2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ.
මට තේරුම් යන අන්දමට නම් බොරුවට ශක්තිය අපතේ යැවීම යනුවෙන් ඔහු අදහස් කරන්නේ රටෙහි ප්රජාතන්ත්රවාදී සහ මානව හිමිකම් ගරුකැරෙන දේශපාලනයක් ද නීති රීතිද ඇති කර ගැනීමට විවිධ තලයන්හි විවිධාකාර ලෙස අප බොහෝ දෙනා දරන වෑයම්ය. නිර්මාල්ට අනුව අප දැන් එම ක්රියාකාරිත්වයන් නතර කර 2020 ගෝඨාභය රජ වනුතුරු බලා සිටිය යුතුය.
වඩා වැදගත් වන්නේ ගෝඨාභයට මුහුණ දීමට සූදානම් විය යුතුය ප්‍රකාශයයි. ඒ අනුව අප කළ යුතු කාර්යයන් ගණනාවකි.
පොද්දල ජයන්තට මෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තරම් කිහිළිකරු හෝ කැඩිය නොහැකි යකඩ කකුල් සූදනම් කර ගත යුතුය. ලසන්ත වික්රමතුංගට මෙන්, ක්ෂණයකින් ගවයන් මැරීමට යොදා ගන්නා විදිනයක් මගින් මරා දැමීමට නියමිත මාධ්‍යකරුවන්ගේ අවසන් කටයුතු සඳහා අවශ්‍ය මූලික වියදම් ලැහැස්ති කර ගත යුතුය. කීත් නොයර්ට මෙන් පැහැරගෙන වධහිංසා පැමුණුවහොත් සගයින්ට සොයා ගත හැකිවන පරිදි දුරකථනය සංක්‍රීයව තබා ගැනීමට ක්‍රම සකස් කර ගත යුතුය.
සිරස, සන්ඩේ ලීඩර්, උදයන්, සියත, ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍ය ආයතන ගිනි තැබීම් වලට මුහුණ දීමට වැලි, ගිනි නිවන උපකරන, වතුර බවුසර් සහ විකල්ප කාර්යාල සොයා තබා ගත යුතුය.
දෙහිවල සහ මට්ටක්කුලියේ තරුණ පිරිස් පැහැගෙන මරා දැමීම වැළැක්වීම පිනිස එම දරුවන් නිවෙස්වලින් පිටට නොයවා තබා ගැනීමට මාපියන් සූදානම් විය යුතුය.
උතුරු නැගෙනහිර වෙසෙන විවේචනාත්මක මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරි පිරිස් මරණයෙන් බේරීම සඳහා බිංගෙවල් තනා ගත යුතුය. නැත්නම් ආරක්ෂාව සඳහා රට යෑමට නොහැකි අය සිය කැමැත්තෙන් සිරගතවීමට සූදානම් විය යුතුය.
මීගමුවේ මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ නිවෙස් ඉදිරිපට හරක් ඔලු තැබෙනු ඇති බැවින් ඒවා වළ දමීමට වළවල් කපා ගත යුතුය.
ජනමාධ්‍යවේදීන්, වේදිනියන්ගේ සියළු දුරකථන ටැප් කැරෙනු ඇති බැවින් නූතන තාක්ෂනයන්ගෙන් ඉවත් වී පරණ ක්‍රම සොයා ගත යුතුය.
ඉහත දැක්වෙන්නේ මාධ්‍ය, එක් රුස්වීමේ සහ සංචරනයේ නිදහස සම්බන්ධයෙන් වර්ධනය කරගත යුතු ශක්‍යතා කිහිපයක් පමණි. අනෙක් අංශද මේ ගැන කල්පනා කිරීම වටී.
අපේ එකෙක්: අකීකරු ලේඛකයා
හේ තමා හදුන්වා ගත්තේ අකිකරු ලේඛකයා කියාය. ඔහු නමින් යමීන් රශීඩ් විය.
‘දිනපතා කුලප්පු!’ නමින් සමාජ දේශපාලන උපහාසාත්මක බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය 29 හැවිරිදි යමීන්, පසුගිය අප්‍රෙල් 25දින සිය නිවස ඉදිරිපිටදී පිහියෙන් ඇන ඝාතනය කරන ලදී. ඝාතකයා රහිසිගතය.
බාල වියෙහි සිට විසිවසරක් ඉන්දියාවෙහි ගත කල යමීන් 2009 වසරෙහි යළි මාලදිවයිනට ආවේ එරට පිබිදෙමින් තිබූ ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ මාධ්‍ය කොටස්කරුවකු වීමටය. තවත් බ්ලොග්කරුවකු වූ අහමඩ් රිල්වාන් මේ ගමනෙහි ඔහුගේ යහපත් වැඩිමහල් මිතුරා බවට පත්විය.
දෙදෙනාම මාල දිවයින් සමාජය මානුෂික සහ නූතන එකක් බවට පත්විය යුතු යැයි විශ්වාස කළෝය. ඒ වෙනුවෙන් කැප වූවෝය.
2014 අගෝස්තුවෙහිදී සිය නිවස ඉදිරිපිටදී පැහැර ගන්නා ලද මාධ්‍යවේදී අහමඩ් රිල්වාන් සදාකාලිකව අතුරුදහන් විය. අපේ අකීකරු ලේඛකයා, සිය සගයා වූ රිල්වාන් සෙවීමෙහි පෙරමුණ ගත්තේය. රිල්වාන් අතුරුදහන්වීම අරභයා ලියූ දිගු ලිපියක් යමීන් රශීඩ් අවසන් කළේ මෙසේය:
‘ඔහුගේ අතුරුදහන්වීම ගැන නොනැවත වෙහෙස නොබලා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියාකාරීව පිළිතුරු සොයන අනර්ඝ මිනිසුන් මට හමුවී තිබේ. ඔවුන් සමඟ වැඩ කිරීමත් කතා බව කිරීමත් රිල්වාන් නැතිවීමේ පාඩුවත්, පසුතැවිල්ලත්, කේන්තියත් සමනය කැරෙන මානසික ඔසුවකි.
නොදන්නා අයවළුන්ගේ කරුණාවෙන් මා සංවේදිත්වයටද පත්ව ඇත්තේමි. රිල්වාන් ගැන වූ දැවැන්ත ප්රචාරක පුවරුවක් ප්රවාහණය කිරීමෙන් පසු මුදල් ප්‍රතික්ෂේප කර ට්රක්රථ රියදුරු, සහාය හා උදව් දෙමින් සහ විරෝධයට එක්වූ දන්නේම නැති අය ඒ අතර වෙති.
එසේ නමුත් රිල්වාන් සෙවීම විසින්, සිය පුරවැසියනට මාලදිවයින් රජය දක්වන අවඥාව මෙන්ම අපේ සමාජය පුරා ඇති භයානක වෛරී ස්වභාවයද මට මුණ ගස්වා තිබේ.
රිල්වාන් කොතරම් දුලභ මිනිසකුද යන්න මට දැන් තේරුම් යයි. ඔහු යහපත් මාර්ගය දැන සිටි අතර අතරමං වූ සෙනඟට මඟ පෙන්වීමට තැත් දැරීය. ඔහු සෙවීම, මට ජාතියේ ආත්මය සොයා යෑමක් බවට පත්විය. මට රිල්වාන් සොයා ගත නොහැකි තරමටම ජාතියේ ආත්මයද සොයා ගැනීමට බැරිය.
ඔහු සෙවීම මම අත නොහරිමි. එහෙත් රිල්වාන්, මිතුරකු කෙරෙන් කියැවෙන පහත එන රුමීගේ සදාකාලික වචන අගයනු ඇති බවද මම දනිමි.
‘මන්ද මා සෙවිය යුත්තේ ?
මා ද ඔහු වැනිම වෙමි
ඔහුගේ සාරය මා තුලින් කියැවෙයි
ඔහුගේ සාරය මා තුලින් කියැවෙයි.’
– 2016 දෙසැම්බර් 12
දැන් සිය මිතුරු මාධ්යෙවේදියාගේ හඩ බවට පත් වූ යමීන් රශීඩ් ද අප අතර නැත. වචන වලට ඒ සා බලයක් කැවූ යමීන් රශීඩ් වෙනුවෙන් කවරකු විසින් රුමීගේ කව් පද මුමුණනු ඇත්ද?
නව ත්‍රස්ත විරෝධී පනත
ආණ්ඩුවේ නව ත්‍රස්ත විරෝධී පනත කොතරම් දුෂ්ඨ සහ නපුරු එකක් විය හැකිදැයි දැන් අපි දනිමු. එය කෙටියෙන් පොලීසියේ බලතල අපාලිතව ඉහල නංවන, ජනමාධ්‍යවේදය දඬකදේ ගැසිය හැකි, වධහිංසා පැමිණවීමට බලපත්‍ර දෙන, සැකකරුවන්ගේ අයිතින් වලපල්ලට යවන පනතකි.
එහෙත් මේ පනත් කෙටුම්පත ගැන ‘යහපාලන’ රජය බලයට ගෙන ඒමට සහ එය ආරක්ෂා කරන කොලඹ සිවිල් සමාජය තවමත් නිහඩය. ජනමාධ්‍ය සංවිධාන ද නිහඬය. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමින්ද නිහඬය. මෙම පනත දැනට පවත්නා අකාරයෙන් සම්මත වුවහොත් ජවිපෙ මෙන්ම අනෙක් නව වාමාංශික පිරිස්ද එහි ගොදුරු බවට පත් වීමට ඉඩ නැතිවා නොවේ.
මේ තාත් ඊට විරුද්ධත්වය දක්වා ඇත්තේ, මානව හිමිකම් ජනමාධ්‍යවේදීන්, වේදිනියන් හැරුණ විට දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ සිවිල් සමාජය පමණි.
ඉන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ මානව නිදහස රැක ගැනීමේ කේන්ද්‍රය දෙමළ සමාජය වෙත මාරුවෙමින් ඇති බවක්ද?
කපා කොටා මරනවා!
යුද හමුදාව මෙවරත් බෞද්ධයින් ජිවත් නොවන උතුරු නැගෙනහිර ජයටම වෙසක් උත්සව සැරසිළි කළෝය. බෞද්ධයින් ජිවත් නොවන කිළිනොච්චිය වැනි පෙදෙසක විශාල වෙසක් සැරසිළි කර තිබුණේද යුද හමුදාව විසිනි. යුද්ධය පෙර මෙවැනි උත්සව පැවැත්වුණේ නැත.
එළෙස හමුදා බලයෙන් දෙමළ ජනයා ජිවත්වන පෙදෙස්හි බෞද්ධ වෙසක් සැරසිළි කිරීම වැරද්දක් නොවේදැයි කියමින් මා විසින් යවන ලද ටීවීට් පණිවිඩයකින් උරණ වූ ‘බෞද්ධයකු’ ලංකාවට පැමිණිය හොත් ඊළඟ වෙසක් උත්සවයට පෙර මා කෑලි කෑලිවලට කපා මරා දමන බවට මුහුණු පොත හරහා පණිවිඩයක් එවුයේය. මේ පුද්ගලයා ව්‍යාජ නාමයක් නොවේ. ඔහු රත්නපුර පෙදෙසෙහි විවාහකව දරු සුරතල් බලමින් ජීවත්වන සැබෑ පුද්ගලයෙකි.
එවැනි ‘බෞද්ධයෝ’ ගණනාවක්ම ඊටත් වඩා කැත තර්ජන මුහණු පොතෙහි ලියා එවූහ. බොහෝ දෙනෛකුට අවශ්‍ය වූයේ මගේ මව සහ බිරිද ලිංගික වශයෙන් අතවරයට ලක්වනු දැකීමටය.
යුද්ධය, ආගම සහ පුරුෂ මූලික ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් කැරෙන විමසුමකට මේ මුහුණූ පොත්කරුවෝ ධන නිදානයකි.
එමෙන්ම ඒ බොහෝ දෙනා නිර්මාල් රංජිත්ගේ ඉහත කී අනාවැකිය අනුව බලයට ඒමට නියමිත ගෝඨාභය රාජපක්ෂ වන්දනා කරන අය වෙති.
එබැවින් අප ඊටත් සූදානම් වී සිටිය යුතු නොවේද?
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya