ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස 1,800 ක් විනාශ වී ඇති අතර 442,000 ජලගැලීම් හේතුවෙන් විනිදිතයන් වී තිබේ (https://www.nytimes.com/2017/05/28/world/asia/sri-lanka-floods-mudslides.html?_r=0). මෙකි වින්දිතයන් දුකින් මුදවා ගැනීම සදහා, පරිපාලන රතු පටිපාටියේන් වියුක්තව, කටයුතු කරණලෙස , මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිලධාරින්ට පසුගියදා කළුතර පැවති සාකච්ඡාවේදී දැනුම් දෙන ලදී. මාධ්‍ය අනුන්ගෙන් එකතුකරණ ලද ආධාර, බෝසත් පාරමිතාව පිරීමක් ලෙස අර්ථකතනය කරණයකර ජලගැලිමේ වින්දිතයන් වෙත බෙදා දීමේ ක්‍රියාන්විතයක් ද අරඹා ඇත.
ශ්‍රී ලංක පුරවැසියන් පසුගිය අවධිය තුල, ස්වාභාවික මෙන්ම මිනිසා විසින් සිදු කරණ ලද ව්‍යවසන වෙත ගොදුරු විය. ස්වාභාවික මෙන්ම මිනිසා ගේ මුලිකත්වයෙන් වූ ව්‍යවසනයන්, දේශපාලකයින් වෙත ‘මුල්‍ය සහ සමාජ ප්‍රාග්ධනය’උපයන මාර්ග වී ඇත. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම, මිනිසා විසින් දෙමළාට විරුධව කරණ ලද යුද්ධය මානුෂිය මෙහෙයුමක් ලෙස සාධාරණිකරණය කරනු ලබන අතර, එකී ක්‍රියාදාමය විවේචන කරනු ලැබුවන් ‘දේශ සහ ජාති ද්‍රෝහීන්’ ලෙස හදුන්වා දෙනු ලැබුණි. එකී යුද්ධයෙන් පිඩාවට ලක් වූ ජනයා, යුක්තිය උදෙසා අදටත් අවිහින්සාවාදිව විරෝධය දක්වා සිටි. උතුරේ මව්වරු අතුරුදහන් කරණ ලද තම දරුවන් සොයා ‘සාමකාමී’ උපවාසයකයෙදී අදවන විට දින 100ක් ගත වී ඇත.
සන්ඝපුල්ලෙයි රදන්: උපත: 1991.5. 26අතුර්දහන් වීම: 2009.02.12
සන්ඝපුල්ලෙයි රදන් ගේ මව විසින් , හමුදාවෙන් ලබාදුන් උපදෙස් මත, ඔහුව ඕමන්තෙයි මුරපොළ වෙත 2009.02.12 වැනි දින බාරදුන්පසු අද වනතුරුම තොරතුරක් නොමැතිව සිටි. රදන්ගේ මව වව්නියාවේ උපවාසයක යෙදෙමින් ඉල්ලා සිටින්නේ, රදන්ට ‘මොකද වුනේ’ කියන ගැටලුවට නිශ්චිත පිළිතුරකි. බහුතර දේශපාලකයන්ට සහ ප්‍රචණ්ඩත්වය ශක්තිය විය යුතු යැයි අදහන කණ්ඩායම් සදහා, යුද්ධය මුල්‍ය සහ සමාජ ප්‍රාග්ධනය සපයන මාර්ගයක් වුවද එහි වින්දිතයන්ට එය තම ජීවිතය ජිවත් කිරීම සම්බන්ද ගැටලුවකි. දේශපාලන ආයතන වෙත රදන් යනු තවත් එක් ජන්දයක් හිමි පුද්ගලයෙක් විය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සිවිල් කණ්ඩායම්වලට අනුව රදන් යනු තවත් එක් අතුරුදහන් වූ අයෙක් විය හැකිය. එහෙත් රදන්ගේ මවට අනුව,තම කුසේ හොවාගෙන, අනන්ත දුක් දොම්නස් මැද, අඩුනොකඩා, තමන් බඩසායෙන් පෙළෙමින්, පෝෂණ කර කරදඩු උස් මහත් කළ ඇයගේ ස්නේහවන්ත බාල පුතාවේ. රදන්, O/L විශිෂ්ටව සමත් ව ඇති අතර, ඔහුගේ 26 වැනි ජන්ම දිනය මැයි 26 වැනි දිනට යෙදී තිබුණි. ඔහු අතුරුදහන් වුයේ කෙසේද? අතුරුදහන් කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන ප්‍රශ්න, මවක්, තමට දරුවා පිළිබද දැනගැනීම සදහා වන ප්‍රශ්න කිරීමක් මිස, දෙමළ ඩයස්පෝරාවේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නොවේ.
යුද්ධය, හමුදා ක්‍රියාමාර්ගයකින් අවසන් කිරීම සාධාරණීකරණ කරනු ලබන කණ්ඩායම් හි, එක් ප්‍රධාන තර්කයක් නම්, 2009 න් පසු ‘ජන ජීවිතය ස්ථාවර සහ නිශ්චිත ආරක්ෂාවක් වෙත වූ’ බවට පිළිගැනීමය. එසේනම් , අද වනවිට ජනතාව අතුරුදහන් විය නොහැකිය; ජනතාව අවතැන් විය නොහැකිය. තමා ජිවිත කාලය පුරාම උපයාගත් දෑ, කෙටි කාලයක් තුල අතහැර දමා, ආරක්‍ෂිත ස්ථාන වෙත දිව යා යුතු නැත. මන්දයත්, උතුරේ කොටි මාරා දැමූ පසු, දකුණේ ජන ජීවිතය ස්ථාවර සහ නිශ්චිත විය යුතු බැවිණි. එහෙත් එය එසේ නොවේ. වාර්ෂික ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන්, දකුණේ ජිවිත අස්ථාවර වී ඇත. යුද්ධයේදී කොටි සහ හමුදා ශ්‍රමිකයන්ගේ මිය යාම, අය ගනන් අනුව සසදා ජය- පාරාජය තීරණය කල ආකාරයටම, ස්භාවික විපත් හේතුවෙන් මිය යන්නන් ගේ ප්‍රමාණාත්මක බව අනුව දකුණ ව්‍යවසනයේ වැදගත් බව තීරණය කර ඇත. ස්වාභාවික ව්‍යවසන හේතුවෙන් ජනතාව අතුරුදහන් වී ඇත. එනයින්ම, අතුරුදහන් වීම ‘සාමාන්‍ය කරණය’ වී තිබේ. උතුරේ අතුරුදහන් වීම නොතකා හැරී දකුණට, ස්භාවික තත්වයන් මත වන අතුරුදහන් වන පුද්ගලයන් පිළිබද හඬ නැගීමට තමවත් හැකියාවක් නොවීම ප්‍රශ්න කළ යුතුය.
අතුරුදහන් වීම පමණක් නොව, නිවාස සහ දේපළ අයිතිය රැකගැනීම සදහා වන බලපෑම් පිළිබද දැඩි අවධානයක් යොමුකළ යුතුය. ජල ගැලීම්, නාය යාම් සහ මල්ටි බැරල් ගැසීම මගින් විනාශ වන්නේ, ජිවිත කාලය පුරාම, තමන්ගේ ශ්‍රමයට වූ ගෙවීමක් මගින් ගොඩ නගාගත් නිවාස වේ. උප්පැන්න සහතිකේ සිට වන වෙනත් සියලුම ලේඛන, පොත් පත්, මතක, සියල්ල එකී නිවාස තුල වේ. එකී නිවාස වෙත, බෝම්බ වැටෙන විට, ජීවිතය බේරාගැනීමට, උතුරේ ජනයා දිවගිය ඉතිහාසයක් මෙරටට හිමිය. එලෙස බෝම්බ දැමීම, ‘හමුදා ශ්‍රමිකයාගේ’, වීරත්වය ලෙස නිර්වචනය කළ දකුණක් වේ. එකී දකුණ අද, තමාගේ නිවෙස් ස්වාභාවික විපතින් විනාශ වනවිට, හඬ නගා වැලපී, ආණ්ඩුව තමා රැකිම නොසලකා හැර ඇති බවට චෝදනා කරයි. උතුරේ වැසියන් තමාගේ ඉඩම්, හමුදා බලහත්කාරයෙන් රදවාගැනීමෙන් මුදා ගැනීමට සාමකාමිව විරෝධය පෑම, නොසලකා හරින දකුණ, අවධානම් කලාපයන් හි වුවත් රැදෙමින්, ආණ්ඩුවේ ඉවත්කිරීමේ නියෝග ප්‍රතික්ෂේප කරනු ලබන්නේ, ඔවුන්ටද දෙමළාට මෙන්ම ‘තමාගේ ඉඩම’ වැදගත් වන හෙයිනි.
පසුගිය දශකයට සාපේක්ෂව, අද වනවිට, ගෝලීය අවකාශය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ද පාරිසරික තත්වයන්ගේ සීග්‍ර වෙනස් වීම් දැක ගත හැකිය. වෙනත් රාජ්‍යන් මෙන් ශ්‍රී ලංකාව තුල දීර්ඝකාලීන සහ තිරසාර ප්‍රතිපත්ති ස්වාභාවික අර්බුධකාරී තත්වයන් ආමන්ත්‍රණය සදහා නොවේ. මාගේ අනුභුතියන්ට අනුව, ශ්‍රී ලංකාව තුල ස්වාභාවික ආපදාහි බලපෑම් කළමනාකරණය සදහා විවිධ කෝණයන්ගෙන් සාකච්ඡා කළ සාහිත්‍යක් වේ. එකී සහිත්‍ය, සෑම වසරකම විශ්ව විද්‍යාල නිබන්ධන ලෙස වන දැනුම නිෂ්පාදනයේ ප්‍රතිපලයකි. විවිධ නිබන්ධන හි, විවිධ ප්‍රදේශයන්, ප්‍රත්‍යක අධ්‍යන ලෙස යොදා ගනිමින් වන න්‍යාය සහ අනුභාවික දත්ත සංකලන වාදී සකච්ඡා කිසිදු ප්‍රතිපත්ති සම්පාදකයෙකු ගේ හෝ ක්‍රියාත්මක කරන්නෙකුගේ අවධානයට ලක් නොවී, විශ්ව විද්‍යාල පුස්තකාල හි ගොඩගසා පසුව පුලුස්සා දමයි. විශ්ව විද්‍යාල සිසුන්ගේ නිබන්ධන සහ සමාවන, කොමිසන් වාර්තා ද කොහේ හෝ ගොඩගසා තිබී, පසුව විනාශ කර දමනු ඇත. එවනි රටක, පුරවැසියන් අතුරුදහන් වීම තවදුරටත් සාමාන්‍ය වනු ඇත.
දෙරණ මාධ්‍යට අනුව නම්, ස්වාභාවික අපදාවෙන් ජනයා බේරාගැනීමේ ක්‍රියාන්විතයේ මුලිකත්වය, හමුදා ශ්‍රමිකයන් විසින් සිදුකර තිබේ. ඒ අනුව දෙරණ සහ තවත් බොහෝ මාධ්‍ය මගින් උත්සහ කරනුයේ, හමුදාව උත්කර්ෂයට නැන්විමය. මෙම තත්වයම, 2009 දී ද මෙරට මාධ්‍ය මගින් සිදු කරණ ලදී. එනම්, දෙමල ජනයා වෙල්ලමුල්ලිවයික්කාල් හිදී, අවතැන්ව, තම ආදරණීයයන් අහිමිව වේදනා විදින විට, හමුදා ශ්‍රමිකයන්ගේ ක්‍රියාකාරකම් උත්කර්ෂණය කර, දැකිය යුතු යථාකාරී බව පාට කන්ණාඩියකින් දකුණට පෙන්වා දීමය. හමුදාව යනු ජනතා බදු මුදලින් නඩත්තුවන ආයතනකි. එයත්, අනෙක් රාජ්‍ය ආයතන හා සම වේ. එහිදී, හමුදා ශ්‍රමිකයන්, අපාදා අවස්ථා වන් හිදී ක්‍රියා කිරීම විවිධ පුහුණු මගින් දැනුවත් කර තිබේ. එකී පුහුණු හේතුවෙන්, හමුදා ශ්‍රමිකයන්, අනෙක් රාජ්‍ය ශ්‍රමිකයන්ට වඩා වෙනස් ව ක්‍රියා කල ද, හමුදා ශ්‍රමිකයන් අන් රාජ්‍ය ශ්‍රමිකයන් අහිබවා උත්තරීතර නොවේ.
අවසාන වශයෙන් කිවහැක්කේ, උතුරේ මෙන්ම දකුණේ වැසියන් ද ව්‍යසන හේතුවෙන් අවිනිශ්චිත ජනජීවිතයක් ගෙවමින් සිටි. උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාව අතුරුදහන් විය. අද, දකුණේදී එය ස්වාභාවික ව්‍යවසන හේතුවෙන් සිදුවේ. එවැනි පොදු තත්වයන් යටතේ සිට, අප, එකිනෙකා වෙනුවෙන් දැඩි සංගතියෙන් කටයුතු කලයුතු නොවේද?
අරුණි සමරකෝන් | Aruni Samarakoon