Image by: srilankamirror
බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි කැබිනට් සංශෝධනය ඉරිදා ආවේය. සමපේක්ෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් ගත වූ සති කිහිපය නිමාවට පත්විය. අලූත් කැබිනට් පත්වීම් තුළින් යම් ප්රබෝධයක් ඇති කොට ඇති අතර අවසානයේදී ජාතික ආණ්ඩුව තමන්ගේ අභ්‍යන්තර රණ්ඩුසරුවල් ඉවරයක් කරගෙන, යහපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා පියවරක් ඉදිරියට තබා ඇති බවට අලූත් විශ්වාසයක් ජනතාව තුළ ජනිත කොට තිබේ. එය හුදෙක් හිස් විශ්වාසයක් බවට පත්වෙතොත්, ශ්‍රී ලංකාවට බොහෝ දේවල් අහිමි වනු ඇත.
අතරමැද කාලයකදී කැබිනට් සංශෝධනයක් කරමින් ජනතාවට මුහුණදෙන ප්‍රථම ආණ්ඩුව මෙය නොවේ. පැහැදිළිවම, එසේ කරන අවසාන ආණ්ඩුවත් මෙය නොවනු ඇත. අහිතකර කොන්දේසි තමන්ට එරෙහිව නැගී සිටින හැම අවස්ථාවකම මේ දක්වා බලය හොබවා ඇති සෑම ආණ්ඩුවක්ම කැබිනට් කාඞ් කුට්ටම විටින් විට අනා තිබේ. ඡන්දදායක ජනතාව කෙරෙහි ඇති බැඳීම අරභයා තමන් තුළ නව දිරියක් ඇතැයි යන මායාමය හැඟීම ජනතාව තුළ ජනිත කැරැවීම සඳහා එසේ කරනු ලැබේ. එයින් පාලකයන් බලාපොරොත්තු වන්නේ, ජනතාව විසින් පාවිච්චි කරන ලද ඡන්දය නිරපරාදේ නාස්ති වීමට තමන් ඉඩ නොදෙන බව සපථ කොට සිටීමයි.
දෙවැනි වරටත් කැබිනට් සංශෝධනයක් කිරීම තුළ වර්තමාන පාලකයන් ඊට වෙනස් පිරිසක් විය හැකි ද යන්න තවම කිව නොහේ. එසේ වෙතත්, අගමැතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍ය පදවිය භාර ගනු ලැබීම, දූෂණයට එරෙහි ක්‍රියාන්විතය ශක්තිමත් කිරීමටත්, වසර තුනක් තිස්සේ රස්තියාදු වෙමින් තිබූ ප්‍රධාන දූෂිත සිදුවීම් පිළිබඳ කඩිනම් පියවර ගැනීමටත් ඉවහල් වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
ඉතිරි කැබිනට් සංශෝධන කිහිපය තුළත් වැදගත් කමක් තිබේ. සංශෝධනයට ලක් නොවූ කැබිනට් තනතුරු සම්බන්ධයෙන් ගත් විට, ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමටත්, මේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් ඇති සූදානම පෙන්වයි. මුදල් කටයුතු, ජාත්‍යන්තර වෙළඳාම සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශවල වෙනසක් සිදු නොවීම අගේ කළ යුතුය.
ආචාර්ය හර්ෂ ද සිල්වාව අමාත්‍ය තනතුරකට උසස් කොට තිබේ. මහ බැංකුව කෙරෙහි යම් අධිකාරී බලයක් ද සහිතව රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ යම් අවකාශයක් ඒ ඔස්සේ ඔහුට ලැබී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග එක්ව, රටේ ෆිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්ති තුලනය කර ගැනීම අරභයා ඔහුට ලැබී ඇති බලය, 2019 සිට අති විශාල ණය සම්භාරයක් ගෙවා දැමීමට නියමිතව ඇති රටකට තීරණාත්මක වනු ඇත. අඛණ්ඩත්වය, ඕනෑම ආණ්ඩුවකට ඉතා වැදගත් දෙයකි. ඊට අදාළ අමාත්‍යාංශ කැබිනට් සංශෝධනය තුළ එහා මෙහා නොවීම ඒ අතින් ගත් විට වැඩදායක ය. එය ජනාධිපතිවරයාගේ දුර්වල කමක් වශයෙන් නොව, ප්රතිපත්තිවල සංගත භාවය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් පියවරක් වශයෙන් ගත යුතුය.
පෙර පරිදිම, එක්සත් ජාතික පක්ෂය, මේ කැබිනට් සංශෝධනයේ වටිනා තුරුම්පු තමන් සන්තකයේ තබාගෙන තිබේ. එහෙත් දැන්, ඒවා හරහා පැහැදිළි වෙනසක් පෙන්වීමේ වගකීමත් එම පක්ෂයට පැවරී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් තුළ තව තවත් රැකියා දීමෙන්, එම ව්‍යවසායන් නඩත්තු කළ නොහැකි, පාඩු ලබන තත්වයට පත් නොකොට පවත්වාගෙන යා යුතුව තිබෙන අතර, ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් මහජන මුදල් උරා බොන ආයතන බවට පත්වීමට ඒවාට ඉඩ නොතැබිය යුතුය. කොටින්ම මේ ආණ්ඩුව පටු දේශපාලනයට යට නොවී, රාජ්‍යකරණය බරසාරව සැලකිල්ලට ගත යුතුව තිබේ.
මේ කැබිනට් සංශෝධනයේ අවසාන ගමන් මග කුමක් වෙතත්, එක දෙයක් පැහැදිළි ය: ආණ්ඩුව මොන තරම් එඩිතර කමක් ලෝකයාට පෙන්නුවත්, ඇතුළේ ගැටුම් මතුවෙමින් තිබේ. ඒ අස්සේ දෙපාර්ශ්වයම, අඩු වශයෙන් මූනිච්චාවටවත් ‘එක්සත් භාවය’ රැුක ගැනීමට වෙර දරති.
පළාත් පාලන ආයතන මැතිවරණයේ ජයග්‍රාහී ප්‍රතිඵලවලින් උද්දාමයට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂය, එක්සත්ව සිටීමට ආණ්ඩුව දක්වන නොහැකියාව සහ ඒ හේතුවෙන් ජනතාව සඳහා ඇඟට දැනෙන සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වීම, උපරිමයෙන් තමන්ගේ වාසියට යොදා ගැනීමට මාන බලයි.
ආණ්ඩුව කෙරෙහි මෝදු වෙමින් පවතින ජනතා අප්‍රසාදය අස්සේ මොන තරම් කැබිනට් සංශෝධන කළත්, ආණ්ඩුව පැත්තෙන් පවතින සීමා කම් වහා ජය නොගත්තොත්, හුදෙක් මේ සංශෝධන හරහා පමණක් 2020 වන විට මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැකි වේද යන්න සැක සහිත ය. කාලය වේගයෙන් ගෙවී යයි. ජනතා තීන්දුව තමන් පිළිගන්නා බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රකාශ කොට තිබේ. 2015 දී තමන්ට ලබා දෙන ලද ජනතා වරම ප්‍රකාරව අවශ්‍ය කරන වෙනස්කම් වහා ඇති කරමින් ඉදිරියේදී කටයුතු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් දෙන්නාම ප්‍රකාශ කොට තිබේ. ජනතාව දැන් ඒ දෙස ඕනෑ කමින් බලා සිටිති.
*2018 පෙබරවාරි 26 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවු Shuffling or Striding Forward? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි