ප්‍රංශයේ ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මං සළකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි.
පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක් ගත කරමින් සිටි මට කණ්ඩලම හෝටලයට විරුද්ධව පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චාලි (චාල්ස් අබේසේකර) සමඟ ඇතිවූ පිළිසඳරක් කරා මතකය දිව ගියේය. අප ද එකළ එම විරෝධයට සහාය දැක්වීමු. එසේ නමුත් අපේ විරෝධයේ පදනම දඹුලු විහාරයේ සුමංගල හිමි නායකත්වය දුන් ජනප්‍රිය විරෝධයට වෙනස් විය. අප විරුද්ධ වූයේ මෙරට විවේක ගත කිරීමට දර්ශනීය ස්ථානයන්හි ධනවත් දෙස් විදෙස් සංචාරකයින්ට පමණක් ඇරුණූ හෝටල ඉදි කිරීම සම්බන්ධයෙනි. අපේ අදහස් වූයේ එවැනි ස්ථානයන්හි ශ්‍රී ලාංකික මැද පන්තික ජනයාට ද විවේක ගත හැකි සංචාරක නිකේතන සඳහා ද ලබා දිය යුතු බවයි.
ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය සහමුලින්ම යොමුව ඇත්තේ ධනවත් ශ්‍රී ලංකික හෝ විදේශීය හෝ සංචාරකයින් වෙනුවෙනි. එයද කිසිදු ක්‍රමවත් බවක් නැති හුදෙක්ම මුදල් ගරා ගැනීම ඉලක්ක කර ගත් එකකි. ඒ ගැන පසුව කියමි.
එක්බෙලෙත් විල වටා අඩු වියදමින් විවේක ගත කළ හැකි අපූරු ස්ථාන ගණනාවක්ම පුද්ගලික ව්‍යවසායකයින් විසින් පවත්වා ගෙන යයි. එමෙන්ම එක් දිනකට යුරෝ 100 – 150ක් ගෙවා නතර වී සිටිය හැකි හෝටලද විල අවට තිබේ.
අපේම කූඩාරමක් අටවාගෙන නතරවී සිටි අප හතර දෙනෙකු සඳහා එක් දිනකට ගෙවිය යුතු වූයේ යූරෝ 20කි. (එය යුරෝපයෙහි අවම සාමාන්‍ය වැටුපකින් සියයට 01 – 02 ක් පමණය. ශ්‍රී ලංකාවේ රු 25,000 – 30,000 වන මාසික වැටුපකින් නම් රුපියල් 350 – 400 වැනිය.) විදුලි බලය සඳහා වැඩිපුර යූරෝ 5ක් දවසකට ගෙවිය යුතු විය. දෙවේලක් පාන් කමින් කෑම බීම අපම උහා පිහා ගත් නිසා ඒ සඳහා වැය වූයේ ද අවම මුදලකි. කූඩාරම් මෙන්ම කැරවන් වෑන් වලින් පැමිණ නතර වන පිරිස් ද එම භූමියේ සිටිති. කුලියට ගත හැකි එක් ස්ථානයක් වර්ග මීටර 75 – 100ක් තරම්ය. විල පිරිසදුය. වෙරළ පාසිකුඩා හෝ නිලාවැලිහි මෙන් නොගැඹුරුය.
සීයලා සහ ආච්චිලාද මාපියෝ දෙතුන් වතාවක්ද දරුවෝ දවසෙන් වැඩි වේලාවක්ද එහි දිය කෙළිති. බෙහෝ දෙනෙකු පැමිනෙන්නේ හුලං පුරවා පුම්බා ගත හැකි විවිධාකාර කුඩා බෝට්ටු සහ පාවී යා හැකි ටියුබ් යනාදිය ඇතිවය. එක් උදෑසනක සිය බොට්ටු මත පාපැදි දෙකක් සවි කරගෙන ඒවා පැද යමින් විල වටා ගිය තරුණ යුවලක් කාගෙත් සිත් ඇඳ ගත්තේය. තමන් පාපැදි නැතිව ජීවත් විය නොහැකි ඕලන්දක්කාරයින් බව පෙන්වීමට මෙන් ඒ යුවල සිය ජාතික කොඩිය එහි ඔසවා තිබුණි. එහි එන සෑම දරුවකුම වාගේ සිය පාපැදි ද රැගෙන එන බැවින් සයිකල් රේස්වලින්ද අඩුවක් නැත.
එක් සැන්දෑවකදී කෝලම්කාරියන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණ දරුවන් වෙනුවෙන් නොමිලයේ සංදර්ශණයක් පැවැත්වූහ. එමෙන්ම දරුවන්ට අත්හදා බැලිය හැකි පුංචි පුංචි සර්කස් වැඩ කියා දුන්හ. දෙපැයක් පැවැති එම කෝළම් සන්දර්ශනය සඳහා අයකිරීමක් නොවීය. ඔවුන් දෙදෙනා සෑම විල් තෙරකම මෙවැනි සංදර්ශන පවත්මින් යන බවත් ඒ වෙනුවෙන් නගර සභාව වැටුපක් ගෙවන බවත් මම අසා දැන ගත්තෙමි. දරුවන් සඳහා මෙවැනි විවිධ විනෝද අවස්ථා සහ සංදර්ශන පවත්වන කණ්ඩායම් ජීනීවා නගරයේ සුලභය. ඔවුන්ටද වැටුප් නගර සභාවෙනි.
යතුරු පැදි වලින් මෙන්ම පා පැදිවලින්ද එහි පැමිණෙන තරුණ තරුණියෝද සිට උරහිසෙහි ගෙනන කුඩා කූඩරම් අටවාගෙන දින දෙක තුනක් විනෝද වී යති. මා හා කතාවට වැටුනු එවැනි තරුණ පිරිසක් කීවේ ඔවුන් මෙවැනි විල් ගණනාවක්ම සිය මාර්ග සිතියමෙහි ඇති බවයි. මෙය සති හතරක් වුව නිවාඩු ගත හැකි ග්‍රීෂ්ම සමය බැවින් මෙවැනි අඩු වියදම් සංචාරක ස්ථාන විවේකකාමීන්ගෙන් පිරී යයි.
යුරෝපයේ බොහෝ රටවල් සිට ජනයා මෙවැනි ස්ථාන කරා එති. විවිධ භාෂා කතා කරමින් විවිධ ආහාර අනුභව කරමින් සිටින පිරිස් දැකීම අරුමයක් නොවේ. ඉතා ජනප්‍රිය ආහාරයක් නම් මස් සහ එළවලු වර්ග ගල් අඟුරු මත පුළුස්සා (බාබෙකියු) ගැනීමයි. සවස්වන විට ගල් අඟරු මත මස් බැදෙන සුවඳ හතරවටින්ම දැනේ. අපේ කූඩාරමට පසුපසින් ජර්මානුවන්ද දකුණු පසින් බෙල්ජියානුවන්ද කූඩාරම් අටවා ගත්හ.
අඩුම වශයෙන් එකිනෙකින් මීටර දෙක තුනක් උස් භූමි තලයන් පහක් එම විල් තෙරෙ නිකේතනයේ තිබුණි. ඒ හැම කුඩාරමටම විල ද ඉන් පසුපසින් ඇති කදුකරයද ලස්සනට දැක ගත හැකි වනු පිනිසය. එහි වැසිකිළි සහ නාන කාමර දිනපතා පිරිසිදු කැරේ. වළං පිඟන් සොදා ගැනීමටද උණුවතුර සහිත ස්ථාන ගණනාවකි. එමෙන්ම එහි කාලය ගත කරන සංචාරකයින් කිසිවකු කොළ කැබැල්ලක් හෝ බිම දමන්නේ නැත.
දර්ශනීය ස්ථානයන්ගෙන් පිරී ගිය අප රටෙහි මහා ජනයාට විවේක ගත හැකි අඩු වියදම් විවේක නිකේතන ජාලයක් ගොඩ නැගීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත්තේ ඇයි? මළයාසියාව වැනි රටවල පවා මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ඇති බව මම අසා ඇත්තෙමි.
දෙවසරක් පුරා සබීතා පෙරේරාට වැඩකට නොගන්නා ගොඩනැඟිල්ලක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 160ක් ගෙවන ආණ්ඩුවකට මහජන සේවයක් වෙනුවෙන් එම මුදල වැය කළ නොහැකිවූයේ ඇයි දැයි අප අපෙන්ම අසා ගත යුතුය. රාජපක්ෂ සමයෙහි වැය කරන ලද මහමෙරවන් මුදල් කන්දරාවන්ගෙන් කොටසක් හෝ මෙවැනි සමාජ සේවයකට යෙදවූයේ ද නැත.
බ්‍රිතාන්‍යයින් ශ්‍රී ලංකාව හැර යන විට දර්ශනීය ස්ථානයන්හි තැනූ රටපුරා විහිදුනු තානායම් ජාලයක් ඉතිරි කර ගියේය. අඩු වියදම් සංචාරක නවාතැන් ලෙස වැඩි දියුණු කළ හැකිව තිබූ ඒ ජාලය අද බොහෝ දුරට විනාශ වී ගොසිනි. අප ළමා කාලය ගෙවූ අම්බලන්ගොඩ තිබූ අපූරු තානායම විනාශ වන්න හැර දමා තිබුණි. අප පවා ඉතා රමණීය ස්ථානයන්හි ඉතිරිව තිබෙන එවැනි තානායම් වැඩි දියුණූ කිරීමට ආණ්ඩුව පියවරක් නොගැනීම කණගාටුදායකය.
නිදසුන් වශයෙන් ඇති තරම් ඉඩම් ඇති මා ඔය අසබඩ හෝ ගිරිතලේ වැව අසබඩ ඉතා ලෙහෙසියෙන්ම මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ගොඩ නැගිය හැකිය. මෙම ස්ථාන දෙකෙහිම දේශීය සංචාරකයින් ස්නානය කරනු සුලභ දසුනකි. එවැනි මනරම් ස්ථාන කොපමණ නම් අප රට ඇත්ද?
අප සමාජයෙහි පාලනයක් නොමැති අධික බීමත්කමට එක් හේතුවක් වන්නේ විනෝදවීම සඳහා වෙනත් අවස්ථා ඇති කිරීමටත් එවැනි විනෝද සහ ක්‍රීඩාශීලී සංස්කෘතියක් බෝ කිරීමටත් අප අසමත් වී ඇති නිසාය.
අකමැත්තෙන් වුවත් කිව යුතු එක් දෙයක් තිබේ. එනම් මෙවැනි නවතාවයන් මෙරට ඇති කිරීමට නම් කොළඹ නාගරික භූමි දර්ශනය දර්ශනීය ලෙස උඩයට පෙරලු ගෝඨාභය වර්ගයේ දැක්මක් අවශ්‍ය බවයි.
ඒ සඳහා ‘ගෝඨාභය දැක්මේ’ මර්දනකාරී ප්‍රවේශ ප්රජාතන්ත්රවාදී ප්‍රවිශ්ඨයක් මගින් විස්ථාපනය කළ යුතු බව කිවමනා නොවේ.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya