Image Credit:gattyImage
මුදල් සහ ජනමාධ්‍යය ඇමති මංගල සමරවීර මහතා විසින් ඔහුගේ අභිනව විදේශ කටයුතු සහ “ලොතරැයි” අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දුන් හාද්ද විසින් යහපාලන ආණ්ඩුව කළ කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලනික විවාදයට නවාකාරයක ආදරණීය බවක් ලබා දුන්නේය. එය දේශපාලන හාද්දකි. මේ හා සමාන සිදුවීමක් ජාත්‍යන්තර දේශපාලනයේ මීට කලකට පෙර සිදු විය. එනම් සවුදි අරාබියේ හිටපු රජතුමා, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් සිප වැළඳ ගැනීමය. සෞදි අරාබියේ සිප වැළඳ ගැනීම සිරදඬුවම් ලබන වරදකි. නමුත් ජනාධිපති බුෂ්, සෞදි රජු ඇමරිකාවට එනතෙක් බලා සිට ප්‍රසිද්ධියේ සිපගත්තේය. එය එකල ජගත් දේශපාලනය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. මංගල විසින් රවී සිප ගැනීම කියවිය යුත්තේ එම කෝණයට අනුව මිස තම තමන් පෞද්ගලිකව තනාගත් කූඩුවල සිටිමින් ගන්නා විනිශ්චයන් මත පිහිටා නොවේ යැයි සිතේ. එය නාවාකාරයක දේශපාලන ප්‍රතික්‍රියාවකි. පාදඩ අන්තවාදය සහ වර්ගවාදය හැරදමා ඊට හුරුවන්නේ නම් මැනවි.
කෙසේ වෙතත්, කැබිනට් සංශෝධනය බොහෝ දෙනෙකුගේ බරපතළ විවේචනයට බඳුන් වූ අතර එය පිළිබඳව යහපත් කෝණයකින් බැලූ විචාරකයින් නොමැති තරම්ය. යහපාලනය පිළිබඳ රසය බොහෝ දෙනෙකුගෙන් ඈත් වී ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දේශපාලන කණඩායමේ දක්ෂතාවය නිසා නොව, ආණ්ඩුව තම ප්‍රචාරණ කටයුතු වලදී දක්වා ඇති පසුගාමීත්වය තුළය. එය නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් තවමත් දක්නට නොලැබේ. හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට වර්තමාන මුදල් සහ ජනමාධ්‍යය ඇමති ලෙස පැවරී ඇති වගකීම වන්නේද එයයි. ප්‍රචාරණය තුළ දේශපාලනික බලය ව්‍යාප්ත කර ගැනීම සම්බන්ධයෙන් අමත්‍යවරයා සතුව විශාල වගකීමක් තිබේ.
එම මූලික කාරණය පැත්තකින් තබා මුදල් අමත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා හමුවේ පැවරී ඇති මූලික වගකීම සහ ඒ වටා ගෙතුණු මූලික කාරණා දැක්වීම වැදගත් යැයි සිතේ. වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශය බරපතළ ලෙස විවේචනයට ලක් වූ අමාත්‍යාංශයකි. එසේම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා උග්‍ර විවේචනයට බඳුන් වූ අයෙකි.
ඊට සමාන්තරව විදේශ කටයුතු අමාත්‍යංශයට එල්ල වූ චෝදනා වල අඩුවක්ද නොවුණි. නමුත් බොහෝමයක් විවේචන පරිපාලනමය කාරණා මූලික කරගත් දෑ වූ අතර, විදේශ සම්බන්ධතාවල විශාල දියුණුවක් ඇති කිරීමට සමරවීර මහතා සමත් විය. ශ්‍රී ලංකාවේ සිදු වූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා දැමු යෝජනාවේ සාන්ද්‍රණය අඩුකොට එය රටට වාසිවන ආකාරයෙන් හැරවීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම, ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට අවශ්‍යය පියවර ගැනීම, විදෙස් ප්‍රතිපත්තිය ඔස්සේ රටට සහ ජනතාවට වාසිවන ආකාරයෙන් සිදු වූ මූලික දෑ වේ.
කවුරුන් මොන විවේචන එල්ල කළද, වත්මන් ආණ්ඩුවේ අනෙකුත් අමාත්‍යාංශ වලට වඩා සාර්ථකම අමාත්‍යාංශය වූයේ විදේශ කටයුතු අමාත්‍යංශයය. එය ශ්‍රී ලංකා ආණ්ඩුවට පමණක් නොව රජයටද සර්ව සම්පූර්ණයෙන්ම එරෙහිව කටයුතු කළ බලවේග පවා මේ වන විට පිළිගන්නා කාරණයකි. එහිදී සමරවීර මහතා මනා පරිචයෙන් සහ පරිශ්‍රමයෙන් කටයුතු කළ බවට කිසිඳු විවාදයක් නොමැත. ඇතැම් අවස්ථා වලදී උග්‍ර විවේචන වලට බඳුන් වෙමින් සහ රට තුළ සිටින දේශපාලන කල්ලි වලින් ප්‍රභල ප්‍රහාර වලට ලක් වෙමින් අමාත්‍යවරයෙකු ලෙස ඔහු කළ කටයුතු ඉතාම වැදගත් වේ. එහි යහපත් ප්‍රතිඵල ඉතාම දීර්ඝකාලීනය.
නමුත් මේ අතර සිදු වූ අවාසනාවන්ත කාරණය කුමක්ද? ඔහුගේ කටයුතු දේශීය දේශපාලනය සහ ජනතාව අතර ප්‍රචාරණය කිරීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නොතිබීමය. ප්‍රචාරණය යනු ගුණ වැයීම සහ ඉලක්කගත පුද්ගලයාගේ රුව සෑම විටම පෙන්වීම නමැති හිට්ලෙරියානු හෝ ස්ටලිනියානු මනස තුළ සිට කටයුතු කිරීම නොවේ. වත්මන් භූමිකාව තුළ එවැනි දෑ තම අරමුණු සාර්ථක කරගැනීමේ මඟ නොවේ. නමුත් අවාසනාවට මෙන්, මෙරට තවමත් සිදුවන්නේ පැරණි කොමියුනිස්ට් සමාජය තුළ ක්‍රියාත්මක වූ ප්‍රචාරණ උපායන් වෙනස් මාදිලියකින් ක්‍රියාත්මක කොට, නායකයා හෝ ඔහුගේ නියෝජිතයා පිනවීමේ ක්‍රියාදාමයය. එහි ප්‍රතිඵලය වන්නේ කිසිඳු වගතුවකට නැති පිරිසක් තමන් වටා බිහි වීමය. පරපෝෂිතයින් රාශියක් තම මනස අරක්ගත් විට සිදුවන්නේ එහි නියත ගොදුරක් වීම පමණි.
එවැනි තත්වයකට පත්වූ පසු, රටේ ජනතාව අතරට ගෙන යා හැකි සාර්ථක වැඩපිළිවෙලක් නිර්මාණය කරගත නොහැකිය.
වතුකරයේ ජනතාවට අවශ්‍යය තේ කර්මාන්තයට අදාළව පැනනගින ගැටලූ වලට අවශ්‍යය පිළිතුරු මිස ධීවර කටයුතුවලට අදාළව මතුවන ගැටලූ නොවේ. එසේම ධීවර කටයුතු වලට අදාළව කටයුතු කරන ජනතාවට වැදගත් වන්නේ තම කර්මාන්තය වටා ඇති මූලික ගැටලූ විසඳීමේ සාධනීය වැඩපිළිවෙලකි.
එනම් ජනතාවට දැනෙන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය වේ. මගේ විශ්වාසයට අනුව හිටපු විදේශ කටයුතු ඇමති, මුදල් අමාත්‍යවරයා ලෙස වත්මන් වටපිටාව තුළ ලබාගෙන ඇති අවස්ථාව මෙයයි. කාලාන්තරයක් තිස්සේ ජගත් දේශපාලනය තුළ සිදුකළ කටයුතු, දේශීය දේශපාලනය තුළ අත්හදා බැලීමට මෙන්ම රටේ සමස්ථ ජනතාව අතරට ගමන් කිරීමේ මූලික ප්‍රවාහය සමරවීර මහතාට ලැබී තිබේ. කැබිනට් සංශෝධනයේ ඇති යහපත් පැත්ත එයයි.
මෙය සිදුකළ හැක්කේ කෙසේද? වත්මන් ආණ්ඩුවට බලය ලබාදීමේදී ජනතාව අපේක්ෂා කළ මූලික කාරණා දෙකක් විය. පළමුවැන්න, ගෙවී ගිය කාලය තුළ සිදුකළ හොරකම් වලට අදාලව පරීක්‍ෂණ පවත්වා වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීම. දෙවැන්න, වත්මන් ආණ්ඩුව යටතේ මහජන දේපළ කොල්ල නොකෑමට ඉඩ දීම. මෙම කාරණා දෙකම අතිශය සංකීරණ කාරණා වේ.
නමුත් මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දෑ නොවේ. ලෝකයේ සෑම රටක්ම මෙම මූලික අභියෝග දෙකට මුහුණ දුන්හ. එසේම මුහුණ දෙමින් සිටිති. සංවර්ධිත රටවල් මෙම මූලික කාරණා දෙක මනා ලෙස කියවීමට මෙන්ම ඊට අවශ්‍යය මූලික උපායන් සකස් කිරීමට සමත් වූහ. එම උපායන් සාර්ථකව ක්‍රියාත්මක වන බව සොයා බැලීම සඳහා පැහැදිළි ස්වාධීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.
මෙහි එක් නිදසුනක් වන්නේ හොංග් කොංග් විශේෂ පරිපාලන කලාපයයි. මේ සම්බන්ධයෙන් මීට පෙරද මා විසින් සඳහන් කර ඇති නමුත් මෙහිදී යළිත් සඳහන් කිරීම වැදගත් යැයි සිතේ.
70 දශකය අගභාගය වන තෙක් හොංග් කොංග් වූ කලී අපරාධකරුවන්ගේ පාරාදීසයක් විය. රාජ්‍යය පරිපාලන සේවය සහමුලින්ම පාහේ අපහරණය සහ අවභාවිතය මත තීරණය විය. පොලිසිය තැන දුටු තැන වල ඉහ ගන්නා තත්වයට පත් වී තිබුණි. එසේම පොදු සේවා සියල්ලම පාහේ උග්‍ර ලෙස විනාශ මුඛයට ඇද වැටී තිබුණි. ඇතැම් වාර්තා පෙන්වා දෙන පරිදි; ලිංගික අපහරණය සඳහා ගැහැණු ළමුන් පැහැර ගන්නා හෙයින් දෙමාපියන්ට තම ගැහැණු ළමුන් පිරිමි දරුවන් සේ අන්දවා පාසල් යැවීමට සිදුවූහ. තත්වය එතරම් සංකීරණ වූ අතර, අවභාවිතය සහ අවිනීතිය සමස්ථ සමාජයේම මූලික පරිපාලන ක්‍රමවේදය බවට පත්වී තිබුණි. සුළුතරයකගේ විඳීම වෙනුවෙන් බහුතරයක් විඳවීම සමාජය තුළ දැකගත හැකි වූ මූලික රටාව විය.
අල්ලසට එරෙහිව ස්වාධීන කොමිසම හෙවත් අයි.සී.ඒ.සී. ස්ථාපිත කරනු ලැබුවේ ඊට අවශ්‍යය මූලික පියවරක් වශයෙනි. ආයතනයක් පිහිටුවීම ඉතාම පහසු කාරණයක් වුවද සහ එය ස්වාධීනව නඩත්තු කිරීම අතිශය බැරෑරුම් කටයුත්තකි. විවිධ බාධක රාශියක් මධ්‍යයේ අයි.සී.ඒ.සී. ජයග්‍රහණය කොට ඇත්තේ එම මූලික අභියෝගයයි. (වැඩිදුර කියවන්න: – http://www.icac.org.hk/en/about/history/index.html )
ආයතනයේ අරමුණු වෙනුවෙන් ලියනු ලැබූ වචන මත පිහිටා කටයුතු කිරීම මෙන්ම ඒ ඔස්සේ තම කටයුතු ස්වාධීන විඝනනයකට ලක් කිරීම මෙම ආයතනය පුරාම දැකගත හැකි මූලික ලක්ෂණයකි. එසේම තම ආයතනයේ ස්වාධීනත්වය ඇතිකිරීම මෙන්ම ආයතනය ජනතාවගේ අයිතියක් බව පෙන්වීමට ගෙන ඇති උත්සාහය කදිමය. එපමණක් නොව, ආයතනයේ මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා රට තුළ අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමේදී ආයතනයේ අරමුණු ක්‍රමෝපායිකව සංස්කෘතික ගත කිරීම මෙහිදී දැකගත හැකි මූලික කාරණා වේ. එය, තනි පුද්ගලයෙකුගේ වෑයමක් නොවේ. අවංක මිනිසුන් රාශියකගේ භාරධූර කටයුත්තක ප්‍රතිඵලයකි. එහි ප්‍රතිඵලය ලෙස සමාජ ආරක්ෂාව මෙන්ම ආයෝජකයින්ගේ ආකර්ශනය මනා ලෙස දිනාගෙන ඇත. 70 දශකයේ අගසිට මේ දකවා හොංග් කොංග් ලබා ඇති ජයග්‍රහණ බොහෝය.
ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පරිපාලනයට පත්කරගත් ආණ්ඩු බොහෝමයක් මෙම විෂයට අදාලව ආයතන පිහිටුවනු ලැබූහ. ආයතන රාශියක් ඇතිකරනු ලැබීය. එසේම ඒවා මඟින් ඇතැම් සිදුවීම් මූලික කරගෙන පරීක්ෂණ පවත්වනු ලැබූහ. ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණ කරණු ලැබීය. නමුත්, ඒ සියල්ලම ඉතාම කෙටි කාලයකින් මහජනතාව අතර ප්‍රතික්ෂේප වීමට ලක් විය. විමසා බලා ප්‍රතිකර්ම යෙදිය යුත්තේ එම මූලික කාරණයටය.
වත්මන් මුදල් ආමාත්‍යවරයා ලෙස සමරවීර මහතා අභියස ඇති මූලික අභියෝගය වන්නේද මෙය යැයි සිතේ. සාර්ථක වැඩපිළිවෙක් ඔස්සේ රටේ මූලික ධනය විසරණය වීමේ ස්වාධීන සහ සාදාරණ වැඩපිළිවෙලක් ඇති කිරීමට සමත් වුවහොත්, මීළඟ මහමැතිවරණයට පෙර රට තුළ විශාල වෙනසක් ඇති කිරීමට හැකිවේ.
විපක්ෂය විසින් නගන නිරර්ථක ඝෝෂාවලට ප්‍රතිචාර ලබා දී සතුටුවීම වෙනුවට රටේ ජනතාව අතර විස්වාශය දිනාගත හැකි වන්නේ ජනතාවට දැනෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමෙනි.
අවසන් විග්‍රහයේදී කිව හැක්කේ කුමක්ද? සමරවීර මහතා ආභිමුඛව ඇති අභියෝගය ඔහුට ප්‍රභල සහ ඉතාම වැදගත් අවස්ථාවක් ලබා දී ඇති බවයි. එනම්, දේශීය දේශපාලනය තුළ තම දේශපාලනය වැඩිදුරටත් ශක්තිමත් කරමින් නායකත්වයේ ශක්තිය වැඩිකොට ජනතාව අතර අව්‍යාජ කැමැත්තක් ඇතිකිරීමට අවශ්‍යය ප්‍රධාන හැන්ද ඔහුට ලැබී තිබේ.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa