Image By: Worldwide Elevation Finder


කොළඹ, රැජිණ පාර මත ජීවත් වන අමාරාවති ට අවුරුදු 51ක් වන අතර ඇය දරුවන් දෙදෙනෙක්ගේ මවකි. පාසල් අධ්‍යාපනය අහිමි වූ අමරාවතී, තමාගේ සුජාත පියා හෝ මව නිශ්චිතව නොහදුනයි. අමරාවතීගේ සහකරු අතුරුදහන්ව සිට මිය ගොස් ඇති අතර දියණිය මානසික සෞඛ්‍යයෙන් දුර්වල වූ අයෙකි. “මගේ කෙල්ලට කරදර කරන්න ආවානේ, කොල්ලුපිටියේ දී… මම කෑගහලා තමා බේර ගත්තේ” යැයි තම කතාව අරඹමින් අමරාවතී පැවසුවාය.

“දුවට කල්පනාව මදි. පනාගොඩ Army ඉස්කෝලෙට ගියා. අවුරුදු 08න් පස්සෙ යන්න බැරිවුනා. පුතා පල්ලියේ ඉස්කෝලේ ගියේ. එත් 6 වසරෙන් එහාට ගියේ නෑ. අනෙක් ළමයි විහිළු කළා, අපි දුප්පත්කමට ලැට් හෝදලා ජිවත්වෙනවා කියලා. දරුවාගේ හිත රිදිලා, ඉස්කෝලේ යන එක නැවතුනා. දැන් මා වගේම එයත් පාරේ කුණු එකතු කරනවා. මේ රස්සාව ලේසි නෑ. ලලිත් කොතලාවල මහත්තයා අපිට පනාගොඩින් ගෙයක් දුන්නා. ගෙදර ඉදලා උදේ හවස ඇවිත් මේ රස්සාව කරන්න බෑ. එනිසා පඩි ලැබුන දවසට විතරක් ගෙදර යනවා. අනික් දවස් වලට පාරේ ඉන්නවා. බොරැල්ලේ ළිඳට ගිහින් නාගෙන රෙදි හෝදගෙන එනවා. කෙල්ලට මම නැති දවසට කවුරු හරි බලන්න ඕනෙනේ. එනිසා කීය කීය හරි එකතුකරණවා”

අමරාවතී
මා අමරාවතී මුල් වරට දුටුවේ 2011 දී රැජිණ පාරේදී ය. එදා ඇයගේ ඉස්සරහා ඇන්දේ දත් දෙකක් වූ අතර අද මා, ඇය දකින විට දත් සියල්ලම අහිමි ව ලොඹු කටින් සිනාසුනාය. අවුරුදු 07කට පසුව ද ඇය තම දරුවන් සමග මහමග එලූ කාඩ්බෝඩ් කැබැල්ලෙහි නිදා ගනිමින්, ලැබෙන පතක් බුදිමින් ජීවිතය ගැට ගසාගන්නීය.

Park Road හිදී මට, මුන ගැසුණු ප්‍රේමා ගාල්ලේ උපන් තැනැත්තියකි. ඇයගේ දෙමාපියන් විසින් ඇය අතහැර දැමූ පසු, පල්ලියක සෙවනෙහි හැදී වැඩුණු බවත්, ආදර අන්දරයක් හේතුවෙන් කොළඹට පැමිණි බවත් හිනාවෙමින් මා සමග පැවසිය.

ආදරවන්තයා කොළඹදී සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවත්, එතැන් සිට කොළඹ කුණු එකතු කිරීමට ඇය එකතු වූ බවත් පැවසූ අතර “මගේ දෙමව්පියන් වී නම්, මට මෙවැනි දුකක් වෙන්නේ නෑ” යැයි ද ප්‍රකාශ කළේ බිමට නෙත් යොමා ගෙනය.

“මම දැන් දෙහිවල පදිංචි. මගේ දරුවෝ ලොකුයි. මගේ දුවගේ මිනිහා නෑ. අත දරුවෙක් සමග ඉන්න ඒ කෙල්ලට කන්න දෙන්නේ මම මේ රස්සාවෙන්. කුණු එකතු කරන්න හිත හයිය වෙන්න ඕනේ. කවුරු කීවත් අපිට කුණු වෙන්කරලා දෙන්නෑ. සමහර කුණු අස්සේ අසූචිත් තියනවා. මේ අත් දෙකෙන් අපි ඒවා අරගෙන ඇවිත් තෝරන්න ඕනේ”.

රැළි වැටී ඇති දෑත් මා වෙත පාමින් ඇය කීවාය. “මේ වයසක මනුස්සයා බලන්න. දැන් නිදහසේ ඉන්න ඕනේ කාලේ. එත් ජිවත් වෙන්න විදිහක් නෑ. ඉතින් උදේ නවයේ ඉදන් 5 වෙනකම් කුණු එකතු කරනවා”, ප්‍රේමා තමා අසල වූ පිරිමි සම- සේවකයා හදුන්වා දෙමින් පැවසුවාය.

“මගේ වයස අවුරුදු 65යි. මගේ නෝනයි මමයි ජිවත් වෙන්නේ මෙතන එහා පැත්තේ (මා සිටින පසට විරුද්ධ පෙදෙසට හෙතෙම අත දිගු කරයි). මම මෙතන වැඩට ආවේ පහුගිය අවුරුද්දෙයි. ඊට කළින් මම Abance එකේම වෙන තැනක මේ රස්සාවම කලා. හවස් වෙනකොට හරිම මහන්සියි. එත් මොනවා කරන්න ද. ජිවත් වෙන්නත් එපැයැ” මට පැවසූ ඔහු කාඩ් බෝඩ් මිටි බැදීම සිදු කළාය.

අවුරුදු 75ක් වන දෙමළ ශ්‍රමික ස්ත්‍රිය දන්නා සිංහලෙන් එළිදරවු කළ කතාව අනෙක් සිංහල ශ්‍රමිකයන් ගෙන් වෙනස් නොවිය.

ඉදල, රේක්කය සහ පුංචි කරත්තය තල්ලු කරමින් ඇය පුරවැසියන් (ස්ත්‍රීන් සහ පුරුෂයන්) පාරේ හළා ගිය කුණු එකතු කිරීමට ගියාය. කුණු එකතු කළ ද මොවුන් ගේ හදවත් සුවදය. එය මට වැටහී ගියේ, වාර්ගික සහ ආගමික වෙනස්කම් නොතකා ඔවුන් අතර පොදු දුක සමව බෙදා ගැනීමට ගොඩනැගී ඇති ආදරය දැකීමෙනි. වයස අවුරුදු 75ක් වන දෙමළ අම්මා ගැන ප්‍රේමා මෙසේ කීවාය. “අනේ පවු ඒ අම්මා. බඩ ගින්දර නිවා ගන්නනේ මේ දුක් විදින්නේ”

මා හට මුණගැසී සියලුම ශ්‍රමික ජනයාගේ එකම යැපීම් මාර්ගය වූයේ තමාගේ ශ්‍රමයයි. ඔවුන්ගේ ශ්‍රම වටිනාකම අදාළ සේවා යෝජකයා විසින් තීරණය කරණු ලබයි. ශ්‍රී ලංකාවේ පවතින සහ පැවති ආණ්ඩු මගින් තීන්දු කළ ශ්‍රමික අයිතීන් වෙනුවෙන් වන ප්‍රතිපත්ති මගින් , සේව්‍යායා අත්තනෝමතිකව, ශ්‍රමය සහ අතිරික්ත ශ්‍රමයේ සුරාකෑම යම් දුරකට පාලනය වේ. ඉහතකී ශ්‍රමිකයන්ගේ අතිරික්ත ශ්‍රමය පමණක් නොව, ඔවුන්ගේ සමස්ථ ජීවිතයම කුණු ගොඩක් කරමින් ආත්ම-ගෞරවය අහිමි සමාජ බහිෂ්කාරී කණ්ඩායමක් බවට පත්ව ඇති විට ආණ්ඩුව නිහඩ භූමිකාවක් නිරූපණය කරයි. එම නිහඬ භූමිකාව පිටුපස සමාජ ප්‍රාග්ධනය පිළබඳ කතාන්දරයක් ද වේ.

කුණු අදින ශ්‍රමිකයන්ගේ බහුතරයකට ඇත්තේ පවතින ක්‍රමය යටතේ වන සුජාත-ශ්‍රේෂ්ඨ වංශාවලියක් නොවේ. ව්‍යුහාත්මක නොවූ සාකච්ඡාවන්ට අනුව මෙකි ක්ෂේත්‍රයේ වන ශ්‍රමිකයන් පාසල් අධ්‍යාපනය අහිමි, සාක්ෂරතාවයෙන් හින කොට්ඨාෂයකි.

එසේම උප්පැන්නය සහ කසාද සහතිකය මෙන්ම නිශ්චිත වාසස්ථානයක් ද බහුතරයක් වෙත නොවේ. එවැනි ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට, යහපාලන හෝ රාජපක්ෂ රාජාණ්ඩු හි අවශ්‍යතාවන් නොවේ. එසේම සිංහල සහ සිංහල බුද්ධාගම, හම්බයාගෙන්, දෙමළාගෙන් සහ ක්‍රිස්තියානි පරදෙසක් කාරයින්ගෙන් බේරා ගැනීමට ජීවිතය පිදීමට රුචි සහ එසේ වන්නන් වැළද ගැනීමේ මනාපයෙන් වන සියලුම ‘ලේ -කැමති’ කණ්ඩායම් ද මෙකි ශ්‍රමිකයන් නොසලකා හරි. මක් නිසාද යත්, මෙම ශ්‍රමිකයන්ගේ ජනප්‍රිය දේශපාලන වටිනාකම අවම හෙයිනි.

මෙකි ශ්‍රමිකයන්ගේ කතා වස්තුන් මට මතක් කළේ ඇමරිකානු නිග්‍රෝ ජාතිකයගේ ඉතිහාසයයි. ඉතිහාසයේදී මෙන් කසයක් ගෙන පීඩාවන් ඇති නොකළ ද, වර්තමානයේ දී ශ්‍රමිකයන්ගේ මානව ගරුත්වය අහිමි කරමින්, අපකිර්තියට පත් කරමින් ඔවුන් ව හිංසනයට ලක්කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පූර්විකාවේ සදහන් ආකාරයට, මානවයකු ලෙස මානව වංශයේ උපන්නන් නෛසර්ගික ගරුත්වයට සහ අහිමිකළ නොහැකි සමානතාවයට සහ අයිතීන් වෙනුවෙන් විෂය වේ.(http://www.un.org/en/universal-declaration-human-rights/).

මානවයකු වීම හේතුවෙන් මෙකී ශ්‍රමිකයා වෙත තම කාර්යන් පිළිගැනීමකින් යුතුව කරගෙන යාමේ වටපිටාවක් සැකසීම අනිවාර්ය කොන්දේසියකි. ගැටළුව නම් ඉහතකී ශ්‍රමිකයන්ගේ යුක්තියවන, ගෞරවාන්විත සේවාවක් සපයා ඒ වෙනුවෙන් ඔවුන් තුලින් අරගලක් සංවිධානය කර ගැනුමය. නොඑසේ නම් මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ පවතින අරගල සමඟ ඔවුන් සම්බන්ධ කර ගැනීමය. Angela Davis, වොෂින්ටන් නුවර 2017 ජනවාරි 17 සිදුවු ස්ත්‍රී ප්‍රයත්නයේදී කළ කතාවේ මෙසේ විය. “කිසිම මානවයෙක් නීති විරෝධී නොවේ. …. මිචිගන් සිට Gaza ව තෙක් ක්‍රියාත්මක සිළුම රූපකයන් තුළ වන අරගල ස්ථානගත වන්නේ සමාජ යුක්තිය ඉල්ලා සිටීමය. (https://www.theguardian.com/commentisfree/2017/jan/22/angela-davis-womens-march-speech-countrys-history-cannot-be-deleted). නිර්-ප්‍රභූන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇරඹෙන මෙරට සාමාජ අරගල අවසානයේදී ‘ප්‍රභූ‘ කරණය වී, ඔවුන් සදහා දේශපාලන අවකාශයක් නිර්මාණය කරමින්, නිර්-ප්‍රභූ හරණයක් සිදු වේ.

එම දුර්වලතාවය වළක්වා ගනිමින් ශ්‍රමිකයන් ගේ අරගලය පටන් ගත යුතු වේ.

නිර්-ප්‍රභූන් ගේ අරගලය බොහෝ අවස්ථාවකම කොල්ලකෑමට ලක් වූ බව පෙන්වා දෙන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුවේ. එකී කොල්ලකෑමේදී නිර්-ප්‍රභූන් තුළින් ම ගොඩනැගී ප්‍රභූන් බවට පසුකාලිනව පත්ව මා-අනෙකා බෙදීම ඇතිකරනු ලබන මෙකි කණ්ඩායම අවසානයේදී අරගලය පවා දෙමින්, ‘අනේ පවු මේ ජනතාව‘ ලෙස ශෝකප්‍රකාශ නිකුත් කරයි. එවැනි පසුබිමක, අමරාවතී, ප්‍රේමා මෙන්ම අරුණි ද කම්පනයට පත් නොවී, අරගලයෙන් තම විමුක්තිය ලැබෙන ලෙස ඉදිරියට ගෙන යාමේ මාර්ග සොයා ගත යුතුව ඇත.

පසු සටහන

විකල්පය, pedigreeය සොයා නොබලා, pedigree අහිමිවූන්ගේ හඬට අවකාශයක් ලාබාදීමට ශක්තිය ලැබේවායි මේ 10 වෙනි උපන්දිනේදී සුබ පතමි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon