බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්:
මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස පළ කල අතර අග්‍රාමාත්‍යතුමා විසින් එය 2017 මාර්තු මස 7 වන දින පලමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එය දෙවන වර කියවීම සදහා 2017 ජූලි මස 5 වන දිනට නියමිත වූ නමුත් එදින ඉදිරිපත් නොවීනි.
පනතේ අරමුණ
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණවේ.
පනතේ පසුබිම
පනතේ පූර්විකාවට අනුව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සදහා ශ්‍රී ලංකාව 2016 ජූනි 24 වන දින සිට පාර්ශවකරුවෙකු වන අතර එකී සම්මුතියේ බැදීම් ඉටුකරනු වස් ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවක් පවතී. කෙසේ නමුත් මා මෙම පනතේ දකින සුවිශේෂී අවශ්‍යතාවය වන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම මේ වන තෙක් ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් ලෙස කිසිදු පනතකින් හදුනා ගෙන නොතිබීමේ අඩුව මෙම නීතිය මගින් පිරිමැසීමයිි. 1972, 1989 හා තිස් අවුරුදු යුද්ධයේ විවිධ අවස්ථාවන් තුල අතුරුදහන් වීම් සිදුවුවද, අතුරුදහන් වූවන් පිලිබද සෙවීමට ජනාධිපති කොමිෂන් සභා කිහිපයක් පත් කර තිබුනද, තවමත් එය අපරාධ වරදක් ලෙස අප රට හදුනාගෙන නොතිබීම බරපතල අඩු පාඩුවකි. (අතුරුදහන් වූ සිදුවීම් සම්බන්ධව නඩු පවරා ඇත්තේ පැහැරගෙන යාම හෝ මිනීමැරීම සම්බන්ධයෙනි)
පනතේ අන්තර්ගතය
මෙම පනත අනුව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, රහසිගත ස්ථානවල රදවා ගැනීම, අයුතු ලෙස සිරකර තැබීම, යම් තැනැත්තෙකුගේ ඉරණම සැගවීම හා නීත්‍යානුකූල හේතුවක් නොමැතිව රදවා ඇති ස්ථානයක් හෙලිදරව් නොකිරීම වරදකි.
එවැනි වරදක් සිදු කරනු ලබන අයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරන අතර එහිදී වරදකරු වුවහොත් අවුරුදු විස්සක් දක්වා බණ්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ දහයක් දක්වා දඩයකට යටත් වේ. එයට අමතරව එම අපරාධය නිසා වින්දිතයන් වන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ පහකට අඩු නොවන වන්දියක් ගෙවීමටද ඔහු යටත්වේ.
එසේම මෙම අපරාධයන් පිළිබද පරීක්ෂණයන්ගේ ප්‍රගතිය පිලිබදව දැනගැනීමේ අයිතිය අපරාධයට ගොදුරු වූ පුදගලයන්ගේ සමීප ඥාතීන්ට අයිතිය ඇත. එසේම මෙවැනි අපරාධයක් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ අතුරුදහන් වීමට එරෙහි සම්මුතියට සාමාජික රටවල් වලින් සහය ලබාගත හැකි අතර එවැනි සහයක් එම රටවල් ඉල්ලා සිටි විටෙක ලබාදිය යුතුය.
පනත් කෙටුම්පත පිලිබද පැතිරෙන දුර්මත
මෙම පනත පිළිබද ප්‍රධාන දුර්මතයන් දෙකක් සමාජගත කරමින් පවතී. එකක් වන්නේ මෙම පනත රණවිරුවන් දඩයම් කිරීම සදහා වූවක් බවයි. දෙවැන්න නම් මෙම පනත යටතේ රණවිරුවන් විදේශ රටවලට පාවාදීමේ ප්‍රතිපාදන පවතින බවයි.
පනත් කෙටුම්පතේ පළමුවන වගන්තියට අනුව මෙම පනත බලාත්මක වන්නේ එකී පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව කථානායකවරයාගේ අත්සත එයට තැබූ දිනයේ සිටය. ඒ අනුව මෙය අතීතයට බලපාන නීතියක් නොවේ. තිස් අවුරුදු යුද්ධයේදී සිදුවූ කරුණු සම්බන්ධයෙන් මෙම පනත යටතේ නඩු පැවරිය නොහැක.
එමෙන්ම මෙම පනතට අනුව අපේ රටේ තුල හෝ අපේ රටේ ධජය යටතේ තිබෙන් නැවක් තුල හෝ ගුවන් යානයක වුවද මෙම පනතට අදාල වරදක් කල අයෙක් (ශ්‍රී ලාංකිකයෙක් හෝ විදේශිකයෙක්) සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ අපේ රටේ අධිකරණයට. වෙනත් රටක වෙවැනි වරදක් කල අයෙක් අපේ රටට පැමිණ සිටින වේලාවක ඔහුව අදාල රටෙන් ඉල්ලා සිටි අවස්ථාවක 1977 අංක 8 දරන උදර්පණ පනතේ ප්‍රතිපාදන හා 2002 අංක 25 දරන සාපරාධී කාරණා වල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ විධිවිධාන අනුව කටයුතු කල යුතු බව පනත් කෙටුම්පතේ සදහන් වෙනවා. ඒ අනුව අප රටේ අපරාධ සම්බන්ධයෙන් සැකරුවෙකුව විදේශ රටකට භාරදීමේ වගකීමක් මෙම පනත අනුව රජයට පැවරී නොමැත. ( www.documents.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පනත් කෙටුම්පත ඔබටද කියවිය හැකිය)
ඒ අනුව දැනට සමාජගත කරමින් පවතින දුර්මත දෙකම ඉතාම සාවද්‍ය බව පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන අනුව පැහැදිලිවේ. මෙම පනත මගින් දැනට සිදුවී ඇති අතුරුදහන් වීම් සදහා සාධාරණයක් ඉටු නොවූවද (ඒ සදහා දැනටමත් සම්මත වී ඇති අතුරුදහන්වූවන් පිළිබද කාර්යාල පනත යම් තාක් දුරට ප්‍රයෝජනවත් වේ) ඉදිරියේ දී සිදුවන බලහත්කාරී අතුරුදහන් කිරීම් වැලකීම හා ඒවායේ වින්දිතයන්ට සහන සැලසීමක් සිදුවේ.
සාමාන්‍යයෙන් මෙවැනි පනත් ගෙන එන විට ප්රතිරෝධයන් පැමිනෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් හා නිලධාරීන්ගෙන්ය. මෙවැනි නීති ඉල්ලා සිටින්නේ සිවිල් සංවිධාන මානව හිමිකම් ක්‍රියාකාරීන් හා විපක්ෂ දේශපාලනඥයින්ය. නමුත් අපේ රටේ සමහර විපක්ෂ දේශපාලනඥයින් කෙතරම් ආණ්ඩු විරෝධීද යත් ජනතාවගේ හා තමන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව ගෙන එන නීතිවලටත් විරුද්ධ වෙති.
කෙසේ නමුත් මෙම පනත අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සම්මත කිරීමට විපක්ෂයේ සමහර දේශපාලඥයින් සිදුකරන බාධාවන්ට එරෙහිවීම සිවිල් සමාජයේ වගකීමකි.
(මෙම ලිපිය පසුගිය සතියේ රාවය පුවත්පතේ පළවිය)
නීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyanaarachchi