Image by: butterflybridgecac
පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩි ගිය සමාජයක, ගැහැණියකගේ නිරුවත දුටු පමණින් පුරුෂ ලිංගය පණ ගහන පිරිමින් ජිවත් වෙමින් පවතින රටක, ගැහැණියක ව ඉපදීමේ වේදනාව මම අති උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ වෙන කිසිවක් නිසා නොව හිරිකිත ලෙස අශිලාචාර සමාජය විසින් ගැහැණුන් දුෂණය කොට මරා දැමීමෙන් අනතුරව පවා දකුණේ හික්මිමක් නැති මාධ්‍ය පසු ගිය කාලය පුරාමත්, තවමත් රඟනු ලබන අති නාටකීය ජවනිකා නිසාය. ලිංගික අපචාර වලට ලක්වූ ගැහැණුන්, දරුවන් නැවත නැවත් ඉඳුල් කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය නිසාය. මෙම ජවනිකාවන්ට පිටපත් සපයමින් සිටින නඩය තලුමරමින් බුදින්නේ “මිනිස් ජීවිත” බව යළි යළිත් අප ඔවුන්ට මතක් කොට දිය යුතුද ?
ඔබට මට කට පාඩමින් කිව හැකි තරම් ප්‍රධාන මාධ්‍ය වල දවසේ කළුදු බින්දු බවට ලක්වූ දැරියන් කිසිවෙකුගේ නම් මන් මෙහිලා සදහන් නොකරමි. ඒ තව දුරටත් ඔබේ මුවින් ද ඔවුහු නැවත නැවත අපයෝජනය වනු දැකීමට ඇති දැඩි පිළිකුල නිසාය.
මෙහි අලුත්ම විගඩම බවට පත්ව ඇත්තේ “නරුම සේක්ස්ෂුවල් ත්‍රිල් එකකින් ෆෝම් වී” ගිය දකුණේ මාධ්‍ය බබාලා විසින් ලිංගික අතවර කොට සහාසික ලෙස මරාදමන ලද දරුවන්ගේ සියලු අනන්‍යතාවන් “මාකටින් ටුල්” බවට පත්කොට තිබීමය. ඔවුන්ගේ මුලික අරමුණ හුදෙක්ම එකී දරුවන්ගේ ආත්ම කුණු කොල්ලයට සතියෙන් සතිය හෙළිකරමින් “බිස්නස්” වැඩි කරගැනීමය. මේ අත්දකිමින් සිටින ඛේදවාචකය තවත් දරුණු වන්නේ කාන්තාවන් 52 % කට ආසන්නව වෙසෙන ලංකාව තුළ අමු අමුවේ පිරිමින් අතින් දුෂණය වීමෙන් අනතුරුව නැවත පිරිමින් අතින් ලියවෙන පත්තර පිටු වලත් මේ දැරියන් නැවත දුෂණයට ලක්වීම නිසාය.
මාධ්‍ය සදාචාරය කොයිබටද?
මෙරට මාධ්‍ය යයි කියා ගන්නා කුණු විකුණන ප්‍රධාන පෙලේ ඒජන්තයින් විසින් කිසිදු ආකාරයක මාධ්‍ය සදාචාරමය ප්රතිපත්තියක නොපිහිටමින් ඕලාරික උපමා රූපක වලට නංවමින් උත්ප්රාසයෙන් කියන්නට යන කතා වස්තු වල යටි අරමුණ පසු ගිය දවස් කිහිපය පුරා සිදුවුණු සිදුවීම් වඩ වඩාත් අධ්‍යනය කිරීමේදී පෙනීයයි.
පසු ගිය දිනෙක මෙරට ආණ්ඩුවේම දිනපතා ජාතික පුවත්පතක් බොහෝ අපුරුවට වාර්තා කොට තිබුනේ ඔවුන්ට අනුව වික්‍රමාන්විත හෙඩිමක්ද සමගිනි. ඔවුන්ට එය වික්‍රමයක් වුවද අපට නම් පෙනුනේ හිස් ඔලුගෙඩි වල බැදී ඇති පුස්වල තරමය.
අතවරයට ලක්වී ඝාතනයට ලක්වූ දැරියකගේ ජායාරූප ද පළකරමින්, රට පුරා විදී දිගේ පෝස්ටර් අලවමින් ගෙන යන ලද “කැම්පෙන්” හුදු මහජන යහපත තකා කරන වාර්තා කිරීම් යයි කෙසේ නම් කිව හැකිද? ජිවිතය පවා අකාලයේ අමානුෂික ලිංගික අතවරයන්ට ලක්ව හැර යාමට සිදු වූ දහස් ගණනක් වූ දැරියන්, ගැහැනුන්, මව්වරුන්, බිරින්දෑවරුන්, සහෝදරියන් සමස්ත සමාජයකම පංචේන්ද්රනට හසුකර නිරුවත් කරන්නේ කවර නම් වූ සද් අදහසකින්ද?
සිංහල බොදු ප්‍රතිපත්ති හිසේ දරා සිටින ජාතියේ පුවත්පත්ද, හදී හුනුයම් සහ හොල්මන් විකුණමින් සිටි ප්‍රසිද්ධ පුවත් පත් ද ඇසින් දුටුවන් මෙන් දැන් දැන් සතියෙන් සතිය මතු සම්බන්ධ ලෙස වාර්තා කරමින් සිටින්නේ අති නාටකීය පිටපත්ය.
නිරුද්ධව ගිය ප්‍රාණයන්ගේ ගැලවී ගිය පෑන්ටියේ සිට අනාවරණය කරමින් යන තුට්ටු දෙකේ කුණු කඩ කාරයන් ලොකු මාධ්‍යකාරයන් කොට ඇත්තේ කවුරුන්ද ? දෙබස් ද ඔබ්බවා වාර්තා කරන මේ පුවත් පත් කරමින් සිටින්නේ තව දුරටත් මේ දැරියන් සමුහ දුෂණයකට ලක් කිරීම නොවේද? ලබන සතියට දුෂණය කොට මරා දමන ලද්දේ කෙසේදැයි යන්න දැනගැනීමට පත්තරය ගෙදර ගෙනියන සමාජයක ජිවත් වීම මොන තරම් නරුමකමක් ද?
ඒ අනේ අපොයි! කියා ඒවා කියවන ලේ රහෙන් පින වෙන සමාජයම නොවේද? අවුරුදු 30 ක් පුරා මිනී රහත් මැරුණු ඔලුගෙඩිත් ගණන් කරමින් “ආතල්” ගත් සමාජයකට අනෙක් අතට මෙය අරුමයක් ද නොවන බව මේ සිදුවිම් ද යළිත් සඵත කරමින් සිටියි.
පුවත් පත් ඔස්සේ උක්ත කරුණු වාර්තා කිරීමේදී වින්දිතයා හා වරදකරු යන දෙපාර්ශවයේම කරුණු වාර්තා කිරිමේදී සැලකිය යුතු සුවිශේෂී කරුණු පිලිබඳ 1981.10.14 දින නිකුත්කරන ලද අංක 162/ 5 A දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 1 කොටසේ (1 ) ජේදයේ පහත වගන්ති වලදී ඉතා පැහැදිලිව මෙලෙස සඳහන් කරයි.
6 (1 ) “අපරාධ හෝ අපරාධ නඩු වල විස්තර වාර්තා කිරීමේදී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේදී
අ ) ලිංගික අපරධ වලට භාජනය වූවන් නම් කිරීම
ආ) සාපරාධ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තම දැනුම අනුව වයස අවූ : 18 ට අඩු වූ හා තම දැනුම අනුව කලින් වරදකරු කරනු නොලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම හෝ ;
ඇ) අපරධයක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ හෝ වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තෙකුත් ඒ තැනැත්තාගේ ඥාතියෙකුත් අතර ඇති සම්බන්ධතාව පාඨකයාට දැනුම් දීමේ හුදු කාර්ය සඳහා යම් තැනැත්තෙකු පළමු කි තැනැත්තාගේ ඥාතියකු ලෙස නම් කිරීම මහජන යහපත පිණිස වේ නම් විනා පත්‍ර කලාවේදියකු විසින් නොකළ යුතුයි “.
එසේම 2 (A) 1 කොටස (1 ) ජේදයේ ද
8) “පත්‍ර කලාවේදියකු විසින් පරපිඩා, කාමුකත්වය, සැහැසිකම් හෝ සල්ලාලකම් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයට යම් කරුණක් ඉදිරිපත් නොකළ යුතුය” යනුවෙන් සඳහන් වේ .
එසේ සඳහන් කර තිබියදී පවා මෙරට පුවත් පත් ඇතුලු සමස්ත මාධ්‍යයේ භූමිකාව හිරි ඔතප් බිද ගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුවේ කොරහද බිද ගෙනය. ඒ යහපාලන ආණ්ඩුව තවමත් අඳ ගොළු බිහිරි වෘත පුරමින් සිටින නිසාත්, වගන්තිවලට බලය දිය යුතු ආයතන අදටත් මර නින්දේ සිහින දකිමින් සිටින නිසාත්ය. මහජනතාව පමණක් නිදි ගත නොහැකිව ඇස් ඇර සිටින අතර අතලොස්සක් වූ සමාජ ක්රියාකාරිකයෝ පමණක් වෙබ් අවකාශයේ හෝ මේ පිළිබඳ කතිකාවතක් තනන්නට උත්සාහ කරමින් සිටිති.
ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යන ලොකු නාම පුවරු සහිත වගකිවයුතු ආයතන මේ සම්බන්ධව ගෙන ඇති පියවර මොනවද?
මා දන්නා තරමින් නම් දිනපතා ජාතික පුවත් පත් ඕනෑම රාජ්‍ය ආයතනයකට ලැබෙන අතර ඒවා පසුගිය කාලය තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයාට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාට හෝ පුවත්පත් කොමසාරිස්වරයාට උඩින් පල්ලෙන් හෝ කියවා බැලීමට වෙලාවක් නොතිබුනා විය හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව කිසිදු වගකිවයුතු ආයතනයක් මේ පිලිබඳ වගකිවයුතු අදහසක් හෝ පළ කොට තිබෙනවා අපි නොදුටු හෙයිනි.
නැත්නම් සාමාන්‍ය පොදු ජනයා ලෙස අපට සිතිය හැක්කේ මාධ්‍ය හෙන්චයියන් මේ මොහොතේ තව දුරටත් තරහ කරගැනීමට ආණ්ඩුවට අනවශ්‍ය බව පමණකි. වැටත් නියරත් ගොයම් කා ඇති බව ඇත්තය. මහා පරිමාණ ඉදුල් ව්‍යාපෘති වල මුලුසුන හොඹවන පිරිමි මාධ්‍ය කරවන්නෝ දරුවන්ගේ මළ කදන් විකුණමින් කෙරන මේ ව්‍යාපෘතිය කෙළවරක් නොදකින තාක් හෙටක් ගැන සිහින මැවිය නොහැකිය.
එහෙත් තවමත් අංශු මාත්‍රයක් හෝ ඉතිරිව ඇති මිනිස්කමේ නාමයෙන් මේ පීඩක වුත්, කාමුක වුත් මනෝ ව්‍යාධියෙන් පිරි තිර නාටක හා ප්‍රබන්ධ ගොතමින් දරුවන් ගේ ආත්මයන් ඉහගෙන කෑමට මේ නාමික මාධ්‍ය නඩයට අපි ඉඩ දිය යුතුද ?
ඉෂාරා ධනසේකර | Ishara Dhanasekara