මරනවා කියන එක ගැන අලූතින් හිතන්නට අවශ්‍ය වී තිබේ. පොලූ වලින් ගසා, පිහි වලින් කපා මරනවා වෙනුවට දැන් වැඩිපුර සිද්ධ වෙන්නේ වක්‍ර ඝාතන ය. ඒවාත් ලයිෂන් ලත් තැන් වලින් සිදු කරන මිනීමැරුම් ය. මේවා ගැන මහාධිකරණ වල නඩු විභාග වන්නේ නැත. ඒ මිනීමැරුම් කරන අයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙන්නේ නැත. හදිසි කෝපය නිසා, ඇතැම් විට අතිශය මානුෂීය හේතු නිසා සිදු කරන මිනීමැරුම් වලට අදාළ චූදිතයන්ට මරණ දඩුවම නියම කළද, ඒවා මාධ්‍ය වල ලොකුවට පළ කළද, මේ කියන මිනීමැරුම් ගැන එහෙම කතා කරන්නේ නැත.
ඔවුහු තවදුරටත් ඒ රාජකාරිය ම කරති. මාධ්‍ය තවදුරටත් ඒ පාරේ ම යයි.
රොෂේන් චානක මරා දැමීම
2011 මැයි 30 වැනිදා පොලීසියෙන් වෙඩි තබා රොෂේන් චානක මරා දැම්මේය. එසේ කී විට මතු කරන ප්රශ්නය වන්නේ රොෂේන් චානක මරා දමන්නට පොලීසියට අරමුණක් නොතිබූ බව ය. සිදුරු තියෙන නීතියේ තර්කය හරි ය. ඒත් අත්තනෝමතික ලෙස පෞද්ගලික අංශයට හදුන්වා දෙන්නට හැදූ විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව, ඒ පනත් කෙටුම්පත අකුළා ගන්න යැයි බලකරමින් පාරට බැස්ස කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක-සේවිකාවන්ට සජීවී උණ්ඩ වලින් වෙඩි තිබ්බේ ඇයි? ඒවා අහසට හෝ දණහිසින් පහළට වෙනුවට කෙලින්ම පපු කුහරයට හෝ වකුගඩු ප්‍රදේශයට එල්ල කළේ ඇයි? ඒවා ගැන ඔය නීතියෙන් ප්‍රශ්න නොකළේ ඇයි?
ඒ වෙලාවේ පොලීසිය භාර ව සිටි මහින්ද බාලසූරිය පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමෙන් සහ ඒ මෙහෙයුමට අණ දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට මාරුවීමක් ලබාදීමෙන් සියල්ල හමාර විය. රොෂේන් චානකගේ මව්පියන්ට වන්දියක් දෙන්නට ද ඒ වෙලාවේ ආණ්ඩු බලය හිමි ව තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය. මාධ්‍ය මගින් කතා කළේ, පිටු පුරා පළ කළේ ඔය කතා ය.
කෙසේ වෙතත් රොෂේන් චානක නම් අවුරුදු 22 ක් ව සිටි තරුණයා මරා දැමීම නිසා සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කොල්ලකමින් ගේන්නට හැදූ පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත අකුළා ගැනිණි.
ඉන්පසුව සිදු වූයේ කුමක්ද?
රටට පේන්නට ඉල්ලා අස් වූ පොලිස්පති මහින්ද බාලසූරිය බ්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත් කෙරිණි. ඔහුට රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රයේ වැදගත් ම පත්වීමක් ලබාදෙන්නට තිබූ සුදුසුකම කුමක්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලංකාවට එල්ල වී තිබූ චෝදනා වලදී යම් ආකාරයක මධ්‍යම පිළිවෙතක් අනුගමනය කළ බ්‍රසීලය සමග අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සාර්ථක ව ඉදිරියට ගෙනයන්නට ඔහු සමත් වන බව විශ්වාස කළේ කෙසේද?
ඔහුට තිබූ එක ම සුදුසුකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය වූ ආකාරයට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇති වූ උද්ඝෝෂණ මර්දනය කරන්නට කටයුතු කිරීම ය. එයින් රොෂේන් චානක මිය නොගියේ නම්, ඒ ආණ්ඩුව අදාළ සියලූ කටයුතු තමන්ට අවශ්‍ය පරිදි කර ගනු ඇත. එහෙම වුණා නම් මහින්ද බාලසූරිය බ්‍රසීලයට ද නොයනු ඇත.
භූමිතෙල් සහනාධාරය පිළිබද ගැටළුවට අදාළ ධීවර උද්ඝෝෂණයේ දී පොලිස් විශේෂ කාර්ය බලා වෙඩි පහරකින් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දුට අදාළ ව රොෂේන් චානක මාදිලියේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූයේ ඇයි? එහි දී පොලිස්පතිවරයා, අඩු ම තරමේ පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරිවරයා ඉල්ලා අස් වූයේ හෝ මාරුවක් ලැබූයේ නැත. ඇන්ටනීගේ පවුලට වන්දි දෙන බව පැවසුවද, රොෂේන් චානකගේ පවුලට මෙන් එම වන්දි ලැබුණේ ද නැත. ඇන්ටනීගේ දරුවන් අදටත් පාසල් යන්නේ අනුන්ගේ උදව්වෙනි.
මේ දෙක ම මුලින් කීවාක් මෙන් මිනීමැරුම් ය. ඒත් චූදිතයන් නැත.
රොෂේන් චානක මරා දමා පසුගිය මැයි 30 වැනිදාට අවුරුදු හයකි.
බීමට පිරිසිදු ජලය ඉල්ලූ නිරායුද මිනිසුන්ට වෙඩි තබා මැරූ රතුපස්වල සිද්ධියෙන් අවුරුදු හතරකට පසු ඊට අණ දුන් බවට චෝදනා කරමින් බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගත්තේය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඉහළ නිලධාරියා වූ බි්රගේඩියර් ශාන්ත දිසානායකගෙන් ද ප්‍රශ්න කෙරිණි. අදාළ ප්‍රශ්න කිරීම් වලදී බි‍්‍රගේඩියර්වරුන් පැවසූ තොරතුරු වලට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ රතුපස්වල වෙඩි තැබීමට සම්බන්ධ වූ ආකාරය ගැන කරුණු හෙළිවෙමින් තිබේ. ඒ කියන්නේ රතුපස්වල මරා දැමුණු මිනිසුන්ට යම් සාධාරණයක් ඉටුවෙමින් තිබේ. එහෙත් බොහෝ පරීක්ෂණ මෙන් මේ පරීක්ෂණය ද හිටිවනම නතර වීමේ අවදානමක් ඇත. ඒ, මේ ආණ්ඩු කරන්නන්ගේ අන්‍යෝන්‍ය අවබෝධයේ තරම ය.
කියන්නට අවශ්‍ය වූයේ අවුරුදු හයකට පසුව හෝ රොෂේන් චානකට ද වන්දි මුදලට එහා ගිය යුක්තියක් ඉෂ්ඨ විය යුතු බව ය. ඒ මිනීමරුවන් අත්අඩංගුවට ගත යුතු බව ය.
මෙහි දී තවත් කාරණයක් ලිවිය යුතුය. අදාළ වෙඩිතැබීම කළ පොලිස් නිලධාරීන්ට රොෂේන් චානක සමග හෝ ඒ උද්ඝෝෂණය කළ පිරිස සමග වෛරයක් තිබුණේ නැත. මේ විදිහට මිනීමරන්නට අණදුන්නේ කවුද යන්න සෙවිය යුතුය. රතුපස්වල බි්රගේඩියර් දංගෙඩියට යැව්වාට වැඩක් නැත්තේ ඒ නිසා ය. වසීම් තාජුඞීන් ඝාතන සිද්ධියට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කිරීමෙන් පමණක් ඵලක් නැත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර් ආනන්ද උදලාගමට පමණක් දඩුවම් කළාට වැඩක් නැත. මේ මිනීමැරුම් වලට අණ දුන් අපරාධකාරයන් සෙවිය යුතුය.
සාලාවේ අපරාධය
අවිස්සාවේල්ල, සාලාව හමුදා කදවුරේ පිිහිටුවා තිබූ අවි ගබඩාව පුපුරා ගොස් ජුනි 05 වැනිදාට අවුරුද්දකි. ජනාකීර්ණ ප්‍රදේශයක සමාජයට හොරෙන් බර අවි පතරොම් ගොඩ ගසා තිබිණි. ඒවා පුපුරා යාමෙන් හමුදා සෙබළකු පමණක් මිය යාම නිසා මේ අවි ගබඩාව ස්ථාපිත කළ පිරිස් යම් පමණකට ගැලවිණි. එහෙත් ඉන් ග්‍රාම සේවා වසම් 12 ක ජීවන තත්ත්වය එහෙම පිටින්ම අවුල් විය. ඔවුන්ගේ මූලික වේවා, මානව වේවා අයිතිවාසිකම් සියල්ල කඩා දැමිණි. අදාළ සිද්ධියෙන් හානි වූ දේපොළ වලට වන්දි ගෙවන්නට කියා මුදල් අමාත්‍යංශයෙන් රුපියල් මිලියන සීයක් වෙන් කළ බවට මාධ්‍ය වාර්තා පළ විය. එහෙත් හානිය දළ වශයෙන් රුපියල් මිලියන දෙසීය ඉක්මවන බවට ද මාධ්‍ය වාර්තා පළ විය.
අදටත්, අදාළ සිද්ධියෙන් දවස් 365 ක් ගත වන විටදීත් අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස වලට ප්‍රමාණවත් වන්දියක් ලබා දී නැත. තක්සේරු කළ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවට අභියාචනා ඉදිරිපත් වුවද, ඒවා සලකා බලන බව හමුදාව පාර්ශ්වයෙන් මෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පාර්ශ්වයෙන් පැවසුණද ජනතාවට ලැබී ඇත්තේ කලින් තක්සේරුවට අනුව නියම වූ ගණන ම ය. පිපිරීමෙන් උණ්ඩ කෑලි වැටී හානි වූ භාණ්ඩ වලට අදාළ ව කිසිදු ගෙවීමක් මෙතෙක් කර නැත.
අනෙකුත් නිවාස ගැන කතා මොකටද? මහා ඉහළින් කතා කරන සාලාව කදවුර පිටුපස පිහිටි රණවිරු ගමට ද කිසිවක් ලබා දී නැත. මේ රණවිරු ගම්මානයේ නිවාස සියල්ල අලූත්වැඩියා කළේ හමුදාවෙන් ය. ඇතැමුන්ට තරමක් සලකා ඇත. ඇතැමුන්ට සලකා නැත. හරියට යුද හමුදාපතිවරයා මේ පිපිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණයට කරනවා වගේ වෙනස් සැලකිලි ය. සිද්ධියට අවුරුද්දක් ගත වන තැන ඒ කතාවත් කිව යුතුය. ජනතාවත් කා, ඇතුළත් කන්නේ මෙසේ ය.
හමුදාපතිවරයා කරන්නේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් තමන්ට හිතවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීම ය. ඒ වෙනුවට කනිෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට දඩුවම් කිරීම ඔහුගේ අරමුණ ය. යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මෙසේ කටයුතු කරන්නේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මගින් පත් කළ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමිනි. මේ පරීක්ෂණ මණ්ඩලයට එයාර් වයිස් මාර්ෂල් ක්‍රිශාන් යහම්පත්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න ඇතුළු විශේෂඥයන් පිරිසක් ඇතුළත් වූහ.
කෙසේ වෙතත් මේ මණ්ඩලය හදා ඇති වාර්තාවේ ද නිශ්චිත චූදිතයකු හෝ පිපිරීමට නිශ්චිත හේතුවක් සදහන් කර නැත. ඒ වෙනුවට සිද්ධිය පිළිබද පූර්ණ වාර්තාවක් පමණක් එහි ඇතුළත් ය.
මේ සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තාව පවා මෙතෙක් ඉදිරිපත් වී නැත. එසේ තිබියදී හමුදාපතිවරයා තමන්ගේ හිතවතුන් රකින්නට ඉදිරිපත් වීම හමුදාව අභ්‍යන්තරයේ ද බරපතල කතාබහකට හේතු වී තිබේ. යුද හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පවසන්නේ මේ හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු එකදු පතරොම් ගබඩාවක් හෝ පරීක්ෂා කර බැලීමට ගොස් නැති බවයි. සාලාව, වැලිසර සහ වේයන්ගොඩ යන කදවුරු තුනේ හමුදා පතරොම් ගබඩා පිහිටුවා තිබිණි. අදාළ විනාශයෙන් පසු සාලාව ගබඩාව ඉවත් කර තිබේ.
මීට අමතරව ගත වූ අවුරුද්ද තුළ හෙළි වූ තවත් කරුණු රැසක් ද ඇත. ඉන් එකක් නම් පිපිරීම වන විට අදාළ ගබඩාව භාර ව සිට ඇත්තේ ලූතිනන්වරයෙකි. ඔහු පතරොම් පිළිබද කිසිදු විශේෂඥ පාඨමාලාවක් හදාරා නැත.
මේ ජනාකීර්ණ ප්‍රදේශයක පතොරම් ගබඩාවක් පිහිටුවීමෙන් නොනැවතී හමුදාව වගකීම් විරහිතව වැඩ කර ඇති ආකාරය ය. එයින් ද නොනැවතී මේ වන විටත් ඔවුන් වගකීම් විරහිතව වැඩ කරන ආකාරය ඉහත සදහන් කළ හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපයෙන් පෙනේ. ජනතාව ජීවිත කාලයක් හදාගත් දේ ඔවුහු, හමුදාව පමණක් නොව සමස්ත ආණ්ඩුව පැය කිහිපයකින් විනාශ කළහ. එය අපරාධයක් නොවන්නේ කෙසේ ද? ඊට එරෙහිව නීතිය නිදි ය. නීතිය සැබෑ අපරාධකරුවන් රකින්නේ මේ විදිහට ය.
මිනී මැරූ සහ මරන සංවර්ධනය
මේ සතියට අදාළ තුන් වැනි අපරාධය ගංවතුර ය. පුද්ගලයන් 208 දෙනකු මරා දැමූ, 96 දෙනකු අතුරුදන් කළ, හත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් කළ ගංවතුර දැන් තරමක් බැස ගොස් ය. ඒත් එයින් වූ හානිය තවමත් එහෙම ම ය. නැති වූ ජීවිත වලට වන්දි ගෙවන්නට නොහැකි වුවද, ජීවත්වන්නන්ට අවශ්‍ය ශක්තිය දෙන්නට කඩිනම් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එහෙත් එවැන්නක් මෙතෙක් සකස් කර නැත. ඒ වෙනුවට තවදුරටත් බොරු පුරසාරම් කියන්නට පමණක් ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ ද දේශපාලනඥයෝ බහුතරය කටයුතු කරමින් සිටිති. ගංවතුර බැස ගිය පසු එන මී උණට අවශ්‍ය තරම් ඖෂධ රජයේ රෝහල් වලට යවා ඇති බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කියා තිබිණි. එහෙත් රෝහල් වලින් කියන්නේ ෆාමසි වලින් ඒ ඖෂධ ගන්නා ලෙස ය. ෆාමසි වලින් කියන්නේ තමන් ගෙනා තොග ඉවර බව ය. ඒ එක් උදාහරණයක් පමණි.
මේ ගංවතුර ඇත්තටම ස්වභාවික ව්‍යසනයක් ද, නැතහොත් නිසි පරිදි අවධානය යොමු නොකිරීම නිසා විපත් වැඩි කරගත් එකක් ද? එසේත් නැතහොත් සැලසුමක් නැති සංවර්ධන ව්‍යාපෘති නිසා බලෙන් කැදවා ගත් විපත්තියක් ද?
Indian Institute of Tropical Meteorology නම් ආයතනයේ කාලගුණ විද්‍යාඥයකු වන ආචාර්ය රොක්ස් මැතිව් කෝල් මීට වසරකට පෙර සිට ම පවසා තිබුණේ ගෝලීය උණුසුම ඉහළ යාම, විශේෂයෙන් ම ඉන්දීය සාගරයේ උණුසුම ඉහළ යාම බරපතල තත්ත්වයක පවතින බවත්, ඒ නිසා කලාපීය රට වල මෝසම් වැසි රටාවන්හි වෙනස්කම් ඇති විය හැකි බවත් ය. ඒ අනුව ශ්‍රී ලංකාව දිගු කාලීන නියං තත්ත්වයන් සහ කෙටි කාලීන බරපතල ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව ද ඔහු පවසා තිබිණි. ඔහු අනුව යමින් කලාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයන් ද අදාළ කාරණය තහවුරු කර තිබිණි.
එහෙත් මේ කාරණය සම්බන්ධයෙන් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවධානයක් යොමු කර තිබී නැත. ඔවුන්ට මේ වැසි තත්ත්වය පිළිබදව පවා නිශ්චිත අනාවැකි පවසන්නට හැකි වූයේ නැත. ඔවුන් පැවසුවේ සුළගක් එන බව පමණි. ආපදා කළමනාකරණ ඇමැතිවරයා මේ චෝදනාව සෘජු ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් එල්ල කළ ද, ආණ්ඩුවට ද එයින් ගැලවිය නොහැක්කේ අවශ්‍ය තාක්ෂණික උපකරණ වල බරපතල දෝෂ පවතින බව සැබෑවක් වන නිසා ය.
අනෙක් අතට අපේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ බංග්ලාදේශයේ ආපදා කළමනාකරණයට සම්බන්ධ ආයතන හැසිරී ඇති අකාරය දෙස බැලූ විට අප සිටින තැන පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය. මේ ගංවතුර තත්ත්වය රටේ දිස්ත්‍රික්ක පහකට බරපතල ලෙස බලපෑම් එල්ල කරන විට මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යංශය සතු ව අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් තිබුණේ නැත. සාමාන්‍යයෙන් ආපදාවක් සිදු වීමට පෙර, පූර්ව සැලසුමක් සහිතව තබාගන්නා ජීවිතාරක්ෂක කබා, කුඩ, විදුලි පහන්, ගිනි පෙට්ටි, බ්ලැන්කට් ආදිය පවා ඔවුන් සතුව නොතිබිණි. එහෙත් බංග්ලාදේශයට මේ ‘මෝරා’ කුණාටුව ඇතුළු වන බව නිවේදනය කරන්නට පෙර සිට ම එරට බලධාරීහු සියල්ල සැලසුම් කරමින් සිටියහ. ඒ නිසා අපේ දෙසීයක් මැරෙද්දී එරට මරණ ප්‍රමාණය දහයකට අඩු විය.
තත්ත්වය මෙසේ තිබියදී අපේ ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය 24 දා මෙක්සිකෝවේ පැවැති Global Platform for Disaster Risk Reduction නම් සමුළුවට සහභාගි වී කිව්වේ කුමක්ද? ලංකාවට මුහුණ දීමට සිදු වන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සදහා ඒවා විධිමත් ලෙස අධ්‍යයනය කොට මැදි හා දිගු කාලීන විසදුම් සකස් කරන්නට තම අමාත්‍යංශය කටයුතු කර ඇති බව ඔහු කියා තිබිණි. එහෙත් ඇමැතිවරයා ලෝකය ඉදිරියේ එසේ කියා දවස් දෙකක් යන්නටත් පෙර ඔහුගේ මෙන් ම, සමස්ත ආණ්ඩුවේ ම රෙදි ගැලවිණි. කනගාටුවට කරුණ නම් ඔවුන්ගේ රෙදි ගැලවුණේ ජීවිත දෙසීයක් සමගින් වීම ය.
ඒත් මේවා ගැන පසුගිය ආණ්ඩුව වගේ ම මේ ආණ්ඩුවත් මෙතෙක් නම් අවශ්‍ය තරමට සංවේදී වූයේ නැත. ඊට හොදම උදාහරණය වන්නේ මැයි 26 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිද්ධ වුණු ආකාරය ය. ආපදා තත්ත්වය නිසා එදින පාර්ලිමේන්තුව සුළු වේලාවකට පමණක් සීමා විය. මන්ත්‍රීවරුන්ට තම-තමන්ගේ දිස්ත්‍රික්ක වල ජනතාව වෙනුවෙන් සේවය කරන්නට යා යුතු ව ඇති බව කියැවිණි. එහෙත් ඒ සුළු වේලාවේ දී මැති-ඇමැතිවරුන්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට සුපිරි වාහන මිලදී ගැනීමට අදාළ ව රුපියල් මිලියන 369 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාස් කෙරිණි. මේ දේශපාලනඥයන්ගේ සැබෑ වුවමනාව ය. ආණ්ඩුව මෙවැනි පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ 2017 වසරේ මුල් මාස පහට වාහන ගෙන්වීමට පමණක් රුපියල් මිලියන 1,200 ක් වියදම් කොට තිබියදී ය. මුදල් අමාත්‍යංශ වාර්තා මේ කරුණු එකින් එක හෙළිදරව් කරයි. පසුව ජනාධිපතිවරයා මැදිහත් වී අදාළ මිලියන 369 පරිපූරක ඇස්තමේන්තුවෙන් වාහන මිලදී ගැනීම අත්හිටුවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.
බංග්ලාදේශ ආණ්ඩුව තමන්ගේ රට ට ඇතුළු වූ ‘මෝරා’ කුණාටුවෙන් ජීවිත බේරාගන්නට අවශ්‍ය පියවර ගත්තද, අපේ ආපදා කළමනාකරණය එසේ කළේ නැත. ඊට ඔවුන් එක් හේතුවක් කියා තිබිණි. ඒ අවශ්‍ය තරම් සම්පත් රැස්කර තබා ගන්නට මුදල් ලබා දී නැති කතාවකි. එහෙත් මුදල් අමාත්‍යංශ වාර්තා වලට අනුව 2016 අයවැයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4,600 කි. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් හෙළි කර තිබුණේ එයින් රුපියල් 2,116 ක් පමණක් මෙතෙක් වියදම් කර ඇති බවයි. ඒ කියන්නේ හරියට මුදල් ලබා දී ඇත්නම් කිසිවකුට මුදල් අගහිග කතා කියන්නට නොහැක. හරියට මුදල් ලබා දීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය. සුපිරි වාහන ගෙන්වන්නට මුදල් වෙන්කර ගන්නට හැදුවේ මේ මුදල් ලබා නොදී නම්, ආණ්ඩුව මේ විනාශ වූ ජීවිත වලට කෙසේ නම් වන්දි ගෙවිය යුතු ද?
තවත් එක් ප්‍රශ්නයකට උත්තර ඇත. එනම් මේ සැලසුමක් නැති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිඵල ද?
පරිසරවේදී, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් අවධාරණය කරන්නේ මෙරට ගංගා නිම්න 103 න් සැලකිය යුතු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති සිදු කර ඇති බවයි. මේ නිසා අදාළ ගංගා නිම්න ආශ්රිත ව ගංවතුර පාලනට ස්වභාවිකව සෑදී ඇති ජලය උරාගන්නා බිම් කොන්ක්‍රීට් ගොඩනැගිලි හෝ කොන්ක්‍රීට් තට්ටු බවට පත් වී ඇත. මුතුරාජවෙල වැනි වගුරු බිම් නීතියෙන් යම් තරමකට ආරක්ෂා කර තිබුණද, අධිවේගී මාර්ග නමින් යොදා ඇති වේලි නිසා මේ වගුරු බිම් වල රැස් වන ජලයට බහින්නට තැනක් නැත. එසේ කී විට ඇතැමකු ‘මුතුරාජවෙලට ගංවතුර ආවෙ නෑනෙ’ යනුවෙන් පවසන්නට හැකිය. එය උදාහරණයක් ලෙස දැක්වූයේ නීතියෙන් උපරිම රැකවරණය ලබා දී ඇති මුතුරාජවෙල තත්ත්වයත් එයාකාර නම් අනෙක් තැන් ගැන කවර කතා ද කියන්නට ය.
මාතර සිට ගාල්ල, කළුතර හරහා කොළඹ දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට වැලි හා පස් ඝන මීටර් 240,000ක් යොදා ඇත. ඒ කියන්නේ වැහි වතුර මුහුදට ගලා බසින පාර හරහා දැවැන්ත වේල්ලක් සකස් කර ඇත. ගැටළුව ඇත්තේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේ නොවේ. කොමිස් පදනම් මත අඩු ම වියදමකින් අධිවේගී මාර්ගය ඉදිකරන්නට ගොස් කොන්ක්‍රීට් කණු මත මාර්ගය තැනිය යුතු බව සදහන් ස්ථාන වලත් පස් හා වැලි පිරවීමේ ය. ඉංජිනේරුවන් අවධාරණය කළ පරිදි අඩු තරමින් අදාළ ජලය ගලා බසින ස්ථාන වල හෝ කොන්ක්‍රීට් කණු මත අධිවේගී මාර්ගය ඉදි කළේ නම් මේ විපත්තිය තරමක් අවම කර ගන්නට හැකියාව තිබිණි. කුකුලේ ගග ව්‍යාපෘතිය, හදිසි නිවාස ව්‍යාපෘති වැනි ඉදිකිරීම් ද මේ විපත්තිය තවත් තීව්ර කළ බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් අවධාරණය කරයි.
අනෙක් කාරණය ජීවිත රැසක් විනාශ වූ නායයාම් ය. අපේ මධ්‍යම කදුකරය යනු ජල ගබඩාවකි. ජලය රදවාගෙන, ක්‍රමයෙන් ජල උල්පත් මගින් ගංගා වලට නිදහස් කිරීම එහි කාර්යභාරයයි. එහෙත් ඒ ජල උල්පත් වල ගමන වැළැක්වූ විට, ඒ හරහට කොන්ක්‍රීට් බැමි බැන්ද විට අර කී ජල ගබඩා තුළ පස් ලිහිල් වන්නට පටන් ගනී. පස් දිය වන්නට පටන් ගනී. කුඩා විදුලි බලාගාර හරහා වන්නේ ද ඔය ටික ම ය. කදුකරයේ යට ඇති මව් පාෂාණ සහ මතුපිට ඇති පාෂාණ අතර සම්බන්ධතාව බිදී ගිය විට තවත් කුමක් බලාපොරොත්තු වන්නද?
ගලක් උඩින් තැබුවාක් මෙන් ඇති පස් තට්ටු පොඩි වැස්සටත් කඩා වැටෙයි. ගෙවල් යට කරයි. ජීවිත යට කරයි. මේ ස්වභාවික විපත් නොවේ. අවම කර ගත හැකි ව තිබූ විපත් ය.
ඒ නිසා මේවා මිනීමැරුම් ය. අපරාධ ය. මේවා නවත්වන්නට තද නීති අවශ්‍ය ය. නීතියේ හිල් මකා දැමිය යුතුය. පවතින නීති හරියට ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවන්නේ නම් රොෂේන් චානකලාට, සාලාවේ පිපිරීමෙන් විපතට පත්වූවන්ට, ගංවතුරේ හා නායයාම් වලින් මිය ගිය සහ එවැනි තවත් ව්‍යසන වලින් මිය යන්නට සිටින දහස් ගණනකට කිසිදා සාධාරණයක් ඉටු නොවන්නේය. ඒ වෙනුවට සියල්ලන්ට වැළලීමට සූදානම් වන්නට සිදු වනු ඇත.
ශාලික විමලසේන | Shalika Wimalasena