Image:Vikalpa

ලෝක ළමා දිනය පසුගියදාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සව ගණනාවක් විවිධ පාර්ශව විසින් සංවිධානය කර තිබූ අතර ජනමාධ්‍ය මඟින් ද ළමුන් පිළිබඳ විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරමින් සහ ප්‍රවෘත්ති විකාශ තුළින් විශේෂ අවධානයක් යොමු කරමින් ළමුන් ගැන කතා කිරීම දැකගත හැකිවිය. කෙසේ වුවත් මේ අන්දමට ළමුන් පිළිබඳ ලෝක ළමා දිනය දා පමණක් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කර අනෙකුත් දිනවලදී ළමාකමට හානිදායක වන අන්දමින් හා ළමයා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගනිමින් ක්‍රියා කිරීම මෙන්ම, ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු ආචාරධාර්මික තත්ත්වයන් ඇතුළු සියලු සදාචාරාත්මක රීතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළ ළමා දිනයේදී පමණක් ළමයා ගැන කතා කිරීම හාස්‍යජනක තත්ත්වයක් වන බව පැවසිය යුතුය. මේ ඒ පිළිබඳව සහ ළමාකම එක් දිනකට පමණක් ඉස්මතු කරමින් පැවැත්වෙන ඊනියා ළමා දින සැමරුම් පිළිබඳව තබන සටහනකි.

ළමයා නැමැති සුවිශේෂී මානව කුලකය සමාජයක මෙන්ම රටක අනාගත පැවත්ම තීරණය කරන කේන්ද්‍රීය සාධකය වන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එබැවින් පරිපූර්ණ ළමා අවධියක් ගත කිරීමට ළමුන්ට අවස්ථාව සලසාදීම වැඩිහිටියන් වන අපගේ වගකීම වන අතර ජනමාධ්‍ය වැනි සමාජ විඥානයට බලපෑම් ඇති කරනු ලබන ආයතනවල ක්‍රියාකාරිත්වය ඔස්සේ ද ළමාකමට හානිදායක වන අයුරින් කටයුතු කිරීම සුදුසු නොවන තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය. එහෙත් සාම්ප්‍රදායික අර්ථයෙන් සැලකීමේදී ළමා පෞරුෂයට හානිකර වන තත්ත්ව ගණනාවක් වෙළෙඳපොළ ආර්ථිකය හා අද්‍යතන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇසුරින් ගොඩනැංවී ඇති අතර ඒ ඔස්සේ අව්‍යාජ ළමාභාවය හා ළමා චර්යාවන් අභියෝගයට ලක්කරමින් මාධ්‍ය ඔස්සේ බිහිකරන ලද ජනප්‍රිය සංස්කෘතිය මඟින් විකෘති තත්ත්වයට පත් කරනු ලැබූ සාධකයක් බවට ළමාකම පත්ව ඇත. වෙනත් රටවල් හා සැසඳීමේ දී මෙම තත්ත්වය මෙරටේ විකෘති මාධ්‍ය සංස්කෘතිය තුළ කිසිසේත් අනුමත කළ නොහැකි අන්දමට උත්කර්ෂයට නැංවී ඇති බව ද අවධානයට යොමුකළ හැකිය.

ඒ අනුව මෙරටේ වත්මන් විකෘති මාධ්‍ය සංස්කෘතිය දෙස අවධානය යොමු කිරීමේ දී ළමයාට සහ ළමාකමට අත්කර දී ඇති අභාග්‍ය සම්පන්න ඉරණම පිළිබඳ බොහෝ නිදසුන් ඇසුරින් පැහැදිලි කළ හැකිය. ඉන් එක් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වන්නේ ළමුන් සම්බන්ධයෙන් සිදු කරන ප්‍රවෘත්ති වාර්තා කිරීම් තුළ දී ආචාර ධර්ම මෙන්ම සදාචාරාත්මක තත්ත්ව කෙරෙහි ද කිසිදු සැලකිල්ලක් නොදක්වමින් අදාළ ප්‍රවෘත්තියට වැඩි ග්‍රාහකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ මූලික කර ගනිමින් කටයුතු කිරීමයි. නිදසුන් වශයෙන් පසුගිය දිනවල මෙරට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ සේයා සඳෙව්මි ඝාතනය, යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය වැනි අතිශය සංවේදී සිදුවීම් වාර්තා කිරීමේ දී මෙරටේ ජනමාධ්‍ය විසින් එම දැරියන්ගේ ඡායාරූප කිසිදු ඉවක් බවක් නොමැතිව පුවත්පත් වාර්තා තුළ මෙන්ම වෙබ් අඩවි හා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් තුළින් ද ප්‍රචාරය කරනු ලැබුවේ එවැනි දෑ කිසිසේත් සිදු නොවිය යුතු තත්ත්වයක් තුළය. ඕනෑම පුවතක් ම්ලේච්ඡත්වය ඉස්මතු වන අන්දමින් අනෙක් මාධ්‍ය නාලිකා විසින් ඉදිරිපත් කරනවාට වඩා සංවේදීතාව ඇති වන අයුරින් වාර්තා කිරීමට උත්සාහ දැරීමේ දී අදාළ පුවතට පදනම් වන්නේ ළමයෙක් ද නොඑසේනම් වැඩිහිටියෙක් ද යන්න සම්බන්ධයෙන් තුට්ටුවකට හෝ මායිම් නොකිරීම මේ වන විට අපේ රටේ විකෘති මාධ්‍ය සංස්කෘතිය තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. ඒ ඔස්සේ අදාළ අපරාධයට ලක්වූ වින්දිතයාගේ පවුලේ සාමාජිකයින්ගේ ගෞරවය හෝ ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව ආචාර ධාර්මිකව කිසිදු අවධානයක් යොමු නොකරමින් අදාළ ප්‍රවෘත්තිය විකුණා ගැනීම සඳහා පමණක් ක්‍රියා කරනු ලබයි. එවිට මාධ්‍යකරුවන් වෙතින් කෙළෙසීමට ලක්වන සදාචාරාත්මක වටිනාකම් තුළ ළමයාට හිමිවිය යුතු වටිනාකම සහ ගෞරවනීය තත්ත්වය ද මුදලට අලෙවි වන ගුවන් කාලයේ විකිණෙන තවත් එක් වෙළෙඳ භාණ්ඩයක් බවට පමණක් පත්වී තිබේ.

පසුගිය වසර කිහිපයක සිට මෙරටේ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගෙන ඇති රූපවාහිනී වැඩසටහන් විශේෂයක් වන “ළමා යථාකාර වැඩසටහන්” ද විකෘති මාධ්‍ය සංස්කෘතිය විසින් ළමා භාවයට හානිකරනු ලබන අනෙකුත් මූලික සාධකය වශයෙන් පෙන්වා දිය හැකිය. එහිදී මාධ්‍ය විසින් ගොඩනංවන ලද ජනප්‍රිය සංස්කෘතිය ළමයා මත ආරෝපණය කිරීම මඟින් ළමුන් තුළ ළමාකම මුලිනුපුටා දමා ළමා වැඩිහිටියන් නිර්මාණය කිරීමෙන් වාණිජ අරමුණු සාධනය කරගැනීම සඳහා ප්‍රකෘති ළමයින් නොවන, එනම් මාධ්‍ය සංස්කෘතිය විසින් දෙමුහුම්කරණයට ලක්කරන ලද ළමා වැඩිහිටියන් පෙළඹවීමෙන් මාධ්‍ය ආයතනවල අරමුණු ඉටුකර ගැනීම සිදුවේ. අද වන විට අපේ රටේ මාධ්‍ය විසින් සමාජය තුළ පතුරුවා ඇති මෙම ළමා යථාකාර තරු උන්මාදය පසුපස වැඩිහිටියන්ගේ පූර්ණ මෙහෙයවීමෙන් ළමයා හඹායෑමට කටයුතු කිරීම තුළ ළමාකම වෙනුවට ජනප්‍රිය තරු බවට පත්වීමේ සිහිනවලින් මනස උදුම්මා ගත් අර්ධ වැඩිහිටි මානසිකත්වයක පසුවන විකෘති ළමා පරපුරක් සමාජයට උරුම වී තිබේ.

එසේ ළමාකම හා ළමයා අපයෝජනයට ලක්කරමින් කටයුතු කරන අපේ රටේ විකෘති මාධ්‍ය සංස්කෘතිය අනුමත කරමින් නිර්වින්දනය වූවන් ලෙස කටයුතු කරන මෙරට සමාජයට සැබෑ ළමයා යනු කවුදැයි කියා සොයා බලන්නට මතක් වන්නේ ලෝක ළමා දිනය ලෙස නම් කරන ලද විශේෂ දිනයකදී පමණක් වීම තුළ එසේ නින්දෙන් අවදි වී මෙන් ළමා දින සැමරුම් මහ ඉහළින් සංවිධානය කරනු ලබන පාර්ශව එසේ සමරනු ලබන්නේ ඊනියා ළමා දින සැමරුම් මිස සැබෑවටම ළමුන් වෙනුවෙන් පවත්වන ළමා දින සැමරුම් නොවන බව පැවසිය යුතුය.

තවද ඔවුන් වෙතින් පෙරළා ඇසිය යුතු වන්නේ මෙසේ එක් දිනයකදී පමණක් ළමුන් ගැන උපදවා ගන්නා ලද අපරිමිත ස්නේහයෙන් කටයුතු කිරීම කෙතරම් සදාචාරාත්මක ද යන්නයි. එනම් නිදසුනක් වශයෙන් ළමුන් සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කළ යුතු ප්‍රතිපත්ති රාමුවක් ඇතිකර ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍යවලට බලපෑම් කිරීමට කටයුතු කිරීම වැනි ළමුන් ආරක්ෂා වන අන්දමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නොපෙළඹෙමින් ළමුන් සම්බන්ධයෙන් කවර පාර්ශවයක් කවර අන්දමින් ක්‍රියා කළ ද ඒවා නිහඬව අනුමත කිරීමට කටයුතු කර ලෝක ළමා දිනයේ දී පමණක් ළමුන් වෙනුවෙන් හඬනැගීම ලජ්ජා සහගත නොවන්නේ ද යන්න අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

සුරෝෂන ඉරංග | Suroshana Iranga