ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා ජනතාව මේ කොමිසමට යන්නේ ප‍්‍රශ්න කියන්නට ය. වැඩි වැඩියෙන් කොමිසමට යනවා කියන්නේ ජනතාවට ප‍්‍රශ්න වැඩි වී තිබේ. නැතහොත් කොමිසම ගැන විශ්වාසයක් ඇති වී තිබේ.
රාජ්‍ය ආයතන වලින් ජනතාවට අසාධාරණකම් සිද්ධ වෙන එක අද ඊයේ පටන් ගත් එකක් නොවේ. ජනතාවට සමීප වෙන්නට කියා පොලීසි වටේ තාප්ප කඩා මල් වැව්වාට තවදුරටත් ඒ පොලීසි ඇතුළේ ජනතාව කකුල් දෙකෙන් එල්ලෙන්නේය. පොලූ පහර කන්නේය. පොලීසි ඇතුළේ නැතත් පොලිස් නිලධාරීන් විසින් කුලියට ගත් ගෙවල් ඇතුළේ ඒ වැඬේ සිද්ධ වන්නේය. ඒ එක් උදාහරණයක් විතර ය.
අනෙක් පැත්තෙන් පොදුවේ මුහුණ දෙන්නට සිද්ධ වන ප‍්‍රශ්න ය. ඌව-වෙල්ලස්සේ ගොවිබිම් අක්කර 62,500 ක් විදේශීය සමාගමකට විකුණන්නට පිඹුරුපත් සකස් කර අවසන් ය. මුතුරාජවෙල වගුරුබිමට කොළඹ කුණු දමන්නට ප්ලෑන් ගහන්නේය. චුන්නාකම් ප‍්‍රදේශයේ ජනතාව තවමත් බොන්නේ වස වතුර ය. හරියට රතුපස්වල වගේම ය. වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත ඝාතන සිද්ධිය ගැන පැමිණිලි කීයක් නම් ඔය කොමිසමට භාර දුන්නේද?
මානව හිමිකම් කොමිසම කියන්නේ ඒ වගේ තැනකි. මේ හැම ප‍්‍රශ්නය ම ගොඩගැහෙන තැනකි. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කළ ද, පසුගිය කාලය පුරාම මේ කොමිෂන් සභාවේ ඈලි මෑලි ස්වභාවය සම්බන්ධයෙන් විවිධ තර්ක-විතර්ක මතු විය. ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට එරෙහි පැමිණිලි ගැන ඇස් ඇර නොබැලූ අවස්ථා ද ඇත. දෙනියාය ප‍්‍රදේශයේ රජයේ දේපොළ යොදා ගනිමින් සිදු කළ පෞද්ගලික නිවසක් සම්බන්ධයෙන් ගවේෂණය කළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ගැන කරන ලද පැමිණිල්ල ඊට උදාහරණයකි. ඒ නිවස හැදුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නංගී ය.
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් පසු ඒවාට කළ හැකි ලොකුම අපරාධය කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය. ඔහු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා වලට පුද්ගලයන් පත්කිරීමේ සියලූ බලතල ජනාධිපතිවරයා යටතට පවරා ගත්තේය. ඒත් මේ ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ බලතල ව්‍යවස්ථාදායක සභාවට පැවරීය.
දැන් මේ වැඩ කරන්නේ ඒ ආකාරයෙන් පත් වූ මානව හිමිකම් කොමිෂන් සභාව ය. ඒ සභාපතිවරිය වන ආචාර්ය දීපිකා උඩගම ය. ඒ කොමසාරිස්වරුන් ය.
ඔවුන් පසුගිය දින කිහිපයේ දී ජනාධිපතිවරයා වෙත යවන ලද වැදගත් ලිපි දෙකක් විය. උතුරේ කුල පීඩනය නිසා ලේ හිග වීම, පේරාදෙණියේ කථිකාචාර්යවරිය දුම්රියට පැන සියදිවි නසාගැනීමේ සිද්ධිය වැනි අතිශය වැදගත් ප‍්‍රවෘත්ති නිසා මාධ්‍යයට ඒ ලිපි දෙක ගැන වගේ වගක් තිබුණේ නැත. ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද ඒ ලිපි දෙකට සැලකිය යුතු ප‍්‍රතිචාරයක් දක්වා ඇති බවක් වාර්තා වන්නේ නැත.
ඉන් පළමුවැන්න වන්නේ ‘සුළුතර අන්‍යාගමිකයන්ට එරෙහිව පහරදීම්’ යන ශීර්ෂය යටතේ යොමු කර තිබූ ලිපියයි. පසුගිය මැයි 31 වැනිදා මේ ලිපිය කොමිෂන් සභාව මගින් ජනාධිපතිවරයා වෙත යවා තිබේ. එම ලිපිය මගින් කොමිෂන් සභාව මුස්ලිම් ප‍්‍රජාවට සහ ඔවුන්ගේ ව්‍යාපාර වලට එල්ල කරන ප‍්‍රහාර පිළිබද සිය බරපතල කණස්සල්ල පළ කර සිටී. ඔවුන් එමගින් මතු කෙරෙන භයානක තත්ත්වය මෙසේ පැහැදිලි කරයි.
‘මීට පෙර අවස්ථාවක දියත් කරන ලද්දා වූ මේ හා සමාන වූ හැසිරීම්දාමය හේතු කොටගෙන 2014 ජුනි මාසයේ දී අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට මගපෑදුණු අතර, එමගින් ජීවිත සහ දේපොළ වලට වූ හානිය කොමිෂන් සභාව සිහිපත් කළ යුතු වේ. එමෙන්ම අලූත්ගම ප‍්‍රචණ්ඩකාරීත්වයට පෙළඹවීම් කළ සහ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම් වලට වගකිවයුත්තන් නීතිය ඉදිරිපිටට ගෙන ඒම සදහා අර්ථවත් ක‍්‍රියා පිළිවෙතක් මෙතෙක් ගෙන නොතිබීම ද මෙනෙහි කළ යුතු වේ.’
අලූත්ගම, දර්ගා නගරයේ සිදු වූ ප‍්‍රචණ්ඩකාරී පහරදීම් වලට පෙර ද පසුගිය ආණ්ඩුවේ හුරතල් සේනාව කටයුතු කළේ මේ අකාරායට ය. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඒ සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා බව පැවසුවද, මෙතෙක් එවැන්නක් සිදු වූයේ නැත. පසුගිය සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැති රාජිත සේනාරත්න පවසා තිබුණේ අලූත්ගම සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන ඇති බවකි. එහෙත් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත්තේ කවුද, ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් විය. එදා වේල යැපෙන්නට බොරු කියන ඇමැතිවරුන්ගේ තත්ත්වය මෙයාකාර වේ. ඔවුන්ට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මේ එල්ල කර ඇත්තේ බරපතල අතුල් පහරකි.
කොමිසම ජනාධිපතිවරයා වෙත යැවූ මේ ලිපියේ වැඩිදුරටත් මෙසේ ද සදහන් කරයි.
‘කිසියම් ප‍්‍රජාවකට විරුද්ධව එල්ල කරන්නා වූ එවන් වෛරී හා ප‍්‍රචණ්ඩකාරී කථනයන්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ආශ‍්‍රිත පනත සහ ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයෙහි විධිවිධාන යටතේ අපරාධ ලෙස සැලකෙන ක‍්‍රියාවන් වේ. එවන් ක‍්‍රියාදාමයන්හි යෙදෙන්නන් අත්අඩංගුවට ගෙන නීතිප‍්‍රකාරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. පවත්නා නීති ක‍්‍රියාත්මක නොවී හුදෙක් වචනයට පමණක් සීමා වී තිබීම නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ල වල බලවත් පහරක් වේ. එම නිසා රටේ පොදු යහපත තකා මෙකී නීතිරීති ක‍්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වේ.’
මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව මාස දෙකක් තුළ සිදු වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා විසි පහකට ආසන්න සංඛ්‍යාවකට වගකිවයුතු බවට සැක කෙරෙන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙතෙක් අත්අඩංගුවට ගන්නට පොලීසිය සමත් වී නැත. අධිකරණයෙන් උන්වහන්සේට එරෙහිව වරෙන්තු ද නිකුත් කර තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ චෝදනාව යටතේ උන්වහන්සේ ඇල්ලිය යුතුය. ඒත් ආණ්ඩුවේ ආශිර්වාදය මත ඒ සැකකරු සැගවී සිටී. ආණ්ඩුවේ ආශිර්වාදය මත බව කියන්නට හොදම සාක්ෂිය නම් එක්තරා නීතීඥවරයකුගේ නිවසේ උන්වහන්සේ සැගවී සිටින බව ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ප‍්‍රසිද්ධියේ පවසා තිබියදීත් මෙතෙක් ඒ නීතීඥවරයාගෙන් ප‍්‍රශ්න නොකිරීම ය. එසේ ම දිවයින පුවත්පත මගින් රහසිගත ස්ථානයකදී උන්වහන්සේ හමු වී කළ සම්මුඛ සාකච්ඡාවක් ද පළ කර තිබිණි. ආණ්ඩුවේ ඇමැතිවරයකු සමග උන්වහන්සේ පවත්වන අතිශය සමීප සම්බන්ධතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී තිබේ. ඒ පිළිබදව අසාද් සාලි මන්ත‍්‍රීවරයා විසින් ද කරුණු හෙළි කර තිබිණි. පොලීසිය අසාද් සාලිගෙන් ප‍්‍රශ්න කර ද නැත. විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා තමන්ට අපහාස කළ බවට නඩු පවරන බවක් කීවේ ද නැත.
සමාජයේ නීතියේ හා සාමයේ පැවැත්මට බරපතල තර්ජනයක් වන කාරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ඒ ආණ්ඩුවේ බලය ක‍්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් වන පොලීසිය කටයුතු කරන්නේ මෙවැනි උදාසීන පිළිවෙතක සිට ය. එවැනි තත්ත්වයක් යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මෙවැනි ලිපියක් යොමු කිරීම කොතරම් වැදගත් ද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ නීතියේ ආධිපත්‍ය කෙළෙසූ බවට මොර දෙන මේ ආණ්ඩුව ගලගොඩඅත්තේ ඥානසාර වැනි චීවරධාරීන්ට අදාළව නීතිය අසමාන ලෙස ක‍්‍රියාත්මක කිරීම කොමිසමේ බරපතල විවේචනයට ලක් වී තිබේ.
මේ සිදුවීම් වලට අදාළ ව නීතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවීම රටේ සංහිදියා යන්ත‍්‍රණයට බලපෑම් එල්ල කරන බවත්, ජාත්‍යන්තර වශයෙන් ඇති වන කළු පැල්ලමක් බවත් වැඩිදුරටත් අදාළ ලිපිය මගින් කොමිසම ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ. එසේම මේවා වළක්වන්නට අදාළ නියෝග කඩිනමින් නිකුත් කරන ලෙස ද කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පොලීසිය ඒ වැඬේට අසමත් නම් ඒ වඩ හමුදාවට භාර දෙන බවක් ජනාධිපතිවරයා පවසා තිබිණි. එහෙත් සිදු විය යුත්තේ එය ද? හමුදාව සිවිල් කටයුතු වලට කැදවිය යුත්තේ අත්‍යවශ්‍ය කාරණා වලදී පමණි. සිවිල් කටයුතු වලදී නිරායුධ ජනතාව සමග සුහදව කටයුතු කිරීමට පුරුදු පුහුණු කර ඇත්තේ පොලීසිය ය. හමුදාව කැදවා ගැටළු ඇති කර ගැනීමට වඩා පොලීසිය නිසි පරිදි ක‍්‍රියාත්මක වන තැනට අදාළ නියෝග නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම ය. පොලිස්පති වේවා, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වේවා වැඬේ හරියට නොකරන්නේ නම් තවත් තෙපරබාන්නේ කුමටද? රතුපස්වලදී නිරායුධ ජනතාවට වෙඩි තැබීමට අදාළ ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන පුවත්පතකට පවසා තිබුණේ තමන්ගේ නියෝගයකින් තොරව හමුදාව වෙඩි තැබූ බවකි. මේ සිදුවීම් වලට අදාළ කටයුතු ස`දහා හමුදාව කැදවීමෙන් එවැනි දේ සිදුවුවහොත්… ඒ ඝාතන වලට ජනාධිපතිවරයාට වගකිව හැකිද?
අප සදහන් කරන දෙවැනි ලිපිය වන්නේ ‘අනුස්මරණය හා සංහිදියාව’ යන ශීර්ෂයෙන් පසුගිය ජුනි 07 වැනිදා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියයි. එලිල් රාජේන්ද්‍රන් පියතුමා විසින් කොමිසමට කරන ලද පැමිණිල්ලක් මත මේ ලිපිය යවා තිබේ. ඒ බව කොමිසම ජනාධිපතිවරයාට මෙසේ ස`දහන් කර ඇත.
‘ආයුධ සන්නද්ධ අරගලයේ අග භාගයේදී ජීවිතය අහිමිවූවන් අනුස්මරණය සදහා මුලතිව්හි, ජේසු සමාජයේ ගරු එලිල් රාජේන්ද්‍රන් පියතුමන් විසින් සංවිධානය කරන ලද අනුස්මරණ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා අවස්ථා ගණනාවකදී පොලීසිය විසින් තමන් කැදවන ලද බවට එතුමන් වෙතින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. එකී අනුස්මරණ ක‍්‍රියාදාමය දියත් කිරීමට නියමිතව තිබුණේ මුලතිව්හි, මුල්ලවයික්කාල්හි ස්ථාපිත කරනු ලබන ස්ථිර ස්මාරකයක තැන්පත් කිරීම ස`දහා එකී ජීවිත අහිමිවූවන්ගේ නම් ලේඛනාරූඪ කිරීමෙනි.’
පියතුමාගේ මේ වැඬේ නවත්තන්නට පොලීසිය මගින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබේ. ඊට අමතරව පොලීසිය වරින් වර පියතුමා, උන්වහන්සේගේ මව්පියන් ඇතුළු විවිධ පාර්ශ්ව වලින් ප‍්‍රශ්න කිරීම බරපතල ගැටළුවක් ව පවතී. එමගින් සිදු වන්නේ හිංසාවක් බවත්, භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස ඇහිරීමක් බවත් පියතුමා කොමිසමට පවසා තිබේ.
සංහි`දියාව යන වචනයේ එල්බගෙන ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් හෝ ආණ්ඩුවේ මුදලින් නඩත්තු වන සංහිදියා කාර්යාලයක් ස්ථාපිත කළ පමණින් හෝ එහි ප‍්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පත් කළ පමණින් හෝ රටේ සංහිදියාව ඇතිවන්නේ නැත. ඒ සදහා සංවේදී මනසක් තිබිය යුතුය. ඒ සංවේදීකම කෙසේ විය යුතුද යන්න කොමිසම මගින් ජනාධිපතිවරයාට මෙසේ අවධාරණය කර තිබේ.
‘තිස් වසරක ආයුධ සන්නද්ධ අරගලයෙන් පසු, ශී‍්‍ර ලංකාව වාර්ගික සම්බන්ධතා ගොඩනගමින් සංහිදියාව කරා පියමං කිරීමේ ප‍්‍රයත්නයක දැනට යෙදී සිටී. එවන් ක‍්‍රියාදාමයක් තුළ තම ප‍්‍රියයන්ගේ විප‍්‍රයෝගය ගැන ශෝක වීම සහ ඔවුන් අනුස්මරණය කිරීම සදහා අවකාශය සහ හැකියාව සියලූම ප‍්‍රජාවන් සතු වීම වැදගත් වේ. එම නිසා අනුස්මරණය වූකලී සංහිදියා ක‍්‍රියාදාමයෙහි වැදගත් හා අනුකූලනිත ක‍්‍රියාකාරකමකි. සන්නද්ධ අරගලයේදී දිවි පිදූ සොල්දාදුවන් සිහිපත් කිරීම සදහා ස්මාරකයන් ගණනාවක් අප විසින් මෙරටෙහි ස්ථාපිත කර ඇත. එපරිද්දෙන්ම ස්වකීය පවුල් සාමාජිකයන් සහ පි‍්‍රයයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලූම ප‍්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප‍්‍රියයකු වෙනුවෙන් ශෝකවීමේ සහ සැමරීමේ අයිතිය කිසියම් පවුලකට අහිමි කිරීමට මියගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගත යුතු නොවේ. ස්වකීය තරාතිරම් හා දේශපලාන විශ්වාසයන් නොතකා ස්වකීය ප‍්‍රියයන්ගේ විප‍්‍රයෝගය සිහිපත් කිරීම සෑම පවුලක් ම සතු අයිතියකි.
එවන් ක‍්‍රියාදාමයකට අවකාශය ලබාදීම මගින් ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විදීමට හැකිය යන විශ්වාසය අදාළ පවුල් තුළ ගොඩනැගෙන අතර, එය සංහිදියාව කරා යන පොදු ගමනේ එක් අංගයක්ද වන්නේය. එකී අවස්ථාව අහිමි කිරීමෙන් වන්නේ වාර්ගික බෙදීම් තව තවත් වර්ධනය වී සංහිදියා පරිශ‍්‍රමය අඩාල වීම පමණකි.’
කිසිවක් අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. කොමිසම සියල්ල පැහැදිලිව දක්වා තිබේ. ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු තවදුරටත් එකිනෙකා අතර සැකය සහ අවිශ්වාසය මතු වන පරිදි වැඩ කරන්නේ නම් එවැනි රටක් සංවර්ධනය කළ නොහැකිය. යළි යළිත් මතුවන්නේ තමන්ට සිදු වන අසාධාරණකම් වලට එරෙහිව කරන අරගල ය. එය සිංහලයාට, දෙමළාට මෙන්ම මුසල්මානුවාට ද අදාළ ය. රටේ ඉදිරි පැවැත්මට බාධා කරන එවැනි ව්‍යසන තත්ත්වයන් නැති කරන්නට අවශ්‍ය පියවර ගත යුත්තේ ආණ්ඩුව ය. තවදුරටත් උතුරේ ඉඩම් හමුදාව කම්බි ගසා කොටුකරගෙන සිටින්නේ නම්, වවුනියාවේ සහ කිලිනොච්චියේ අම්මාවරුන් අතුරුදන් තම පුතුන් සොයා දෙන ලෙස උපවාස කරද්දී ඒ දෙස නොබලන්නේ නම් ආණ්ඩුව යන්නේ කොයිබටද යන්න එයින් තේරුම් ගත හැකිය.
මේ නිසා සංහිදියාව යන වචනය අර්ථාන්විත කරන්නට මේ ලිපි දෙක මගින් කොමිසම යෝජනා කර ඇති කරුණු බොහෝ සේ වටින්නේය. ලිපි දෙක පසෙක තබා 2020 ඡුන්ද පෙට්ටි ගැන හිතනවා වෙනුවට, වැඩක් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කළ යුතුය.
ඒ සමගම මානව හිමිකම් කොමිසමට ආචාරය පුද කළ යුතුය.
ශාලික විමලසේන