Image by:srilankafoundation.org

ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු කරන්නේ මිනිසුන් සමග බවත්, මිනිසුන් යනු ස්වභාවයෙන්ම භීතියට පත්වන්නන් බවත් ඔවුන්ට අමතක වන්නේය.

කොහොමත් ආණ්ඩු කරන මහත්තුරුන් බලයට එන්නට පෙර කියපු දේවල් බලයට ආ පසු අමතක කර දමන්නේය. කියපුවාට වඩා හාත්පසින්ම වෙනස් දේවල් කරන්නේය. වර්තමාන ආණ්ඩුවට ද එය අදාළ ය. එහෙත් සාපේක්ෂව බලන විට තවමත් මේ ආණ්ඩුවට ලකුනු ටිකක් දිය හැකිය. තොරතුරු පනත, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු කෙටුම්පත වැනි කියපු දෙවල් ටිකක් කරළියට ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබේ. නොකළ සහ ප‍්‍රමාද වූ දේවල් ලැයිස්තුවක් ද දිගහැරිය හැකිය.

ඒත් මහින්ද රාජපක්ෂලා නම් එහෙම නැත. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් තමන්ට ආණ්ඩු බලය ලැබුනහොත් කරන දේවල් හරියටම කියන්නේය. 2005 දී ආණ්ඩු බලය ගත් වෙලාවේ මෙන් නොව, 2010 දී තරමක් අපි මෙන්න මේ වගේ යැයි පෙන්නුවේය. ඒ වනවිටත් ලසන්ත වික‍්‍රමතුංගලා මරා දමා අවසාන ය. උතුරේ මාධ්‍යවේදීන් විසි ගණනක් මරා දමා අවසාන ය. සුදු වෑන් වලින් මිනිසුන් උස්සන්නට පටන් ගෙන අවසාන ය.

යුද්ධය උත්කර්ෂයට නංවා ඔවුහු 2010 දිනූහ. ඉන්පසු තමන් මෙන්න මේ වගේ යැයි ජනතාවට හරියටම පෙන්නූහ. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ රුපියල් කෝටි-ප‍්‍රකෝටි ගණනක් ඡන්ද අල්ලස් දෙද්දීත් ජනතාව ඔවුන් ව පරාජයට පත්කිරීම ය. ඒ නිසා ය, මුලින්ම කීවේ ජනතාව භීතියට පත් වන බව. භීතියට පත් වූ පසු මොන අල්ලස් දුන්නත් වැඩක් නැත.

මේ ආණ්ඩුව දැන් ජනතාවගේ ඒ තිබූ භීතිය නැති කර තිබේ. දැන් සුදු වෑන් වලින් තමන් පැහැරගන්නේ නැති බවට විශ්වාසයක් හැදෙමින් තිබේ. අවුරුදු හතකට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ භීතියෙන් ජීවත් වූ ජනතාවට තවමත් ඒවා අමතක නැත. පොලීසි වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට වෙඩි තබා මරා දැමූ බවත්, ඉන්පසු ඔවුන් පළායන්නට හදන විට ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බවට බොරු හැදූ බවත් ජනතාවට අමතක නැත. කෲර, අමානුෂික සහ අවමන් සහගත වධහිංසා වලින් වැළකීමේ පනතක් ලංකාවේ තිබෙන බවක් එදා මතක් වූයේ පවා නැත. ඒ වෙඩිතැබීම්, මරාදැමීම් ගැන කිසිදු අධිකරණයකින් ප‍්‍රශ්න කළේද නැත. අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. එහෙත් කිසිදු අධිකරණයක් මේ සිදුවීම් ගැන ඒ කියන පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ප‍්‍රශ්න කළේ නැත. පොලීසි වටේට තාප්ප කඩා මල් වැව්වේ ද ඒ ආණ්ඩුව කාලයේ ම ය. ඒත් ඒ මල් වැවූ පොලීසි ඇතුළේ සැකකරුවන්ට එල්ලා පහර දුන්නේය.

මේ ආණ්ඩුව කාලයේ ඒ සිදුවීම් සීයට සීයකින් නතර කර ඇතැයි සහතික දෙන්නට නොහැක. එහෙත් සැලකිය යුතු සහ අගය කළ යුතු තරමේ ප‍්‍රතිශතයකින් ඒවා නතර කරන්නට මේ ආණ්ඩුව සමත් වී ඇත. ස්වාධීන පොලිස් කොමිසම තමන්ගේ රාජකාරිය කරන බවත් පෙනෙන්නට තිබේ. මානව හිමිකම් කොමිසම ද එසේ ම ය. අධිකරණ සේවා කොමිසම ඇතැම් විනිසුරුවරුන් ගැන විමර්ශන ආරම්භ කර තිබේ.

මේ පූර්විකාව ලිව්වේ පසුගිය සතියේ වීරයන් වන්නට උත්සාහ කොට, සමාජයේ විරෝධයට ලක් වූ පාර්ශ්ව දෙකක් ගැන විශේෂයෙන් ලියන්නට ය. මේ පාර්ශ්ව දෙක යනු මහින්ද රාජපක්ෂලා අනාගතයේ බලය ගන්නට පාවිච්චි කරන ඉත්තන් ය. වේදිකාවේ රගන්නේ මේ ජාතියේ රූකඩ වුවද, ඒ රූකඩ වල නූල් අල්ලාගෙන සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ මහ මොළකරුවන් බව තේරුම් ගන්නට ආචාර්ය උපාධි අවශ්‍ය නැත.

මෙයින් එක් අයකු වන්නේ යුද්ධයේ වීරයකු ලෙස තමන් විසින් හදුන්වා ගන්නා, ඒ හරහා අන්තවාදීන් උසිගන්වන කමල් ගුණරත්න ය. මේ කියන කමල් ගුණරත්න යනු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් රට වටා ඔළු හදන්නට යන වියත් මගේ මුල් පුරුකකි. මේ කියන වියත් මගේ ඉන්නේ විද්වතුන් යැයි කියනු ලැබිණි. ඒත් කමල් ගුණරත්නලා මුල් තැන් වල ඉන්නා වියත් මගේ තරම මේ කතාවෙන්ම පැහැදිලි වේ.

‘දේශයේ දරුවන් ලෙස ඉපිද දේශය නසන්නට තැත් කරන්නේ දේශද්‍රෝහීන්. සරත් වීරසේකර මහතා කියනවා වගේ දේශද්‍රෝහීන්ට හිමි විය යුත්තේ… අපි 87,88,89 කාලයට ගිහින් බැලූවොත්, ඔබට මතක ඇති හැමතැනම ජවිපෙ ලියලා තිබුණා, දේශද්‍රෝහීන්ට මරණය කියලා. එහෙනම් දේශද්‍රෝහීන්ට හිමි විය යුතු දඩුවම මරණයයි. රට පාවාදෙන, ර ටකැබලි වලට කඩන දේශද්‍රෝහීන් ඉන්නවා නම් ඒ දේශද්‍රෝහීන්ට හිමි විය යුත්තේ මරණයයි. 87,88,89 ජවිපෙ ත‍්‍රස්තවාදය කාලයේ දේශද්‍රෝහීන් කියලා මරපු මිනිස්සුන්ගේ මිනිය කනත්තට ගෙනියන කොට පොළොවෙන් අගල් හයකට වැඩිය උස්සන්න දුන්නේ නෑ. කඹ දාලා අරන් ගියේ. මේ දේශද්‍රෝහීන්ගේ මිනියටත් ආචාර දැක්විය යුත්තේ එහෙමයි….’

පසුගිය 21 වැනිදා කමල් ගුණරත්න කියන විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා එසේ කිව්වේය. ඒ ගම්පහ පැවැති වියත් මග සංවිධානයේ රැස්වීමකදී ය. ගෝඨාභය රාජපක්ෂලා ඒ වෙලාවේ හිටියේ ඒ කතාව අසාගෙන ය. ඒ කතාව අහපු ගමන් ගෝඨාභය රාජපක්ෂගේ කට කොණට හිනාවක් නැගුණේ නැත්නම් මෙන්න කැට…

රතුපස්වලදී බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ නිරායුධ සාමාන්‍ය ජනතාවට වෙඩි තිබ්බේ ඔය ගෝඨාභය රාජපක්ෂලා, කමල් ගුණරත්නලා අණ දුන් හමුදාවෙන් ය. ඒ සිද්ධියට අත්අඩංගුවට ගත් සාමාන්‍ය සෙබළුන්, සාජන් මේජර්වරුන් මෙන්ම අණ දුන් බව කියැවෙන බි‍්‍රගේඩියර්වරයාට ද ඊට තනිව වගකියන්නට නොහැක. මේ උඩු බුරන්නේ ඒ වගකීමේ කොටස්කරුවන් ය. වැලිකඩ බන්ධනාගාරයේදී ලැයිස්තුගත සමූහ ඝාතනයක් කළ බවට චෝදනා එල්ල වන්නේ මේ වියත් මහත්තුරුන්ට ය. ඒ මහත්තුරුන් පාරට බැස්සේ නැත. තුවක්කු අරන් වෙඩි තියන්නට ගියේ නැත. අණ දුන්නා විතර ය. තවත් මෙවැනි මිලේච්ඡ ඝාතන කීයක් ඔවුන් කෙරෙව්වේද? දකුණත්, උතුරත් භීතියෙන් මුසපත් කළේ අද වැදි බණ දෙසන මේ ඇත්තන් ය. එදා ඒ කළ දේවල් මිනිසුන්ට තවම අමතක නැත.

ඒ නිසා දැන් ම ආණ්ඩු බලය ගන්නට මේ වගේ කතා කියන මහත්තුරුන්ට කියන්නට ඇත්තේ වහාම මානසික ප‍්‍රතිකාර ගන්නා ලෙස ය. වියට්නාම් යුද්ධයෙන් පසු ඇමරිකානු හමුදා සෙබළුන්ගේ මානසිකත්වය හදන්නට ඇමරිකානු ආණ්ඩුව අවුරුදු පහළොවක් මුදල් වෙන් කළ බවට වාර්තා ඇත. ඒත් අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැත. වරක් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කීවේ, ලංකාවේ පශ්චාත් යුද මානසිකත්වය ගොඩනගන්නට ආණ්ඩුව කටයුතු නොකිරීමේ පාපය අනාගත පරපුරට අත්විදින්නට සිදු වනු ඇති බව ය. මනෝ විද්‍යාව සම්බන්ධ විද්වතකු මෙන්ම ළමා මානසිකත්වය පිළිබද විද්වතකු වන මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ තත්ත්වයෙන් රට ගලවා ගන්නට නම් ලේ දුටු සෑම අයකුම පුනරුත්ථාපනය කළ යුතු බවයි.

ඒ කතාව කමල් ගුණරත්න කොයිතරම් අපූර්ව ආකාරයට ඇත්තක් බවට පත් කළේද? අපි එදා කළෙත් එහෙමයි, හෙට ආවොත් කරන්නෙත් එහෙමයි කියා මීට වඩා හොදින් කියන්නට වෙනත් කිසිවකුට හැකියාවක් නැත. ඒ අතින් කමල් ගුණරත්න මෑත කාලයේ බිහි වූ අති දක්ෂයෙකි. ඔහු ජනතාවට යාන්තමින් අමතක වෙමින් පවතින භීතිය නැවත මතක් කළේය. යාන්තමට ගොඩනැගෙමින් පවතින සංහිදියාවට පහර ගැසිය යුතු බවත්, කිසිදු අකාරයකින් මේ රට එක්සත්ව පැවතිය යුතු නැති බවත්, යුද්ධයක් නොපැවතුණහොත් තමන්ට පැවැත්මක් නැති බවත් කමල් ගුණරත්න පැහැදිලි කළේය. අනෙක් අතට යුද අපරාධ ගැන කියන්නන්ට මෙසේ සාක්ෂි සපයන්නට කමල් ගුණරත්න අල්ලසක්වත් ගත්තාද? නැතහොත් මුළු ඒකාබද්ධයම දිය යටින් ගින්දර ගෙනියනවාද?

මේ ජාතියෙන් ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ පැහැදිලි කිරීමේ තවත් සාර්ථක කතාවක් පසුගිය සතියේ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ය.

‘සංහිදියාව හැදෙනවයි කියලා බණ කියමින් ඉතිරි වී තිබෙන සංහි`දියාවත් මරා දාන ව්‍යවස්ථා කෙටුම්පතක් තමයි අද අප ඉදිරියේ සාකච්ඡා වෙන්නේ. ඒ වගේ භයානක අපරාධයක් කරන කොට අත උස්සන්නේ නැතුව ඉන්න මන්තී‍්‍රවරුන් 76 ක් නැත්නම් එහෙම පාර්ලිමේන්තුවක් කොස් කොටන්නද? නැත්නම් ඔය පාර්ලිමේන්තුවට ඊට පහුවෙනිදා උඩින් ගිහින් බෝම්බයක් දාන්න ඕනෙ.’

යදමින් බැදි අක්ෂර නම් ඔහුගේ කෘතිය එළිදක්වන වෙලාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මේ කතාව කියා තිබිණි. මේක කිව්වේ සාමාන්‍ය පුරවැසියකු නොවේ. සාමාන්‍ය පුරවැසියන් නියෝජනය කරන්නට පාර්ලිමේන්තුවට ගොස් සිටින මන්ත‍්‍රීවරයෙකි. ඒ කියන්නේ ඔහු මුළුමනින්ම ජනතා පරමාධිපත්‍යයට පයින් ගසන්නට සූදානම් ය. එහෙත් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව තමන්ගේ හිතූ මනාපයේ දොෂාභියෝග ඉදිරිපත් කරන විට, කාන්තාවක් වූ ඇයට සමාජය ඉදිරියේ අවලාද-අපහාස කරන විට මේ කියන විමල් වීරවංශලා හිටියේ වලිගය හොද හැටි වන වනා ය.

අඩු තරමේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ මෙන්න මේකයි කියා තවම කෙටුම්පතක් වත් ඉදිරිපත් වී නැත. අවසාන කෙටුම්පතක් සකස් කර හෝ නැත. තවමත් ඉදිරිපත් වී ඇත්තේ අතුරු වාර්තාවක් පමණි. එවැනි වාර්තාවක් ඉදිරිපත් වූ පමණින් ඒකාබද්ධ විපක්ෂයේ මුල් පුරුක් ලෙස පෙනී සිටින මේ ඇත්තන් කලබල වන්නේ ඇයි? මේ ඇත්තන් පමණක් නොවේ, මේ ඇත්තන්ව මෙහෙයවන ලොකු ඇත්තන් ද කලබල වී ඇත්තේ ඇයි?

නියමිත පරිදි ශිෂ්ඨ සමාජයට අනුගත වන්නට නොහැකි වූ විමල් වීරවංශ වැන්නන් ජනතාව ගෙනයන්නට හදන්නේ කොතැනටද? ඔවුන් තවමත් ඉන්නේ බෝම්බ මානසිකත්වයේ ය. මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කිව්වාක් මෙන් ඔවුන්ගේ මොළ ගෙඩි හේදෙන්නට තව කොච්චර කාලයක් ගත වේ දැයි කියන්නට නොහැක. අනෙක් අතට වාසියට හෝ පියසිරි විජේනායක, වීරකුමාර දිසානායක වැන්නන් පවා විමල්ගේ මේ කතාවට එරෙහිව කතා කරමින් සිටී. ඒ කියන්නේ ඔවුන් ශුද්ධත්වයට පත්වෙමින් තිබෙන බවක් නොවේ. ඔවුන් මෙච්චර කාලයක් ලැග්ගේත්, ලගින්නේත් ඒ ගොහොරුවේ ම බව පැහැදිලි ය. එහෙත් රටේ ආණ්ඩු බලය ගන්නට ප්ලෑන් ගහන, ජනතාවට යා යුතු පාර කියන බව පෙන්වන, වේදිකා වල කෑ මොර දෙන විමල් වීරවංශට තමන්ගේ පක්ෂයේ අතේ ඇ`ගිලි ගණනක සාමාජිකයන් ටික එක මතයක තබා ගන්නට නොහැකි නම් ඒ ගැන තවත් කතා මොකටද?

මේ ජාතියේ ම කතා අඩු-වැඩි වශයෙන් ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඇහෙන්නේය. ඒ කියන්නේ මේ මහත්තුරුන් ආණ්ඩු බලය ගන්නට හදන්නේ මිනී මරන්නට ය. ඒ මළ මිනී දණහිසට පහළින් රැගෙන යන ලෙස අණදෙන්නට ය. එහෙමත් නැත්නම් ජනතා පරමාධිපත්‍යයට බෝම්බ ගසන්නට ය. ඔවුන්ට යුද මානසිකත්වයෙන් පිට පැවැත්මක් නැති බව කියන්නට තවත් සාක්ෂි අවශ්‍ය ද? යුද්ධය අවසන් කළා කියා ජය පැන් බොන්නට දී, කිරිබත් කන්නට දී ඡන්දය ගත් කාලය දැන් අවසන් බව ඔවුන් තේරුම් ගෙන තිබේ. ඒ නිසා යළිත් එවැනි ගින්නක් ඔවුන්ට අවශ්‍ය ය. මේ ඉල්ලන්නේ ගිනි තියන්නට අවස්ථාව ය.

ශාලික විමලසේන | Shalika Wimalasena