Colombo, end of the War, Featured Articles, Features

වෙල්ලාමුලිවයික්කාල්හි වෙඩි හඬ නිහඬ වී වසරකුත් ගෙවෙන තැන….

දයාපාල තිරාණගම විසිනි

ඉතාලියානු ඉතිහාසඥයෙකු ද දේශපාලන උපදේශයෙකු ද වූ මැකියාවෙලි (1469-1527) දේශපාලන නායකයන්ට මතු දැක්වෙන උපදෙස දුන්නේ ය. යුද්ධය ජය ගැනීමෙන් පසුව සිංහල දේශපාලන නායකත්වය අද දින මුහුණ පා සිටින අසීරු තත්ත්වයට ද එය අදාළ ය.

“එහෙත්, වෙනස් භාෂාවක් කතා කරන, වෙනස් සිරිත් විරිත්වලින් සමන්විත, වෙනස් සම්ප්‍රදායන් සහිත ප්‍රදේශයක පිහිටි ජනපදයන් අත්පත් කර ගත් විට දුෂ්කරතා පැන නගී; ඒවා තම ග්‍රහණයෙහි තබා ගන්නට නම් කෙනෙකු ඉතා භාග්‍යවත් ද ඉතා උද්‍යෝගිමත් ද විය යුතු ය … තමන් හා සමානව ම බලගතු විදේශිකයෙකු ප්‍රදේශයට ආක්‍රමණයක් එල්ල කිරීම වැළැක්වීමට ඔහු පූර්වෝපායන් යෙදිය යුතු ද වේ. හැම විට ම, සාතිශය අභිලාෂයන් නිසා හෝ භීතිය නිසා හෝ, ආක්‍රමණිකයා ප්‍රදේශය තුළට කැඳවා ගෙන ඒමට පියවර ගන්නේ බලවත් කලකිරීමට පත් වුණවුන් ය” [1].
උතුරත් නැගෙනහිරත් මැකියාවෙලි මෙහි සඳහන් කරන ප්‍රදේශයට බෙහෙවින් සමාන යැයි කිව හැකි ය. භාෂාව, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් අතින් ප්‍රදේශ අන්‍යෝන්‍ය වශයෙන් අසමාන වන විට, වෙනස් භාෂාවක් කතා කිරීමට, සිරිත් විරිත් අනුගමනය කිරීමට සහ සම්ප්‍රදායන් පවත්වා ගෙන යාමට පවතින අයිතීන් පිළිගෙන ඒවාට ගෞරව නොකරන්නේ නම්, රාජ්‍යයට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වන දේශපාලන වන්දිය දැවැන්ත වනු ඇති බව තීක්ෂ්ණ දේශපාලනික නුවණකින් හෙබි ඕනෑ ම පාලකයෙකු වටහා ගත යුතු ය. මැකියාවෙලි ඉතාලියානු පාලකයන්ට මෙම අවවාදාත්මක උපදෙස ලියා යැව්වේ මින් 500 වසරකට පමණ පෙර ය, එහෙත් ඔහුගේ උපදෙස වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන නායකත්වයට ද ඉතා ප්‍රයෝජනවත් විනිවිද දක්නා ඥානයක් සපයන්නේ ය. ඔහුගේ වචනවලින් පෙන්නුම් කෙරෙන්නේ, රාජ්‍යයේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට නම් දේශපාලන බලවේග ප්‍රාදේශීය වශයෙන් පෙළ ගැසෙන ආකාරය ගැන පරීක්ෂාකාරී විය යුතු බව යි. කොටින් පරදා පුළුල් ජයග්‍රහණයක් ලැබ වසරක් ගෙවී ඇති තැන, සමගි සන්ධානය සහ දෙමළ ජනයාගේ දුක් ගැනවිලිවලට විසඳුම් ලබා දීම නමැති දැවැන්ත කර්තව්‍යය පිළිබඳව අප සවිඤ්ඤාණකව සිටී ද? මැකියාවෙලිගේ අනතුරු ඇඟවීමෙන් උගන්නට අප සූදානම්ව සිටී ද?

මෙම කෙටි ලිපිය යත්න දරන්නේ ජනවාර්ගික ගැටුම දේශපාලනිකව නිරාකරණය කිරීම පිළිබඳ දුෂ්කරතා පිළිබඳව යම් සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට ය. එහෙත්, අප ජනතාවගේ බහුජනවාර්ගික ස්වභාවය සහ බහුවිධ භාවය පිළිගෙන ශ්‍රී ලාංකික ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තුළ ඔවුන්ගේ අභිමානය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ද එය උත්සාහ දරයි.

ආදිකාලීන ප්‍රාර්ථනා

ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් දේශපාලන විසඳුමක් පිළිබඳ කිසිදු ඉඟියක් සපයා නැත. එබැවින්, එල්ටීටීඊය පරදා ලද ජයග්‍රහණයත් සමග දේශපාලන විසඳුමක් පිළිබඳව හට ගත් බලාපොරොත්තුව යම් තරමකට සුන් වී ඇති බවක් පෙනී යයි. වැඩි වාසියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිංහල දේශපාලන නායකත්වය පියවර පමා කරමින් සිටින සැටියක් පෙනේ. ආණ්ඩුව කරන සිංහල නායකත්වය තුළ සිටින ප්‍රකෝපකාරී ප්‍රතිපත්තිවලින් සමන්විත එක් කණ්ඩායමක් සිංහල ජනයාගේ හැර අනෙක් ජනවාර්ගික කණ්ඩායම්වල මනුෂ්‍යත්වය නොපිළිගන්නා දෘෂ්ටිවාදයකින් පෝෂණය වී සිටී. දෙමළ ජනයාත් ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියත් බෙදුම්වාදී සංවාදයක් දෙසට තල්ලු කළ අතිශය නිෂේධනීය සහ සැලකිය යුතු ඓතිහාසික දෘෂ්ටිවාදාත්මක සාධකවලින් එකක් වන්නේ මෙය යි. ජනවාර්ගික ගැටලුව විසඳීමෙහි ලා ප්‍රජාවන් දෙක තුළම ප්‍රධාන බාධාව බවට පත්ව තිබෙන්නේ ඔවුන් අතිශය දෘඪ දේශපාලන ආස්ථානයන්හි මුල් බැස්වූ ආදිකාලීන ජාතික ප්‍රාර්ථනාවන් ය. ඓතිහාසික තොරතුරු යොදා ගනිමින් වත්මන් ජාතික ප්‍රාර්ථනා සූත්‍රගත කිරීම, දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඒවා අතීතයට අදාළ කිරීම – ආදිකාලීනමය ජාතික ප්‍රාර්ථනා විස්තර කරන්නේ එසේ ය. ඓතිහාසික තොරතුරු පදනම් කර ගෙන කිසි යම් ජාතියකට දේශපාලන උරුමකම් ඉල්ලා සිටීමට අයිතියක් පවතින බව ඔප්පු කිරීමට ශිලා ලේඛන ප්‍රයෝජනයට ගැනීම නිදසුනකි. අපගේ ඉතිහාසය විශ්ලේෂණය කළ යුතු ආකාරය ද එහි දේශපාලන ඇඟවුම් ද පෙන්වා දීමට ශාස්ත්‍රීය පර්යේෂණාත්මක ලියකියවිලිවලින් අතිශය බලගතු ලෙස කරුණු ඉදිරිපත් වී ඇත. “සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියා ඇත්තේ ආදිකාලීනවාදී බසකිනි, ජාතිකවාදී කල්පිතයන් කාල විරෝධී ලෙස අතීතයට යොදා ගනිමිනි … තමන් ඉදිරිපත් කරන අදහස සනාථ කිරීම සඳහා, ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ බෞද්ධයෙකු විසින් යැයි කියා සිටින පුරාණ වංශ කතා ද සෙල් ලිපි ද යොදා ගනිමිනි” [2]. දෙමළ දේශපාලන නායකත්වයේ තත්ත්වය ද මෙය ම ය.

දෙමළ ප්‍රජාව ව්‍යසනයේ අද්දරට තල්ලු කිරීම සම්බන්ධයෙන්, සංවිධානය ආරම්භ කළ තැන් පටන් ම දෙමළ කොටි වගකිව යුතු ය. අවසානයේ දී එම ක්‍රියාවලිය ඔවුන්ගේ නායකත්වය ව්‍යසනය කරා ද මරණය කරා ද පැමිණවූ විට, ඔවුහු තමන්ගේ ආදිකාලීන ජාතික ප්‍රාර්ථනා අවදි කර ගන්නට පටන් ගත්හ. සිය සාම්ප්‍රදායික නිජ භූමියෙහි වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම පිළිබඳ මනෝ රාජ්‍යය තව මත් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන්හි ප්‍රධාන දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලනික පදනම ලෙස පවතින්නේ ය. මෙම දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලනික ප්‍රාර්ථනා දෙමළ කොටි නායකත්වයත් සමග මිහිදන් වූයේ නැත. ටීඑන්ඒ යත් පසුව ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පක්ෂයත් විගස මෙම බෙදුම්වාදී දෘෂ්ටිවාදය කරපින්නා ගත්තේ ය. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ෆෙඩරල්වාදී ක්‍රියා මාර්ගයක් මත උද්ඝෝෂණයෙහි නියැළීමෙන් එය ප්‍රත්‍යක්ෂ විය. සිය ආදිකාලීන ප්‍රාර්ථනා යළි ඉස්මතු කරමින්, යුරෝපා බලවතුන් පැමිණෙන්නට පෙර දෙමළ ජනයාට උතුරෙහි වෙන ම රාජධානියක් පැවති බව ද ඔවුහු කියා සිටියහ. මිලිටරිමය පරාජයකින් තාවකාලික පසුබෑමක් ඇති කළ හැකි වුව ද දෘෂ්ටිවාදයක් යටපත් කළ නොහැකි ය. යුද්ධය පරාජය වූ පසුව, එල්ටීටීඊයේ බලකාර නියෝජිතයා වන ටීඑන්ඒය එම දෘෂ්ටිවාදය ම කර පින්නා ගෙන අඛණ්ඩව දේශපාලන අරගලයෙහි නියැළෙමින් එම ප්‍රාර්ථනාවන් පදනම් කරගෙනම තර්ක ඉදිරිපත් කළේ ය.

දේශපාලන අභිප්‍රාය

සාධාරණ සහ කල් පවත්නා දේශපාලන විසඳුමක් කරා යාමට පවතින තවත් ප්‍රධාන බාධාවක් වන්නේ ජයග්‍රාහක පාර්ශ්වය තුළ දේශපාලන අභිප්‍රායක් නැතිකම යි. යුද්ධයක් අවසන් වුණු විට, දෙපාර්ශ්වය ම සිය දේශපාලන ශක්තිය උරගා බලන දේශපාලන සංග්‍රාම භූමිය කරා අරගලය මාරු වී යයි. මැතිවරණයට පෙර ද මැතිවරණයෙන් මෙපිට දී ද දේශපාලන අරගලය අඛණ්ඩව සිදු වී ඇත. ග්‍රාම්ස්චි පැවසූ පරිදි, “එවිට පරාජයට පත් වුණු හමුදාව නිරායුධ කෙරේ, විසුරුවා හරිනු ලැබේ, එහෙත් මිලිටරිමය සූදානම් වීම පිළිබඳ අරගලය දේශපාලන සටන් බිම තුළ අඛණ්ඩව සිදු වී ගෙන යයි” [3]. දේශපාලන සටන් බිම තුළ අරගලය අඛණ්ඩව කෙරී ගෙන යන විට විසඳුමක් සෙවීමේ බලාපොරොත්තුව එන්න එන්න ම අඳුරු වන බවක් පෙනෙන්නට ගනී. එමෙන් ම පරාජිතයාට තමන් කලින් ඉදිරිපත් කළ කොන්දේසි මත ම පදනම් වී සාකච්ඡාවලට පිවිසිය නොහැකි නිසා සහ ජයග්‍රාහකයාගෙන් සහන දිනා ගත නොහැකි නිසා, මෙම සිතිවිල්ල සැබවින් ම මායාවක් ද විය හැකි ය. දෙපාර්ශ්වයේ දේශපාලන අරගලවල ප්‍රධාන අභිප්‍රායන් කවරේ දැයි ජනාධිපතිවරණයෙන් ද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද සනිටුහන් විය. කෙසේ වුව ද, දෙමළ ප්‍රජාව සනසන්නටවත් සමගි සන්ධානය පිළිබඳ දේශපාලනික ඉඟියක් ඔවුන්ට සපයන්නටවත් මෙම කාල පරිච්ඡේදය තුළ දී සිංහල නායකත්වය සමත් වූයේ නැත. සන්නද්ධ ගැටුම් පිළිබඳ ඉතිහාසය තුළ පවතින වඩාත්ම ඛේදනීය අත්දැකීම්වලින් එකක් ඉවසා දරන්නට සිදු වුණු ප්‍රජාවකට මේ වන තෙක් කිසිම පැහැදිලි පණිඩුඩයක්වත් නිශ්චිත සහතිකයක් වත් ලැබී නැත.

යුද්ධයෙන් පසු සමය

ජයග්‍රාහකයා කවුරුන් ද යන්න පැහැදිලිව එළිදරව් වුණු විට ආණ්ඩුව අවසන් විසඳුමක් කරා වූ සිය දේශපාලන ස්ථාවරය දැඩි කර ගත්තේ ය. ටීඑන්ඒ/අයිටීඒකේ දෙමළ දේශපාලන පක්ෂ, තමන් ඒකීය ශ්‍රී ලංකාවක පදනම මත ලබා දෙන විසඳුමක් පිළිගන්නට සූදානම් බව සංඥා කර ඇත. එහෙත්, විජිත පාලනය ඇරඹෙන්නට පෙර දෙමළ රාජ්‍යයක් පැවති බව ජනයාට සිහිපත් කර දෙමින් ද දේශපාලන විසඳුමක් වශයෙන් ෆෙඩරල්වාදය කරා යළි හැරී ගනිමින් ද ඔවුන් තව මත් සිය ආදිකාලීන දේශපාලන ප්‍රාර්ථනාවන්හි ඇලී ගැලී සිටින බව පැහැදිලි ය. ඔවුන් සිය ආස්ථානය යම් තරමකට මෘදු කරගෙන ඇත ද යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර දී ගොඩ නැගුණු බලගතු අවිශ්වාසය සමහන් කිරීමට එය ප්‍රමාණවත් වන්නේ නොවේ. දෙපාර්ශ්වය ම තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් යළි සලකා බලා තම දේශපාලන ආස්ථානයන් යළි සූත්‍රගත කර ගත්තේ නම් සමගි සන්ධානයට යම් අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබිණ. එසේ වූයේ නම්, ‛දේශපාලන සටන් බිම’ තුළ සිදු වන අරගලය හරහා ගම්භිර අන්‍යෝන්‍ය අවබෝධයක් අත් වී ගැටුමට දේශපාලනික විසඳුමක් ලැබෙන්නට ඉඩ තිබිණ. මෙම අවස්ථාව තවමත් පවතී. රාජ්‍ය ගොඩ නැගෙන ආකාරය පිළිබඳව කළ පර්යේෂණ කටයුතුවලින් පසුව ඩී. රොත්චයිල්ඩ් සහ පී.ජී. රොයෙඩර් මතු දැක්වෙන අදහස් පළ කළහ: “එහෙත් බලය බෙදීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ, ජනවාර්ගික කණ්ඩායම්වල නායකයන් තම ඉල්ලීම් මධ්‍යස්ථකර ගැනීමට අඛණ්ඩ කැපවීම මත සහ ඔවුන් තම ප්‍රජාවන් තුළ සිටින දැඩි මතධාරී කොටස් ග්‍රහණයට ගැනීමට සමත් වීම මත ය. සිවිල් යුද්ධයකින් පසුව එවැනි මධ්‍යස්ථතාවක් සහ සංයමයක් ඇති වන්නට තිබෙන ඉඩකඩ අල්ප ය” [4]. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ කාරණාවේ දී සිංහල ප්‍රකෝපකාරීන් තම ග්‍රහණයට ගැනීමටත් තම දේශපාලන ආස්ථානයන් මධ්‍යස්ථකර ගැනීමටත් සමත් බවක් යුද්ධය අතරතුර දී සහ යුද්ධයෙන් පසුව සිංහල දේශපාලන නායකත්වය වෙතින් පළ වූයේ නැත. දෙමළ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳ කාරණාවේ දී දෙමළ කොටින් වෙතින් ද එවැන්නක් පළ වූයේ නැත. දේශපාලන නායකත්වය පිළිබඳ වගකීම් භාරය දැන් රඳා පවතින්නේ ආණ්ඩුව සහ සිංහල නායකත්වය අත වුව ද යුද්ධයෙන් පසුව ද මෙම තත්ත්වය අඛණ්ඩව පැවතී ගෙන ගියේ ය. තවද එය සමගි සන්ධානය පිළිබඳව පවතින සියලු බලාපොරොත්තුවලට වළ කපමින් තව මත් පවතින්නේ ය.

අප සමාජය ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමේ අතිවැදගත් කර්තව්‍යය යළි ඇරඹිය හැකි වන පරිදි ශ්‍රී ලංකාව තුළ පවතින බෙලහීන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු ය. වර්තමානයේ දී, දේශපාලනික විමතික භාවය ද ඉවසා දැරීම ද දැඩි ලෙස ආතතිකර තත්ත්වයකට පත්ව ඇත. ඡන්ද සංඛ්‍යාව අතින් දුර්වල වුණු විපක්ෂයට හෙවත් එජාපයට ද දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ගැටලු සමග පොර බැදීම සඳහා අවශ්‍ය කරන මූලෝපායක් හෝ දේශපාලන අභිප්‍රායක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් දුර්වලව තිබෙන විට බහුතරවාදී පාලනයක් යටතේ වෙනස්කම් කිරීම අත්විඳි ජනකායකගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මුළුමනින් ම සුරක්ෂිත කළ නොහැකි ය. එම නිසා, දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කර ගත හැකි වන්නේ සිංහල ප්‍රජාව තුළ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ඇති වුව හොත් පමණකි. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා වන විසඳුමකින් සිංහල ප්‍රජාවේ අයිතිවාසිකම් ද ආරක්ෂා වන නිසා මෙය සියලු දෙනාට ම ප්‍රතිලාභ ලබා දෙයි

විසඳුමක් නැතිකම

දේශපාලන විසඳුමක් නැති තත්ත්වය තුළ අපට උරුම වූයේ බරපතළ ලෙස බෙදී ගිය ජාතියකි, අප එය ඊළඟ පරම්පරාව කරා ද ගෙන යනු ඇත. එවැනි අමිහිරි තත්ත්වයක් දිගින් දිගට ම පැවතී ගෙන යාමෙන් සිදු වනු ඇත්තේ නව ආකාරයක සටන්කාමී කණ්ඩායමකට ගසා කෑ හැකි බලාපොරොත්තු රහිත තත්ත්වයක් ජනනය වීම පමණකි. යුද්ධයට පෙර ජර්මනිය තුළ සටන්කාමී ජාතිකවාදය නැගී ඒමට බලපෑ හේතු සාකච්ඡාවට ලක් කරමින් එරික් හොබ්ස්බෝම් මතු දැක්වෙන විශ්ලේෂණය කළේ ය: “කෙසේ වුව ද, සටන්කාමී ජාතිකවාදය හුදෙක් බලාපොරොත්තු රහිත භාවයේ පිළිබිඹුවක් හැටියට ම අප නොදකින විට දී පවා, එය පැහැදිලි ලෙස ම මිනිසුන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට පවතින අනෙක් දෘෂ්ටිවාදයන්ගේ, දේශපාලන ව්‍යාපෘතිවල සහ ක්‍රියා මාර්ගවල අසමත්කම, බෙලහීනකම සහ සුපැහැදිලි නොහැකියාව නිසා ඇති වුණු ශූන්‍යත්වය පුරවන්නක් වන්නේ ය” [5]. සිංහල දේශපාලන නායකත්වය මෙම අත්දැකීම්වලින් උගත යුතු ය, දෙමළ ජනයාට බලාපොරොත්තු රහිත බව නොව බලාපොරොත්තුව, බෙලහීනත්වය නොව, දේශපාලන ශක්තිය ලබා දෙන දේශපාලන ව්‍යාපෘතියක් පවතින බව සහතික කළ යුතු ය. මෙය මුදුන් පමුණුවා ගැනීම සඳහා වඩාත් ම ශක්‍ය සහ වඩාත්ම සුදුසු දේශපාලන ව්‍යාපෘතිය වන්නේ බලය බෙදා හැරීම යි. සිංහලයන් වීම නිසා ද බහුතර ප්‍රජාවට අයත් වීම නිසා ද, දේශපාලනිකව සහ සාමාජීයව කොන් කරනු ලැබීම හමුවේ බලාපොරොත්තු රහිත බවින් මැඩී සිටින සාමාන්‍ය දෙමළ තරුණයාගේ ජාතික හැඟීම් අප බොහෝ දෙනෙකුට කිසි කලෙක අවබෝධ කර ගත නොහැකි වනු ඇත. බෙනඩික්ට් ඇන්ඩර්සන් “Imagined Communities” (පරිකල්පිත ප්‍රජාවෝ) නමැති සිය සුප්‍රකට කෘතියේ දී ජාතිකවාදයේ ආකර්ෂණීයත්වය ගැන ද ජාතිකවාදී ව්‍යාපෘතිය වෙනුවෙන් මිය යාමට කරන කැඳවුමෙන් ජනයා පීඩාවට පත් වීමට පවතින ඉඩකඩ ගැන ද පැහැදිලි කරයි.

“අවසානයේ දී එය ප්‍රජාවක් යැයි පරිකල්පනය කරනු ලබන්නේ, එකිනෙකා අත්දකින අසමානකමේ සහ සූරා කෑමේ වෙනස්කම් නොතකා, ජාතිය හැම විටම ගැඹුරු, සමස්ත සහෝදරත්වයක් ලෙස පිළිසිඳ ගන්නා බැවිනි.

”අවසන් විග්‍රහයේ දී, පසු ගිය සියවස් දෙකක කාලයක් තිස්සේ එවැනි සීමිත පරිකල්පනයන් වෙනුවෙන් එතරම් ම මිලියන සංඛ්‍යාතයක් මිනිසුන් ඝාතනය වන්නට නො ව කැමැත්තෙන් මියැදෙන්නට මග පෑදුවේ මෙම සහෝදරත්වය යි”[6] . උතුරු නැගෙනහිර යුද්ධය තුළ දී එතරම් ම තරුණයන් සංඛ්‍යාවක් කැමැත්තෙන් මියැදෙන්නට පෙරට පැමිණීමේ හේතුව අවබෝධ කර ගැනීමට ඇන්ඩර්සන්ගේ පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වේ. එමෙන් ම, ජාතිකවාදී හැඟීම්වල බලය සහ සාධාරණ දේශපාලන විසඳුමක් නැති තත්ත්වය තුළ එම හැඟීම් අප තවත් මිලිටරි ව්‍යාපෘතියකට ඇද දැමීමට ඉඩ තිබෙන සැටි අවබෝධ කර ගැනීමට ද එය ප්‍රයෝජනවත් වේ. වෙනම රාජ්‍යයක් පිළිබඳ කොටින්ගේ මනෝ රාජ්‍යය ඔවුන් සමඟම වෙල්ලාමුලිවයික්කාල්හි දී වළ දැමුණේ වුව ද 2009 මැයි 18 වන දා ඔවුන්ගේ වෙඩි හඬ නිහඬ වූයේ වුව ද ඒකීය ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ප්‍රජාවේ අභිමානය සහ ගෞරවය පුනස්ථාපනය කළ හැකි විසඳුමක් නොමැති වුව හොත් ඔවුන්ගේ සිහිනය යළි මතු වී එන්නට පවතින ඉඩකඩ බැහැර කළ නොහැකි වනු ඇත.

මෙම රට තුළ 30 වසරක අතිවිනාශකාරී යුද්ධයක් පැන නැග ගෙවුණු කාලයෙන් පසුව, අප රට තුළ පවතින බහුසංස්කෘතික සහ බහුජාතික භාවයෙන් එල්ල වන පීඩනයන් නිසා නොබිඳෙන ජනවාර්ගික අන්තඃකරණයෙන් සහ බහුවිධතාවෙන් යුතු දේශපාලන ව්‍යුහයන් සකසා ගැනීමට අවශ්‍ය කරන මූලික පදනම විදහා දක්වන්නට ඓතිහාසික අවස්ථාවක් සැපයී ඇත. මෙය සිදු නොවුව හොත් ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ සිංහල නායකත්වය පිළිබඳව ලියැවෙනු ඇත්තේ යුද්ධය දිනූ මුත් සාමය අහිමි කර ගත් නායකත්වයක් වශයෙනි.

Notes

[1] Niccolo Machiavelli, The Prince (London, 2003), 10-11 පිටු
[2] E.Nissan and R.L Stirrat, History and the Roots of the Conflict, J Spencer ^ixia’& lD;sfhys ‘The generation of communal identities’ in Sri Lanka, (London, 1990) 40 සංස්. කෘතිෙයනි
[3] Antonio Gramsci, Prison Notebooks, (London, 2007), 229 පි
[4] P.Roeder and D Rothchild, Sustainable Peace: Power and Democracy After Civil Wars, P. Roeder and D. Rothchild ^ixia’& lD;sfhys ‘Dilemmas in State Building in Divided Societies’ (Ithaca and London, 2005) 9 පි
[5] Eric Hobsbawm, Nation and Nationalism since 1780: Programmes, Myths and Reality (Cambridge: 1997), 144 පි
[6] Benedict Anderson, Imagined Communities: Reflections on the Origins and the Spread of Nationalism (London 1893), 7 පි. අවධාරණය අෑදිණි