“මම කොහොමද කරුණාවතීට වෙඩි තියන්නේ. මම දෙමළ. ඇය සිංහල. අපි පොඩි කාලේ එකට පාසැල් ගියේ. මගේ ඇස් දෙක ඉදිරියේ සිටියේ මගේ ගමේ කරුණාවතී. හිතක් පපුවක් තියන මිනිහෙක් මම. මේ අත් දෙකෙන් මාදන් කඩා දුන් ඇයට, කොහොමද මුනිස්සම් වලින් වෙඩි තියන්නේ” යැයි මගෙන් ඇසුවේ පොන්නයියා සෙල්වදොරේය.
පොන්නයියා සෙල්වදොරේ දැන් පදිංචිව සිටිනේනේ, මුලතිව්, ශිලාවත්තේය. උපන් ගම , සිංහල-බහුතරය සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහව යි. මහව විජයබා විදුහලෙන් අධ්‍යාපනය හදාරා, ශ්‍රී ලංකා පොලිස් සේවයට අනුයුක්ත වූ හෙතෙම, දඹුල්ල, කැකිරාව සහ හඹරණ යන පොලිස් ස්ථානයන්ගේ සේවයේ නිරතවිය.
සියල්ල වෙනස් වුයේ, 1971 දකුණේ ඇතිවූ තරුණ කැරැල්ල සමඟය. විරැකියාව, අයුක්තිය, ආන්තිකරණය සහ සූරාකෑම හේතු සාධකව, දකුණේ තරුණ ජනයා දෛනික ගැටළු විසඳන, සමාජ ක්‍රමයක් වෙනුවෙන්, පැවති රජයට විරුද්ධව ප්‍රචණ්ඩකාරීව කැරළි ගැසීය. කැරැල්ල මර්ධනය සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය එකම විසඳුම ලෙස එදාද ක්‍රියාත්මක විය. එහි එක් අවස්ථාවක් වුයේ, පොලිසිය විසින්, සැකයට භාජනය කළ සියලු දෙනා හිරිහැරයට ලක් කිරීම හෝ මරා දැමීමය. රාජ්‍ය පොලිස් යාන්ත්‍රණයේ, පිරිමියකු, තම අශිෂ්ටාචාර පිරිමි කම, ගැහැණියක් වෙත බලහත්කාරයෙන් පෙන්වීමට විරුද්ධ වීම හේතුවෙන්, අත් අඩංගුවට ගත්, කරුණාවති නම්, තම මිතුරිය මරා දමන ලෙස, පොලිස් ස්ථානාධිපති වරයා දුන් නියෝගය සෙල්වදොරේ විසින් කඩ කළේය. අහස වෙත මුනිස්සම් මුදාහැරී හෙතෙම, තවදුරටත්, කරුණාවතී බඳු සිංහල- බෞද්ධ ගැහැණු සහ පිරිමි මරා දැමීමට ආඥා දුන් සිංහල- බෞද්ධ පොලිස් නිලධාරින් ද, යුක්තිය විනාශ කළ ආයතනය ද අත්හැර, 1971 න් පසුව, මුලතිව් වෙත පදිංචියට පැමිණියේය.
සෙල්වදොරේ මට මුණ ගැසුනේ මුලතිව්හිදීඩය. කරුණාවතී පිළිබඳ අදටත් ඔහුගේ සිතේ කරුණාවක් වන බව හැගුනේ, සිය අඛයන්ය පවසා, හෙතෙම තෙත්වූ දැස් පිසගන්නා අයුරු මට ඇස ගැසුණු හෙයිනි. 2009 දී, දකුණේ බහුතරය කිරිබත උයා, ගම වටේ බෙදන විට, සෙල්වදොරේ, සිලි- සිලි මල්ලක යුද්ධය ඉතිරිකළ ලේ සහ මඩ තැවරී, දිරා පත් වූ ඇදුම් කිහිපයක් සමඟ ‘මුහමත් හි’ (කදවුරේ) ගාල් කරන්නට ඇත. එහෙත්, සිංහල- බෞද්ධ ගැහැණියක් මරා දැමීමට, සිංහල- බෞද්ධ පොලිස් නිලධාරියා දුන් අණ ඉටු නොකර, සේවය හැර ගිය ශ්‍රේෂ්ඨයකු වූ සෙල්වදොරේලා කදවුරට ගාල්කර, දකුණ, සිංහල ජාතියේ අභිමානය උත්කර්ෂවත් කලෝය. සෙල්වදොරේ ගේ සිංහල අකුරු මුතුකැට පරාදය. ඔහු ජෝතිපාලයන්ගේ ගීයක් මුමුණන්නට විය. 2009 වෙල්ලමුල්ලවයික්කාල් වෙරළේ දී සියල්ල අහිමිව, අපේක්ෂාභංගව බලා සිටි හෙතෙම, නැවත ගමට විත් පදිංචි වී අපාසු ජීවිතය ගොඩ නගා ගැනුමට වෙර දරයි. සිවිල් ආරක්ෂක කමිටුවේ ලේකම්ධුරය දරමින්, ශේෂව තිබෙන ආදරයෙන් ගමට රැකගැනීමට උත්සුක වේ. දකුණේ සිංහල-බෞද්ධයා, බලහත්කාරයෙන් ස්ත්රීන්ට විණ කරණ, හමුදා ශ්‍රමිකයන්, විරුවන් ලෙස ගරු කරයි. එවැනි පසුබිමක, සිංහල-බෞද්ධයාගේ අනෙකා නව ව්‍යවස්ථාවෙන් කෙසේ පිළිගනු ඇතිද?
සිංහල-බෞද්ධගේ අනෙකා වීම ගැටළුකාරී වන පරිසරයක, අනෙක් කතාව ඇසුනේ 41ක් හැවිරිදි සිත්තිරනිසාගෙනි. 1990, නිදහස් කොටි විසින්, මුස්ලිම් ජනයා උතුරෙන් පලවා හරින ලදී. තම නිජබිම සහ ජීවිත කාලය තුළ උපයාගත් සියල්ල එක් රැයකින් අත්හැර, ජීවිතය පමණක් රැගෙන, අවතැන් ව, පුත්තලම් සහ වෙනත් ප්‍රදේශ හි උතුරේ මුස්ලිම් ජනයා ‘තාවකාලිකව පදිංචි විය’. ඔවුන්ගේ තාවකාලික පදිංචිය, සමහර මුස්ලිම් වරුන්ට ජීවිතාන්තය දක්වාම විය.
සිත්තිරනිසා, එදා, තාවකාලික පදිංචියට, පුත්තලම් ගිය අයෙකි. ඇයට සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන කරගත හැකි වුයේ, මුස්ලිම් වීම හේතුවෙන්, නිජබිමෙන් ඇයගේ පවුලම බලහතකාරයෙන් එළවා, වෙනත් තැනක පදිංචි කළ හෙයිනි. පාසල් අධ්‍යාපනය අතරමඟ නතර වූ සිත්තිරනිසා, ජිවත් වීම උදෙසා, රැකියාවක් සොයා ගත්තාය. ඇය ඉතා ඉක්මනින් විවහා වුයේ, මුස්ලිම් තරුණ ධීවරයකු සමගය. අද දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය, අංශභාග රෝගයෙන් පිඩා විඳින තම ස්වාමියා සමඟ කටුක ජිවිතයක් මුලතුව්-ශිලාවත්තෙයි හි ගතකරයි. ජීවත්වීම වෙනුවෙන් ඇය රෙදි පොට්ටනි ගසාගෙන ගෙයින් ගෙට ඇවිද ගොස් විකුණයි.
අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන දැනුවත් කිරීමේ දී, ඇය මගෙන් මෙසේ ප්‍රශ්න කළාය.
“නෝනා, ඔය ව්‍යවස්ථාවේ දරුවෝ බලාගන්න එක ගැන මොනවාද තියෙන්නේ. අවුරුදු 30ක යුද්ධයකින් පසුව අවතැන් වෙලා සිටි අපි ගමට ආවා. දැන් ජීවත් වෙන්න ඕනේ. ගෙදර මනුස්සයා එක් තැන් වෙලා. මම ගැහැණු දරුවයි, පිරිමි දරුවෝ දෙන්නයි ගෙදර දමා, bussiness කරන්න යන්න ඕනේ. මගේ දරුවොන්ට ගෙදරවත් ආරක්ෂාව නැහැ. ඉතින් රටේ ආරක්ෂාව කොහොන්ද? ඔය ප්‍රශ්නෙට, අලුත් ව්‍යවස්ථාව මොන විදිහේ ප්‍රතිකාරයක් ලබා දේවිද?”
ළමා ආරක්ෂාව සහ සුභ සාධනය පිලිබඳ අලුත් ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක් අනිවාර්යයෙන්ම වෙන් විය යුතුය. එහිදී, යුද්ධය පැවති ප්‍රදේශ වෙනුවෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. මන්දයත්, අමානුෂික යුධ ජයග්‍රහණයේ දී, මව සහ පියා දෙදෙනාම අහිමි වූ දරුවන් සහ, ෂෙල් වෙඩි වැදී අබලන්ව එකතැන් වූ මව සහ පියා ඇති දරුවන්ගේ අවශ්‍යතා විශේෂය. ඒවා අමතක කර, සාමය සහ සංහිදියාව වෙනුවෙන් පෙනී සිටීම ද හාස්‍යයකි. සන්ධ්‍යා එක්නැලිගොඩ කරදඩු උස්මහත් වූ දරුවන් සමඟ අදටත් යුද්ධයක් කරන්නේ, යුධ කාලයේ දී අතුරුදහන් කළ, දරුවන්ගේ පියා වන, ප්‍රගීත් එක්නැලිගොඩ නොමැති අඩුව පිරවිමටය. ආනන්දී සසිදරන් ඉල්ලා සිටින්නේ, තම දරුවන්ගේ අතුරුදහන්කළ පියාගේ අඩුව, තමාට පිරිවීමට නොහැකි හෙයින්, ඔහු පණ පිටින් ගෙන එන ලෙසය. මේ සියලු අඛයානයන් තුල වන්නේ පොදු කතාවකි. එනම්, කුටුම්බ සාමාජික වගකීම වෙනුවෙන්, පියා සහ මව යන දෙදෙනාම අත්‍යවශ්‍ය බවත්, එසේ නොවන පරිසරයක් දී, රාජ්‍ය අංශයේ මැදිහත් වීම මගින්, දරුවන්ගේ ආරක්ෂාව සුරැකිය යුතු බවත්ය.
මුලතිව් තිත්තරෙයිහි දී මා හට හිටපු විමුක්ති කොටි සාමාජිකයන් කිහිප දෙන්නෙකු මුණ ගැසුණි. ඔවුන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇත්තේ, ස්ව කැමැත්තෙනි. සංවිධානය ඔවුන්ට, ජිවතයට මුහුණ දීමට හේතු සාධක සපයා දී තිබුණි. ඔවුන් සාධාරණ හෙටක් වෙනුවෙන් යුධ වැදුනු බවත්, ප්රචණ්ඩත්වය මුලික කරගනු ලැබුවේ, තම දේශපාලන – අරගලය වෙත, දකුණේ සිංහල- බෞද්ධ ආණ්ඩුව කන් නොදුන් නිසා බවත් මා හට පැහැදිලි කලෝය. වඩාත් වැදගත් වන්නේ, අද ඔවුන් විශ්වාස කරනුයේ, සාධාරණ සමාජයක්, නව ව්‍යවස්ථාවකින් ඇති කල හැකි බවය.
“අපි මහින්ද ගැන දන්නේ නැහැ; මෛත්‍රී ගැන දන්නේත් නැහැ. අපි රනිල් ගැන දන්නේත් නැහැ. දකුණේ සහ උතුරේ හැමෝම එකම ප්‍රශ්න වල ඉන්නේ. ඒවා විසදාගන්න අපිට නව ව්‍යවස්ථාවකින් හැකි නම් ඉතාමත් හොදයි. මෙහිදී, දෙමළා ද සිංහලයා ද නෙවේ, නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි වැදගත් වන්නේ. 2010 යුද්දේ ඉවර වුනා. අපි පුනරුත්ථාපනයට ගියා. එලියට ආවා. කසාද බැන්දා. එත් අපේ ප්‍රශ්න එහෙමමයි. ධිවර රස්සාවේ යන්න විදිහක් නැහැ. දැල් ටික ඉන්දිය ධීවරයෝ අරගෙන යනවා. රස්සාව නැතිව ගෑනී, ළමයා බලාගන්නේ කවුද? අපි ආණ්ඩුවට කියානේ, අපිට ජීවත්වීමේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කියලයි”
– මේ හඬ මාහට අසුනේ, මුහුදු විමුක්ති කොටි සංවිධානයේ සිටි සාමජිකයෙකුගෙනි.
යුද්ධය 2009 දී අවසන් විය. එය, ජයග්‍රහණයක් ලෙස මහින්ද රාජපක්ෂ රෙජීමය සැලකීය. අදටත් නිශ්චිතව වාර්තා නොවන ලෙස සිවිල් ජනයා මිය ගියෝය; අතුරුදහන් කළෝය; බහුතරයක් අත් පා අහිමි ජනයා බවට පත් කළෝය; ස්ත්‍රීන් දුෂණය විය. එවැනි අවස්තාවක් කිසිවිටක විජයග්රහණයක් ලෙස සැලකිය හැකි නොවේ. නමුත් ලංකා ඉතිහාසය තුළ, දුටු ගැමුණුගේ කතාව පමණක් තීව්රාලෝකය කර, අන් සියලුම කතා වස්තුන්, සිල්ලර කල ආකාරයටම, යුද්ධය, හමුදා බලයෙන් අවසන් කිරීම එකම විසඳුම බවට පිළිගන්නා ලෙස 2009 සිටම බල කර සිටින ලදී. මෙම බලකිරීමේ අවාසනාවන්තම කොටස නම්, විමුක්ති කොටි සාමාජික සාමාජිකාවන්ගේ, අඛයානයන් ද විනාශකිරීමට පැවතී සහ පවතින සිංහල-බෞද්ධ බහුතරය කටයුතු කිරිමය. මෙහි ගැටලුව නම්, විමුක්ති කොටි සාමාජිකයන්, තම එදිරිවාදීන් ලෙස පමණක් සලකන දෘෂ්ටිවාදයක් නිර්මාණය වීමය. මෙම ආන්තික දෘෂ්ටිවාදය, එම ජනයාගේ, දෛනික ජීවිතය අපායක් කරයි.
උදාහරණ ලෙස, හිටපු කොටි සාමාජික යන ලේබලය, ඔවුන්, සාමාන්‍ය ජන ජිවිතයෙන් ඈත් කර, සමාජයේ හුදකලා කර ඇත. එම හුදකලාකිරීම , ඔවුන්ගේ දේශපාලනික සහ ආර්ථික ජීවිතය බිඳ හෙලීමට සමත් වී ඇත. “මම කැමතියි, වෘත්තීය අධ්‍යාපනයකට. එත්, මට ඒ වෙනුනෙන් මුල්‍යමය හැකියාවක් නැහැ. උදවුකරන්න කවුරුත් නැහැ. හිටපු කොටි කියන ලේබලය අපව, සමාජයෙන් ඈත් කර තිබෙන්නේ” යැයි එක් අයෙක් මා සමඟ පැවසිය. එවිටම ඔහුගේ දුරකථනය නාද විය. ඒ ඔහුගේ ආදරණිය බිරිදය. පොරොන්දු වූ වෙලාවේ මිනිත්තුවක් එහා-මෙහාව ඔහු නිවස වෙත නොගියේ නම්, ඇය කළබල වේ. මන්දයත්, මේ වනතුරු වූ සියලුම රජයන්, විමුක්ති කොටි සාමාජික- සාමාජිකාවන් මර්ධනය සහ පිඩාවට පත්කිරීමට කටයුතු කර තිබෙන හෙයිනි. නව ව්‍යවස්ථා රැකවරණ, මෙම මනුෂ්‍ය ආරක්ෂාවට එදිරිව රාජ්‍ය ආරක්ෂාව කෙසේ ආමන්ත්‍රණය කරනු ඇතයි ද ගැටළුකාරිය.
“මගේ ගම කුරුනෑගල. චේ ගුවේරා කොල්ලෝ නිසා අපිට ගම නැති වුනා. අපි 1971 දී ගමෙන් ආවා. වන්නියේ පදිංචි වුනා. යුද්දේ කාලේ ජීවිතය වෙනුවෙන් බලා සිටියා. දැන් මම වකුගඩු රෝගියෙක්. මගේ එක දුවක්, සබරගමුව විශ්ව විද්‍යාලය වෙත තොරාගෙන තිබෙනවා. මගේ නෝනා තමා, මාළුටික විකුණා, ගෙදර වියදම් බලා ගන්නේ. මට ඔය ව්‍යවස්ථාවෙන් සාධාරණයක් ඉටු වේවිද? ”,
මෙය මගෙන් අසා සිටියේ, කුරුණෑගලින් 1971 දී සිංහල-බෞද්ධ සමාජ විප්ලව කරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ අයෙකි. නිදහස් සෞඛ්‍ය සේවාවක් පමණක් නොව, නිදහස් මානුෂිය සුභ සාධනය වෙනුවෙන් වන අයිතිය ද නව ව්‍යවස්ථාව තුල අන්තර්ගත විය යුතුය. අනෙක් කරුණ නම්, භූමිය භුක්ති විඳීමට , පුරවැසියන්ට වන අයිතිය පැහැර නොගත යුතුය. 1971 දී ශ්‍රී ලංකාවේ චේ-ගුවේරා කණඩායම්, දෙමළාව දකුණින් බලහත්කාරයෙන් පිටමන් කලෝය. උතුරේ ගාල් කළ දෙමළා, රටේ පුරුවැසියන් ලෙස නොසලකා, සිංහල-බෞද්ධ පාලකයන්, ව්‍යුහාත්මක වෙනස්කිරීම් මගීන් ඔවුන්ව පිඩාවට පත්කලෝය. උදාහරණ ලෙස, පොලිස් සහ හමුදා කාණ්ඩයන්ට ආසනන්ව පිහිටි යාපනය පුස්තාකාලය ගිනිබත් කලෝය. ඒ වෙනුවෙන් නිවැරදි පරීක්ෂණයක් අදටත් සිදුව නැත. ඇයි, ඥානය ආරක්ෂා කරණ ස්ථානයක් ගිනි බත් කරනුයේ? එයින් අපේක්ෂිත ප්‍රතිපලය කුමක්ද? ඉතිහාසය වෙනස් කිරීමක් ද? එසේනම් කුමන ආකාර වෙනස් කිරීමක් බලාපොරොත්තු වන්නේ ද? තවමත් කිසිදු ආණ්ඩුවක් නොවිසඳූ අර්බුධය එයයි. එනයින්, නව ව්‍යවස්ථාව යනු හුදෙක්ම, රාජ්‍ය හෝ සිවිල් සමාජයේ ව්‍යපෘතියක් නොවී, මෙම සංකටක විසඳන ලේඛනයක් විය යුතුය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමලාගේ ගැටළු පමණක් විසඳන බවත්, සාමය යනු දෙමලාට පමණක් යුක්තිය ඉටු කිරීමක් වන බවත් දකුණේ සිංහල – බෞද්ධ මතවාදය වේ.
“දැන් බලන්න, අපිට, අපේ ඉඩම් වලින් යන්න ලියුම් ඇවිල්ලා තියෙනවා. අපි යන්නේ කොහෙද? අපි අවුරුදු හතලිහකට එහා මේ ගමේ ජිවත් වෙන්නේ. ඉස්සර, ගම එහා පැත්තේ තිබුනේ වෙල් යායක්. යු. ඇ.පි. ආණ්ඩුවෙන් 1980වේ දී විතර, මෙතනට (මීතොටමුල්ලට) සුලුපරිමානිකව කුණු ගෙනත් දැම්මා. මහින්ද මහත්තයාගේ කාලේ වෙනවිට මෙය මහා පරිමාණයෙන් කරා. දැන්, කුණු කන්දක්? අපි කුණු කදු වල ජිවත් වුනේ නැහැ. ඉඩම් ප්රශ්නගැන කතා කරන්න බත්තරමුල්ල කාර්යාලයට ගියාම, එතන මහතැන් අපිට කතාකරන්නේ ‘කුණු ගොඩේ ගැහැණු ’ කියලා. අපිට එහෙම කියන්න ඕනේ මිනිස්සු නෙවේ. ශාලමුල්ලේ Flat එකක අපිට ගෙවල් දෙන්න උත්සහ කරා ගෝටාබය මහත්තයා ගේ කාලේ. අපිට බැංකුවෙන් ණය දෙනවා, ලක්ෂ 16ක්. එක ගෙවාගෙන, අපි කාමර දෙකේ ගෙදරට යන්න ඕනේ. අපි ලක්ෂ 16 ක් තියා රුපියල් 16ක් හොයා ගන්නෙත් අමාරුවෙන්. ඒ විතර ද? මට ඒ ණය ගෙවා ගන්න බැරි වුනොත්, මගේ දරුවා එක ගෙවන්න ඕනේ. අපිව ප්‍රවේනි දාසයෝ කරගන්න මාන බැලුවේ. ඇයි අපිට එහෙම කරන්නේ?”
ඒ වැල්ලම්පිටියේ කුමුදු ගේ හඬය.
උතුරේ ද, දකුණේ ද ඉඩම් ගැටළු බොහෝ දුරට එක සමානය. උතුරේ දී ඉඩම්, හමුදාව බලහත්කාරයෙන් කොටුකරගෙන ඇත. හමුදාවේ ඉඩම් බලහත්කාරයෙන් කොටු කිරීමේ ව්‍යාපාරයෙන්, දෙමළා අවතැන්විය. දකුණේ දී එය, සිංහල-බෞද්ධ ආණ්ඩුව, විවිධ ආයෝජකයන් පිනවීම වෙනුවෙන් ඉඩම් කොටුකරගෙන ඇත. කොළඹ ලස්සන කිරීමට ගත් ව්‍යපෘතිය ද එවැනි අවස්ථාවකි. යහපත් ජන ජීවිතයක් වෙනුවෙන් නොව ආයෝජකයන් සතුටු කිරීම වෙනුවෙන්, එදා පාලකයන්, අඩු ආදායම්ලාභීන්, විශාල ණය මුදලක පටලවා, කුඩා ඉඩක පදිංචි කිරීමට උත්සුක විය. ඒ සඳහා උතුරේ දී මෙන්ම දකුණේ දී ද, රාජ්‍ය ප්රචන්ඩත්වය භාවිතා විය.
එසේනම් උතුරට සහ දකුණට ඇත්තේ එකම ගැටලුවක්, ස්වරූප දෙකකිනි. එය විසඳීමට නව ව්‍යවස්ථාව දැඩි අවධානයක් යොමුකළ යුතු අතර, ව්‍යවස්ථාව වෙනුවෙන් වන ආයතන ද, මෙම පොදු ගැටලුව, සිංහල සහ සිංහල නොවන ජනතාව වෙත සන්නිවේදනය කර, එය විසඳාගැනීමට නව ව්‍යවස්ථාව යොදාගත හැකි ආකාරය, ඉතා පැහැදිලි භාෂාවෙන් විස්තර කල යුතුය.
ලිපියේ ඇරඹුමේ කිවූ ලෙසම, දෙමළා හෝ ඕනෑම හෘද සාක්ෂියක් සහිත පුරවැසියෙකු, අනෙකාට ‘ස්ව වින්දනය’ වෙනුවෙන් වෙඩි තැබුවේ නැත. යුද්ධයක් සිදු වීමට හේතු තිබුණි. පසුගිය තිස්වසර තුල වූ යුද්ධය යනු, ‘බල පරාක්‍රමය ’ විදහා දැක්වීමට සිදුකල කර්තව්‍යක් නොවේ. එය, හේතු මුල් කර ආරම්භවිය. එම හේතු සාමය වෙනුවෙන් ආමන්ත්‍රණය කිරීම අනිවාර්ය වේ. ඒවෙනුවෙන් නව ව්‍යාවස්ථාව ගොඩ නගා, නව දේශපාලන සංස්කෘතික් ඇරඹිය යුතුය.
(විශේෂ ස්තුතිය: චන්දිම ගුණසේකර, එස්. සුදර්ශන්, වී. සෙල්වරාසා සහ ඉන්ද්‍රකුමාර් ක්රිෂාන්තනි වෙත)
අරුණි සමරකෝන් | Aruni Samarakoon