Image Credit: Asian Correspondent
රට පුරා ඇති වී තිබෙන ආපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මිය ගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය නොව ආරම්භයයි.
මිට වසර කිහිපයකට පෙර මීරියබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය. එය කරුමයක්, දෙවියන්ගේ කැමැත්ත ,හෝ දේශගුණික විපර්යාස නිසා සිදු නොවූ බව පසුකාලීනව සාක්ෂි සහිතව අප අනාවරණය කරන ලදී. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදු වන විනාශයේ ප්‍රතිඵල බව එය හොඳින්ම අනාවරණය විය.
නමුත් මෙම ආපදා තත්වය දේශගුණික විපර්යාසවල ප්‍රතිපලයක් ලෙස් වගකිවයුත්තෝ පෙන්වා දෙන්නට උත්සහ දැරීය. දේශගුණික විපර්යාස යනු දෙවියන් වහන්සේ වැනිය. වගකීමි බාර ගැනීමට හෝ අවබෝධ කර ගැනීමට බැරී විට දෙවියන් පිටින් පටවති.
දෙවියන් තක්කඩියන්ගේ නිර්මාණයකි දේශගුණික විපර්යාස යනු ලෝකයේ තක්කඩිකම් වසා ගැනිමට ගෙනා පරිසර සංහාරය සාධාරණීකරණය කරන වගකීමි බාර නො ගන්නා දෙවියන් වැනි තක්කඩියෙකි.
මේ වන විට සිදු වන ගංවතුර හා නාය යෑම් ආපදා සියල්ල දේශගුණික විපර්යාස මල්ලට දමා අත පිහ ගැනීමට පාලකයෝ සමත්ව ඇත.
නමුත් මෙම තත්වය අප රටේ සංවර්ධනය කියා කරන දැවැන්ත පරිසර සංහාරයේ එක් ප්රතිඵලයකි. විපතක් සිදු වන තුරු අපේ රටේ මිනිසුන්ට පරිසරය මතක් වෙන්නේ නැත. පාලකයන්ට උවමනා ලෙස සොබාදහම වැනසීමට ඉඩ දී ඔවුහු බලා සිටිති.
අප රට තුල ඇති ගංගා නිම්න 103 අද වන විට මේ දැවැන්ත සංවර්ධනයට හසු වී විනාශ වී යමින් ඇත. සෑම ගංගාවකම ගංවතුර පාලනයට ස්වභාවික නිර්මාණය වූ පොකුණු හා වැඩි වතුර උරා ගන්නා බිම් ඇත. බොහෝ ගංගා වල එම ප්‍රදේශ නිවාස හා සංවර්ධන ව්‍යාපෘති වලට යොදවා ගෙන ඇත. වතුර ගැලීමට ඇති තැන් ගොඩ කර නගර නිවාස නිර්මාණය කිරීම තුලින් සිදුවන ප්‍රතිඵලය වන්නේ ජලය පෙර පරිදිම බැස යන අතර එහි තැනු නගර, හෝ ඉදි කල මාර්ග හෝ වතුරට යටවීමයි. එය දේශගුණික විපර්යාස හෝ වෙන කිසිවක් නොව සාමුහික ගොන් කමක ප්රතිඵලයකි.
කැළණි ගඟ අවට දැනට වගුරු බිමි සියල්ල විනාශ කර දමා ඇත. මුතුරාජවෙල ජලය මුහුදට ගලන බිම අක්කර දහස් ගණනක් ගොඩ කර විශාල බැම්මක් ලෙස අධි වේගී මාර්ගය තනා ඇත. අද වන විට කොළඔ ගංවතුර තර්ජනයට මෙය ප්‍රධාන හේතුවයි. ලෝක බැංකුවේ අවශ්‍යතාවය මත කොමිස් ගසා කමින් ලොව කිසිම රටක නොකරන ලෙස ලංකාවෙි අධිවෙිගී මාර්ග තනති. අඩුම තරමේ ඉන්දියාවේ පවා සංවේදි පරිසර පද්ධති අසලින් අධිවේගී මාර්ග නිර්මාණය කරන විට එය කණු උඩ තනා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ඔවුහු කටයුතු කළහ . නමුත් මුතුරාජවෙල හරහාත් අනික් අධීවෙිගී මාර්ග ඉදිකිරීමේ දීත් එය සිදු කලේ විශාල පරිසර විනාශයක් කරමින් කිලෝමිටරයකට වැලි හා පස් ඝන මිටර් 240,000 ජලය ගලා යන බිම හරහා ගොඩ ගැසීමෙනි. ජලය ගැලීමට ඇති බිම් මෙලෙස හරස් කර විට රටෙි මධ්‍යයේ වතුර පිරීම නිවාස ජලයට යට වි ජීවිත නැති වීම වැළක්විය හැකිද?
එම අධී වේගී මාර්ගයම මාතරට යන තෙක් මුහුදට ගලා යන ජලය මහා බැම්මකින් වැලකුවා සේ මුහුදට යා නොදී වලකා ඇත. එයින් ද නොනැවතී රට වටේ අධි වේගී මාර්ගයක් දැන් ඉදි කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ගංගා 103 ගලන ජලය බැම්මකින් ආවරණය කළා සේ රට මධ්‍යයේ වැසි කාලයට වතුර පිරී ගංවතුර තත්වය ඇති වීමයි. කඩුවෙල, ජා ඇල වැනි ප්‍රදේශ අධ්‍යනය කිරිමේ දි මෙය වඩා පැහැදිලි වනු ඇත.
මෙම සිදු වන නාය යෑම් ස්වාභාවිකව සිදු වන ඒවා නොව මහා සංවර්ධනයේ නියත ප්රතිඵලයකි. ජල උල්පත් රාශියක් රඳවා ගෙන සිටින මධ්‍යම කඳුකරය හා අවශේෂ කඳු පන්ති ජල ගබඩාවක් සේ ක්‍රියා කරයි. අවශ්‍ය තරම් ජලය රඳවා ගෙන උල්පත් මගින් අනෙක් ජලය ගංගා ඇළ දොළ වලටමුදා හරිනු ලබයි. එලෙස මුදා හරින ජලය නිසි සේ ගලා යාම වැලැක් වූ විට ජල ගබඩා තුළ පස් දිය විම සහ ලිහිල් වීම ආරම්භ වන අතර පස් අංශු අතර තද බැදීමි ලිහිල් වී මහා කඳු නාය යෑම සිදුවේ ( Debris). එය දේශගුණික විපර්යාස නිසා සිදුවන දෙයක් නොව ජලය ගලන මාර්ග කොන්ක්‍රීට් කිරීම, ඒවාට බාධා කිරීම නිසා ඇතිවන ප්‍රතිපලයයි.
මධ්‍යම කඳුකරය තුල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම වනාන්තර විනාශය හා උමං හැරීම මගින් කඳුකරයේ මවු පාෂාණ හා මතුපිට පාෂාණ අතර ඇති සමිබන්ධතාවය බිඳ දැමීමට අවශ්‍ය විනාශය කරනු ලබයි .එය අරණායක, මිරියබැද්ද, නිකලෝය කඳු නාය යෑමෙන් අවසාන නොවේ. මෙම රජයන් කරන මහා විනාශය මෙලෙස සිදු වුව හොත් සෑම වසරකම මෙවන් සිදු වීම සිදු වන බව විද්‍යාත්මක සත්‍යයකි.
එය තවදුරටත් වර්ධනය කරමින් මේ වන විට සංවර්ධනයේ මායාව පෙන්නමින් මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර-කොළඹ අධිවේගී මාර්ගය, මන්නාරම-හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට-අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදි වෙන අතර එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියනු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධිවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදි වෙන අතර ඉදිකිරීමට නියමිත මාර්ග වල දිග කි.මි 11697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදි වෙන්නේ වැලි හා පස් ගොඩ කර කොට්ටාව – පින්නදූව අධිවේගී මාර්ගය ඉදි වූ පරිද්දෙනි.
මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදි වෙන අතර එය ද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම් ගේ පාලම ඔස්සේ සම්බන්ධ කරනු ලබන අතර මෙම සෑම මාර්ගයකම ගමන් කිරීම සඳහා අධික මිල ගණන් අය කරනු ලබයි.
2030 ලංකාව පාරිසරික හෝටල් සහිත සංචාරක කලාප , මුහුදු ආශ්රිත සංචාරක කලාප, වෙරළ ආශ්රිත සංචාරක කලාප, පාරිසරික බිම් පදනම් කර ගත් සංචාරක කලාප ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරිමට බලාපොරොත්තු වන අතර හලාවත සිට උතුරට හා දකුණටත්, අනුරාධපුර, පොළොන්නරුව වැනි ඓතිහාසික නගරත් බිබිල, නිල්ගල වැනි වන බිම් ආශ්රිවත් හා අනෙකුත් වනාන්තර ප්‍රදේශත් හෝටල් ඉදිකිරීමට හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යොදා ගනු ලබයි.
2030 වන විට ලංකාව ගුවන් මධ්‍යස්ථානයක් කිරීමට චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, වැනි රටවල් වලට අවශ්‍ය වී ඇති අතර ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පුළුල් කිරීම කරනු ලබයි. මත්තල හා හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටී.
පලාලි, ත්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව, කළුතර, අම්පාර, වව්නියා, අනුරාධපුර, ගාල්ල, රත්මලාන, යන ගුවන් තොටුපොළවල් වැඩි දියුණු කරන අතර 2013 වසරේ සිට මහනුවර, නුවරඑළිය, දඹුල්ල, යන ස්ථානවල අලූතින් ගුවන් තොටුපොළවල් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2030 අවසාන වන විට ලංකාවේ මුළු ගුවන්තොටුපොළවල් සංඛ්‍යාව 19කි.
එමෙන්ම ජාතික භෞතික සැලසුමට අනුව අනුරාධපුර, උතුරේ ප්‍රදේශ කිහිපයක්, මොනරාගල ප්‍රදේශ කිහිපයක්, පළතුරු, එළවළු, රට කජු, උක්, ෆාම් ඔයිල්, හා විකිණිය හැකි දැව ඇතුළු වෙළඳ පොළට අවශ්‍ය බෝග වගා කිරීම සඳහා යොදා ගනු ලබයි. එමෙන්ම ලංකාව පුරා ආයෝජකයින්ට තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ඉඩ දෙනු ලබයි. මන්නාරම හා ප්‍රධාන ගොවි බිම් මුල් කර ගනිමින් ලංකාව පුරා මහ නගර කලාප, විශේෂ නගර, දිස්ත්‍රික් අගනගර ලෙස නගර නිර්මාණය කරන අතර මේවා ගොවිතැන මුල් කර ගත් නගර නොව කාර්මික නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප, සහිත වාණිජ ප්‍රදේශයන්. ගම්පහ සිට කළුතර දක්වාත්, මාතර , හම්බන්තොට, තණමල්විල අතර ප්‍රදේශයන් මහා නගර කලාප වන අතර අම්පාරේ සිට මඩකලපුව දක්වා නැගෙනහිර මහා නගර කලාපයත්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර, ප්‍රදේශය උතුරු මැද මහානගර කලාපය ලෙසත් , මන්නාරම කිලිනොච්චි සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහත කී පරිදි සංශෝධනය කරනු ලබයි.
නගර කලාප තුළ පදිංචි කරනු ලබන ජනගහණය
01 බස්නාහිර මහ නගර කලාපය 3.5 මිලියන
02 දකුණු මහ නගර කලාපය 1 මිලියන
03 ගාල්ල මහ නගර කලාපය 1 මිලියන
04 නැගෙනහිර මහ නගර කලාපය 1 මිලියන
05 උතුරුමැද මහ නගර කලාපය 4 මිලියන
06 යාපනය මහ නගර කලාපය 1 මිලියන
මෙහිදී ඉතා ඉක්මනින් ස්වභාවික ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල සිටින ජනතාව ස්වේච්ඡාවෙන් ඉහත කී නගර කලාප වෙතට සංක්‍රමණය විය යුතු බව මෙහි සඳහන්ව ඇත.
මෙයට අමතරව ලංකාව වටා මුහුදු තීරයේ ඛනිජ ද්‍රව්‍ය හෑරීම ද, නොයෙක් ආකාරයේ ජල විදුලි බලාගාර, තාප බලාගාර, න්‍යෂ්ටික බලාගාර ද ලංකාව වටා මුහුදු තීරයේ ධීවර වරායවල් සංඛ්‍යාව හතලිහක් දක්වා පුළුල් කරමින් විවිධ වර්ගයේ ධීවර බෝට්ටු 40000ක් දක්වා වැඩිකිරිමට බලාපොරොත්තු වන අතර මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා ෆයිබර් විද්‍යුත් සන්නිවේදන ජාලයක් ලාහුගල, යාල, උඩවලව, ජාතික වනෝද්‍යානයන් හරහා ස්ථාපිත කරනු ලබයි.
ගංවතුර පමණක් නොව නියන් ආපදා ඇතුළු වෙනත් මහා විපත් වලින් මිනිසුන්ගේ හෝ සොබාදහමේ විනාශය වළක්වා ලිය හැකිද? මළ තැන දී පමණක් හඬ අවදි කර පලක් නැත. ගංවතුර බැස ගියා සේ තව ටික දිනකින් සියල්ල අවසන් වී යාවි යැයි පාලකයන් තමන්ට වුවමනා ලෙස සොබාදහම වනසමින් කොමිස් සංවර්ධනය සිදු කරන විට ජනතාව වෙනදා මෙන් නිර්වින්දනය වි ඉදීවි. මෙම විනාශය පරාජය කිරීමට ජනතාව මැදිහත් නොවන තාක් කල් ගහකොළ සතා සිපාවා හා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවිමට සිදු වනු ඇත.
රවීන්ද්‍ර කාරියවසම්
පූජ්‍ය වෑකඳවල රාහුල හිමි
පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය