සිංහල, Colombo, Human Rights, Media

බ්‍රිගේඩියර් ගේ බිරිඳ ඝාතනය කිරීම හා ඇගේ දරුවා

uvindu-arti-pic.jpg

උවිඳු කුරුකුලසූරීය

ඊයෙයි අදයි සිංහල පත්තර බැලුවම පේන දෙයක් තමයි ලංකාවේ මාධ්‍යවේදීන්ට ළමා අයිතිවාසිකම් හා මාධ්‍ය භාවිතාව පිළිබඳ පුළුල් දැනුමක් නෑ කියන එක.
මාකොළ දී බ්‍රිගේඩියර්වරයෙකුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ මහේස්ත්‍රාත් වාර්තාව ලංකාදීප ,දිවයින හා ලක්බිම පුවත් පත් වල පලවී තිබුණා. ඒ හැම වාර්තාවකටම අනුව පොලීසියෙන් පවසන්නේ මෙය මිනීමැරුමක් බවයි. මීනීමැරුමට සැකපිට තවමත් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ බ්‍රිගේඩියර්වරයා.
පෙරේදා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඒ අවස්ථාවේ නිවසේ සිටි බිරිඳගේ සහෝදරයාගෙනුයි, බ්‍රිගේඩියර්වරයාගේ 15 හැවිරිදි පුතා ගෙනුයි කට උත්තර අරන් තිබ්බා. මේ පත්තර ඔක්කොම අර කට උත්තර අකුරක් නෑර පලකරලා අර දරුවගේ නම,වයස ඔක්කොමත් එක්ක!

අද දිවයින පත්තරෙත් ඒවාගේම සිද්ධියක් වාර්තාවෙලා ‛‛ස්වාමි පුරුෂයාගේ ඝාතනයට සම්බන්ධ නඩුවට සාක්ෂි නොදෙන්නැයි දියණියට බලපෑම් කළ මව රක්ෂිතයට’’ කියලා ඒ වාර්තාවේ තියෙනවා. මේ මිනීමැරුම සිදුවෙලා තියෙන්නේ 2001දී. ඒදා ඒ දියණියගේ වයස අවුරුදු 13යි. අද 18යි. ඒ දියණියගෙත් නම ඔක්කොම දාලා.
මේවා ළමයි ගැන වාර්ථා කරන විට ළමයාගේ සුබසිද්ධිය පිළිබඳව ජනමාධ්‍ය තැකීමක් නොකරන බවට හොදම සාක්ෂි. මම මේ වැරද්ද මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එක්ක කතා කළාහම සමහරු කීවේ ප්‍රශ්ණයක් නෑ ළමය අපයෝනයකට ලක්වෙලා හරි ළමය වැරද්දක් හරි කරලා නැති නිසා කියලා. ඒ වගේම තවත් අය කීවා උසාවියේ කියන ඒවා ලීවාට ප්‍රශ්නයක් නෑ කියලා. වෙන නීති තිබ්බත් ළමයෙක් සාක්ෂි දීමක් ලියන්න බෑ කියලා ලංකාවේ නීතියේ නැති එක ඇත්ත. ඒත් ළමයාගේ සුභසිද්ධිය කියන ළමා අයිතිවාසිකම් පැත්තෙන් බරපතල වරදක් මෙතන තියෙනවා.
දියුනු මාධ්‍ය සම්ප්‍රදැයක් පවතින රටවල මාධ්‍ය ඇතුලෙම මෙවා තියෙනවා. උදාහරණයක් ලෙස BBC‍ ආයතනයේ මාර්ගෝපදේශ වල තියෙන්නෙ(www.bbc.co.uk/guidelines) වැඩිහිටියෙකුගේ නීති විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන විටදී පවා වැඩසටහන් නිෂ්පාදකයින් අපරාධකරුගේ ළමයින් සම්බන්ධ කර ගැනීම, පෙන්වීම හෝ අනන්‍යතාවය හෙලිකිරීම පිළිබඳව වැඩසටහන් නිෂ්පාදකයින් සිතා බැලිය යුතු බවයි. එසේ පෙන්වන්නේනම් එය ළමයාගේ පොදු සුභ සිද්ධියට හේතුවන බවට සංස්කාරක මණ්ඩලයේ සාධාරණීය කරණයක් අවශ්‍ය බවයි.