ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප ගැන පහළ සාමාන්‍යය ජනතාවට නිවැරදි අවබෝධයක් නොමැතිකම ද මේ ගැන නිවැරදි අවබෝධයක් ඇති අය තමන්ට අවශ්‍ය ලෙස අර්ථ විකෘති කිරීම නිසා ද කෙස් පැලෙන වචන හරඹ නිසාද මෙම සංකල්ප වලින් නිවැරැදි ප්‍රයෝජන ගෙන ජාතික ගැටළුව විසදීමට තවමත් නොහැකි වී තිබේ.

අනාගමිකවාදය ද මෙවැනි වචන හරඹ නිසාම විකෘති වූ සංකල්පයකි. අනාගමිකත්වය පිළිබඳ කථිකාව නව වටයකින් ආරම්භවන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව (PRC වාර්තාව) අගම හා ව්‍යවස්ථාවේ සම්බන්ධතාවය අනාගමික විය යුතු යැයි නිර්දේශ කිරීම ( එක් නිර්දේශයක් පමණි) සමගිනි. එම වාර්තාව ගැන පශ්චාත් දැනුවත්කිරීමේ වැඩසටහනක් නොවූ නිසා එම වගකීම පවරාගත් දේශපාලන පක්ෂ තමතමන්ට කැමති ලෙස මෙම නිර්දේශ විග්‍රහ කළේය.

කෙසේ වෙතත් සංකල්පීය වශයෙන් අනාගමිකත්වය, රාජ්‍යයේ ස්වභාවය තීරණය කිරීමේ නූතන ගෝලීය තලයේදී ඉතා හොඳ මිනුම් දඬුවකි. මෙම ලිපිය ලංකා රාජ්‍යය හා අනාගමිකත්ව මොඩියුලය ගැන විමසීමකි.

සමානාත්මතාවය සමඟ අනාගමිකත්වය තේරුම් ගැනීම

අනාගමිකත්ව (Secularism) සංකල්පයට මූලික තේරුම් දෙකක් තිබේ. පළමුවැන්න, ආගම රාජ්‍යයෙන් වෙන් කිරීමයි. එහිදී රාජ්‍යය කිසිඳු ආගමකට සුවිශේෂ මැදිහත්වීමක් නොකරන අතර යම් ආගමකට, ආගමික පිරිසකට විශේෂ අනුග්‍රහයක් ලැබෙන ආකාරයේ නීති සම්පාදන කිරීමෙන් ද රාජ්‍යය වැළකෙයි. එනම්, සෑම ආගමක් ඉදිරියේ උපරිමාකාරයේ මධ්‍යස්ථභාවයක් හා අපක්ෂපාතීත්වයක් රැකගැනීමට රාජ්‍යය උත්සහ කිරීමයි. ඉන්දීය නීති ලේඛකයෙකු වන චක්‍රභාරතී රාජ්‍ය හා ආගම අතර අතික්‍රමණය කළ නොහැකි බිත්තියක් (impassable wall) ඉදිකිරීම යනුවෙන් මෙම අදහස හදුන්වාදුන්නේය,
දෙවැන්න, සෑම ආගමකටම සමාන පදනමකින් ගරු කිරීමයි. මෙම අදහස යථාවත් වන්නේ යම් රටක් සමානාත්මතාවය (Equality) යන්නට ලබා දී තිබෙන තත්වය මතය. විධිමත් අර්ථකථනයට අනුව සියල්ලන්ටම සමානයන් ලෙස සැළකීම සමානාත්මතාවයයි. අසමානාත්මතාව නැති කිරීමට විශේෂ පුද්ගලයන්ට සුවිශේෂී ලෙස සැළකීම සමානාත්මතාවයයි යනු මෙහි රැඩිකල් අර්ථකථනයයි. ජෝන් රෝල්ස්ට අනුව පංතියක වැඩ බැරිම ළමයාට සුවිශේෂී අවධානයක් දීම අසමානාත්මතාවය නොවේ. මන්ද, එම සුවිශේෂී සංග්‍රහයේ අරමුණ සමානාත්මතාවය ඇති කිරීමට වන නිසයි. ඒ අනුව, යම් ආගමකට රාජ්‍යය මැදිහත් වී (නීතියෙන් හෝ) වෙනස්කම් කරයි ද එවිට අනාගමිකත්වයේ පදනම දෙදරා යයි. අනෙක් අතට, රාජ්‍ය ආගමික සමානාත්මතාවය ඇතිකිරීමට ආගමකට සුවිශේෂ සංග්‍රහයක් කරයි ද එය අනාගමිකත්ව සංකල්පයට එරෙහි වීමක් ද නොවේ.


ඉන්දු-ඇමරිකානු ආදර්ශ

ඉන්දියානු ප්‍රජාතන්තවාදයේ මුරගල ලෙස සැළකෙන්නේ අනාගමිකත්ව සංකල්පයයි. ඉන්දියානු ව්‍යවස්ථා සභාව සකස්කළ මුල් ව්‍යවස්ථා කෙටුම්පතට මෙම සංකල්පය ඇතුළත් නොවුනත් ව්‍යවස්ථා සම්පදනයට එක්වූ ආචාර්ය අම්බෙඩ්කාර්,නේරු හා ගාන්ධි වැනි ඉහළ පෙළේ නායකයන් අතර රාජ්‍යය ආගමෙන් ඈත් කළ යුතු බවට කථිකාවක් තිබිණි. 1976 ව්‍යවස්ථාවට එක් කළ 42 වැනි සංශෝධනය ඉන්දියාව පූර්ණ අනාගමික රාජ්‍යයක් බවට පත් කළේය.

ඇමරිකාව මෙම සංකල්පය ඉතා ඉහළින් අගය කරන රටකි. එරට ව්‍යවස්ථාවට ගෙනා පළමු සංශෝධනයෙන්ම ආගම රාජ්‍යයෙන් ඈත් කරයි. මීටපෙර කොන්ග්‍රසයට ආගමක් තහනම් කිරීමට තිබූ කතිපයාධිකාරී බලය මෙම සංශෝධනයෙන් අහිමි කරයි. Lerron v. Kurtzman නඩු තීන්දුවේදී රජයේ සෑම පනතක්ම නීතියක් වීමට පෙර සමත්විය යුතු මූලික පරීක්ෂණ 3ක් දක්වයි. පනතේ ආගමික ස්වභාවය පැහැදිළි කිරීම,පනත කිසිඳු ආගමකට වාසිදායක හෝ ආගමක් තහනම් කිරීමට නොවන සහතික කිරීම හා පනතේ අරමුණ රාජ්‍යය හා ආගම අතර සම්බන්ධතාවය තර කිරීමට නොවන බව සහතික කිරීම එම පරීක්ෂණ මූලධර්ම වේ.

ලංකාව ආගමික ද? අනාගමික ද?

78 ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පැහැදිළිවම අනාගමිකත්ව සංකල්පයේ මුල් තේරුමට හරස් වී සිටී. එම වගන්තියට අනුව ‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන්නේය.’ ‘සියළුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’ යැයි සදහන් කරයි. මෙයින් පැහැදිළිවන්නේ වගන්තිය රාජ්‍යය හා බුද්ධාගම අතර තද බැදීමක් ඇතිකර තිබෙන බවයි.

මෙහිදී රාජ්‍යයට බුදු දහම රැකගැනීමට සුවිශේෂී මැදිහත්වීමක් කිරීමට සිදුවේ. බුදු දහමට විශේෂවන ආකාරයේ නීති සම්පාදනයට රජ්‍යය සජුව මැදිහත් නොවුන ද යම් නීතියක් සම්මත වීම හෝ නොවීමට සිංහල බෞද්ධ බහුතරයේ නොනිල අවසර නැමැති තීරණාත්මක පරීක්ෂණයෙන් (Test of Sinhala-Buddhist Majoritarianism) සමත්වීම අතවශ්‍යය වේ. එම පරීක්ෂණය සමත් නොවේ නම් රජයට අඩියක් පසුපසට ගැනීමට සිදුවේ. සමලිංගිකත්වය නීතිගත කිරීමේ කථිකාව යට යන්නෙද මෙම පරීක්ෂණය සමත්වීමට නොහැකි නිසයි. මින් පෙනෙන්නේ රාජ්‍යයට බුද්ධාගම ඉදිරියේ තද බල මධ්‍යස්ථභාවයක් හෝ අපක්ෂපාතීත්වයක් රදවා ගැනීමට නොහැකි වී ඇති බවයි. එසේ වන විට ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය කියන අකාරයට කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම හා භාෂාවේ වෙනස මත වෙනසකට හෝ විශේෂීකරණයට ලක් නොවිය යුතු වුවත් ආණ්ඩුවේ දේශපාලන මාර්ග සිතියම ඇදීමේදී සිංහල-බෞද්ධ ජන මතය තීරණාත්මක සාධකයකි. එම මතය මගහැරයාමට කිසිදු ආණ්ඩුවකට ශක්තියක් නැත. සිංහල බෞද්ධ බහුතර බලයකින් පත්නොවූ වර්තමාන ආණ්ඩුවට පවා එම අධිපති මතය (Hegemonic Notion) මගහැරීමට නොහැකි වී තිබේ.

අනෙක් අතට රාජ්‍යය මැදිහත්වීමෙන් එක් ආගමකට ප්‍රමුඛතාවය පිරිනමන අතරම සියලුම ආගම්වලට සමානව සැළකීමේ දෂ්ටිවාදාත්මක උභතෝකෝටිකයක් (Ideological Dilemma) ද තිබේ, එක් ආගමක් සුවිශේෂී කිරීම තුළම සමානාත්මතාවයේ පදනම දෙදරායාම ඊට හේතුවයි.

මේ අනුව, ලංකාව සෘජු වශයෙන් ආගමික හෝ අනාගමික නොවන අර්ධ-අනාගමික රාජයක් (Semi-Secular State) ලෙස සැළකීම වඩා යෝග්‍යය.

බුද්ධාගම යනු අලංකාරිකයක්

මෙරට නාමධාරී ව්‍යවස්ථා ක්‍රියාධරයන් පිරිසක් නව ව්‍යවස්ථාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකට පිටිසර ප්‍රදේශයකට ගියේය. එහිදී ගැමියන්ට යොමුකෙරූ ප්‍රශ්නයක් වූයේ නව ව්‍යවස්ථාව විසින් බුදුදහම ආරක්ෂා කළ යුතුද? නැද්ද? යන්නයි.
එක් ගැමියෙක් එක්වරම නැගිට මෙසේ කීවේලු.

“මහත්තයෝ බුදුදහම ආරක්ෂා කරන්නේ පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේලා රැක බලාගන්නෙ ඇප උපස්ථාන කරන්නෙ අපි. ඔය කියන ව්‍යවස්ථාව නෙවෙයි.”

අප මෙතෙක් කරන සාකච්ජා සියල්ලේ හරය මෙම ප්‍රකාශයේ ගැබ් වී තිබේ.

එක් අතකින්, බුද්ධාගම හුදු අලංකාරිකයක් (Rhetoric) ලෙස ව්‍යවස්ථාවේ තබා සුවද දුම් ඇල්ලීම දේශපාලන ව්‍යාපෘතියකි. මෙරට ජනාධිපතිවරයෙක් වීමට තවමත් සිංහල-බෞද්ධකම තීරණාත්මක සාධකයකි. සෑම ජනාධිපතිවරණයකදීම බුද්ධාගම රැකීම මැතිවරණ පොරොන්දු මල්ලෙන් හොදින් අලෙවි වන පොරොන්දුවකි. අනෙක් අතට, ආගම රැකීම නැමැති පොරොන්දුව සුජාත කර තම දේශපාලන පෞරුෂය වර්ධනය කරගැනීමට දේශපාලකයන්ට අවස්ථාවක් ලැබේ. මේ කියූ වාසි සියල්ල හිමිවන්නේ මහාසංඝරත්නයටවත්, විහාරාරාමවලටවත් පොදුවේ බුද්ධාගමටවත් නොවේ.

අවසන් වශයෙන් රාජ්‍යය හා ආගම අතර බැදීම ගැන ජ.වී.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ අනාගතවාදී අදහසක් උඳුරා දැක්වීම වැදගත් යැයි හැඟේ.

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva