හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි.
මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක බලන එක තමයි වැඩේ.
බිරිඳ මගේ ඇඟට ගොඩ වුනේ තේ කෝප්පයක් දෙන ගමන් ය.
රටේ තොටේ වෙන ඒවා අපි දැන ගන්නත් එපායැ..තේ කෝප්පය අතට ගනිමින් මා කීවේ බිරිඳට පොඩි සිනහවකින් සංග්‍රහ කරමිනි.
ඒක හොඳයි.. මම දැන් හිතාගෙන ඉන්නේ අපේ ගෙදර දොරේ ප්‍රස්නත් ඔක්කොම පත්තරේට දාන්න…
කියූ ඇය අසල තිබූ පුටුවේ හරිබරි ගැහී වාඩි විය.ඇය මේ අර අඳින්නේ මොකක් හෝ ලොකු ප්‍රස්නයකට බව මගේ යටි සිත කියන්නට විය.
මොකක්ද අනේ.. අලුත් වියවස්ථාවෙයි..වියවස්ථා සංසෝදනයි තියෙන වෙනස.. මා සිතුවාසේ ඇය කතාවට මුල පිරුවාය.
අලුත් එකක් ගෙනාවාම ආයේ 18 ගේන්න බැහැ.හැබැයි සංසෝදනය කලාම තුනෙන් දෙක හදා ගත්තු කෙනෙකුට ආයෙත් දහ අට ගේන්න පුලුවන්.
දහ අට කියන්නෙ මොකක් ද…
දහ අට කියන්නේ..සියලුම පූජ්ජ,පූජක නායකකාරකාදීන් ගේ අනුසාසනා ඇතිව,අල්ලස් දීම්,තර්ජන කිරීම් වලින් තොරව, ලෝකයේ වැඩිම කාලයක් සාකච්චා කරලා ප්‍රජාචන්චවාදීන් තුනෙන් දෙකෙන් සම්මත කරපු එකක්..
ඉතින් ඒකෙන් මොකද වුනේ..
දෙකක් නැතිවෙලා ගියා..
කොච්චර කාලයක් සාකච්චා කෙරුවද ?..බිරිඳගෙන් තවත් ප්‍රස්නයකි.
විනාඩි 120 කට වැඩියි…ඒ විතරක් යැ…කියාගෙන ආ කාරනාව හෝ ඉවර කරන්නට මත්තෙන් ගෙදර ඉදිපිට මහ පාර දෙසින් ඇසුනු ගාල ගෝට්ටියක් නිසා අපි දෙදෙනාම වත්තේ ගේට්ටුව දෙසට දිව ගියෙමු. පන්දම් එලි රැසක් ඈත වංගුවෙන් මතුවිය.
පන්සලේ කටිනෙ වෙන්නැති..යි මම කීවෙමි.
පිස්සුද.. කටිනෙ ඉවරවෙලා දැන් කොච්චර කාලයක් වෙනවද..සමහර වෙලාවට සීමන් අයියලාගේ හරක් නැති වෙලාද දන්නේ නෑ…
බිරිඳ කීවේ ඈත මෑත බලමිනි.දැන් දැන් පන්දම් එලි අපේ ගේට්ටුව ආසන්නයට පැමින ඇත.”..සයිටම් උපාදි කඩය වසා දමනු” යනුවෙන් සඳහන් වූ යෝද බැනැරයක් පෙරටු කොට ගත් පන්දම් රැගත් පිරිසකි.
මොකක් ද අනේ සයිටම් කියන්නේ…ඒක මොනව හරි ජරාව විකුනන කඩයක් ද..බිරිඳ ඇසුවේ පෙරහැර බලන අතරතුරේමය.
නෑ..නෑ..ඒක සල්ලිකාර දරුවන්ට දොස්තර උපාධිය සල්ලිවලට ගන්න පුලුවන් තැනක්..
ඉතින් ඕක ආණ්ඩුවට ගන්න කියල කිව්වාම ආණ්ඩුව ගත්ත නේද..
ගත්ත..ගත්ත..ඒ වුනාට දැන් ඒගොල්ලො කියනවා ඉස්පිරිතාලෙ ගත්ත එක වැරදියි. අර සල්ලිකාර ළමයින්ටත් ආණ්ඩුවෙන්ම උගන්නන්නලු..
ඒක මහවිකාර කතාවක්නෙ අනේ..අර රතු ෂර්ට් ඇඳගෙන යන කට්ටිය ඉස්සර කිව්වේ දුප්පත්කම නැති කරන්න නම් තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙන්න ඕන කියලා නේද..බිරිඳ ඇසුවේ පෙරහැර දිහාවට අත දිගු කරමිනි.
හ්ම්…
එතකොට ඔය සල්ලිකාරයන් ගේ දරුවන්ටත් ආණ්ඩුවෙන් උගන්නන්න ගියාම නැතිබැරි අපේ බදු සල්ලිනෙ උන්ට වියදම් කරන්නේ. ඕක ඕනම පොඩි එකෙකුට තේරෙනවනේ..
ඒ වුනාට මෙයාල ලොකු අයනේ..මේක තමයි..නව ලිබරල් ආර්තිකය පරාජය කිරිමේ.. මේ නිමේසයේ ගතයුතු ගෝලීය
දේසපාලන ආස්තානය..නැතිනම් නව ඇසකින් ලෙනින් කියැවීම..සමාජවාදී ……
හෝව්..හෝව්..තමුසෙටත් ප්‍රස්නයකට උත්තරයක් නැති වුනාම රතු කමීස මල්ලිලා ජාතික ප්‍රශ්නයට උත්තර දෙන නොතේරෙන බාසාව නේද දොඩන්නේ..යි
බිරිඳ කීවේ මගේ උරිස්සෙන් අල්ලා අදිමින් ය.
අන්න අර යන දොස්තර මහත්තය කැමරාවලට, මයික්වලට හරි බයයි කියල ටක්කෙටම කියන්න පුලුවන්..යි
බිරිඳ කීවේ ටයි පටියක් දමා ගත් ඉදුනු ජම්බු ගෙඩියක් වැනි මුහුනක් ඇති ඇස් ලොකු තවත් කෙනෙක් දිහාවට ඇඟිල්ල දිගු කරමිනි.
ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ..බිරිඳ මේවා දන්නේ කොහොමදැයි මට කුකුසක් ඇතිවිය.
මම ටී වී එකේ දැක්කනේ..කැමරාවක්,මයික් එකක් දැක්ක ගමන් ඇස් උඩ තියාගෙන කෑ ගහනවා..
ඔයා දන්න ඉටි ගෙඩිය..ඒ දොස්තර අලුත් ගේ මහත්තය. එයා ට්‍රේනිං වෙන්නේ විමල් වීරවංශට ගේමක් දෙන්න. විස්සයි විස්සෙ චන්දෙත් ඉල්ලනවලු.
එයාල ඔක්කොම මහරෑත් ටයි දාගෙන. මම දැක්කා මහ කට්ට දවල් දොලහට එකට විතර කොටුවෙ ස්ටේසන් එක ඉස්සරහත් දාඩිය පෙරාගෙන ඔය පටිය දාගෙන හිටියෙ…බිරිඳ ගේ කියවිල්ලේ ඉවරයක් නැත…
ඔය ටයිපටිය හරි බලගතු එකක්. ඕක හදල තියෙන්නේ එංගලන්තේ සුද්දො. ඕක දාගත්තම දාහක් මැද්දේ හිටියත් කිල්ලට අහුවෙන්නේ නෑ…
ඉතින් එයාල සුද්දන්ට විරුද්දයි නේද…
නෑ..නෑ..අනිත් අය සුද්දො වෙනවටයි එයාල විරුද්ද…මම කීවෙමි.
දැන්..දැන්..පන්දම් එලි සියල්ල අපේ ගේට්ටුව පසුකර බොහෝ දුරක් ගිහින් ය. එනිසා අපි ආපසු හැරුනේ නිදා ගැනීමට යෑමටය.
එකෙනිම අප දුටුවේ එක් සුදු ඇඳ ගත් පුද්ගලයෙක් වටකර ගත් දහ දොලොස් දෙනෙකුගේ කණ්ඩායමක් කට්ට කරුවලේ පෙරහැර පසු පසින් ගාටන අයුරුය.
ඔහුත් පෙරහැරත් අතර ලොකු ගැප් එකකි.
මේ..මේ.. අර බලන්න කෝ..අර මැද යන වයසක මනුස්සයා. සීතලටද කොහෙද බෙල්ලේ සාටකයකුත් ඔතාගෙන..අර..අර..විස්සයි..විස්සක් ගැනත් කතා කරනව..
ඔලු ගෙඩි මාරු කිරීමක් ගැනත් කියනව.. කටහඞත් හරි ගොරෝසුයි. කවුද අනේ ඒ..බිරිඳ ඇසුවේ කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් බෙල්ලද එහාට මෙහාට කරකවමිනි.
මැච් ඔට්ටු අල්ලලා පැරදුනු කෙනෙක් වෙන්නැති ..යි මා කීවේ මගෙත් හිතේ ඇති වූ කුහුලත් සමඟය.
ඒත්එක්කම ඈත වංගුවෙන් අපේ ගේට්ටුව දිහාවට වාහනයක “එළිය”ක් දිස්විය. එයත් පන්දම් එලිගත් පෙරහැරත් අතර දැන් දුර කිලෝ මීටර් බාගයක් විතර ඇත. බෙල්ලේ සාටකය ඔතාගත් පුද්ගලයා ඉන්නේ මේ දෙක අතර මැදය. කෙමෙන් කෙමෙන් “එළිය”අපේ ගේට්ටුවට ලඟා වෙයි.
එය අංක තහඩු නැති සුදු පැහැති හයිඑස් වර්ගයේ වෑන් රථයකි. රතුපස්වල..වැලිකඩ..හලාවත..කටුනායක.. දුන්නෙ කන්නටා…
දෙමළුන්ට..මාද්‍යයට.. සැලකුවෙ අපි ඇති නොවන්නටා..අපි..ගෝ..ටටා ටටා..යනුවෙන් අවි දැරූ පිරිස් ඒ තුළ ගීත ගයමින් නටති.
සියලු දෙනාම වෙරි මතිනි.පසුපසින් පැමිනි වාහනවල සිටි පිරිස් ද එලෙසමය.වෙනසකට තිබුනේ එම වාහනවල එල්ලා තිබූ බැනර් ය.
ඒවායේ “රක්නා ලංකා”,”ඇවන්ගාඩ්”,”අපි වෙනුවෙන් අපි”,”නිල්බලකාය”, “සිංහලේ “වැනි නම් තිබුනි.මට ජ.වි.පෙ.මැයි පෙලපාලිය සිහිවිය.ඊලඟට පැමිනි හමුදා ට්‍රක් රත පෙලපාලියෙන් අපි අන්දුන් කුන්දුන්විය.මුල්ම ට්‍රක්රතයේ “කන මඟ ඔස්සේ නන්දිකඩාල් සිට මැද මුලන දක්වා” යනුවෙන් සඳහන් යෝද බැනරයකි. පසු පසින් ආ සියලුම ට්‍රක් රතවල මිනී පෙට්ටි පුරවාතිබුනු අතර, 88-89 අංක සඳහන් කර, එල්ලා ගෙන යෑමේ පහසුවට දෝ කඹ දමා තිබුනි.
මේ අතර ..අර බලන්න..අර බලන්න කෝ..යි කෑගසමින් බිරිඳ මගේ උරහිසට අනින්නට විය.
හත්වලාමේ….ආයෙත් කොටි ඇවිල්ලද..මට ඉබේම කියැවිනි. රේඩාර්වලට අසුවන නිසාදෝ ට්‍රක් රථ පෙළට මුවාවෙමින්. උස් පහත් වෙමින් කලුවරේම ඉදිරියට ඇදෙන එල්.ටී.ටී.ඊ.සතුව තිබූ “කුරුම්බැට්ටි” වර්ගයේ ගුවන් යානයකි. කොන්ඩය ජෙල් ගා හොඳින් පීරා,”මැකීගිය පංචායුදයක්” බෙල්ලේ එල්ලා ගත් නියමුවෙක් එය පදවන බවත්, තෙල් වුනත් වතුරට මිශ්‍ර කර විකිනිය හැකි කෙනෙක් සහායක නියමුවා ලෙස සිටින බවත් හඳ එලියට යාන්තමට දැකගත හැකිවිය.”උප්පරවැට්ටියක්” යනුවෙන් ගුවන් යානයේ යට සවිකර තිබූ බෝම්බවල ලියා තිබුනි. බිරිඳ කීවේ ඒ බෝම්බවල නම් වෙන්නැතියි කියාය.
භයෙන් බීරාන්ත වී සිටි මොහොතක ඇසුනු ආටානාටියා පිරිතෙන් හා හැමූ හඳුන්කූරු සුවඳින් අප අංජබජල් වී ගියේය.
මේ යක්කු ගස් නගින වෙලාවේ..යි කියමින් බිරිඳ වටපිට බලන්නට විය. බුදු සරණයි ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! යි බැනරයක් එල්ලූ බස් රථයකි.
වටේට නාගවල්ලි කොල හා පුවක්මල් එල්ලා නිවෙන පත්තුවෙන විදුලි බුබුලුවලින් අලංකාර කර ඇත. ඒ බස් රථය තුළ සිටියේ මැදගොඩ අභයතිස්ස, මුරුත්තෙට්ටුවෙ ආනන්ද, උඩුවේ ධම්මාලෝක, ඥානසාර, බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ඇල්ලේ ගුනවංශ ඇතුලු පිරිසකි.
ඔවුන් ආටානාටිය කියන්නේ බෙලිමල් වතුර බොමින් සූකිරි කනගමන් යැයි බිරිඳ කීවේ මා තවත් යමක් කියන්නටත් පෙරය.
මම ආපසු හැරුනේ නිදා ගන්නට යෑමටය. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු..”අන්තිම බස් එකත්” බලාලම යමු …යි බිරිඳ කීවේ මාගේ ගමන වලක්වමිනි.
මොනව බලන්නද ..යමු යන්න..යි මා කීවත් අවසානයක් දැක බලාගැනීමේ දොල දුකක් මටද තිබුනි.
කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු..”හඞක් නැති ජනතාවගේ හඞ”..”තෙවැනි ඇස..” “හතරවැනි රාජ්‍ය..” යි ලියූ යෝද බැනරයක් එල්ලූ බස් රියකි. ඇතැමුන් ජනෙල්වලින් එලියට ඔලුව දමා වමනයකර අත්දිග කමීසයේ පිටි අල්ලෙන් කට පිහිදායි. ඇතමුන් කට පිහිදාන්නේ ටයි එකෙනි. හතර පස් දෙනෙක් එක පොදියට බෙලිමිරිකා ගන්නා අතර ඉඳ හිට හෙල බසද උච්චාරනය කරනු ඇසේ. දවසේ කුකුලු පැටවුන් ගේ මෙන් සමහරක් ගේ බෙල්ල කමීස සාක්කුව දක්වා නැමී ඇත.
වෙරිමරගාතෙ නේද..යි බිරිඳ කීවේ කට කොනට නැගුනු සමච්චල් සිනාවක් සමඟිනි.
මොන වෙරි මරගාතෙද.?..නිදිමරගාතෙ..පොඩි දුරක්ද එන්නේ.. නන්දිකඩාල්වල ඉඳලා..යි මා කීවේ හිතට නැඟුනු ලැජ්ජාව යටපත් කරගනිමිනි. ඒ අතර එහි සිටි එකෙක් වෙරිමරගාතෙම ජනේලයෙන් එලියට ඔලුව දමා අඩෝ…කොත්ති..යි කෑගැසීය. ඔයාව ඇඳින්න නේද..යි කියූ බිරිඳ කුකුලෙක් ඩැහැගත් නරියෙක් සේ මගේ කෑ ගැසීම අස්සේම ගෙට ඇදගෙන ගොස් දොරවසා, දොරපොලු දමා සියලු ලයිට් නිවා දැමීය.
ඥාණසිරි කොත්තිගොඩ