Image by: Sunday Leader
“එදා උසාවියට, අලුත්කඩේට ටෙලිෆෝන් කෝල් දීල නඩු තීන්දු වෙනස් කෙරුව වගේ, ඕන අයට ඇප දුන්න වගේ, ඕන අය හිරේ දැම්ම වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු කට්ටිය හිටපු අය ඒවා ඔක්කොම දුර්වල කෙරුවා. ඒ ආයතන දුර්වල කෙරුවා.” මේ ජනාධිපති සිරිසේන මාතලේ පැවැති රැළියකදී කිව්ව කතාවක්. මේ කියන්නේ කවුරුත් දන්නා මහින්ද රෙජීමය එදා අධිකරණයට බලපෑම් කළ හැටි.
ජනාධිපති සිරිසේන විශ්වාස කරන්නේ දුරකතන ඇමතුම් දීමෙන් කරන්නා වූ බලපෑම් පමණයි අධිකරණයට නොකළ යුත්තේ කියලා. මොකද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය එයින් අස් කළේ ජනාධිපතිවරයා. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ. “රණවිරුවන් උසාවි ගානේ දක්කනවා.” ඒක තමයි ජනාධිපතිවරයාගෙන් අධ්යක්ෂ ජනරාල්වරියට එල්ල වූ චෝදනාව. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ තිබූ නඩුවක් සඳහා අධිකරණයට කැඳවීම.
මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස.
ඒක තමයි “වෙනස සැපද?” කියලා සමහරු අහන්නේ.
මේ අතර ජනාධිපතිවරයා පසුගිය සතියක මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡාවක් කළා. එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා වලට අධිකරණ තීන්දු නොගැනීම පිළිබඳවත් සාකච්ඡා වී තිබෙනවා. ඒත් මේ සාකච්ඡා පිළිබඳව කිසිවක් මාධ්‍ය හෙළිදරව් කළේ නම් නැහැ. ඒ ජනාධිපති මැදුරේ නියෝගයක් නිසාද, නැතිනම් ස්වංවාරණයක් නිසාද කියලා දන්නේ නැහැ. ඒත් මේ පිළිබඳව හෙළිදරව්වක් J D S වෙබ් අඩවියේ තියෙනවා.
“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම ෆයිල් ආවා පොලිස්පති තුමාට නඩු පවරන්න. ඒ අතරේ හොඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙක් බලලා, ඒ අයට නැවත බලන්න දෙන්න මේ නඩු ප්‍රතිපල දායකද අහක යනවද, මේවයේ මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා එහෙම නැතිනම් අහක යන නඩු නම් දාන්න එපා කියලා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේය”. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.
මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස.
ඒක තමයි “වෙනස සැපද?” කියලා සමහරු අහන්නේ .
අශුද්ධ සන්ධානය
ජනාධිපතිවරයා මෙසේ මාධ්‍ය ප්‍රධානීන්ට පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් දී ඇති තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වැළක්වීමට. චූදිතයන්ට නඩු පවරන ලෙස නීතිපතිවරයා ලිපි ගොනු භාර දී ඇත්තේ පොලිස්පතිවරයාට. පොලිස්පතිවරයා ලිපිගොනු රැගෙන ගොස් නඩු පැවැරීම පිළිබඳව අවසර ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාගෙන්. පොලිස්පතිවරයා නීතිය නවනවා යැයි මහින්ද ගේ ඒකාබද්ධය මේ සඳහා කෑ ගසන්නේ නෑ. ජනාධිපති හා ගෝඨා අතර මේ අශුද්ධ සංධාන වසා තිබෙන්නේ හොරු අල්ලන ඝෝෂාවෙන්. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.
මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස.
ඒක තමයි “වෙනස සැපද?” කියලා සමහරු අහන්නේ.
මේ අතර ජනාධිපතිවරයා ගේ හොඳම ගෝලයෙක් වන බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය හෙවත් “අට ශ්‍රී” (“අට ශ්‍රී “යනුවෙන් හඳුන්වන්නේ ජනවාරි අටට පසු වාසි තකා ආණ්ඩුවට එක් වූවන්) මෙයට සමගාමී රහසක් හෙළි කළා.
“..ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුනා. ඡන්ද කාලයේ ඔහුව අත්අඩංගුවට ගත්තොත් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්වෙනවා. ඒක නිසා ජනාධිපතිතුමා ගෝඨාභයව ඇමෙරිකාවට යැව්වා,” කියලා.
ඉසුර ගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙක් නොසලකා හැරියා. මොකද ජැක්සන් ඇන්තනීගෙ “ධර්ම යුද්දේ” චිත්‍රපටියේ පොලිස් රාළහාමි වගේ තමයි ඉසුරත්. ඉඳලා හිටලා තමයි ඇත්තක් කියන්නේ. ඒකත් තමන් ගේ මොකක් හෝ ඇරියස් එකක් පියවා ගන්න. ඒත් ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඉදිරියේ කියපු කතාවයි ඉසුර ගේ හෙළිදරව්වයි තකට තක ගැලපෙනවා. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.
මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස.
ඒක තමයි “වෙනස සැපද?” කියලා සමහරු අහන්නේ .
ජනාධිපති ගේ මේ නියෝග පිළිපැදීම දැඩි විවේචනයට ලක් කරමින් මානව හිමිකම් නීතිඥ කුමාරගේ J D S වෙබ් පුවත්පතට මෙසේ කියා තිබුනා .”…ජනාධිපතිගේ නියෝගය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ස්වාධීන ලෙස පරීක්ෂණ පවත්වාගෙන යාම දේශපාලන බලය යොදවා අවහිර කිරීමේ අවශ්‍යතාවක් රටේ පාලකයන්ට ඇති බවයි. නීතිපති කියන්නේ ආණ්ඩුවේ නෙමෙයි, රජයේ නඩු පවරන්නා. අපරාධ නඩු පැවරීම ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ නීතිපතිවරයාට. පොලිස්පතිවරයා කොහොමද යම් නඩු පැවරුමක් ගැන නීතිපති දෙන නිර්දේශයක් හරි නියෝගයක් හරි තියෙන ලිපි ගොනුවක් ජනාධිපතිවරයට යොමු කරන්නේ. නඩු පවරන බලධාරියා ජනාධිපති නෙමෙයි. ලිපිගොනු ජනාධිපතිවරයාට දීමෙන් පොලිස්පති පූජිත ජයසුන්දර විසින්ද කර ඇත්තේ වැරද්දක් …”යනුවෙනි.
මානව හිමිකම් නීතිඥ චඳ්රපාල කුමාරගේ නිතියේ පාලනය කියන්නේ මොකක්දැයි එලෙස පැහැදිළි කළත් මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.
ඒක තමයි “වෙනස සැපද?” කියලා සමහරු අහන්නේ .
කළු ජනවාරිය
මේ ලිපිය ලියන ජනවාරි 30 කියන්නේ මරා දැමූ මාධ්‍ය සගයන් සිහිපත් කරන “කළු ජනවාරි” දිනය. කළු ජනවාරිය ආරම්භ කළේ මහින්ද රෙජීමය යටතේ. පළමු සැමරුම දවසේ ආණ්ඩුවේ මැරයන් අරක්කු බිබී, පොලු අරගෙන අපට පහර දෙන්න සූදානමින් හිටියේ පොලිස් ආරක්ෂාවත් ඇතිව. ඒ මැර කණ්ඩායමට නායකත්වය දුන්නේ වාසුගේ පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් වූ මහින්දරත්න කහඳගම. මහින්දරත්න කහඳගම අදත් බොහොම යහතින් කොළඹ නගරයේ සැරි සරනවා. මරා දැමූ මාධ්‍යවේදීන්ට යුක්තිය සාධාරණය ඉල්ලා යහපාලනය යටතේත් දැන් වසර තුනක් සැමරුම් පවත්වනවා. හැබැයි තාම මැරයො ආවෙ නෑ. වෙනස එපමණයි.
උතුරේත් දකුණේත් සිදුකළ සියලු මිනිස් ඝාතන, පහර දීම්, පැහැර ගෙන යෑම්, අතුරුදහන් කිරීම්, දේපල විනාශ කිරීම් දේශපාලන තීන්දු. මේවා සිදු වුනේ ආරක්ෂක අංශ වලින්. එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඔහු සම්බන්ධව හා ආරක්ෂක අංශ පිළිබඳව ජනාධිපති සිරිසේනගේ ස්ථාවරය මෙලෙස නම් යුක්තිය, සාධාරණය ඉටු කරවා ගැනීම මායාවක් මිරිඟුවක් පමණයි.
මේ තමයි රාජපක්ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.
ඒ නිසා තමයි “වෙනස සැපද?” කියලා මහින්ද රෙජීමය අහන්නේ.
ඥානසිරි කොත්තිගොඩ | Gnanasiri Koththigoda