෙන් පසු වන බවක් පෙනේ.

යළිත් රට තුළ සන්නද්ධ අරගලයක් ඇති වීමට ඇති ඉඩක් තිබේද යන්න විමසූ විට ඔහුගේ අදහස මෙවැන්නකි.

“රට තුළ මේ දක්වා ඇති වූ ගැඹුරු සමාජ ගැටුම් අහඹුවක් නොවේ. සන්නද්ධ ගැටුම් යනු බරපතළ සමාජ ගැටලු විසඳීම සඳහා වගකිව යුත්තන් අවංකව මැදිහත් නොවීමේ පල විපාකයකි. එය ප්‍රතිචාර දැක්වීමක් මිස ඒකපාර්ශවීය භාවිතයක් නොවේ. එවැන්නක් ඇතිවීම සඳහා බීජ සෑම විටම වපුරනු ලබන්නේ පාලකයින් විසින් මිස ජනතාව විසින් නොවේ. අපි සියල්ලෝම පැහැදිළි කරගත යුතු මූලික යතාර්ථය මෙයයි. පිළිතුරු ලබා දිය යුත්තේ ඊටය.

නේරු පියනම ප්‍රදේශයේ ප්‍රභල සමාජ සහ දේශපාලනික මැදිහත්වීමක් කරන අයෙකු වන අතර, බලය බෙදීම මෙන්ම ප්‍රාදේශීය බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් පෙනී සිටින අයෙකු ලෙස හඳුනා ගත හැකිය. ගැටුම් සම්බන්ධයෙන් සහ එහිදී දෙමළ ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් ඔහුගේ ජීවන අත්දැකීම් වේ.

###

මේ අතර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු ප්‍රදේශයේ පවතින තත්වය ගැන දක්වනු ලැබූ අදහස වූයේ මෙවැන්නකි.

“ගැටුම් වලින් පසු පවතින තත්වය ගැන විමසීම සහ ඒ සම්බන්ධයෙන් හැදෑරීම වගකිව යුතු පාර්ශවයන් හිතා මතාම මඟහැර තිබේ. මේ නිසා ඇතැම් ගැටලු හුදු දේශපාලනික මුහුණුවරක් ගෙන ඇති බව ඔහුගේ අදහස වේ. එම දේශපාලනීකරණය තුළ එකමුතුව වෙනුවට බෙදීම සහ එකිනෙකා අතර අවිශ්වාසය ඇතිවීමට හේතූ වී ඇති බව ඔහුගේ අදහස් වේ. මෙහිදී වඩාත් සැලකිය යුතු කාරණයක් වන ජාතික ආරක්‍ෂාව අදාළ මූලධර්ම බොහෝ දෙනෙකු නිවැරදී ලෙස අවබෝධ කරගෙන ඇති ස්වභාවයක් පෙන්නුම් කරන්නේ නැත.”

දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමක් අවසන් වූ පසු එම සමාජයේ සෑම තැනකටම අවශ්‍යය වන ක්‍රමවත් අඛණ්ඩ වැඩපිළිවෙලක් අවශ්‍යය වේ. සංහිදියාව වූ කලී ගැටුම් සඳහා හේතූ වූ හේතුකාරක වලට පිළියම් යෙදීම මෙන්ම යළිත් නව මාදිලියක ගැටුම් ඇතිවීමට ඇති ඉඩ නැසීමය. එවැන්නක් මර්දනයකින් කළ නොහැකිය. එවැන්නක් කළ හැකි එකම ක්‍රමය වන්නේ ජන කොටස් මුහු කිරීම සහ එකිනෙකා අතර විශ්වාසය ගොඩ නැගීමය.

යහපාලනය මූලික කරගනිමින් සිදුවන ආණ්ඩුකරණයේ භූමියේ තත්වය සැලකීමේදී පෙනී යන්නේ කළ යුතු කටයුතු බොහෝමයක් තිබියදී ඇතැම් අතවශ්‍යය දෑ හිතා මතාම මඟහරිමින් සිටින බවයි. එය එතරම් යහපත් තත්වයක් නොවේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa