ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් පසුගිය(10) එක්තරා ජාතික පුවත්පතක පළවී තිබේ. එහි ලිපි ශීර්ෂය වන්නේ “මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ නෑ” යන්නයි. මෙරටේ මාධ්‍ය විසින් ආචාරධර්ම ඉතා දැඩිව කෙළෙසමින් කටයුතු කරන මෙවන් අවධියක දී කවර අදහසකින් යුතුව වුවත් ජනමාධ්‍ය පිළිබඳ බුද්ධිමතෙකු විසින් දක්වන එවැනි අදහසක් මෙරටේ ජාතික පුවත්පතක් තුළින් ඉස්මතු කර දැක්වීම සුදුසු නොවන බව මාගේ අදහසයි. විශේෂයෙන්ම මා විසින් පසුගිය දිනවල ලියූ ලිපි කිහිපයකින්ම මෙරටේ මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බැවින් ජනමාධ්‍ය පිළිබඳ විද්වතෙකු විසින් දක්වා ඇති එම අදහස සම්බන්ධයෙන් මෙසේ සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි.
ඔහු විසින් එම ලිපිය පුරාම දැක්වූ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ මෙරටේ වත්මන් මාධ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ එතුමා තුළ පවත්නා අදහස ප්‍රායෝගික ද යන්නය. එනම් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඕනෑ තරම් පරමාදර්ශී තත්ත්වයන් ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා යථාර්ථවාදීව මාධ්‍ය ක්ෂේත්රය තුළ කටයුතු කිරීමේදී ක්‍රියාත්මක කළ හැකිද හා ක්‍රියාත්මක වනවා ද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් වෙළෙඳ පොළ සාධක ඇතුළුව වත්මන් ආර්ථික ක්‍රමය තුළ මාධ්‍ය වල හැසිරීම තීරණය වන බැවිනි. එහෙත් ෂෙල්ටන් ගුණරත්න මහතා විසින් දක්වන්නා වූ එම ලිපියේ අඩංගු අදහස් තුළ එවැනි ප්‍රායෝගික තත්ත්ව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවක් දක්නට නොලැබේ.
එම ලිපියේ මුඛ්‍ය අදහස ලෙස ඉස්මතු වන ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය නොවේ නැමැති කරුණ ඔස්සේ ඔහු ඉදිරිපත් කරන අදහසක් වන්නේ මාධ්‍යවේදියා සවිඥානක මාධ්‍ය කලාවක නිරත විය යුතුය යන්නයි. එනම් ඔහු විසින් දක්වන පරිදි මාධ්‍යවේදියා විසින් කල්පනාකාරීව වචන හසුරවයි නම් ඒ ඔස්සේ මාධ්‍ය සදාචාරය ආරක්ෂා වීම සිදුවේ. එහෙත් වත්මන් මාධ්‍ය කර්මාන්තය තුළ එනම් නිදසුනක් වශයෙන් මෙරටේ මාධ්‍ය කර්මාන්තය තුළ එවැන්නක් සිදු වන්නේ ද එවැන්නක් සිදු කළ හැකිද යන්න ගැටළුවකි. ඔහු විසින් ප්‍රකාශ කරන අන්දමට මාධ්‍යවේදීන් එසේ කටයුතු කරනු ලබයි නම් මාධ්‍ය ආචාරධර්ම අවශ්‍ය නොවේ. එහෙත් මාධ්‍ය හිමිකාරිත්වයේ අවශ්‍යතාව මත මෙහෙය වනු ලබන මාධ්‍යවේදියාගේ භූමිකාව තුළින් මෙවැනි තත්ත්ව බලාපොරොත්තු වන්නේ නම් ඒවා හුදෙක් සුන්දර අදහස් පමණක්ම වන බව සහ කිසිදු දිනක සාක්ෂාත් කර ගත නොහැකි වන්නා වූ සිහින පමණක්ම බව ෂෙල්ටන් ගුණරත්න විද්වතාට පෙරළා පැවසිය යුතු වන කරුණයි.
තව ද විශේෂයෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් ඔහු විසින් එසේ දක්වා ඇති අදහස් බෞද්ධ සංකල්ප ඔස්සේ විග්රහ කිරීමට ද ඔහු විසින් කටයුතු කර ඇති බව පැවසිය යුතුය. එනම් මාධ්‍යවේදීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් බුදු දහමේ අන්තර්ගත වන හරයන් යොදා ගනිමින් කර ඇති විග්‍රහය පිළිබඳව සැලකීමේ දී අතිශයින් ධාර්මික විග්‍රහයක් වුවත් ඔහුගේ එම අදහස් අවබෝධ කර ගෙන ඒ අනුව කටයුතු කිරීමට නම් සියලු මාධ්‍යවේදීන්, මාධ්‍ය පිළිබඳ විචාරකයින් මෙන්ම සියලු ජනයා ද බෞද්ධ සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වේ. එසේම මාධ්‍යවේදියෙක් බවට පත්වීමට බලාපොරොත්තු වන සෑම පුද්ගලයෙකුම මාධ්‍ය සම්බන්ධයෙන් ලබන න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවට අමතරව බුදු දහම සම්බන්ධයෙන් ද අවබෝධයක් ලැබිය යුතුය. එවිට මාධ්‍ය ක්ෂේත්රය ආචාරධර්ම අවශ්‍ය නොවන වඩා යහපත් ක්ෂේත්රයක් බවට පත්වේ. ඔහුගේ මෙම අදහස් එම ලිපියේ අන්තර්ගත වන නිදසුන් කිහිපයක් ඇසුරින් පහත අයුරින් ඉදිරිපත් කළ හැකිය.
“වෙළෙඳ දැන්වීම් හෝ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත කටයුතු කිරීම නිසා ග්රාහක සිත් තුළ අනවශ්‍ය අවශ්‍යතා ඇති කිරීමේ වගකීමද බාර ගත යුත්තේ මාධ්‍ය ආයතනයි. අප මේ කටයුතු කරන්නේ සදාකාලිකව ජීවත්වන්නවුන් මෙන් සිතාගෙනය. එහෙත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු අවබෝධ කරගත් විට මේ සියල්ල ආත්මයකින් තොර වන බව අපට වැටහෙනු ඇත.”
“ජනමාධ්‍ය මඟින් නිරන්තර සෘණාකල්ප වර්ධනය වන ලෙස පුවත් ප්‍රචාරය කිරීම නිසා එය ග්රාහකයන්ට මේ සංසාරය පිළිබඳ අවබෝධ කරගැනීමට හොඳ මඟක්යැයි වරෙක සිතිය හැකිය. එහෙත් එය නිවැරැදිව අවබෝධ නොකරගන්නා ඒ තොරතුරු නිසා අසහනයට පත් වේ. එය දුක්ඛයයි. එය සංසාරය පුරා ඉවත් කළ නොහැකිය. එයින් ගැලවිය හැක්කේ නිර්වාණාවබෝධයෙන් පමණි.”
“මෙය යම් තාක් දුරකට මැඬලිය හැක්කේ ආර්ය අෂ්ටාගික මාර්ගය අනුගමනය කරන මාධ්‍ය කලාවකින් පමණි. එයින්ද ශීලය නිවැරදිව පුහුණු කිරීමට මාධ්‍යවේදීන් හා ආයතන කටයුතු කරන්නේ නම් ජනතාවට නිවැරැදි තොරතුරු සපයන යහපත් මාධ්‍ය කලාවක්, මාධ්‍ය සංස්කෘතියක් ඉන් බිහිකළ හැකිය.”
මාධ්‍ය ක්ෂේත්රයේ පැවතිය යුතු තත්ත්වය සම්බන්ධයෙන් බෞද්ධ මූලධර්මවලට අනුකූලව කරනු ලබන මෙම පැහැදිලි කිරීම් ප්‍රායෝගික නොවන නමුත් ඉතාම වැදගත්ය. එහෙත් කෙතරම් වැදගත් වුවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු විනා එසේ කළ හැකි බව පවා සිතීම විහිළුවක් වන තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ සිදු කිරීමේ ඇති ඵලය කුමක්දැයි යන්න විමසිය යුතුය. විශේෂයෙන්ම ඔහු ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙකු ද වන බැවින් මෙවැනි ප්‍රායෝගික නොවන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව මාගේ අදහසයි. කෙසේ වුවත් බුදු දහමේ අන්තර්ගත වන සංකල්ප සම්බන්ධයෙන් වෙනත් රටවල යම් උනන්දුවක් ඇතිවී ඇති මෙවන් සමයක එවැනි රටවල් තුළ බුදු දහමේ මූලධර්ම සමඟ ජනමාධ්‍යවේදය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දී තිබිය හැකි වුවත් එසේ හදාළ පමණින්ම ඒවා ජනමාධ්‍ය ක්ෂේත්රය තුළ ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගත හැකි දැයි යන්න සැකසහිතය. ඒ ජනමාධ්‍ය ක්ෂේත්රය ද ආර්ථික සාධක මඟින් හසුරුවනු ලබන බැවිනි. කෙසේ වුවත් ඔහු විසින් ප්‍රාර්ථනා කරනු ලබන ආචාර ධර්ම අවශ්‍ය නොවන බෞද්ධ මූලධර්ම මත පදනම් වුණු එම පරමාදර්ශී මාධ්‍ය භාවිතාව වෙනත් රටවල කෙසේ වෙතත් මෙරටේදී නම් යථාර්ථයක් නොවන බව ඉතා පැහැදිලිය.
ඒ අනුව සඳහන් කළ යුතු වන්නේ ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ෂෙල්ටන් ගුණරත්නගේ මාධ්‍ය සඳහා ආචාරධර්ම අවශ්‍ය නොවන බව පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇති මෙම අදහස් සුන්දර හා ඉතා අගනා අදහස් වුවත් වචනවලින් ඔබ්බට ඒවාට අර්ථයක් දීමට නොහැකි බවය. ඒ අනුව ඔහුගේ අදහස් අනුව ක්‍රියාත්මක වන ජනමාධ්‍ය භාවිතයක් ඇති වීම කිසිදා සිදු නොවන බව පැවසිය යුතුය. කෙසේ වුවත් ඔහු ප්‍රාර්ථනා කරනු ලබන පරමාදර්ශී ජනමාධ්‍ය ක්ෂේත්රය බිහිවීම සඳහා ඔහු විසින් කරනු ලබන යෝජනාව ද අවසාන වශයෙන් මෙසේ සටහන් කරමි.
“යමකුගේ සිත නොරිදෙන අයුරින් තම වෘත්තියේ නිරත වන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන්ට අවබෝධ කරගත හැකි හොඳම ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කටයුතු කිරීමය. අඩුම තරමේ බෞද්ධ රටවල මාධ්‍යවේදීන් හෝ මේ ක්‍රමය අනුගමනය කළ යුතුය යන්න මගේ යෝජනාවයි”
මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාණෙනි. ඔබ ජනමාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ උගතෙකු බැවින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන ඔබගේ බුද්ධියට ගරු කරමි. එහෙත් ඔබගේ මෙම අදහස් ප්‍රායෝගික භාවිතයන් බවට පත් කිරීමට උත්සාහ කිරීමට වඩා පවත්නා තත්ත්ව වලට ගැළපෙන යෝජනා මාධ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට හැකි නම් මෙම ප්‍රායෝගික නොවන අදහස් වලට වඩා වැදගත් වන්නේ එම කාර්යය බව මම තරයේ විශ්වාස කරමි. විශේෂයෙන්ම මාධ්‍ය සදාචාරය පිළිබඳ කිසිදු අදහසකින් තොරව ක්‍රියාත්මක වන මෙරටේ වත්මන් මාධ්‍ය ක්ෂේත්රයට ඔබගේ දැනුම හා අත්දැකීම් තුළින් වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි අදහස් ඉදිරිපත් වීම ඉතා වැදගත්ය. මන්ද යත් ඔබ මෙරටේ මාධ්‍ය ක්ෂේත්රය තුළින් බිහිවූ ලොවම පිළිගත් බුද්ධිමතෙක් වන බැවිනි.
ඔහුගේ අදහස් ඇතුළත් එම ලිපිය මෙම සබැඳියෙන් කියවිය හැකිය.
සුරෝෂන ඉරංග | Suroshana Iranga