“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන්
වෙන්කර අපෙන්, රැගෙන යන ලදී
අසන්න ඔවුනගේ හද ගැස්ම
අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම
හමන සුළග තුල අපට
ඇසේ උන්ගේ සිනා හඬ
කඩා හැලෙන මහ වරුසා තුලින්
උන්ගේ දෑසේ වූ කදුළු පෙනේ
රාත්‍රියේ සිරකරුවෙකු වී
පැතිරී ඇත කළු සහ නිල
වෘක්ෂලතා අතර
අපේ පුතුන්
නිරුවතුන් සිටගෙන සිටිනු අපට පෙනේ
ප්‍රාකාර තුලින්
අපේ දියණියන්ගේ හඬා වැළපීම ඇසේ
බලන්න ඔවුන්ගේ කදුළු
වර්ෂාපතනයේ
ඇති අයුරු…”
Paul David Hewson විසින් The Joshua Tree නම් සංගීත තැටිය වෙත රචිත ‘Mothers of Disappeared’ හි සිංහල අනුවාදනයකි.

අතුරුහදන්ව හෝ අතුරුදහන් කරනු ලදුව ඇත්තේ ඔවුන්ගේ දරුවන් ය. දින සීයක් ඉක්මවා, එකී දරුවන්ගේ මවුපියන් සහ ආදරණියයන්, සත්‍යග‍්‍රහයක නිරත විය. දකුණේ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු කරන කිසිදු මාධ්‍යක්, මෙකි මව්වරුන්ගේ සත්‍යග්‍රහ සහ උපවාස පිළිබද පුළුල් අනාවරණයක් නොකරන ලදී. දින සියයක් විරෝධාතාවයේ නිරත වන ඔවුන්, තම වේදනා තමා පත් කළ ආණුඩුව වෙත සන්නිවේදන උදෙසා, A-9 මාර්ගය අවහිර කර උද්ගොෂණයේ නිරත විය. ඒ පසුගිය මැයි 30 වැනිදාය. එදින දකුණේ ජන කණ්ඩායම් ඒකාධිපති සංවර්ධන ව්‍යාපෘතින්හි අතුරුපලයක් ලෙස වූ ජල පිටාර ගැලීම් හේතුවෙන් වින්දිතයන් ව සිටියෝය. දකුණට අපාදා සිදුව ඇති අවස්ථාවක, උතුර මිට වඩා සංයමයෙන්, ඉවසීමෙන් සහ එකමුතුවෙන් කටයුතු කළ බවට වන යෝජනා- චෝදනා මා පිළිකුලෙන් යුතුව බැහැර කරමි.

නිශ්චිතව සදහන් කළ යුතු කරණ නම්, අතුරුදහන් වී ඇති දරුවන් පිළිබද වගවීම පැවති සහ පවතින ආණ්ඩු විසින් බැහැර කර ඇති මොහොතක, එකී දරුවන්ගේ දෙමාපියන් විසින්, සාමකාමි, ප්‍රචණ්ඩත්වයෙන් තොරව කරණ උද්ගෝෂණය දකුණේ ප්‍රජාවට දැන්වීමට නියමිත කාලයක් යෝජනා කිරීම ඉතාම අපුල කාරණාවකි.

අතුරුදහන් ව ඇත්තේ කාගේ හෝ දරුවන්ය. එකී දරුවන් බහුතරය, ශ්‍රී ලංකා හමුදාව නමැති පුරවැසියා රැකීමට පවතින රාජ්‍ය ආයතනය වෙත බාර දුන් පසුව අතුර්දහන් කර ඇත. එය බරපතල ලෙස සැලකිය යුතු කරුණකි. පැවතියේ මානුෂිය මෙහයුමක් නම්, සිදුකරනු ලැබුවේ, දෙමල ජනතාව මුදාගෙන, ඔවුන් වෙත විමුක්තිය උදාකිරීමක් නම්, හමුදාව වෙත බාර කළ පසු දෙමළ සහ LTTE සාමාජික වීම හේතුවෙන්, පුරවැසියන් අතුරුදහන් කිරීම යුක්තියට තරයේ පටහැනිව ක්‍රියාකිරීමකි.

පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැලක්වීම සදහා වන අන්තාර්ජාතික ප්‍රඥප්තිය ගරුකිරීම උදෙසා ශ්‍රී ලංකා රජය බැදී ඇත. ප්‍රඥප්තියේ පුර්විකාවේ සදහන් ආකාරයට, අතුරුදහන් කිරීම ක්‍රියාවට නැංවීම අපරාධයකි. එය මානුෂීයත්වයට එදිරි වන අපරාධයකි. එසේම එකී අතුරුදහන් කිරීම වැළැක්වීම වෙනුවෙන් පියවර නොගැනීම ද අපරාධයක් වේ(අපරාධයක් යනු නීතියෙන් දඩුවම් කළ යුතු ක්‍රියාවකි. Oxford Dictionary: https://en.oxforddictionaries.com/definition/crime). අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය සහ හානිපුරණය අනිවාරයෙන්ම ඉටුකළ අතර අතුරුදහන් කිරීමට ලක්වූ පුදගලයන්ගේ ඉරණම පිළිබද දැනගැනීමටද අයිතියක් වේ. (https://treaties.un.org/doc/Publication/CTC/Ch_IV_16.pdf). එවැනි අන්තරජාතික සම්මුතින් වෙනුවෙන් එකඟ වී ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවට අතුරුදහන්වුවන් පිළිබද ගැටලුව විසදීමේ නීතිමය වගකීමක් සහ සදාචාරාත්මක වගවීමක් වේ. එය ඉටු කිරීමට තව දුරටත් කල් මැරීම අශිෂ්ට සහ නරක ආණුඩුකරණයක ලක්ෂණයකි.

මිය යමින් තිබු ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ක්‍රියාවලියක් මගින් ප්‍රතිෂ්ටාපනය කිරීම වෙනුවෙන් මෙකි අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ද සක්‍රියව දායක විය. ඔවුන්ගේ අරමුණ වුයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ස්ථාපිත කර, තමන්ගේ දරුවන් අතුරුදහන් වූ ආකාරය සහ ඔවුන්ගේ වර්තමාන ඉරණම පැහැදිලි කර ගැනීමය. ඔවුන් දකුණේ ආණ්ඩුවක් තමාට යුක්තිය ඉටුකරනු ඇතැයි දැඩිව විශ්වාස කරණ ලදී. තමන් ද මෙරට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස පිළිගනිමින්, තමන්ගේ මුලික දුක් ගැනවිලි පිළිබද ආණ්ඩුව අවධානය යොමුකරනු ඇතැයි ඔවුන් තුල විශ්වාසයක් විය. ඔවුන්ගේ සහ දකුණේ දෙමාපියන්ගේ විශ්වාස පලුදු කරමින් සිරිසේන- රනිල් ආණ්ඩුව මහින්ද අනුගමනය කරමින් තමන්ගේ දේශපාලන අභිප්‍රායන් සාධනය කර ගනිමින් සිටි. දකුණේ වෛද්‍ය විද්‍යාර්ථ විද්‍යාර්තනියන්ගේ දෙමාපියන් විසින් පසුගිය දා අධ්‍යපන අයිතිය රැකගැනීම වෙනුවෙන් මාවතේ අරගලයක් සිදුකරනවිට එයට ආණ්ඩුවේ අනු දැනුම මත ප්‍රහාර එල්ල විය. උතුරේ තම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීමට අරගලයක නිරත දෙමාපියන් ආණ්ඩුව නොසලා හැර ඇත. උතුරේ සහ දකුණේ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ආණ්ඩුව සලකන්නේ එකම ආකාරයටය. එනයින් පෙනී යන දේශපාලනය නම්, ආණ්ඩුව සිංහල හෝ දෙමළ හෝ වෙනත් වාර්ගිකතාවයක් නියෝජනය නොකර තමන්ගේ කුලකය වෙනුවෙන් පමණක් පෙනී සිටින බවය.

විවරධාරි ඥානසාර වැන්නවුන් නිර්මාණය කරමින්, පැවති සහ පවතින ආණ්ඩු උත්සුක ව ඇත්තේ, බලය තම සංචිතය තුල රදවා ගනු වස් ජනතාව තුල අනෙකාට එරෙහි වෛරය පැතිරවීමය. විවරධාරි ඥානසාර සිදුකල යුත්තේ සිංහල ජාතියේ වඳ වීම මුස්ලිම් හෝ වෙනත් වාර්ගිකත්ව ව්‍යාපෘතියක් ලෙස අර්ථකථනය කර ප්‍රචණ්ඩව හැසිරීම නොව, සිංහල ගැහැණු සහ පිරිමින්ට දෛනික ජීවිතයේදී විදින්නට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමය. සිංහල- බෞද්ධ ශ්‍රමික ස්ත්‍රීන් දෛනිකව පොදු අවකාශ තුලදී සුරාකෑමට ලක්වේ. බස් රිය, බස් නැවතුම් පොළ, විශ්ව විද්‍යාල තුල වන ලිංගික හිංසන පිළිබද චිචාරධාරි ඥානසාරට කතිකාවක් සැකසිය හැකි නම්, සිංහල වාර්ගිකයන් දුකින් මුදවා ගැනීමේ මාර්ග සකස් වනු ඇත. එසේම චිචාරධාරි ඥානසාරට තමා විශිෂ්ඨයකු ව සිංහල- බෞද්ධයාගේ විමුක්තිය සලසන්නා වීමට අවශ්‍ය නම්, බෞද්ධාගම ප්‍රාග්ධනය උපයන ආයතනයක් වීම වැළැක්වීමට මැදිහත් විය යුතුමය. මගේ මව, පුංචි දඹදිව ලෙස හදුන්වන රත්නපුරේ වන ආගමික ස්ථානයක් වැදපුදා ගැනීමට පසුගිය දිනක ගියාය. එහිදී ඇයට, එකී ආගමික ස්ථානයේදී, දැන්වීම් පත්‍රයක් චීවරධාරීන් විසින් අලෙවි කර ඇත. එහිදී පවසා ඇත්තේ, තම මියගිය ඥාතින් වෙත පිං පැමිණවීම සදහා දැන්වීම් පත්‍රය මිලදී ගන්නා ලෙසය. ප්‍රවෘත්තීය ඇසූ පසු, මාගේ මතකය වෙත පැමිණියේ, යුරෝපයේ අදුරු යුගයේ වූ පව් සමා කිරීමේ පත්‍ර විකිණීමය. කරණලද පවෙන්, මුදල් ගෙවා නිදහස් වීම එකී අවධියේදී කතෝලික පල්ලිය ප්‍රග්ධනය රැස්කිරීම වෙනුවෙන් යොදාගත් උපක්‍රමයකි. මෙයම, ශ්‍රී ලංකාවේ, වර්තමානයේදී සිදු වේ. චිචාරධාරි ඥානසාරට මෙවැනි කරුණු නොපෙනී, හම්බයා හේතුවෙන්ම ජාතිය විනාශ වන බව පෙනීම, ඔහුගේ ඥානය අවම වර්ධනයක් වන බවට සාක්ෂිය. එවැනි අවම ඥානය වර්ධනයක් ඇති චීවරධාරීන්, සඟ රජුන් ලෙස අර්ථකථනය කරන්නන් ඥාන පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුලින් පිරිපහදු කළ යුතුය.

වර්තමාන ආණ්ඩුව පුරවැසියාට එරෙහි ප්‍රචණ්ඩත්වය හමුවේ ‘නිහඩ’ වී ඇත. රනිල් වික්‍රමසිංහ සහිත, UNP ඉතිහාසයේ වූ ආණ්ඩුව, බුද්ධිමය පුජා භුමියක් වන යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 36ක් ගෙවෙමින් පවති (http://www.vikalpa.org/?p=30535). පුස්තක සමග මනුෂ්‍යත්වය ද, නිතිය සහ දේශපාලන ආයතන වෙත වූ විශ්වාසයද ගිනිබත් විය. විශ්වාසය ගිනි බත් වුයේ, එදා ආණ්ඩුව නිහඩව ප්‍රචණ්ඩත්වය අනුමත කළ හෙයිනි. වසර 36කට පසුවද UNP සහ SLFP සන්ධාන ආණ්ඩුව විසින් ප්‍රචන්ඩත්වය අනුමත කරමින්, නිහඩ වී ඇත. දරුවන් අහිමි වූ උතුර තමාට යුක්තිය ඉල්ලා සාමකාමිව විරෝධය දක්වනවිට එය නොසලකා හැරීම, ආණ්ඩුව ප්‍රචන්ඩතත්වය අනුමත කිරීමකි. විවරධාරි ඥානසාරට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වීමට පසුබට වීමද ප්‍රචන්ඩත්වය මැනවයි පිළිගැනීමේ එක් අවස්ථාවකි.

නිහඩ වූ ආණ්ඩුවක් සමග අප කුමක් කළ යුතු ද? බෙන්ගමුවේ නාලක වැනි චිවරධාරින්ට සහ සරත් වීරසේකර වැනි හමුදා ශ්‍රමිකයින්ගේ මනෝභාවයන් අනුව යමින් නිහඩ ආණ්ඩුව ගෙදර යවා, පතරොමෙන් පිලිතුරුදෙන මැදමුලන පාලනයක් ගෙන ආ යුතු ද? පුරවැසියා සබුද්ධික විය යුත්තේ මෙතනදීය. එනම් තමාගේ දේශපාලන සහ ආර්ථික අබිරුචින්ගෙන් මිදී තම පරිසරයේ වන සිදුවීම් තර්කන ඥානයෙන් හදුනා ගත යුතුය. අප වාර්ගික, ගෝත්‍රික වාදී අදහස් පිටු දැකිය යුතුය. ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් වැලකි සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ සහ විවරධාරි ඥානසාර යනු රජවරුන් නොවේ. ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් යනු තම අනෙකා පිඩාවට පත්කරණ ශරීර පමණි. මහින්ද රාජපක්ෂ යුධමය ලෙස පරාජය කරනු ලැබුවේ, මෙරට වූ අදිපති දේශපාලනයට විරුද්ධව ආයුධ අතට ගත් කණ්ඩායමකි. එකී කණ්ඩායම විසින් ගත් තීරණ මගින්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා පිඩාවට පත්කරන ලදී. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරුනු ලැබුවේ, එකී සංවිධානය විනාශ කර, එහි වූ දෙමළ ජනයාගේ දරුවන් ද විනාශ කිරීමකි. එනයින් නොනැවතී රාජපක්ෂ සහ කණ්ඩායම, රාජ්‍ය දේපල අවභාවිතා කළ අතර, තම අණට එරෙහි වන්නන් ද්‍රෝහීන් ලෙස හදුන්වා විනාශ කර දැමිය. එවැනි පුද්ගලයෙක් සහ කණ්ඩායමක් පුරවැසි හිතෛෂී ලෙස සැලකිය හැකිද? එවැනි කණ්ඩායමක් නැවත බලයට ගෙන ඒමට සිතීම ද හිරිකිතය. රාජපක්ෂ සහ කණ්ඩායමේ ප්‍රචණ්ඩත්වය අනුකරණය කරණ විවරධාරි ඥානසාර වැනි පුද්ගලයන් සමබන්ධයෙන් මාධ්‍ය දොර වසා දැමීම අත්‍යවශ්‍ය වේ. එසේම ආණ්ඩුවට බලපෑම් කර, උතුරේ දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට දකුණ ද පෙරමුණට පැමිණිය යුතුය. උතුරේ මව්වරු මෙන් ම දකුණේ ජනයාටද සාමකාමිව ආණ්ඩු විරෝධතා මගින්, උතුරේ ජනයා වෙනුවෙන් පෙනී සිටිය හැකිය. දකුණේ සහ උතුරේ එකමුතු බව වැදගත් වන්නේ මෙතනදීය.

උතුර සහ දකුණ එකිනෙකා වෙත සංවේදී නොවන තාක්, අරගලය පරාජිත වනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon