විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ප්‍රකාශයේ 62 වන පිටුවේ මෙසේ ද පොරොන්දු වූවා:

“සියලු ජනමාධ්‍යකරුවන්ගේ හා ආයතනවල නිදහස ආරක්ෂා වන කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් දියත් කරන්නෙමි. ජනමාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ලෙස තහවුරු කරමින් මහජන සේවා සන්නිවේදන දිරිමත් කිරීමේ පදනම මත හිඳ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීමේ කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කරමි. රජයේ ජනමාධ්‍ය රට පාලනය කරන දේශපාලන පක්ෂයේ ප්‍රචාරක අවියක් බවට පත් කිරීම නවතා, සමබර සේවාවක් රටට සැපයීමට අවශ්‍ය පසුබිම සකස් කරමි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට, ඒවායේ හිමිකරුවන්ට හා මාධ්‍යවේදීන්ට සෘජුව හා වක්‍රව සිදු කරනු ලබන බලපෑම් හා බියගැන්වීම්, සුදු වෑන්වලින් පැහැර ගැනීම් හා මරා දැමීම් නවතා නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාම සහතික කරන්නෙමි.”

[immage by: India.com]

රටේ බහුතරයක් ඡන්දදායකයන්ගේ තේරීම හරහා ජනාධිපතිවරයා පත් වූයේ මෙවැනි ප්‍රතිඥා රාශියක් නිසායි. ඒවා ඉටු කිරීමේ සාරධර්මීය වගකීම ඔහුටත් ඔහුගේ රජයටත් ධූර කාලය පුරාම තිබෙනවා. ඒ වගකීම කුමන හෝ හේතුවක් නිසා පැහැර හැරීමට නොහැකියි.

2015 ජනවාරියේම ගත් එක් සාධනීය පියවරක් වූයේ පසුගිය රජය නීති විරෝධී ලෙස මෙරට සිට පිවිසීම අවහිර කළ දේශපාලන හා පුවත් වෙබ් අඩවි රැසකට තිබූ එම බාධකය ඉවත් කිරීමයි.

යහපාලනයට වසරක් පිරෙන අවස්ථාවේ 2016 ජනවාරි 17 රාවය පත්‍රයේ මගේ තීරු ලිපියෙන් මා මෙසේ කියා සිටියා:

“යහපාලනයේ මොන අඩුපාඩු හා විසමතා තිබුණත් භාෂණ නිදහස හා ප‍්‍රකාශන නිදහස නම් අපට ලැබී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද අපට රටේ ජනපති හා අගමැති දෙපළත්, ඇමතිවරුනුත් නොබියව විවේචනය කළ හැකියි. මේ නිදහස ගෙවි ගිය වසර පුරා මා ප‍්‍රායෝගිකව අත්හදා බැලූවා. රටේ නායකයන් දෙපළ හේතු සහගතව හා කිසිදු දේශපාලන මතවාදී එල්බ ගැනීමකින් තොරව විවේචනය කිරීමට යළිත් හැකි වීම ඉතා වැදගත්.”

මාස 34ක අස්වැසිල්ලකින් පසු යළිත් වෙබ් වාරණය පටන් අරන්. පසුගිය රජය කළ අමන වැඩේම යහපාලන රජයත් කිරීම ඇරඹිලා.

2017 නොවැම්බර් 8 වනදා සිට ලංකා ඊ නිවුස් පුවත් වෙබ් අඩවියට පිවිසීම අවහිර කොට තිබෙනවා. මේ ලියන නොවැම්බර් 15දා වන විට සතියක් තිස්සේ කිසිදු ඉන්ටර්නෙට් සේවාවක් හරහා http://lankaenews.com වෙබ් අඩවියට පිවිසිමට නොහැකියි.

රජය මේ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නොකළත්, ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසම(TRC) මෙසේ කිරීමට සියලු ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම්වලට නියම කර ඇති බව දැන ගන්නට තිබෙනවා.

මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙසේද කියා සිටියා:

“මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදීයකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.”

“ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්ධනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.”

මේ ගැන අදහස් දැක්වීමේදී පූර්විකාවක් ලෙස මා මෙසේ කිව යුතුයි. ලංකා ඊ නිව්ස් අඩවියේ මාධ්‍යකරණය මා අනුමත කරන්නේ නැහැ. නිශ්චිත මූලාශ්‍ර හුවා දක්වමින්, සාක්ෂි මත පදනම් වී වාර්තා කරනු වෙනුවට ඔවුන් බොහෝ විට කරන්නේ ආවේගශීලී හා භාවප්‍රකෝපකාරී (sensational) වාර්තාකරණයක්.

එය මාධ්‍ය ආචාර ධර්මවලට සැමවිටම අනුගත වන්නේ නැති වුවද දූෂණ හා අක්‍රමිකතා ගැන ඔවුන් කරන හෙළිදරව් ඔස්සේ තව දුරටත් විමර්ශන කිරීම වගකීම් සහගත රජයක් කළ යුත්තක් බවද මා විශ්වාස කරනවා.

එසේම ඕනෑම පුවත් වෙබ් අඩවියක් හෝ වෙනත් මාධ්‍යයක් අපහාසාත්මක ප්‍රකාශ කරයි නම් හෝ අසත්‍ය, ද්වේශ සහගත තොරතුරු බෙදා හරියි නම් එයට එරෙහිව නීති මාර්ගයෙන් අධිකරණයට යාමට දේශපාලකයන් ඇතුලු සියලු පුරවැසියන්ට හැකියාව තිබෙනවා.

එසේ නොකර, තමන්ට අහිතකර යයි සළකන පුවත් බෙදන වෙබ් අඩවි අවහිර කිරීම රජයේ පැත්තෙන් අපරිණත ක්‍රියාවක්. සිය විධායක බලය අවභාවිත කිරීමක්. යහපාලන කිරි කළයට හිතාමතාම ගොම ටිකක් එකතු කිරීමක්.

විදුලි සංදේශ නියාමන කොමිසම තොරතුරු සමාජය බිහි කිරීමට ඉහළ වගකීමක් දරණ ආයතනයක්. රාජපක්ෂ අඳුරු දශකය තුළ එහි සිදු කැරුණේ තාක්ෂණික මූලධර්ම මත පදනම් වූ සුසාධ්‍ය කිරීම (facilitate) වෙනුවට හුදෙක් දේශපාලන සාධක හා තීරණ මත නව මාධ්‍ය හැසිරවීමට තැත් කිරීමයි.

නියාමනය සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ තිබෙනවා. නියාමකයාගේ වගකීම තොරතුරු ප්‍රවාහන පද්ධතිය මනා සේ ක්‍රියා කරන බවට සහතික වීමය. එසේ නැතිව තොරතුරු තාක්‍ෂණ පද්ධති හරහා ගලා යන අනේකවිධ තොරතුරු හා අදහස් අනිසි ලෙස ආවේක්ෂණය(surveillance) කරමින් සෘජු හෝ වක‍්‍ර ලෙසින් එම ප‍්‍රවාහයන් වාරණය කිරීම නොවෙයි.

යුක්තියුක්ත සමහර අවස්ථාවල යම් වෙබ් අඩවි අවහිර කිරීමේ අභිමතය ආණ්ඩුවලට තිබෙනවා. එහෙත් ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි වාරණය කරන්නේ අධිකරණ නියෝග හරහා පමණයි. එබදු රටවල තර්කානුකූල හේතුවක් නිසා පිවිසීම අවහිර කළ වෙබ් අඩවිවල නිල ලැයිස්තුවක් පවත්වා ගන්නවා.

එහෙත් අපේ රටේ එවැනි පාරදෘශ්‍ය, නිසි ක්‍රමවේදයක් තවමත් නැහැ.

2007 සිට විදුලි සංදේශ නියාමන කොමිසම කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව හිතුමතයට සමහර වෙබ් අඩවිවලට මෙරට තුළ සිට පිවිසීම අවහිර කිරීමට ටෙලිකොම් සමාගම්වලට නොනිල මට්ටමින් අණ දෙමින් සිටිනවා.

2007දී ටැමිල්නෙට් (TamilNet.com) අවහිර කිරීමේ ඇරැඹි මේ විපරීත ක්‍රියාදාමය පසුව දේශපාලන තොරතුරු හා විකල්ප අදහස් රැගත් වෙබ් අඩවි රැසක් අවහිර කිරීම දක්වා පැතිර ගියා. මෙරට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා සපයන ටෙලිකොම් සමාගම් තමන්ගේ බලපත‍්‍රය රැක ගැනීමේ බියෙන් කොමිසම වාචිකව දෙන නියෝග පවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කරනවා.

පසුගිය පාලන සමයේ නම් මෙය කළේ වාචික නියෝග හරහායි. අඩුම තරමින් ලිඛිත නියෝගයක් දෙන්න බලධාරීන් පැකිලුණා. හේතුව ඒ සඳහා නීති මෙරට නැති බව ඔවුන් දත් නිසා විය යුතුයි.

2015 මාර්තු 15 වනදා රාවය පත්‍රයේ මගේ තීරු ලිපියෙන් කීවේ මෙයයි:

“නව රජය මෙය නොකරන බව කියා ඇතත් ක්‍රමයේ වෙනසක් නොකරන තාක් කල් දේශපාලක හා නිලධාරි බලයට ටෙලිකොම් සමාගම් නතු වීමේ අවදානම දිගටම තිබෙනවා. මේ නිසා ක්‍රමය වහාම වෙනස් විය යුතුයි.”

එසේ ක්‍රමවේදයක් හඳුන්වා නොදීමේ ප්‍රතිඵලය අද අප දකිනවා. රජය හෝ එහි නායකයන් විවේචනය කරන, ඔවුන්ගේ දූෂණ හෙළි කරන තවත් වෙබ් අඩවිවලට මේ ඉරණමම අත් විය හැකියි.

දැඩි ලෙස ස්වයං වාරණයක යෙදී සිටින පුවත්පත්වලින් හෝ, තම විකාශ බලපත්‍රය රැක ගැනීම සඳහා පවත්නා රජය යම් සීමාවකින එහාට විවේචනය නොකරන රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනවලින් එයට සමාන විවේචන හෝ විමර්ෂන අපේක්ෂා කිරීමට අමාරුයි.

2015 ජූලි 15 වනදා මාධ්‍ය සංවිධාන නවයක් 2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවල අවධානය සඳහා භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළා. එයට හවුල් වූයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය, ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සමාජය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club) හා ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලයයි.

එම ප්‍රකාශයේ මේ වගන්ති දෙක මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි:

“8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.

“9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂනය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.”

අවසන් වශයෙන් කිව යුත්තේ අපට ඉන්ටර්නෙට් සේවා සපයන මෙරට ටෙලිකොම් සමාගම් දේශපාලන අධිකාරීන් හා විදුලි සංදේශ නියාමන කොමිසම කියන ඕනැම දෙයක් කඩිනමින් ඉටු කිරීම ඉතා පසුගාමී තත්ත්වයක් බවයි.

පුද්ගලික සන්නිවේදන ආවේක්ෂණය කිරීමටත්, පුවත්/දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීමටත් රජය දෙන නියෝග අඩු තරමින් ලිඛිතව දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිය යුතුයි.

මීට වසර කීපයකට පෙර මෙවන් තත්ත්වයක් නේපාලයේත් මතු වුණා. රජයට අහිතකර වෙබ් අඩවි රට තුළ අවහිර කරන්න යැයි වාචික නියෝගයක් ආවා. සියලු නේපාල ටෙලිකොම් සමාගම් එක හඬින් කියා සිටියේ “අපට ඔය නියෝගය ලිඛිතව දෙන්න. නැත්නම් අධිකරණය හරහා එන්න” කියායි.

එසේ නොවී දිගටම බලපෑම් එන විට එයට මහජන අවධානය යොමු කිරීමට සියලු ටෙලිකොම් සමාගම් 2011 අප්‍රේල් මාසයේ දිනයක කලින් කථා කර ගත් පැයක කාලයක සිය ඉන්ටර්නෙට් සේවා තාවකාලිකව අඩපණ කළා (Internet blackout).

අපේ ටෙලිකොම් සමාගම්වලට නේපාලයේ සමාගම් තරමට පිටකොන්දක් කවදා ලැබේවිද?

අවහිර කළ වෙබ් අඩවියේ සමහර අන්තර්ගතය ෆේස්බුක් හරහා කියවිය හැකියි:
https://www.facebook.com/lankaenews/

නාලක ගුණවර්ධන | Nalaka Gunawardene
@NalakaG

[මේ ලිපිය කතුවරයා රාවය පත්‍රයේ සතිපතා ලියන සිවුමන්සල කොලුගැටයා තීරු ලිපිය යටතේ 2017 නොවැම්බර් 19 වනදා කලාපයේ මුලින් පළ වූවකි.]