රජ මැදුරට හකුරු ගෙනෙන්නාගෙන් රජතුමා දවසක්දා පොඩි විමසීමක් කලාලු! මේ හකුරු හදන්නේ කොහොමද කියලා. එතකොට හකුරු හදන්නා කිව්වලු රජතුමනි මේවා හදන්නේ උඩට උඩුවියන් ඇදලා, පයට පාවාඩ දමලා, වටේට ඇතිරිලි ඇදලා බොහෝම පිරිසිඳුවට කියලා. මේ ගැන බලන්න රජා වෙස් වළාගෙන ගියාලු. බැලින්නම් දහඩිය මුගුරු පෙරාගෙන අන්තිම අපිරිසිඳු විදියට තමයිලු හකුරු හදන්නේ. ඊට පස්සේ රජා මේගැන ඇහුවාම හකුරු හදන්නා කීවාලු රජතුමනි කියන කොට එහෙම තමයි ඒත් කරනකොට මෙහෙමයි කියලා. කටේ නරිවාදන් රෙද්ද පල්ළෙන් බේරේ කියන්නෙත් මේවාගේ කෙරුවාවල්වට. මහින්ද රාජපක්ෂ ගේ ඒකාබද්ධෙත් කතාව හා කෙරුවාවල් මේ වගේ නේද කියලා මේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා වලදී හොඳට ප්‍රදර්ශනය වුනා.
මොකද ඒකාබද්ධෙ අය නිතරම කිව්වේ පළමුව රට. ඊළඟට ජාතිය හා ආගම. තුන්වෙනුව තමයි තනතුරු කියලා. හැබැයි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයො බෙදා ගන්න ගිහිල්ලා කටේ නරිවාදන් රෙද්ද පල්ළෙන් බේරෙන්න ගත්තා. පළමුවෙන්ම ගෝරිය ඇද ගත්තේ විමල් වීරවංශගෙ පක්ෂයයෙන්. ඊළඟට ගම්මන්පිළ සහ දිනේෂ්. මහින්දගේ ඒකාබද්ධෙට පක්ෂ විස්සක් විතර ඉන්නවා කියලා ඔවුන් කියනවා. එතකොට පක්ෂ විස්සක් විතර ඉන්නවානම් මේ පක්ෂ තුනට විතරක් ප්‍රශ්ණ මතුවුනේ ඇයි. ඒක හොයා බලන්න ඕන කාරණාවක්.
මට හිතෙන විදියට මෙතැන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මහින්ද ඇරුනාම දිනේෂ්, විමල්, ගම්මන්පිළ තමයි මේ ඒකාබද්ධෙ ඇතුළෙ ඉන්නා ප්රමුඛ ජාතිවාදියෝ. වාසු,ඩීව්,සහ තිස්ස විතාරණලාගෙන් මේ ඒකාබද්ධෙට ලැබෙන්නේ ඊනියා වාමාංශික හයියක්. ජාතිවාදී පෙනුම තනුක වෙන්න රතු සැරසිල්ලක්. අනෙක විමල්ලාට වගේ ලැයිස්තුවලට දාගන්න එහෙම ලොකු සාමාජිකයො පිරිසකුත් මේ අයට නෑ. පාර්ළිමේන්තුවේත් ඉන්නේ එක්කෙනා ගානෙ. දිනේෂ්ගෙ දෙන්නත් එක්කෙනෙක් වුනා. ඒකාබද්ධෙ ඉන්නවා කියන අනෙක් පක්ෂවල නායකයො හා පක්ෂ මොනවද කියලා හරියට අඳුනන්නෙත් මැතිවරණ කොමසාරිස් විතරයි. එතකොට ඒවාත් ජාතිවාදී චොකලට් එක වටේට දාපු මෝල්ට් එකක්. ඒ නිසා විස්ස නෙමේ හතලිහක් හිටියත් අභියෝගයක් නෑ.
ඒත් විමල්ට පාර්ළිමේන්තු මන්ත්‍රීවරු විතරක් පහක් හිටියා. විමල් මහින්දගේ ආණ්ඩුවේම ඉඳගනිමින්ම ඒ ජාතිවාදී ගුබ්බෑයමට අභියෝග කලේ 2014 ඌව පළාත් සභා මැතිවරණයේදී. විමල්ගේ ජා.නි.පෙ.වෙනම තරඟ කරලා මොණරාගලින් උදයශාන්ත ගුණසේකර පළාත් සභාවට පත්වුනා. රාජපක්ෂ පරපුරේ ශශීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමැති අපේක්ෂකයා පැරදුනා. විමල් එහිදී බැසිල් හැඳුන්නුවේ ආර්ථික ඝාතකයා කියලා. ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පත්වුනා. විමල් එක්ක බැසිල් ආරෝව පටන් ගත්තේ මෙතැනින්. ඒත් ඒවා අළුයට ගිනිපුපුරු වාගේ තමයි තිබුනේ. මොකද නාමල් බබා හිතුවේ විමල් ලොකු අයියා මැරෙන්නේ තමන්ව අගමැති පුටුවට ගේන්න කියලා.”අපේ තාත්තාට පුත්තු හතර දෙනෙක් ඉන්නවා” කියලා තමයි ඒ කාලේ නාමල් කිව්වේ. ඒත් දේශපාලණයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච බැසිල්ට තේරුනා ගොණා හැරෙන්නේ පොල් පැළය කන්න තමයි කියලා. එහෙම තේරුනත් නාමල් ඊළඟ ඔටුනුපළන් කුමාරයා නිසා බැසිල්ට කරබාගෙන ඉන්න වුනා.
2015 දී ජනාධිපතිවරණය පැරදුනාම බැසිල් රට අත හැරලා ඇමෙරිකාවට ගියා. බැසිල් ගියාම අළුයට තිබුනු ගිනි පුපුරු “මහින්ද සුළගින් “ආයෙත් ඇවිලුනා. ඒ දිනවල බැසිල්ව පතුරු ගැහැව්වේ විමල් ගේ වෙබ් පුවත්පතින්. විමල්ලා දවස ගානේ බස් පුරවලා කාල්ටන් එකට යවලා මහින්දව ෆෝම්කලා.
විමල්ලා,දිනේෂ්ලා,ගම්මන්පිළලාට දැන් රජ මඟුල්. ඔවුන් බැලුවේ බෝතලේ හිරකරපු භූතයා වාගේ මහින්දව තියාගෙන තමන් ගේ ජාතිවාදී බලවේගය ශක්තිමත් කරගන්න. කාලයක් යනකොට මේක තේරුම් ගත්ත මහින්ද සිය න්යායචාර්යා වූ බැසිල් වහාම ගෙන්නා ගත්තා. බැසිල් ඇවිත් මූඩිය ගලවලා භූතයා එළියට ගත්තා. ජාතිවාදී භූතයාගේ ඇඟේ එල්ලීලා ලොකු මහත්වෙන්න හදන පරපෝෂිතයො ගලවා දැමීම ආරම්භ කලා. මොකද බැසිල් දන්නවා උතුරේ දෙමළ විමුක්ති අරගලය මරා දාපු නිසා දැන් ජාතිවාදී කතා කියලා නායකයො වෙන්න බැහැ. ජාතිවාදී චන්ද තියෙන්නේ විමුක්ති අරගලය මරාදාපු අයට විතරයි.ඒක අයිති ඉතිහායට. ඉතින් ඒ ඉතිහාසයේ ජාතිවාදී වීරයෝ දෙන්නම රාජපක්ෂලා. මහින්ද සහ ගෝඨා. ඒ අයගේ පානෙන් එළිය බලනවානම් පාන්තිරේ අඩු වැඩි කිරීම තියෙන්න ඕන රාජපක්ෂලා අතේ. ඒකට අභියෝග කරන්න බැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආපු වෙලාවෙ. එයට විරුද්ධව රට බෙදනවා. බුද්ධාගමට මුල් තැන නැති වෙනවා කියලා ජාතිවාදී, ආගම්වාදී උද්ඝෝෂනයක් පෙරට ගන්න විමල්, දිනේෂ්, ගම්මන්පිළ කල්ලිය වෙරදැරුවා. ඒත් ඒක අසාර්ථක වුනා. අන්තිමට මල්වතු මහනායක හාමුදුරුවෝ පවා බණ්ඩා – චෙල්වා ගිවිසුම ගැනත් කියලා තමයි දිනේෂ්ට දෙහි කැපුවේ. ඒකෙන් බැසිල් ගේ තියරිය ඇස්පනාපිටම තවත් ඔප්පු වුනා.
මෙන්න මේ කාරණා නිසා තමයි මේ පාර අපේක්ෂක ලැයිස්තු හදද්දී විමල්ලාට, දිනේෂ්ලාට, ගම්මන්පිළලාට බැසිල්ගෙන් කැපිල්ලක් ආවේ. එතනදී කාට කාටත් රට, ජාතිය, ආගම දෙවැනි තැනට වැටිලා බලය පළමු තැනට ආවා. බැසිල්ට ඒකාලේ කිව්වේ “ටෙන් ප්‍රසන්ට්”කියලා. හැබැයි බැසිල් ආර්ථික සංවර්ධන ඇමැති හැටියට එහෙම කොමිස් ගත්තත්, රාජපක්ෂ පවුලට වාර්ෂික අයවැයෙන් සියයට හැත්තෑවකට වගේ මුදලක් වෙන් කලත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හොඳින් සැළකුවා. පාර තාර දාන්න. කොන්ක්‍රීට් කරන්න මේ වාගේ විවිධ කොන්ත්‍රාත් දුන්නා ගාණක් කපා ගන්න. ඒක නුවණක්කාර වැඩක්. මැති ඇමතීන් ගේ සාක්කුවට යන ගාන අඩුකලා. ඒනිසා තමයි එයාලගෙන් බැසිල්ට විරෝධයක් එදත් අදත් තියෙන්නේ. “බැසිල් සර් කීයක් ගත්තත් අපට මොකද, අපටත් හම්බකරගන්න බැසිල් සර් ඉඩකඩ දුන්නා නේද” කියලා තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කල්පනා කලේ. ඒනිසා බැසිල් දන්නවා ග්‍රාස් රූට් ලෙවල් එක නැතිනම් බිම් මට්ටම ඉන්නේ තමන් එක්ක කියලා. ඒනිසා තමයි ජැක්සන් ඇන්තනී ඒ කාලේ ජනමූළ නායකයා කියලා මහින්දව හැඳින්නුවේ.
දැන් බැසිල් බලන්නේ ඒ ජනමූළ පදනම රාජපක්ෂවාදී බලයක් බවට පත්කර ගන්න පුලුවන්ද කියලා. බණ්ඩාරනායකලා වගේ. ඒ නිසා තමයි රාජපක්ෂවාදී ජාතිවාදී , ආගම්වාදී බලකඳවුරට තිබෙන අභියෝග අළුත් වටයේ ආරම්භයේදීම ඉවර කරන්නේ. එක ගමක චන්ඩි දෙන්නෙක් ඉන්න බැහැ කියලා කියන්නේ ඒකයි. විමල්, දිනේෂ්, ගම්මන්පිළ කල්ලියට බැසිල් කියලා තියෙන්නේ “කඩුල්ලේ තරම දැන ගෙන වැට පනිනු, තමන් ගේ තරම දැනගෙන කල් යවනූ” කියලා. බැසිල් ගැන මොන තරම් ගතු කිව්වත් මහින්ද කියන්නේ “නෑ..නෑ..බැසිල් හරියට වැඩේ කරනවා. කව්රු ගියත් ජනයා ඉන්නේ අපිත් එක්ක, සැලොන් දොර ඇරලා තියෙන්නේ” කියලා.එනපොට හොඳ නෑ, ගං මාමේ කෙල්ල ගෙට කිව්වා වාගේ මේක තේරුම් ගත්ත ඒකාබද්ධයේ මන්ත්‍රීන් දැන් රාජ්‍ය බලයට සෙට් වෙන්නෙත් ඒනිසා තමයි. එහෙම නැතිව ඒක සිරිසේන ජනාධිපතිවරයාගේ හපන්කමක් නෙමේ කියලයි මමනම් හිතන්නේ. මොකද මහින්දගේ ජාතිවාදී බලවේගයේ ඊළඟ උරුමක්කාරයා වීමට උත්සාහකලා මිස ඊට විකල්ප බලයක් ගොඩනඟා ගන්න ගත්ත භාවිතාවක් පහුගිය තෙවසර තුළ ඔහු පෙන්නුම් කලේ නෑ.
බණ්ඩාරනායක 56 දී ආණ්ඩු බලය ගත්තේ ප්‍රධාන කාරණා තුනක් මත. සිංහල භාෂාවට මුල්තැන. යූ ඇන් පී විරෝධය. දේශීයත්වය. මහින්දලා ගේ චන්ද සටනේත් ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන්නේ එයාල කියනා රට බෙදන ව්‍යවස්ථාව. ඊළඟට යූ ඇන් පී විරෝධය, ඊනියා දේශීයත්වය හා රණවිරුවෝ. ළිඳට වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ එන්න ඕනෑ කිව්වා වාගේ ජාති, ආගම්, කුළමල අවුස්සාගෙන තමයි සටන යන්න වෙන්නේ. ඒකෙදි පැරදුනත් ප්‍රශ්ණයක් නෑ. මොකද පැදුරේ ඉන්න එකා බිමට වැටෙන්නේ නෑනේ. ඒ නිසා අඩියක් හරි පෙරට ආවොත් ගොඩ. අනෙක් අතට සිරිසේන ජනාධිපතිවරයාට බලය තියෙන්නේ තව අවුරුදු දෙකකටත් අඩු කාලයක්. ඊට පස්සේ සිරිසේන ජනාධිපතිවරයා ගේ පිළේ නායකත්වයේ ලොකු වැකුම් එකකුත් එනවා. එහෙම වෙලා ශ්‍රී.ල.නි.ප.යත් නැවත අතට ගන්න පුලුවන් උනොත් රාජපක්ෂලා පෝළිමක් ඉන්නවා නායකත්වයට. ඒත් රාජපක්ෂ රෙජීමයේ මහජන පීඩාකාරී බලය මහජනයාගේ හදවත් තුළ තවම හොල්මන් කරනවා. එවගේම 94 ඉදලා ශ්‍රී.ල.නි.ප.යේත්, යූ ඇන් පී එකෙත් ප්රතිපත්තිවල ලොකු වෙනසක් නෑ. හරියට බොහෝ හොටෙල්වල වගේ. ඒවායේ කෑම වර්ග,බීම වර්ග,ඩෙසට් වර්ග නාමාවලියක් බිත්තියේ ලියලා තියෙනවා. හැබැයි හෝටලයේ තියෙන්නේ පානුයි, මාලුයි,පරිප්පුයි,ප්ලේන්ටියි.ඩෙසට් එකට යෝගට්.බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියනා ඒවාත් දැන් ඒ වාගේ තමයි.
කොහොම උනත් මේ සටනේ හැම පැත්තකින්ම අවාසි ලබන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ පිළ. පහේ ශිෂ්‍යත්වෙ පේල් වුනා වාගේ. ඒ ඔහු පාවිච්ච් කරපු උප උපායන් වැරදි නිසා. ජනවාරි අට දිනලා නැවත ගෝඨා එක්ක, මහින්ද අමරවීරලා එක්ක රහසිගත සම්මුතිවලට ගිහිල්ලා නැග්ගේ වැරදි කෝච්චියකට. ඒනිසා හමුවෙන ස්ටේෂන් ඔක්කොම වැරදියි. ඡන්දෙන් පස්සේ ඒක හොඳට බලා ගන්න පුලුවන් වේවි.
ඥානසිරි කොත්තිගොඩ