Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando
මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18 වන දින තෙක් සමුල ඝාතනය කළ සුවහසක් අහිංසක ජනයාගේ දෝංකාර දෙන සෝ තැවුල් සන්තාපයෙනි. එ් සුදු වැලිකතර රනින් බැබලෙන්නේ හිරු කිරනින් පමණක් නොව 2009 වර්ෂයේ මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවල මානුෂික මෙහෙයුම නම් අමානුෂික ලේ ගැලීම් වල ප්රතිවිපාකයෙනි.
මුල්ලිවෛක්කාල් සමූහ මිනී වලවල් අදටත් කටු කම්බි ගසා රජ්‍ය ආරක්ෂක මුරකාවල් යොදා සුරක්ෂිත කරනා සැටි දැක ගැනීමට නන්දිකඩාල් කලපුව පසු කරගෙන පුදුකුඩිඉරිප්පු බලා ගමන් කිරීම ප්රමාණවත්ය. අදටත් අක්කර සිය ගණනක් අත්පත් කරගෙන සිටින්නේ රාජ්‍ය ත්‍රස්ථවාදයේ තවමත් අවසන් නොවුණු ප්රචණ්ඩත්වයේ මුවාවෙන් මිස සංහිදියාවේ මුලාවෙන් නම් නොවේ. මුල්ලිවෛක්කාල් ජන සංහාරයේ අවශේෂ වූ නටබුන් බුල්ඩෝසර් කර, සාමූහිකව ඝාතනය කළ මළගිය ඥාතීන් සිහි කිරීමට තැනූ සෙහොන් කොත් සහ සුසාන භූමි වැලි කතරක සගවා ඇති සේය. එම නිසා අප එහි පා නගමින් කිරි දරුවන්ගේ දිරා ගිය ඇදුම්, කෙළි සෙල්ලම් කල දරුවන්ගේ පුංචි පාවහන්, අම්මාවරුන්ගේ ඉරී ගිය, සායම් ගිය සාරි, බෙලෙක් පිගන් කෝප්ප, පිලිස්සුනු ඇල්බමයන් සමග රේඩියෝ කැබලි එකතු කරගත් උතුරේ යුධ සංත්රාසයේ ස්මාරකයන් අභිබවා මරණ මිටියාවතේ සැරි සැරූ මිනිසුන් සහ ගැහැනුන්ගේ මතක සැමරුම සංකේතවත් කිරීමටය.
මෙම මැයි 17 දින සවස දැනට මුල්ලිවෛක්කාල් ජන සංහාරය සනිටුහන් කරන ස්මාරකය අවට අප පිරිසිදු කළේ ඒ ප්‍රදේශයේ පදිංචි වී සිටින ජනතාවගේ ක්‍රියාශීලී එකමුතුකමේ නාමයෙනි. වර්ෂිකව මැයි 18 දිනට මෙම ස්ථානයට එක් රොක්වන යුද්ධයෙන් ඝාතනයට ලක් වූවන් ගේ ඥාතීන් හඩා දොඩා වැලපෙන්නේ ස්මාරකයක්, සොහොන් කොතක්, නමක්, ගමක් කොටා නොමැති සුදු මැලි වූ වැලි කතරකය. ඕනෑම රටක, රාජ්‍යයක මිය ගිය මිනිසුන් සිහිපත් කරන්නට ගෞරවනීය බිම් අගලක් වත් ඇත.
එනමුත් මුල්ලිවෛක්කාල් ඛේදවාචකයට ගොදුරු වූ අසරණ දහස් සංඛ්‍යාත ජනතාවට අදටත් සොහොන් බිමක් නැත. වාර්ෂිකව ඔවුන් ඉටි පහනක් දල්වා මලින්, දුමින් පුදන්නේ වැලි කතරේ සිතින් මවාගත් සොහොන් කොතක් මතය. මෙවර 08 සැමරුමට වත් එලෙස නොවන්නට අප සංඛේතාත්මක ගෞවරනීය සොහොන් බිමක් නිර්මාණය කළෙමු. බිහිසුනු යුද්ධයෙන් ඝාතනය කළ දහස් සංඛ්‍යාත මිනිසුන් අතරින් නම් 250 පමණ එම ඥාතීන්ගෙන්ම සොයාගෙන නම, වාසගම, වයස සහ ඝාතනය කළ දිනය දමිළ භාෂාවෙන් කඵ ගල්වල කොටා මුල්ලිවෛක්කාල් ජන සංහාරයේ ස්මාරකය අවට එම කළු ගල් පුවරු තම ඥාතීන් අතින්ම මැයි 18 දින සැමරුම් මොාහොතේ ස්ථාන ගත කරන්නට සැලසුම් කළෙමු. ඒ සංධ්‍යාවේ රහස් පෙලීසියේ විපරම් අඩුවක් නැතිව අප වෙත යොමු වී තිබිණි.
හදිසියෙම 17 බදාදා සවස 06.30 ට පමණ අප වෙත පැමිණි දුරකථන ඇමතුමකින් අපට දන්වා සිටියේ පසු දිනට (මැයි 18) නියමිතව ඇති සැමරුම අරභයා මුලතිව් පොලිසිය විසින් අපට ලිපියක් බාරදීමට ඇති බැවින් එය භාරගන්නට පැමිණෙන මෙන්ය. රාත්‍රී 07.30 ට පමණ අප මුලතිව් නගරයට ගොස් පොලීසියේ නිලධාරීන් මුණ ගැසුණු කළ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ලිපියක් අපට භාරදුනි. එහි සදහන් වූයේ 2017 මැයි 18 දිනට මුල්ලිවෛක්කාල් ශාන්ත පෝල් කතෝලික පල්ලිය අසල භූමියේ සංවිධානය කර තිබූ සැමරුම අත්හිටුවා ඇත්තේ ජාතීන් අතර සමගිය බිද වැටීමට එය හේතු විය හැකි බැවිණි. එම ස්මාරකය අවට ඇති ප්‍රදේශයට ඇතුල්වීමට පවා අධිකරණ නියෝගයෙන් තහනම් කර තිබිණි.
මැයි 18 බ්‍රහස්පතින්දා උදෑසන අප එම ස්මාරකය ඇති ස්ථානයට ගියවිට මුලතිව් පොලීසියේ නිල ශබ්ද විකාශන සේවාව ගම වටා ප්‍රකාශ කළේ ‘‘අද දවසේ මෙම ස්ථානයේ පැවැත්වීමට නියමිත සැමරීම අධිකරණය විසින් අත්හිටුවා ඇති බවත් එම දේවස්ථාන භූමියේ කිසිදු පොදු ඒකරාශී වීමක් කිරීම සපුරා තහනම් බවත්ය. එසේ නීතිය කඩ කිරිම අත්අඩංගුවට ගැනීමට හේතුවිය හැකි බව ද දැනුම් දුනි”. එම අධිකරණ නියෝගය සහිත පත්‍රිකා එම ස්මාරකය පාමුලේ ද දේවස්ථාන ශාලාවේ දොරේ ද අලවා තිබුණි. එදින පෙ:ව 10.30 පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් පැමිණිල්ලක් ගොනු කළ හෙයින් එය විභාග කරණ ලදි. එම නඩු විභාගයේ කථා කළ මුලතිව් පොලිස් නිළධාරියාගේ ප්‍රකාශයට අනුව එදින රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන සියඵ සැමරුම් උත්සව සදහා තමන් උපරිම සහයෝගය දැක්වූ බවත් මෙම තහනමට හේතුව මුල්ලිවෛක්කාල් ස්මාරකය වටා ස්ථාන ගත කරන්නට යන ඝාතනය වූවන්ගේ නම් පුවරු බවත් එහි වයස අවුරුදු 04 සිට වයස 84 දක්වා වූ ඝාතනයට ලක් වූවන් අතර බහුතරයක් තරුණ පිරිස් හෙයින් ඒ නම් අතර ත්‍රස්ථවාදීන්ගේ නම් තිබිය හැකි නිසා ඒ බව විමර්ශනයක් කිරීමට කාලය ලබා ගැනීමට මෙම අත්හිටුවීම කල බව කියා සිටියේය. එසේම පසුගිය වර්ෂයේ සිට එම ස්ථානයේ තබා ඇති යුධ බියෙන් අනාථ වූ පවුලක් සංඛේතවත් කරන ස්මාරකය සංහිදියාවට තර්ජනයක් විය හැකි බව ද කරුණු දැක්වීය.
දීර්ඝ විභාගයකට පසු අවසානයේ තීරණය වූයේ එම සැමරුම දේවස්ථාන භූමියේ කිරීමට අවසර ඇතත් ස්මාරකය අවට එම නම් කොටා ඇති ගල් පුවරු තැන්පත් කිරීම තහනම් බවත් ය. ඉක්බිති එදින සවස 03 පමණ එම දේවස්ථාන භූමියට ඒකරාශී වූ 500 අධික ජනතාවක් ආගම් ජාති භේදයකින් තොරව දේවස්ථානය අභියස 08 වරටත් සංකේතාත්මකව තනාගත් වැලි සොහොන් කොත් මත හැඩූ කදුලින් ඉටි පහන්, දුම්, මල් පූජා කරමින් දුක් අදෝනා මැද ගිලී වැලපිණි. ස්මාරකය තනා ඇති තහනම් අඩවියට පය නොගැසූ දුක්බර පීඩිත ජනතාව සමග අපිදු එක් වී නම් කොටා ඇති කළු ගල් පුවරු එම දේවස්ථානය අභියස ස්ථාන ගත කරමින් ‘යුධ විරුවන්ට‘ නොව ‘යුධ අනාථයන්ට‘ ශක්තියක් දිරියක් වුණි.
සිංහල අධිපතිවාදී මානසික වියරුවෙන් නිරීක්ෂණය කරන කළ කළු ගල් පුවරු වල ඇති ජනයාගේ නම් ත්‍රස්ථවාදී නම් ලෙස අර්ථකථනය කළ හැකිය. යුධ අනාථ භාවයට පත් වුනු පවුල සංඛේත කරණ ස්මාරකය පවා සිංහල අන්තවාදී ඊනියා සංහිදියාවට තර්ජනයක් සේ දැක ගත හැකිය. එසේ නම් දෙමළ ජනතාවට ද උතුරේ ත් දකුණේ ත් තොග වශයෙන් ඉදිකර ඇති යුධ වික්‍රමාන්විත ස්මාරකයන් තමන්ගේ මානසික සහනයට තර්ජනයක් ලෙස සලකා විරෝධය ප්‍රකාශ කිරීමට සාධාරණ අයිතියක් ඇත.
ජීවන්ත පීරිස් පියතුමා | Fr. Jeewantha Pieris