මුහුදු බත් නෞකාවෙන් ගිනි ගන්නා කොරියාව
සුනන්ද දේශප්‍රිය
චෞනන් නෞකා සිදුවීම තවමත් අවසන් නැත. මැයි මාසයේ අගදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද මුක්ත කලාපය හරහා සිය ප්‍රචාරයන් ගෙන යනු පිණිස වසර 06ක් නතර කර තිබූ ශබ්ද විකාශණ යන්ත්‍ර යළි සවි කළෝ ය. දකුණු කොරියාව එළෙස සවි කරන ලද අධිබල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය කළ එක් පුවතක් වූයේ දකුණු කොරියාවෙහි අධික ලෙස ආහාර පරිභෝජනය රෝගයක් ලෙස පැතිරෙමින් ඇති බවයි. එහි යටි අරුත මෙසේ ය:
“උතුරේ වැසියන් වන ඔබ දැවැන්ත සාගින්නකින් පෙළෙනමුත් දකුණේ අපේ ප්‍රශ්නය කෑම වැඩිකම ය”. ඊට ප්‍රතිචාර වශයෙන් උතුරෙන් විකාශණය කැරෙන්නේ එරට පාලනය කරන කිම් ජොං ඉල්ගේ ගුණ ගායනා ය. ශබ්ද විකාශණ යන්ත්‍රවලට අමතරව දකුණු කොරියාව දැවැන්ත ඩිජටල් පුවරු සවිකර ඒ මගින් ද සිය ප්‍රචාරය කර ගෙන යනු ලැබේ.
අද බෙදී ගොස් තිබුණ ද උතුරු සහ දකුණු කොරියාව යනු එකම ජාතියකි. ඉතිහාසීය වශයෙන් එකම රටකි. නමුත් එම රට දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹි සීතල යුද්ධය විසින් දේශපාලන ක්‍රම දෙකක් ද ආර්ථික ක්‍රම දෙකක් ද සහිත රටවල් දෙකක් බවට පත් කරන ලදී.
අද උතුරු කොරියාවේ හොඳම රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රයා චීනය යි. දකුණු කොරියාවේ හොඳම මිත්‍රයා ඇමෙරිකාව යි. 1952 දී කොරියානු යුද්ධය අවස්ථාවේ දී චීනය සහ ඇමෙරිකාව සිය මිතුරු රාජ්‍යයන් වෙනුවෙන් යුදබිමට ගියේ ය. චීන නායක මාඹ් සේතුංගේ පුත්‍රයා මිය ගියේ ද කොරියානු යුද බිමෙහි දී බව කියනු ලැබේ. චීනය උතුරු කොරියාව සළකන්නේ ඇමෙරිකාවේ සහාය ලබන දකුණු කොරියාවට සහ තම රට අතර ඇති මුර පොළක් සහ ආරක්ෂ කලාපයක් ලෙස ය. එබැවින් මේ අවස්ථාවේදී ද උතුරු කොරියාව වෙනුවෙන් පෙනී සිටින්නේ චීනය යි.
දකුණු කොරියාවට අයත් චෞනන් නම් ටොන් 1,200ක් බර නෞකාව, උතුරු කොරියාව විසින් නාවික භටයින් 46 දෙනෙකු මරා දමමින් ටෝරපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ බවට කැරෙන චෝදනාව දැන් අන්තර් ජාතික ආරවුලක් බවට පත්ව තිබේ. මෙම සිද්ධිය ඇති වූයේ මාර්තු 26 දා ය. මෙම ප්‍රහාරය පිළිබඳව කරන ලද අන්තර් ජාතික පරීක්ෂණයක් සිය නිගමනය වශයෙන් ඉදිරිපත් කළේ නෞකාව විනාශයට පත් වූයේ උතුරු කොරියනු කුඩා සබ්මැරීනයකින් විදින ලද ටෝර්පිඩෝවක් නිසා බව ය. මෙම සාම කාලයේ දෙරට අතර ඇතිවූ දරුණූතම යුද්ධමය සිදුවීම යි.
බර්ලින් තාප්පය බිදී 1990 දී නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක් රටක් බවට පත් වූව ද 2000 ගණන් මුල දී ඇරඹුනු කොරියනු එකාබද්ධතා සාකච්ඡා සැබෑ ප්‍රගතියක් අත්කර ගත්තේ නැත. එම සාකච්ජාවන්හි එක් ප්‍රතිඵලයක් වූයේ රටවල් දෙක එකිනෙකා ඉලක්ක කර ගනිමින් පවත්වා ගෙන ගිය ප්‍රචාරයන් නතර කර දැමීම යි. දැන් යළි ඇරඹී ඇත්තේ එම ප්‍රචාරයන් ය.
1910යේ දී ජපානය බලහත්කාරයෙන් කොරියාව සිය රටට ඈදා ගත්තා ය. දෙවන ලෝක යුද්ධ සමයේ දී කොරියාවේ උතුරු කලාපයන්හි කිම් ඉල් සුං විසින් නායකත්වය දෙන ලද කොම්යුනිස්ට්වාදී ගරිල්ලෝ ජපාන හමුදාවන් සමඟ සටන් වැද සිටියේ සමස්ත කොරියාවම නිදහස් කර ගැනීම පිණිස ය. එසේ නමුත් යුද්ධාවසානයේ දී ඇමෙරිකානු හමුදා කොරියාවේ දකුණු ප්‍රදේශයන්හි ද සෝවියට් රුසියනු හමුදා උතුරු ප්‍රදේශයන්හි ද ජපානය යටත් වීම සිය බාරයට ගත්තා ය. මේ සඳහා බෙදුම් රේඛාව ලෙස සළකන ලද්දේ 38වන සමාන්තර රේඛාවයි. අවසානයේ දී එම රේඛාව මහබලවතුන් විසින් කොරියාවේ බෙදුම් රේඛාව බවට පත් කරන ලදී. කිම් ඉල් සුං යටතේ උතරු කොරියාව සොවියට්වාදී ඒකාධිපති රාජ්‍යයක් බවට පත් වූ අතර දකුණු කොරියාව සිගමන් රී නම් ඇමෙරිකානු ගැත්තකු යටතේ දක්ෂිණාංශික ඒකාධිපති රාජ්‍යයක් බවට පත් විය. ඒ 1945 දී ය.
කොරියාව නිදහස් කරගැනීමේ පියවරක් ලෙස 1950 ජූනි 25 දා උතුරු කොරියාව සිය හමුදා දකුණු කොරියවට එරෙහිව මෙහෙයවූවා ය. කොරියන් යුද්ධය නමින් පසිදු වූ එම යුද්ධය අවසානයේ දී සීතල යුද්ධයේ ප්‍රථම යුදධය බවට පත් වූ අතර වීන සොලදාදුවන් දශ ලක්ෂයක් උතුරු කොරියාවේ සහාය පිණිස යැවීමට චීන කොමියුනිස්ට් නායක මාඕ සේතුං පියවර ගත්තා ය. 1953 දී යුද්ධය නතර වූයේ පටන්ගත් තැනිනි. 38වන බෙදුම් රේඛාව යළි දෙරට බෙදා වෙන් කැරෙන දේශ සීමාව බවට පත් විය. යුද්ධයෙන් ලක්ෂ 25ක් ජනතාවක් ජීවිතක්ෂයට පත් විය. එදා සිට මෙදා තෙක් උතුරු සහ දකුණු කොරියාව සිටින්නේ යුද තත්ත්වයක ය. මන්ද යත් දෙරට අතර සාම ගිවිසුමක් ඇති නොවූ නිසා ය.
1960 දී දකුණු කොරියාවේ ශිෂ්‍ය නැගිටීමක් මගින් ඇමෙරිකානු ගැති ඒකාධිපති සිග්මන් රී 1960 දී පෙරළා දැමුණි. නමුත් එතැන ගත්තේ හමුදා පාලකයකු වූ පක් ජුං හී ය. ඒකාධිපති පාලනයක් මගින් සීග්‍ර ආර්ථික වර්ධනයකට මඟ පෑදු පක් ජු හී 1979 දී ඝාතනය කෙරුණි. අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂන විසින් ගිනියම් කරන ලද දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත තෝරා ගත්තේ ය. එළෙස දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් කරා ගෙන යන ලද්දේ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂනයක කොටස්කරුවන් බවට පත් ආර්ථික වර්ධනය විසින් නිර්මාණය කරන ලද මධ්‍යම පංතික පිරිස් විසිනි.
උතුරු කොරියාවේ කතාව අසාර්ථක වූ විමුක්ති අරගලයක කතාවකි. ජපානය පරදවා ජය ලැබීමෙන් පසු එහි නායක කිම් ඉල් සුං ජාතියේ අසහාය වීරයා ලෙස පින්තාරු කරන ලදී. සියළු රට වැසියන්ගේ පියා ලෙස හදුන්වන ලද්දේ ඔහු ය. කිම් ඉල් සුං නායකත්වය දුන් කොරියානු කම්කරු පක්ෂය හැර අන් කිසිදු දේශපාලන පක්ෂයකට එරට අවසරයක් තිබුණේ නැත. බලයට පත් 1948 සිට 1994 දී මිය යනතුරුම පක්ෂයේ ද රටෙහිද නායකයා වූයේ කිම් ඉල් සුං ය. උතුරු කොරියානු ව්‍යවස්ථාවෙහි සදාකාලික ජනාධිපති ලෙස ඔහුගේ නම සඳහන්ව තිබේ. පක්ෂයේ අනෙක් නායකයින් පසුපසට පළවා හැරි කිම් ඉල් සුං සිය වැඩිමහල් පුත්‍රයා වූ කිම් ඉල් ජොං රටෙහි ඊළග නායකයා බවට මුල සිටම පත් කර තිබුණි. ඔහුගේ පවුලේ සියල්ළෝම සැළකෙන්නේ ජාතික වීරයින් ලෙස ය. කිම් ඉල් සුංගේ අවසාන කාලය වූ 1990 ගණන් වන විට උතුරු කොරියාව දැවැන්ත ආර්ථික අර්බූදයක ගිලී තිබුණි. සාගතය සහ විරැකියාව රටපුරා පැතිර තිබූ අතර රට ලෝකයෙන් හුදකලා වී තිබුණි. ආහාර අහේනිය නිසා එන්න එන්නම මිටිවන ජාතියක් බවට දැන් උතුරු කොරියානුවන් පත්ව තිබේ. එනමුත් ලෝකයේ උසම එනම් මීටර් 160ක් උස ජාතික කොඩි ගස තියෙන්නේ එරට ය.
චෞනන් නෞකාවට පහර දීමට තමන්ගේ සම්බන්ධයක් නැතැයි උතුරු කොරියාව කියයි. එය කියන්නේ නෞකාව ගිලා බැස්සවීම පිළිබඳ අන්තර් ජාතික වාර්තාව ද්‍රෝහීන් ගේ බොරු වාර්තාවක් බව යි. එපමණක් නොව දකුණු කොරියාව සමඟ වන සියළු සබඳතා එය අතහැර දමා කීවේ දකුණු කොරියනු නෞකාවන්ට වැරදීමකින් වන පහරදීම් ඉදිරියටත් සිදු විය හැකි බව යි.
උතුරු කොරියාවෙහි ජනයාට කෑම නැති මුත් රටෙහි න්‍යෂ්ඨික ආයුධ තිබේ. යුද්ධයක් ඇති වුවහොත් තමන් සිය න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන බව මෙයට පෙර කියා ඇතත් මේ අවස්ථාවේ දී එවැනි තර්ජනයක් තවම කෙරී නැත. යුද විශ්ලේෂකයන් පෙන්වා දේන්නේ යුද්ධයක් ඇති වුව හොත් දකණු කොරියාව ලෙහෙසියෙන්ම ජය ගනු ඇති බව යි. උතුරු කොරියාවෙහි දළ ජාතික ආදායමට වඩා මුදලක් දකුණු කොරියාව ආරක්ෂ වැය ලෙස වෙන් කරයි. එහි අවි ආයුධ නවීන ය. මාන්ස බලය සවිමත් ය. උතුරෙහි තවමත් ඇත්තේ පැරණි අවි ආයුධ බව පෙන්වා දෙන මෙම විශ්ලේෂකයින් කියන්නේ එහි මිනිස් බලය ද සැදී ඇත්තේ අර්ධ නිරාහාර මිනිසුන්ගෙන් බව යි.
ඒ කෙසේ වෙතත් චෞනන් නෞකා සිදුවීම දෙරට අතර ක්ෂණික යුද්ධයක් බවට පත්වනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂයෙන්ම දකුණු කොරියාවට අවශ්‍ය කරන්නේ වෙළදාම පිණිස සාමකාමී පරිසරයකි. චීනයේ සිතීම ද ඊට වඩා වෙනස් නැත. එනමුත් උතුරු කොරියාවට සපයන ආහාර අධාර නතර කිරීමට දකුණ දැනටමත් පියවර ගෙන තිබේ. ආර්ථික සම්බාධක මගින් උතුරේ පාලනය දුර්වල කිරීමට දකුණ වඩ වඩා උත්සාහ ගන්නවා ඇත.
එනමුත් ඉතා දරුණූ පාලනයක් ගෙන යන කිම් ඉල් ජොං දශක ගණනාවක් උතුර පාලනය කිරිමට ඇති ඉඩ වැඩි ය. කිම් ජොං ඉල් හැදින්වෙන්නේ ‛ආදරණීය නායකයා’ කියා ය. 2012 දී සිය පුත්‍රයා වන ජුං අන්ග් ඊළග නායකයා ලෙස නම් කරනු ඇතියි උතුරු කොරියානුවෝ විශ්වාස කරති. මන්ද යත් තාත්තාගෙන් පුතාට බලය දීමේ ක්‍රමය අවසානයක් නැතිව රාජවංශයක් සේ පවත්වා ගත හැකි නිසා ය.
දකුණු කොරියාව හමුදා ආණ්ඩු ගණනාවක් පසුකර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට ගමන් කළේ ය. ඊට පසුබිම සැපයුනේ ආර්ථික සංවර්ධනය සහ විවෘත ආර්ථික ක්‍රමය මගිනි. සදාකාලික පාලනයක් ගෙන යාමට නම් පවුල්වාදය පමණක් නොව ආර්ථික පාලනය ද එක ලෙසම අවශ්‍ය බව උතුරු කොරියනු උදාහරණය පෙන්වා දෙයි. චෞනන් නෞකාවට පහර දීම සහ ඒ උදෙසා ව්‍යාජ යුද තත්ත්වයක් නිරිමාණය කිරීම ද ඉල් සුං පරම්පරා පාලනයට වාසියකි. මන්ද යත් දකුණේ සතුරා පෙන්නුම් කර ටිකකකට හෝ බඩගින්න අමතක කරවීමට හැකි වන නිසා ය. එමෙන්ම දිගටම මරධනකාරී පාලනයක් සහ යුදමය තත්ත්වයක් පවත්වා ගැනීම සාධාරණ කළ හැකි නිසා ය. මෙමගින් සදාකාලික පාලනයක් සඳහා අවශ්‍ය තෙවැනි කොන්දේසිය අපට දැක ගත හැකි ය. එනම් සදාකාලික සතුරකු පවත්වා ගැනීමයි. මර්දන අණපනත් පවත්වා ගෙන නමින් විරුද්ධවාදීන් පාලනය කළ හැක්කේ එමගින් නිසා ය.
චෞනන් නෞකාව ගිලා බැස්වීම යට නොවන සිදුවීමක් වනනේ ඒ නිසා ය. එය යුද ගින්නක් ඇති නොකරනු ඇති නමුත් උතුරේ ජනයාගේ ඇස් වසන දුමක් ඇති කරනවා ඇත. එය ගින්නක් නොව ගින්නකි.