“හමුවිය ඔහු මට
අඳුරු වැහිබර සැන්දෑවක
දෙව් මැදුරු දොර අබියස
ඒ දේශද්‍රෝහී මිනිසා….
පාළුකරයේ සිට
පීඩිතයන්ට යුක්තිය ඉල්ලා
මොර ගැසූ මිනිසා……
සැප දුක කෙලෙසදැයි
විමසනු ඉතින් කුමකට
වුවනත ම ගුප්ත කවියකි
පිලාත්තු අධිකරණයෙහි
ගෙවී ගිය විත්තිමය හෝරවන්හි
භයංකර ශෝකාලාපය ලියැවුණ….”

සන්ධ්‍යා කියවාගෙන යයි. උගුර හිර වෙනු දැනුනේද පොත ගත් අත වෙවුලනු දුටුවේද අසල පුටුවේ හිඳ සිටි මා පමණක් ම විය හැක…

[Pic by ; Lal Luxman]

තරුරසී ගේ නිර්මල හර්දය සහිත ඒ අපූරු ආදරණීය මිනිසා ….. සන්ධ්‍යා සිටියේ හරියටම අවුරුදු අටකට එපිටිනි… එදා .. 2010 ජනවාරි 24 යැයි බිත්ති කැලැන්ඩරය සාක්ෂි දිනි… ඒ උදෑසන ඔහු සිටියේ සාමාන්‍ය දිනයකට වඩා උද්යෝගයෙනි. ‘අදින් මගේ වැඩ ඉවරයි, අදින් පස්සේ මට ඔයාගේ වැඩට උදව් කරන්න පුළුවන්’. සන්ධ්‍යා ඔහු දෙස බලා සිටියේ ජිවිතේ පළමු වරට ඔහු දුටුවා සේය…

“ගල්ගැහුණු නිහඬතාවය පතුල කිමිදී
අත ගා බලා සොයා පහදා හදවත
දිග හරියි ඔහු මා අබියස….”

‘ඒ මම ප්‍රගීත්ව දුටු අන්තිම දවස.. එදා තමයි මට හරියටම දැනුනේ මම ප්‍රගීත්ව දිනාගෙන ඇති බව. තරුගේ පොතේ ආදිත්‍ය සිස්ටර් සෙව්වන්දිව හරියට දිනාගන්නේ අතුරුදහන් වීම සමග.. තමන්ගේ අතුරුදහන්වීමෙන් පස්සේ… ඒ ජනවාරි 24 තමයි ප්‍රගීත් මගේ රස්සාවට උදව් කරන්න ප්‍රථම වරට ඉදිරිපත් වුනේ… මනුස්සයෙකුට පුළුවනි දේවල් ලබාගන්න, එහෙත් තව මනුස්සයෙක්ව දිනා ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි…. සම්පූර්ණවම දිනා ගැනීම… ඒක සමහරවිට අවුරුදු ගානක් බලන් ඉන්න සිදුවෙන කාරණයක්…’ සන්ධ්‍යා මෙන්ම තරුරසී ගේ සිස්ටර් සෙව්වන්දි ද තම ජිවිතයේ ඉතිරිය අනෙකා වෙනුවෙන්, අනෙකා විශ්වාස කල දේ සඳහා ගෙවන්න තීරණය කොට තිබුනි.. ප්‍රගීත් සන්ධ්‍යා ව දිනා ගත් සේ ආදිත්‍යලාට සෙව්වන්දි ලාව දිනා ගැනීමට හැකි වේද??? ඒ භයංකාරවූ යථාර්තයට මුහුණ දුන් සිස්ටර් බර්නදෙත් ලා, සිස්ටර් රාජේස්ලා අද කොහිද….

“සත්‍යය නම් මෙයයි
අතැඹුලක් සේ රුවා අත්ලෙහි
භයංකර උකුසු ඇස් විදාගෙන
ඔවුහු මා විමසූහ…
ඉදින් සැබවින්ම සත්‍යය යැයි
මා ඇදහූ සත්‍යය
උකුසු නිය පහරට හසුව
පෑරී ඉරී වැහැරී
මියැදෙන අයුරු දුටුයෙමි
මුනිවතද ගොළු විය එසැනෙහි….”

හෝමාගම උසාවියේ මුල්ලක හිටගෙන වික්ෂිප්තව සන්ධ්‍යා බලා සිටියාය. උසාවි භුමිය පුරා තැනින් තැනද පළින් පළද කහ පැහැයෙන්ද සුදු පැහැයෙන්ද සැරසීගත් බොදුම බොදු බලකායන් එකිනෙකා හරහා කසු කුසු ගාමින් සන්ධ්‍යා දෙස හී මානා බලා හිඳී… සන්ධ්‍යාට එරෙහිව තම අතැති කඩුව ඔසවන්නැයි තවත් බොහෝ අය පොත පත පෙරලමින් දෑස් බැඳ අන්ධව සිටිනා සත්‍යයේ කන්‍යාවියට බලපෑම් කරමිනි.. උසාවි භූමියෙන් එළියේ පාර දිගද වියරු වේශය පාමින් තවත් කහපැහැ බලකායන් වේ. ඒ පසෙකින් පොලිස් ජල විදිනය මහා පර්වතයක් මෙන් පාර මැද බලා සිටින්නේ සන්ධ්‍යා හෝ සත්‍යය වෙනුවෙන් ක්‍රියාත්මකවන්නට නම් නොවන බව ඉතා පැහැදිලිය.. සන්ධ්‍යා ඇදහූ , විශ්වාස කල සත්‍යය ලේ ගලමින් අවසන් සුසුම් හෙලමින් මියෑදෙමින් සිටියාය… උකුසු නිය වූයේ මුනිවත්මය….

“උස් අසුන් අරා වැජඹෙන
පිලාත් උතුමෝ
සෝදා දෑත
පිසදා ධවල පිළියෙන්
මා ඇමතූහ…”

සියලු රජවරුන් ධවල පිළියෙන්ම සැරසී වුන්හ… ඔවුහු තම තමන්ගේ දෑත් ද එකිනෙකාගේ දෑත් ද නැවත නැවත සෝදා දමමින් පිසදමමින් අල්ලාප සල්ලාපයන්හි යෙදෙමින් උස් හඩින් සිනාසෙමින් සිටියහ…. උන් එකිනෙකාට තම තමන්ගේ දෑත් සොයා ගන්නට නොහැකිවන තරමට ඒවා පැටලී වෙලී මහා යෝධ හස්තයක් බවට පත්වෙමින් නැගී ආයේය…..

“‘පැවසිය හැකිය ඔබට
දෙවියන් ගැන
දෙවියන්ගේ ආදරය ගැන
දේව රාජ්‍යය ගැන….
නමුත්
කිසිවිටක නොපැවසිය යුතුය
මිනිසුන් ගැන
මිනිසුන්ගේ පීඩනය ගැන
මිනිස් රාජ්‍යය ගැන……’ ”

එබැවින් ඔහු පෝන්සියෝ පිලාතු යටතෙහි කුරුසියෙහි ඇනගසනු ලැබ මරණයෙහි වේදනා විඳ……. ඔහු පැහැදිලිවම කතා කරමින් සිටියේ කිසිවිටක නොපවසන්නැයි අණ කරන ලද දේමය… ඔහු සාක්ෂි සහිතව මිනිසුන්ට පෙන්වමින් සිටියේ රජවරුන්ගේ යුද්ධයේ බිහිසුණු සත්‍යය ය… ඔහු සිහින දකිමින් සිටියේ මිනිසුන්ගේ රාජ්‍යයක් ය…… එහෙත්, බලය ගත් සියල්ලෝ රජ වීමටම කැමැත්තෝය…. උන් සන්ධ්‍යා රැගෙන යමින් සිටි ඔහුගේ ලේ පිසූ රෙදි කැබැල්ල දාදු කෙළියෙහි උගසට තැබුවෝය… සන්ධ්‍යාවමද පෙතෙහි එහා මෙහා අදිමින් උන්ගේ සෙල්ලම ම පමණක් සියල්ලෙන් සියල්ල බවට පත් කර ගත්තෝය….

“අගුලු ලා මුවට
ගසා දේශද්‍රෝහී ලේබලය
ඔවුහු මා මුදා හැරියහ….”

අවසානයේ දේශද්‍රෝහීන් ගේ පෙම්වතියන්, බිරින්දෑවරුන් හා මවුවරුනද දේශද්‍රෝහීන්ම වූවෝය.. තවදුරටත් එය එසේම වන්නට නියමිත විය……. තම ප්‍රේමනීයයා සොයමින් හිස හැරුණු අත ඇවිදින්නී..දුවන්නී…. බලව, ඇය කිසාගෝතමිය වන්නීය.. අතෙක දියවී හමගිය චායාරූපයකි, අතෙක ඉතිරි වූ දරුවන්ය, අතෙක ලියාගත් ලියවිළි සහිත පොලිතින් උරයකි, එතුළ පොලීසියේ දැමූ පැමිණිලි කොපියකි.. මානව හිමිකම් යැයි කියන්නාවූ කොමිසමින් දුන් නොම්මරයකි… හැදුනුම් පතකි… තව බොහෝ තුන්ඩු කොළ කැබලි අබිලි ය… අතෙකින් මරු වැලකි අතකින් ගිනි හුලකි… විටෙක කපුරු තැබූ පොල් ගෙඩියකි, මල් වට්ටියකි, පූජා වට්ටියකි, පඬුරු පාක්කුඩම් ය….

රන් පුදන්න රන් නෑ මට
රූ පුදන්න රූ නෑ මට …….
පොලීසියේද කඳවුරුවලද කොමිසම් වලද උසාවිවලද පත්කරන ලද්දන්ගෙන්ද පිහිටක් නොලද්දෙන් පල්ලියේද පන්සලේද කෝවිලේද මහ පාරේද මැදුරු අභියසද යාදිනිය, පළිගැසීම්ය, ඉල්ලීම්ය, හැඩීම් ය… දෙඩීම්ය…
දන දන තුඩ තුඩ විෂ පෙවූ හී හිස්ය…..
එන විට ‘ඇය’ නොදැක්කා සේ දුවන හිස්ම හිස් හොඳ මිනිසුන්ය……
“ඉනික්බිති, සුසුමකි…
දේවදූතයන් පවා
විපිළිසර මොහොතක
දෑසින් දෑස විමසා
හදින් හද නොවිමසා
ගොළු වීමු අපි…
ප්‍රවේසම් විය යුතු නොවෙද
දේශප්‍රේමීන් හැමතැනම….”

නවකතාව ගැන කතාව නිමකොට මමත් සන්ධ්‍යාත් තුම්මුල්ලෙන් බසයකට නැග ගත්තෙමු.

“ඔයා බහින්නේ කොහෙන්ද, කොට්ටාවෙන්ද, හයිවේ ලඟින්ද?

“කොට්ටාවෙන් බැහැල උයන්න මොනවා හරි අරන් යන්න ඕනේ. හෙට පාන්දර ගමනක් යන්න තියෙනවා, දවස් දෙකකින් එන්නේ, මොනවා හරි කොල්ලන්ට උයල තියල යන්න ඕනේ”, සන්ධ්‍යා කීවාය…

“දැනටමත් රෑ වෙලා, ආයිත් පාන්දර නැගිටින්න? පෙරේදා දවසමත් කොටුවෙ, අර අව්වේ… හප්පා… මහන්සි නැද්ද?”

කිසිවක් නොකියා ඇය මදෙස බලා සුපුරුදු සරල සිනහවම පෑවාය.

කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage