Image by: maverickarchive

මගේ නීති උපාධිය අවසන් වෙලා නීති විද්‍යාලයේ අවසාන වසර විභාගෙට මුණදෙන්න මං කොළඹට පැයක විතර දුරකින් නතර උනා. පහු ගිය අවුරුදු එකහමාර අතරේ මට මගේම බෝඩිමේ නතර වෙලා ඉන්න රෙදි සාප්පුවක, හෝටලයක, සුපර් මාර්කට් එකක වැඩ කරන සහෝදරියෝ වගේම බාහිරව කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක වැඩ කරන කීප දෙනෙක්ම මුණගැහුනා.

එයාලා නිතරම ඇවිත් එයාලගේ මාස්ටර්ස් ලා එයාලට සලකන විදිහ ගැන ඇදෝනා කළා. මං ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න බව දන්න එයාලා මේවට ඇත්තටම නීති නැද්ද කියලා මගෙන් අහද්දී මං එයාලට කියල දුන්න මේවා තාම තියෙන නීති කියල. ඒවා අහල එයාලට පුදුම හිතුන. ‘’කෝ එතකොට ඒ නීති. පොතට විතරද නංගි” කියල මගෙන් අහද්දී මට කරගන්න දෙයක් නැතුව මං බලන් හිටියා. ඇත්තමයි. පොතේ නීතියයි, සමාජයේ තියෙන නීතියයි ගොඩක් වෙනස්. එත් එක දෙයක් මං කිවා. පොතේ තියෙන නීතිය අපේ ජීවිතවලට ගන්න අපේ නිහඩකමට බැරි බව. ධනපතීන්ගේ සූරාකෑම ඉස්සරහා නිහඩව ඉන්න ඔයාලට, කෝමද නීතියේ දීලා තියෙන සහන ගන්න පුළුවන් වෙන්නේ කියල මං ප්‍රශ්න කරද්දී එයාලා දුන්නේ එක උත්තරයයි.

“අපි ඕව කතාකලොත් අපිට වෙන්නේ ගෙදර යන්න නංගි. අපිව අයින් කරලා තව අය ගනී. එයාලත් අපි විදින දුකම විදි.එච්චරයි.”

එයාල දන්නේ නැතුව ඇති කියල හිතාගෙන මං කිවා, ඉතින් ඇයි ඔයාල සංවිධානය වෙලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත්තේ. එයාල එකට දුන්න උත්තරේ තමා අපේ ළමයි දන්නෙත් නැ, ඔහොම නීති තියෙනවා කියල. අනිත් එක ඒවගේ ඇතුලේ එහෙම සංවිධාන හදාගන්න තහනම්.

මට මේ දේවල් ඇතුලේ එක දෙයක් දැනුනා. වහල්ලු වගේ මේ මිනිස්සුන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේම නොදැනුවත්කම, නිහඩකම නිසා වගේම තියන නීති හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්න පසුවිපරම් ක්‍රියාවලියක් අපේ රටේ නැති නිසා. මැයි දිනයත් දේශපාලන දිනයක් කරගත්තු අපේ රටේ පාලකයෝ ගැන කලකිරීමක් විතරයි මේ හැම දෙයක්ම ඇතුලේ ඉතුරුවෙන්නේ. ඒ ගොල්ලෝ දන්නේ නැ එයාලා මැයි පෙළපාලි යද්දී මේ අහිංසක මිනිස්සු එදාටත් වහල්ලු වගේ වැඩ කරනවා කියල.

පාලකයිනි, හිත් පිත් නැති තම වාසියම දේශපාලනය කරගත් ඔබේ අවධානය පිණිසයි.

සාප්පු හා කාර්යාල සේවක පනත යටතට වැටෙන බොහෝ සුපර් මාර්කට්, රෙදි සාප්පු,ෆාමසි, හෝටල්, සිල්ලර බඩු කඩ, කන්ස්ට්‍රක්ෂ්න් කම්පැනි වල මේ පහත සදහන් කරන්නාවූ ගැටළු ඉතා තදබල ලෙස දැක ගත හැකිය.

සේවකයන් පැය 8කට වඩා සෑම දිනකම වැඩකරන අතර ඔවුන් හට අතිකාල දීමනාවක් එයට ලැබෙන්නේ නැත. සතියකට පැය 45 ඉක්මවා ඔවුන් වැඩ කල ද ජීවිතේට එක දිනයක් නිදහසක් ගන්නට සතියකට නිවාඩුවක් ලැබෙන්නේ ද නැත. හිත් පිත් නැති මැසිමක් සේ වැඩකරනවාම පමණය. එතරම් වැඩ කරත් ලැබෙන්නේ සොච්චම් පඩියක් පමණි. ඇතැම් තැන්වල මසකටම එක වර නිවාඩු දින 4ක් හෝ 5ක් ලැබෙන අතර එයත් පඩියෙන් තොරවය. සීසන් සමයේදී ඇතැම් රෙදි සාප්පු රාත්‍රී 12 වෙනතුරු පමණ වීවෘතව ඇත. එහෙත් ඔවුනට ගෙවන්නේ සාමාන්‍ය පඩියමය. රාත්‍රී 1,2 නිවසට යන සේවකයෝ නැවත උදැසන 8.30 වෙද්දී සේවයට වාර්තා කල යුතුය.

සේවකයාගේ ආහාර පාන පිළිබඳව කිසිදු ආකාරයක තැකීමක් මේ ධනපතින්ට නැත. ඇතැම් සාප්පුවල දහවල් කෑම කන්න ලැබෙන්නේ ද විනාඩි 10ක් තරම් සුළු කාලයකි. දවසටම එච්චරය. තේ එකක් බොන්නවත් මේ අහිංසක මිනිස්සුන්ට අවස්ථාවක් හෝ පසුකම් මේ සුරාකන්නන් ලබා දෙන්නේ නැත. මේ සිටින්නේත් මිනිසුන් බව ඔවුන් අමතක කර ඇත. ලෝබකමින් මුදල් පසුපසම මොවුන් හබා යනවා හැරෙන්නට මනුස්සකම් අමතක කර ඇත.

රෙදි සාප්පු, සුපර් මාර්කට් වල වැඩකරන සේවකයෝ ද දවස පුරාම මැෂින් එකක් මෙන් සිටගෙනය. විනාඩි 5කට අසුන් ගෙන කකුල් කැක්කුම නිවා ගන්නට ඔවුන්ට අසුනක් ලබා දී නැත. මේ මිනිස් ජීවිතය.

රජයේ ප්‍රසිද්ද නිවාඩු කිසිම දිනක සේවකයන්ට නිවාඩුවක් නම් ආසාවට ලැබෙන්නේ නැත. අඩුම තරමේ නිදහස් දිනය හා කම්කරු දිනයේද ඔවුන් වහලුන් මෙන් වැඩය. පෝයට තමන්ගේ ආගම ධර්මය අදහාගන්නට ඔවුනට ඉඩ සැලසෙන්නේ නැත. මේ සේවකයෝ සසර පුරාම වැඩ කරන වහල්ලුන් විය යුතුයැයි මේ ධනපතීන් කලපනා කරනවා විය යුතුය.

බොහෝ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වල තත්තවයද එසේමය. දින ගණන් නිදි නොලබා පැය 12 ඉක්මවා සේවකයෝ වහලුන් මෙන් වැඩ කරති. පඩිය සොච්චමකි. නිවාඩු මාසෙටම දින 4කි. හරි කෑමක් බීමක් නොලැබෙති.

මාගේ මේ අවධානයට ලක්වුයේ එක් ප්‍රදේශයක් පමණි. ලංකාව පුරාම බොහෝ ධනපතීන් අසරණ මිනිස්සුන්ගේ ශ්‍රමය සුරා කන්නේ මෙලෙසම වන බව රහසක් නොවේ. අන්තිමේදී ගත හැකි උපකල්පනය වන්නේ ඔවුන් සිතන්නේ මේ සේවකයෝ මිනිස්සු නොව මැෂින් බවය. ඔවුන් ඕනෑම දෙයක් කල හැකි යකඩ මැෂින්ය. ඔවුන්ට විදින්නට ජිවිතයක්, සැනසෙන්න පවුලක් නොමැත. ආසාවට සේවකයින්ට විනෝද වෙන්න අවස්ථා සලසන්නේ නැත. ඒ සේවකයන් හිත් පිත් නැති මැෂින් නිසාය. ජිවිතයම මේ ධනපතීන්ට මුදල්ම පමණි. අහිංසක සේවකයින්ට මෙහෙම සලකා ලෝකයට පේන්න මහා දාන දෙන පුහු මානසිකත්වයක් මොවුන්ට ඇත්තේය.

මිනිසුන්ගේ මෙවැනි හැසිරීම් මේ ලෝකෙට අමුතු දෙයක් නොවේ. එවැනි හැසිරීම් පාලනය කොට සමාජය යහපත් තැනක් කරන්නට නීති බිහිවී ඇති බව අපි ඉගෙන ගත්තෙමු. ඊළගට එන ගැටලුව වන්නේ ඒ නීති කොහෙද යන්නය. කම්කරු අමාත්‍යාංශයක් ඇත. කාම්කරු දෙපාර්තමේන්තුවක් ඇත. මේ සියලු ගැටළු ඉදිරියේ මොවුන් නිහඩය. දැන් කියයි මේවා අපි දන්නේ කොහොමද කියන්නේ නැතුව කියල. එය මේ ගැටලුවලට පිළිතුර නොවේ. අහිංසක මිනිස්සු හැමදාම නිහඩය. ඒ නිසාම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වී යයි. පාලකයෝ, නීති, රජයේ ආයතන සමග සේවකයෝ සිටින්නේ මේවා සොයා බලා කටයුතු කිරීමටය. රජයේ ආයතනවල නිතරම අයිස් ගහන ඇතැම් රජයේ සේවකයින්ට මේවා ගානක් නැත. අපි ගැන හොයන්නට අපේ අයිතිවසිකම් ආරක්ෂා කරන්නට යවන දේශපාලකයිනට නම් කොහොමත් ගානක් නැත. දුප්පත් මිනිසා හැමදාම අහිංසකය. ඒ දුප්පත් මිනිසාම මැයි දිනයට පෙළපාලි ගෙන්වාගන තමාගේ දේශපාලන බලපුලුවන්කාරකම් පෙන්වන පහත් මානසිකත්වයක් ඇති දේශාපාලුවන් සිටින රටක අපි ජිවත්වන බව අපි දැනගත යුතුය. එවැනි රැස්වීම්වලට යන දුප්පත් ඔබ මෙය තේරුම් ගතයුතුය. එකම පක්ෂයක්වත් දුප්පත් ඔබ ගැන සිතන්නේ නැත. එවැනි හදවතක් ඇති දේශපාලකයින් සිටින්නේ අල්පයකි. ඔවුනුත් තම පක්ෂයේ නායකයින්ගේ අණට යටවී නිහඩව සිටි. සැබෑ තත්වය මෙයයි. කියන්නට ඇත්තේ තමාට පිහිට තමාමය කියා පමණි. ඔබටම පිහිට වන්න ඔබට හිමි නීතියෙන් ලබා දී ඇති සහන පහත පරිදි මෙලෙස දක්වනනට ඒ නිසාම මා තීරණය කලෙමි. ඔබේ ශ්‍රමය සූරා කන්නට ධනපතීන්ට ඉඩ නොදෙන්න.


1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත;

ඉහත ගැටලුවලට අදාළව ඔබට සහන ලබාදීමට මේ පනත බිහිවී ඇත. මීට අනුව,
මේ පනත යටතට ගැනෙන ස්ථාන,

• සිල්ලර හා තොග වෙළෙදාම්
• ආහාර පාන හා බීම වර්ග විකුණන ස්ථාන
• ආපන ශාලා
• සැලූන්
• ලොන්ඩරි
• චායරුප ශාලා
• බැංකු හා රක්ෂණ සමාගම් ආදී ආයතන හා සමාගම් වල කටයුතු පවත්වාගෙන යාම සදහා ස්ථාපිත කර ඇති ස්ථාන
සේවකයකුගේ සාමන්‍ය සේවා කාලය දිනකට පැය 8ක් වේ. දිනකට පැයක වේලාවක් කෑම ගැනීම සදහා අතිරේකව ලබා දිය යුතුය. සතියක් සදහා මුළු සේවා කාලය පැය 45ක් විය යුතුය.

දිනකට හෝ සතියකට නියමිත සේවාකාලයට වඩා වැඩ කරන සැම පැයකටම අතිකාල දීමනාවක් ලැබිය යුතුය. අතිකාල දීමනාව සැකසෙන්නේ සාමාන්‍ය වැඩ කරන පැයකදී ගෙවන මුදල මෙන් එක හමාරක ගුණයකි. සාමාන්‍ය පැයක මුදල සැකසෙන්නේ මාසික වැටුප 240න් බෙදීමෙනි.

එනම් ඔබගේ මාසික මුලික වැටුප 15000නම්, 15000 ÷ 240= 62.5.

මෙය සාමාන්‍ය වැඩ කරන පැයකදී ගෙවන වැටුප වේ. අතිකාල දීමනාව ගෙවද්දී මේ මුදල මෙන් එකහමාරක මුදලක් ඔබට ලැබිය යුතුය.

එනම්, 62.5×1.5= 93.75

දිනක උදෑසන 8.30 සේවය ආරම්භ වේ නම් 4.30 ට ඔබේ සාමාන්‍ය සේවා කාලය අවසන් වන අතර ඊට වඩා වැඩ කරන සෑම පැයකටම ඉහත පරිදි අතිකාල දීමනා ලැබිය යුතුය. කෙසේ හෝ සතියකට පැය 12 කට වඩා අතිකාල සේවයේ යෙදීම තහනම් වන අතර සේවකයා කැමති උවද එසේ කල නොහැක. මෙයට හේතුව වී ඇත්තේ සේවකයන්ගේ නීරෝගී බාවය ආරක්ෂා කිරීම වේ. මන්ද මිනිසුන් විනා වැඩ කරන ඔබ මැෂින් නොවන නිසාවෙනි.

අතිකාල සේවාවන් හැර පැය 28කට වඩා නොඅඩු සේවා කාලයක් සතියක් ඇතුලත සම්පුර්ණ කරන සේවකයින්ට වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් හිමිය. මෙය සතියේ ඕනෑම දිනක පාර්ශවයන්ගේ කැමැත්ත පරිදි ලබා ගත හැකිය.

එලෙසම රජය විසින් ප්‍රකාශිත ප්‍රසිද්ධ වෙළද නිවාඩු දිනයන් ඔබට හිමි විය යුතුය. එහෙත් කම්කරු කොමසාරිස් වරයාගේ අනුමැතිය ඇතිව එම දිනවලත් සේවයේ යෙදවීමට ඔබේ සේවයෝජකයාට හැකිය.කෙසේ හෝ එම දිනයට වෙනුවට දෙසැම්බර් 31 ට පෙර වැටුප් සහිත නිවාඩු දිනයක් ඔබට ලැබිය යුතුය. එය හිලව් නිවාඩු දිනයකි. ප්‍රසිද්ද නිවාඩු දිනයේ සේවයේ යෙදෙන ඔබට සාමාන්‍ය දෛනික දිනකට ලැබෙන වැටුප මෙන් දෙගුණයක් හිමි විය යුතුය.

ඔබට හිමි සුභ සාධන පහසුකම් කිහිපයක්ද පනතේ දක්වා ඇත. එනම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම වෙන වෙනම වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් තිබිය යුතුය. කෑම ගැනීමට සුදුසු තරම් ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය. සේවයේ නියුක්ත කාන්තාවන් සදහා එක් ආසනයක් බැගින් හෝ අවම වශයෙන් 3 දෙනෙකු සදහා 1ක් වත් තිබිය යුතුය.

ඉහත දක්වන ලද්දේ මාහට හැගී ගිය පරිදි ඔබ විසින් දැන ගතයුතු අත්‍යඅවශ්‍යම කාරණා කිහිපයක් පමණි. ඔබට හිමි මේ අයිතිවාසිකම් අහිමි වන්නේ නම් ඔබට ගත හැකි සහනයන්ද මීට අමතරව ඔබ දැනගත යුතුය.

1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත මගින් ඔබට මේ පිළිබදව අවශ්‍ය නීතිමය සහනයන් දක්වා ඇත.

මුලිකවම ඔබ කල යුත්තේ සේවා කොන්දේසි සහිත පත්වීම් ලිපියක් ලබාගත් පසු සේවයට වාර්තා කිරීමය. එය කාර්මික ආරවුල් රහිතව කටයුතු කරගෙන යාමට ඉතා අවශ්‍ය වේ. බොහෝ ආයතන මෙය ලබා නොදෙන හෙයින් ඔබ විසින්ම එය ඔවුන්ට පවසා ලබා ගත යුතු බව අමතක නොකරන්න. ඔබ විසින් මුහුණ දෙන සේවයෙන් පහ කිරීම්, නියමිත ලෙස අතිකාල ඇතුලත්ව වැටුප් නොගෙවීම්, සේවා කොන්දේසි කඩකිරීම්, නොයෙක් අකාරයෙන් පලිගැනීම්, අනවශ්‍යය කොන්දේසි පැනවීම් ආදියේදී ඔබට මේ පනත යටතේ සහන ලබා ගත හැකි වේ.

ඔබට ඉහත සදහන් ආකාරයේ ගැටළු ඔබ සේවා කරන සාප්පු හා කාර්යාලයේ ඇති වේ නම් ඒ පිලිබදව දිස්ත්‍රික්කයේ කම්කරු කාර්යාලයට පැමිණිළි කල යුතුවේ. ඔබට රස්සාව අහිමි වේ යැයි සිතා මෙසේ නොකර සිටීමෙන් ඔබට සදාකාලික වහලෙකු බවට පත්වීමට සිදුවනු විනා ඉන් එහාට සහනයක් ලබා ගැනීමට නොහැකි වන බව ඔබ අමතක නොකලුතු වේ.

ඔබ පැමිණිලි කිරීමෙන් පසු ඔබට හා ඔබේ සේවා යෝජකට පරීක්ෂණයක් සදහා කැදවීම් ලැබෙන අතර සේවා යෝජක කිහිප වතාවක්ම මෙය මග හරින්නේ නම් ඔහුට විරුද්දව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරේ. මෙසේ පරිකෂණයකට කැදවීමෙන් පසු සාකච්ඡාවක් පවත්වා බේරුම් කිරීමේ කොන්දේසි ඇතුලත් ගිවිසුම් පත්‍රයටකට දෙපාර්ශවයම අත්සන් තබන අතර මෙම කොන්දේසි කඩවීමක් සිදු වුවහොත් මහෙස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීම සිදු වේ. මිට අමතරව ඔබට සහන ලබා ගැනීමට කම්කරු අධිකරණය හා බේරුම්කරණ ආදී අවස්ථා උදා කර ඇත.

මේ අකාරයෙන් ඔබගේ අයිතිවාසිකම් හා ඒවා කඩවීම් වලදී ලබාගත යුතු සහනයන් පිළිබදව දැනුවත් වීමත්, ඔබ නිහඩ නොවී ඒ පිලිබදව උත්සුක වීමත් තුලින් එදිනෙද සේවා ස්ථානවලදී ඔබට සිදුවන අසාධාරණයන් වලක්වාලීමට ඔබට හැකියාව ලැබෙන බව ඔබ අමතක නොකළ යුතු වේ. ශ්‍රී ලංකාව නම් රට තුළ සිවිල් සමාජයේ ඇති නිහැඩියාව පාලක හා ධනපතින්ගේ නොමනා හැසීරීමට හේතු වී ඇති බව අප සැවොම තේරුම් ගත යුතු කරුණක් වේ. ධනපතින්ගේ සුරාකෑම අබියස ඔබ තවත් නිහඩව සිටින්නේද යන්න ඔබේ තීරණයයි.

නීතිඥ ප්‍රබෝදි සේනානි බණ්ඩාර