පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
පසුගිය වසරෙහි මැයි – ජූනි මාසයන් හි පැවැති ජිනීවා මානව හිම්කම් කොමිසමේ සැසි වාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන ලද සැසිවාරය විය. එම සැසිවාරය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි මේ තාක් ඇති වූ පුළුල්තම සාකච්ජාව ය. එම සැසිවාරය හමුයෙහි මා කළ වාචික මැදිහත්වීම දේශද්‍රෝහී ක්‍රියාවක් සේ සළකා මා උල තබා මැරීමට රාජපාක්ෂික දේශපාලකයෝ ද ප්‍රචාරකයෝ ද දතමැද ගත්හ. නමුත් අද ශ්‍රී ලංකාවේ දේශපාලනය විසින් පෙන්නුම් කරන්නේ එදා අප පෙනී සිටි මතවාදයේ නිවැරදි බව යි.
කෙමිසමෙහි දී 2009 මැයි 26/27 දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරය එම සැසිවාරය කැඳ වූ යුරෝපා සහ ලතින් ඇමෙරිකානු රටවල යෝජනාව පරදවා ශ්‍රී ලංකා ආණ්ඩුවේ යෝජනාව ජය ගැනීමෙන් කෙළවර විය. ශ්‍රී ලංකාණ්ඩුව සිය යොජනාවෙන් කරුණූ ගණනාවක්ම ඉටු කිරීමට පොරෙන්දු වූ අතර ජනාධිපති රාජපක්ෂ සහ එජා මහ ලේකම් මූන් අතර 2009 මැයි 25දා ගිවිස ගත් එකඟතාවය අනුව ක්‍රියා කිරිමට ද ශපථ කළා ය.
ශ්‍රී ලංකාණ්ඩුව එම සැසිවාරය හඳුන්වන ලද්දේ එල්ටීටීඊ ය පැරද වූ දේශීය යුද්ධයේ අන්තර් ජාතික ජයග්‍රහණය ලෙස ය. එම අවස්ථාවෙහි ශ්‍රී ලංකාණ්ඩුවට මානව හිමිකම් කොමිසමෙහි දී එම ජය ලබා දීමට විශේෂ කාර්‍ය භාරයක් ඉටුකළ එවකට ජීනීවා හි ලංකා තානාපති වූ දයාන් ජයතිලක පසුව එම ධුරයෙන් ඉවත් කරන ලද්දේ කිසිදු ගරුසරුවක් නැතිව ය. ඔහු අද ශ්‍රී ලංකාවේ නැත. යුද්ධ ජයග්‍රහණයට නායකත්වය දුන් යුද්ධ හමුදාපති ජෙනරල් සරත් පොන්සේකා සිරගෙදර ය.
ජනවාරි මාසයේ පැවැති මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බවට දයාන් ජයතිලක තර්ක කළේ එමගින් ඒක පාක්ෂික ව්‍යවස්ථානුකූල ඒකාධිපතිතිවයක් ඇතිවිය හැකි බවට ඉඟි කරමිනි. අනෙත් අතට ජෙනරල් ෆොන්සේකා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සමඟ විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදුණි. ඔහු කියා සිටියේ රාජපක්ෂ පාලනය දූෂිත සහ භීෂණකාරී බැවින් එය පරාජය කිරීමට තමාට ජන්දය දෙන ලෙස ය.
දැන් රාජපක්ෂ පාලනය කියන්නේ යුද්ධ නායකත්වය දුන් ජෙනරල් පොන්සේකා දූෂිතයකු සහ භයානක පුද්ගලයකු බව ය. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනා මඟින් කියන්නේ යුද්ධයට හමුදාව මෙහෙය වූ ෆොන්සේකා රාජ්‍ය ද්‍රෝහී වංචාකාරී පුද්ගලයකු බවයි. ජෙනරල් ෆොන්සේකාගේ සම්බන්ධිකරණ හමුදා බිගේඩියර්වරයා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට සාක්ෂි තිබෙන බව රාජපක්ෂ ආණ්ඩුවේ නීතිපති ශේෂ්ඨාධිකරණයට කියා සිටියේ ය.
රාජ්‍ය ජනමාධ්‍ය කියන කතා අනුව ජෙනරල් පොන්සේකා නොකළ වරදක් නැති තරම් ය.
මේ කතා සැබෑ නම් යුද්ධ සමයේ සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලිය යුතු බවට කියා සිටීමේ ඇති වරද කුමක් ද?
එල්ටීටීඊ විරෝධී යුද්ධ කාලයේ දී රාජපක්ෂ පාලනය අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාවට ඇති තරම් බැට දුන්නේ ය. අන්තර් ජාතික රතුකුරුස කාර්යාලය සිය අන්තේවාසිකයින් ලවා වැටලෙව්වේ ය. යුද්ධ කරනු මිස උසාවි සහ මානව හිමිකම් වලට වේලාවක් නැතැයි කීවේ ය. ආරක්ෂ ලේකම් ගොඨාභය මෙන්ම ජෙනරල් ෆොන්සේකා ද එම පිළිවෙත අනුගමනය කලා පමණක් නොව සමහර අවස්ථාවන්හි දී ඊටත් එහා ගියේ ය. අයිටීඑන් නාලිකාව සමඟ පැවැති සාකච්ජාවක දී ඔහු සමහර ද්‍රෝ්හී ආරක්ෂ ලේඛකයින් ජීවතුන් අතර සිටීම සඳහන් කළේ සිදු නොවිය යුත්තක් ලෙස ය.
දැන් අපට පෙනෙන්නේ ජෙනරල් සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ගැන රැක ගැනීමට සහාය වන ලෙස අන්තර් ජාතික ප්‍රජාවට කැරෙන ආයාචනයන් ය. ඔහු රඳවා ඇති තත්ත්වය පරීක්ෂා කිරීම පිණිස එකළ බැට දුන් අන්තර් ජාතික රතුකරුස කමිටුවේ සහාය ද අපේක්ෂා කරන ලදී. දැන් ජෙනරල් ෆොන්සේකා සිය මානව හිමිකම් රැක ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ ද පිහිට පතයි.
ජනාධිපතිවරණයේ දී ජෙනරල් ෆොන්සේකා ජයගත්තේ නම් අද ෆොන්සේකා සිටින තැන යුද්ධයට දේශපාලන නායකත්වය දුන් රාජපක්ෂවරුන් දෙදෙනා ද සිටීමට හොදටම ඉඩ තිබුණි. එසේ වූයේ නම් අද රාජපක්ෂවරුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට රතු කුරුසය හරහා අන්තර් ජාතික ප්‍රජාව දක්වාම ඉල්ලීම් කෙරෙන්නට නොතිබුනේ ද? පැහැදිළිවම සිදුවන්නට ඉඩ තිබුණේ එය යි.
එසේ නම් යුද්ධ සමයක දී පවා රටක මානව හිමිකම් රැක ගැනීමට අප ක්‍රියාකළ යුතු බව කියා සිටීම වරදක් වන්නේ කෙසේ ද?
අප එදා යුද්ධ ජයග්‍රහණය මුවවිට කියා සිටියේත් අද කියා සිටින්නේත් එකම මතයකි. එනම් යුද්ධ නිසා හෝ වෙන කිසිම හේතුවක් නිසා හෝ මහා ජනයාගේ මානව හිමිකම් කෙළෙසීම වරදක් වන බව යි. ජෙනරල් ෆොන්සේකාට රජය විසින් නගා ඇති චෝදනා හමූයේ සිය නිර්දෝශී බව පෙන්නුම් කිරීමට සාධාරණ යුක්ති ධර්මය හමූයේ අවස්ථාව දිය යුතු බවත් ඔහු විනිශ්චය කළ යුත්තේ සමාන්‍ය නීතිය යටතේ බවත් අප කියා සිටින්නේ එනිසා ය.
යුද්ධ ජයග්‍රහනයෙන් වසරකට පසු ඉහත කී දේශපාලන සිදුවීම් විසින් සනාථ කරන්නේ වසරකට පෙර ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දී අප විසින් ආරක්ෂා කරන ලද මානව හිමිකම් සාර ධර්මයන්ගේ වටිනාකම යි. අප එදා කීවේ යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලිය යුතු බවත් එම තත්ත්වයන්ට නිසි ප්‍රතිකර්ම කළ යුතු බවත් ය. අද ශ්‍රී ලංකාණ්ඩුව ම ඒ සඳහා කොමිසමක් පවා පත් කර තිබේ. අන්තර් ජාතික කොමිසමක් අනවශ්‍ය බව රාජපක්ෂ ආණ්ඩුව අද කියන්නේ ජාතික සෛවරීබව පිළිබද තර්ක මත පිහිට නොව දැන් පත් කරනු ලැබ ඇති මෙම දේශීය කොමිසමට මුවා වෙමිනි. කෙසේ වෙතත් යුද්ධ අවසානයේ දී අප කියා සිටියේත් මෙවැනි පරීක්ෂණයක අවශ්‍යතාවය යි. එනමුත් දැන් පිහිටුවා ඇති කොමිසම හුදෙක් ඇස් බැන්දුමක් නොවන බවට සහතිකයක් නැත. මන්ද යත් 1994 සිටම මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීමට පත් කරන ලද මෙවැනි සියළු කොමිෂන් සභා ඇස් බැන්දුමකින් එපිටට නොගිය නිසා ය.
වසරකට පෙර අන්තර් ජාතික මානම හිමිකම් ප්‍රජාව හමුයේ ශ්‍රී ලංකාණ්ඩුව පොරොන්දු වුයේ රටෙහි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිත්‍ය වාර්තා පාරදෘශ්‍ය බවින් යුතුව එළි දක්වන බව යි. එනමුත් මේ තාක් එවැනි එකදු වාර්තාවක් හෝ එළි දක්වා නැත. එපමණක් නොව එවකට තිබූ මානව හිමිකම් අමාත්‍යංශය ද දැන් අහෝසි කර තිබේ. එවකට සිටි මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අද හෙටම ඉදිරිපත් කරන බවට මානව හිමිකම් කොමිසමට පොරොන්දු වූ මානව හිමිකම් ප්‍රඥාප්තියට බාලගිරි දෝෂය වැළදී ඇති සෙයකි. එය නීති ගතවන්නේ අද නොවේ හෙට ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට සැකසෙන්නේ එහි සදාකාලිකව රැදී සිටීමේ පිඹුරුපත් ය. 17 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පත් කරනු වෙනුවට දැන් ඇසෙන්නේ ඒ සඳහා බලය ද විධායක ජනාධිපතිවරයාම වෙත පැවරෙනු ඇති බව ය. මේ නාමික ස්වාධීනත්වයක් හෝ භුක්ති විඳි නීතිපති දෙපෙර්තමේන්තුව ද දැන් විධායක ජනාධිපති යටතේ ය. වසරකින් පසුව ද වන්නියේ ජනයා දස දහස් ගනනින් කඳවුරු ගත කොට සිටිති. යළි පදංචි කරන ලද එම ජනයාගේ තොරතුරු විමසා බැලීමට නිදහස් ජනමාධ්‍යට තවම අවස්ථාව නැත.
මේ ලැයිස්තුව තව බොහෝ දිගය. යුරොපා සංගමයෙන් ජීඑස්පී බදු සහනය ලබා ගැනීම උදෙසා කරන ලද යම් යම් වෙනස්කම් හැර පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්ම තහවුරු කිරීම කරා වූ විධිමත් ස්ථිරසාර පිළිවෙතක් තවම දක්නට නැත.
පසුගිය වසරෙහි අත්දැකීම විසින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා අප විසින් ප්‍රකාශ කරන ලද ස්ථාවරයන්ගේ සහ ගෙන යන ලද ව්‍යාපාරයන්ගේ නිවැරදි බව යි. අයිතිවාසිකම් ලැබෙන්නේ ක්ෂමාලාපකයින්ගේ යාදිකා නිසා නොව ඒ උදෙසා කැරෙන ප්‍රතිපත්තිමය ව්‍යායාමයන් නිසා ය. ජීඑස්පී බදු සහනය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගනිමින් සිටින පියවර ඊට එක් නිදසුනක් පමණි.