Image by: thestar.com

යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර කතාබහ වෙන මාතෘකා කීපයක් තමයි මේ.

2015 දී ලක්‍ෂ හැට දෙකහමාරක් ජනතාව බලය දුන්නේ ජනාධිපති සිරිසේනට. අවුරුදු පහකට බලය දෙමින් ජනතාව ඉල්ලා සිටියේ පවතින ව්‍යවස්ථාව වඩා ප්‍රජාතන්ත්‍රීය කිරීම ඇතුළු තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුයි කියලා. ඒ වෙනුවෙන් තමන්ට ගැලපෙන පාර්ලිමේන්තුවක් පත් කර ගන්නත් ජනතාව බලය පැවරුවා. මේ හැම දෙයකින්ම කියවුනේ ජාතිවාදී, ආගම්වාදී මහින්ද රෙජිමයට නැවත ඉඩ නොදිය යුතුය​ යන්නය. රෙජීමය විසින් බෙදා වෙන්කළ රට නැවත එක්කළ යුතුයි කියලා. රෙජීමයේ පාලනයෙන් බැට කෑ සියල්ලන්ට යුක්තිය සාධාරණය ඉටු විය යුතුය​. ඉතිං ඒ ජනවරම අනුව ජනාධිපති සිරිසේන, රනිල් වික්‍රමසිංහ අගමැති කරලා ජනතා සම්මුතිය ගෙනියන්න ආරම්භ කළා. ඒ නිසා ඊට පස්සේ අගෝස්තු මාසෙ ආපු මැතිවරණයෙන් එජාපෙ ට වැඩි බලයක් දෙමින් ජනතාව ජනවාරියෙදී ගත්ත පියවර තවත් ශක්තිමත් කළා.

ආණ්ඩු බලය වෙනුවට පක්ෂ බලය

මේ සියලු සම්මුති පැත්තක තියලා ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිකම භාර ගත්තා. එජනිස ඔහුගේ යටතට ගත්තා. ජනාධිපතිවරයා කියා සිටින්නේ එසේ භාර ගත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න ඕන නිසා කියලනෙ. අපි මොහොතකට ඒක පිළිගමුකෝ.

එහෙනම් ඇයි පාර්ලිමේන්තුවේදී මහින්දලා ඇතුළු පිරිසකට ඒකාබද්ධය ලෙස වෙනම සංවිධානය වෙන්න​ ඉඩ දුන්නේ. ඊළඟට ජනාධිපතිවරයා කිව්වා “මහින්ද සුළඟ​” වේදිකාවට නැග්ගොත් ඒ අයට විරුද්ධව විනය පියවර ගන්නවා කියලා. ගත්තද? නෑ. මහින්දගේ මැයි දිනයට ගියොත් විනය පියවර ගන්නවා කිව්වා. ගත්තාද? නෑ. වෙන පක්‍ෂ හැදුවොත් මහ පාරේ ඇවිද්දවනවා කියලා මහින්දලාට තර්ජනය කළා. මහින්දලා පොහොට්ටුව හැදුවා. මහ පාරේ ඇවිද්දුවාද​? නෑ. පොහොට්ටුවේ වේදිකාවට නැඟලා ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයෝ දිනවන්න වැඩ කළොත් පක්‍ෂයෙන් එළවනවා කිව්වා. එළෙව්වාද​? නෑ.

ඊට අමතරව​ තමන් හදපු ආණ්ඩුව ආරක්‍ෂා කරගන්න​, තමන් ගේ පක්‍ෂයේ මන්ත්‍රීවරු එක මතයකට ගන්න බැරි වුනා. තමන් ගේ කැබිනට් ඇමැතිවරුන් සාමූහික වගකීමකට යටත් කරගන්න බැරි වුනා. එහෙනම් රාජපක්‍ෂලා මේ පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියට ආවානම් ඒකේ වගකීම භාර ගන්න ඕන කවුද​? ජනාධිපති සිරිසේන​.

එනයින් බලන කළ​ පසුගිය වසර තුනක ශේෂ පත්‍රය අරගෙන බැලුවොත් වඩාත්ම අසාර්ථක නායකයා කවුද? ජනාධිපති සිරිසේන. ඒ විතරක්ද​? නෑ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළාද​? වසර තුනක් ගතවෙද්දීත් ආණ්ඩුවේ හමුදා උතුරෙන් ඉවත් කර ගත්තාද​? උතුරේ මිනිසුන් ගේ අල්ලා ගත් ඉඩම් සියල්ල ආපසු දුන්නාද​?

ඒ ප්‍රදේශ තුළ හමුදාව පවත්වා ගෙන යන්නා වූ සිංහලකරණය, ව්‍යාපාර​ නැවැත්තුවාද​? යුද අපරාධ කරුවන්ට දඞුවම් දුන්නාද​? මේ සියල්ලටම උත්තරය නෑ. නෑ. හැබැයි එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේදී දෙමළා ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා නම් පොරොන්දු වුනා. ලැබුනු ලොකුම විසඳුම තමයි ජාතික ගීය දෙමළෙන් ගායනා කරපු එක​. එහෙම බැලුවාම උතුරටත් දකුණටත් සිරිසේන ජනාධිපතිවරයා සිදුකර තිබෙන්නේ පොරොන්දු කඩකරපු එක​. නැතිනම් 2015 දී ලැබුන ජනවරම මොකක්ද කියලා අමතක කිරීම. ඒ ජනවරම ලැබුනේ කාටදැයි අමතක කිරීම​.

හෙංචයියන්ගේ පාලනයක්

ජනාධිපතිවරයා ගේ මේ අසමත්කම නිසා ඔහු ගේ ලේකම්වරුන්, උපදේශකයන්, සමහර මාධ්‍ය ආයතන හා ඇතැම් පුද්ගලයන් පාලකයා බවට පත්වෙලා. එයාලට තියෙන විවිධ ඇරියස් ඇරගන්න ඒ හිඩැස හා බලය පාවිච්ච් කරනවා. මේ තුළින් 2015 දී ජනතාව පරාජය කළ ආගම්වාදී, ජාතිවාදී අඳුරු බලවේග නැවත ශක්තිමත් වීම ඔවුන්ට ගැටලුවක් නෙමේ. ඔවුන් ගේ ප්‍රධාන අරමුණ ලැබුනු ඉඩකඩ පාවිච්චි කරලා තම​ ඇරියස් පියවා ගැනීම​. තම තමන් ගේ න්‍යාය පත්‍ර පෙරට දමා ගැනීම​​. ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව නඩේගුරෙක් නැති වන්දනා නඩයක් බවට පත්වෙලා.

මේ අතර ඇති වී තිබෙන අර්බූදය පිළිබඳව​ ආණ්ඩුවේ මැති ඇමැතීන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කුමක්ද​? මේ අර්බූදයට පියවරක් ජනාධිපතිවරයා ගනීවි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් වරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මීට වසර තුනකට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සතු බවයි යනුවෙනි. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද කැබිනට් හමුවෙන් පසු මාධ්‍යවේදීන් ඉදිරියේ කිව්වේ මනා කළමනාකාරීත්වයකින් යහපාලන රජය ඉදිරියට යන බව ය. ඉතින් මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද​? ආණ්ඩුව පවත්වා ගෙන යෑමේ වගකිවයුත්තා ජනාධිවරයාය යන්නයි. අර්බූදය නම් මතුව තිබෙන තත්ත්වය ජනාධිපතිවරයාට නොවැටහීමයි.

ඒනිසා ජනාධිපතිවරයා දැන්වත් එක පෙළට හිට ගන්න බැරි තම මැති ඇමැතීන්ට මඩු වලිගයෙන් තළා හෝ පක්‍ෂය එක මතයකට ගෙන ආ යුතුය​. කට්ටඩියා බඩ උඩ තබා කඩුවෙන් පුහුල වෙන් කරන්නා සේ පක්‍ෂයේ සිටිනා ජාතිවාදීන් හා ප්‍රගතිශීන් හරි මැදින් කපා වෙන්කළ යුතුය​.

මාටින් වික්‍රමසිංහ සූරීන් ගේ ගම්පෙරලියේ ජිනදාස යන්නේ සිංහලේ. නැතිනම් මොණරාගල බිබිලේ. එහි දී ඔහු මැලේරියා වසංගතයට ගොදුරු වෙලා විනාශ වෙනවා. හැබැයි පියල් එන්නේ කොළඹට​. සිදාදියට. ඒ නිසා ඔහු දියුණු වෙනවා. තෝරා ගන්නා මාවත අනුව තමයි විනාශය හෝ පැවැත්ම තීන්දු වෙන්නේ. ඉතින් ජනාධිපති සිරිසේන දැන්වත් තීරණයක් ගත යුතුයි සිංහලේ යනවාද​? නැතිනම් සිදාදි එනවාද කියලා?

ඥාණසිරි කොත්තිගොඩ | Gnanasiri Koththigoda