iMage Credit: latimes.com/Ishara S. Kodikara / AFP / Getty Images

පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රථිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ. මැතිවරණ ප්‍රථිඵල ගැන යම් බුද්ධිමය ප්‍රවේශයක් සහිත පසු-කථිකාමය වේදිකාවක් නිරිමාණය වී තිබීමද සැළකිය යුතු කරුණකි. ඒ සියලු ධන ලකුණු නව මැතිවරණ ක්‍රමයට එකතු වූවත් පෙබරවාරි 10 මැතිවරණ ප්‍රථිඵලය නව මැතිවරණ ක්‍රමයේ ධනාත්මක ලකුණු මූලධාර්මික වශයෙන් සෝදාපාලුවට ලක් කර තිබේ.

පක්ෂයකට වඩා පුද්ගල චරිත ඉස්මතුවීමෙන් හටගත් මනාප ක්‍රමය මත ගොඩනැගුණ ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම, ඡන්දදායකයා හා දේශපාලකයා අතර කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනැගීම, සුළුතර දේශපාලන කණ්ඩායම් වලටද සැළකිය යුතු නියෝජනයක් ලබාදීම හා මෙරට ශ්‍රම බලාකායේ බහුතර පංගුව වන කාන්තාවට ප්‍රායෝගිකව දේශපාලනය තුළ නියෝජනයක් ලබාදීම, නව මැතිවරණ ක්‍රමය හදුන්වාදීමේ මූලික අරමුණු අතර ඉදිරියෙන්ම සදහන් විය.

ඒ අනුව ජනතාව ඡන්දය භාවිත කළේ සාපේක්ෂ වටිනාකමක් ඇති නව මැතිවරණ ක්‍රමයේ ගුණාත්මක ලකුණු උකහාගනිමින් වඩා හොඳ නියෝජිතයෙක් තම ප්‍රදේශයට තෝරාගැනීමටද යන්න සැක සහිතයි. එය එසේ නම් ප්‍රථිඵලය මීට වඩා වෙනස් විය යුතුව තිබිණි. එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට පලාත් පාලන ආයතනයක් පුරා අධිබලයක් විහිදුවීම ස්වභාවිකවම සීමා කරන මෙම නව මැතිවරණ ක්‍රමය උඩු යටිකුරු කර මේසා විශාල ජන්ද පමණයකින් පොදුජන පෙරමුණ වැනි ළදරු දේශපාලන පක්ෂයක් (පක්ෂයේ වයස අනුව) සෑම පළාත් පාලන ආයතනකම මේ ආකාරයට තම බලය විහිදුවන්නට ඉඩක් නැත.

මේ ආකාරයට තම ඡන්ද පදනම ඉතා කෙටි කලකින් මේසා විශාල මට්ටමකින් වර්ධනය කරගත් දේශපාලන පක්ෂයකට උදාහරණයක් ලංකාවෙන් හෝ ගෝලීය දේශපාලනයෙන් හෝ හමුවන්නේ නැත. ඒ හැරත් ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කළ නායකයෙකුගේ නායකත්වයෙන් වසර 3ක් වැනි ඉතා කෙටි කාලයකදී ජනතා බලය ලබාගත් පො.ජ.පෙ ට සමාන කළ හැකි නිදර්ශණයක් වුවද සපයා ගැනීමට නොහැක. එමනිසා මෙම අස්වාභාවික ප්‍රවණතාවය නිමේෂයකින් හටගත්තක් කියා බැහැර කිරීමද සුදුසු නොවේ.

මැතිවරණ ක්‍රමයේ දුරවලතා ඉස්මතු වීම

මෙම මැතිවරණ ක්‍රමයේ මූලික ගැටලුවක් ඉස්මතුව පෙණිනි. පළමුවැන්න මැතිවරණ ක්‍රමය තුළින්ම මතුවූ ගැටලු සහගත තත්වයයි. ඒ අතරට අපේක්ෂකයන් ප්‍රමාණය දෙගුණ වීම, නියෝජිතයන් නඩත්තු කිරීමට ණය බරින් මිරිකී සිටින මහජනතාවට සිදුවීම, ජනතාව මැතිවරණයෙන් පරාජය කළ නියෝජිතයන් පවා නැවත් පත්වීමට ඇති අවධානම හා අදවනවිට ප්‍රායෝගික ගැටලුවකට මුහුණදී තිබෙන කාන්තා නියෝජන ක්‍රමය පවා මේ අතරට අයත් ය. දෙවැන්න නම් මැතිවරණ ක්‍රමයට පරිබාහිරව මෙම ජන්ද ප්‍රථීඵලය උත්ගත කර ඇති විකාර රූපී ස්වභාවයයි. ඉන් ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ජනතාවට වගකියන හා වගකිවහැකි නියෝජිතයන් පළාත් පාලන ආයතනවලින් හැලී යාමයි.

ජනතාව තමන්ට හිතෛෂී නියෝජිතයා තෝරගැනීම වෙනුවට සිය අපේක්ෂා භංගවීමේ ප්‍රතිවිරෝධය මුදාහැරීමට සහ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී කරනවා යැයි කියා නොකළ දේත්, නොකරනවා යැයි කියා කළ දෙයිනුත් වසර 3ක් විඳවූ ජනතාව තම ක්‍රම විරෝධී මානසිකත්වය පෙන්වීමට යෑම මෙහි දරුණුම තත්වයයි.

එම නිසා පළාත් පාලන මැතිවරණයකට මැතිවරණ ඉතිහාසයේ කවරදාකවත් එකතු නොවූ ආකාරයේ සුවිශාල බලපෑම් කිරීමේ බලයක් මෙම මැතිවරණය හරහා ජයගත් පක්ෂයට ලැබිණි. එම බලය කොතරම්ද යත් ජනාධිපතිවරණයේදී හා පාරලිමේන්තු මැතිවරණයේදී පාලක පක්ෂය රට පාලනය කිරීමට ජනතාවගෙන් ලබා ගත් පරමධිපත්‍ය බලය පවා හෑල්ලුවට ලක්විණි. රට පාලනයට පාලක පක්ෂයට තිබූ ආචාරධාර්මික පදනම ප්‍රශ්ණ කෙරිණි.

මෙම මැතිවරණය ‘ජනමත විචාරණයක්’ ලෙස හැඳින්වීමට ඇතැම් දේශපාලන න්‍යායචාර්යවරු පෙළඹුනේ ආණ්ඩුව හොල්ලා ඔවුන් ලබාගත් අනපේක්ෂිත ජයග්‍රහණයේ උන්මාදයෙනි. වැදගත්ම කරුණ වන්නේ ජනතාව දුන් තීන්දුව ඉදිරියේ ආණ්ඩු බලය අල්ලාගැනීමට මාන බලමින් සිටි දේශපාලන කොට්ඨාශයකට දිගුකාලීනව වාසිසහගත් වුවත් ජනතාවට කිට්ටු නියෝජිතයෙක් තේරීපත් නොවීමෙන් කෙටි කාලිනව හා සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට යම් අවාසි සහගත තත්වයක් නව මැතිවරණ ක්‍රමය විසින්ම උත්ගත කර තිබීමයි.

දේශානුරාගයේ ප්‍රවණතා

දේශානුරාගී මැතිවරණ ස්ලෝගන යම් දේශපාලන චරිත වලට අනපේක්ෂිත ජයග්‍රහණ හා පරාජ ගෙන එන විලාසිතාවක් ලෙස හැසිරීම ගෝලීය දේශපාලනයේ ස්වභාවය වී තිබේ. කිසිවෙකුත් නොසිතූ අවසන් නිමේෂයක ඇමරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රමිප් පත්වන්නේ මේ අකාරයට ය. කළු ජාතිකයන්ට හා සුළු ජාතික මුසල්මානුවන්ට එරෙහිව ප්‍රබල විරෝධයක් ගෙනයන ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෝලීය වශයෙන් හිතන බහුතර උගතුන් වෙසෙන තාක්ෂණය අතින් හිනිපෙත්තටම ළඟා වූ සමාජයක වුවද දේශානුරාගි හැගීම් ජන මනසේ අවුළුවා සිය ජයග්‍රහණය ලබා ගනී. ඉංදියාවේ මෝදී පාලනය දිනෙන් දින අපසාදයට පත්වන පර්යාන්ත ආණ්ඩුවල බලය තහවුරු කරගන්නේ දේශානුරාගී තේමාවන් සූක්ෂමාකාරයට ජනගත කිරීමෙනි.

මනෝවිද්‍යාත්මකව ආගම, භාෂාව, කුලය හා වර්ගය වැනි හදවතට සමීප මාධ්‍යන්ට ආමන්ත්‍රණය කිරීමෙන් ජන මනස කළමනාකරණය කිරීමට ඉතා සහසු ඉඩකඩක් පවතී. පෙබරවාරි මැතිවරණයේදී මෙම මොනෝවිද්‍යාත්මක ක්‍රමය ඉතා සියුම් ලෙස යොදාගැනීමට පො.ජ.පෙරමුණට හැකිවිය. ජනාධිපතිවරයා දූෂණ මර්දනයත්, අගමැතිවරයා ආර්ථික සංවර්ධනය වැනි 21 වැනි ශතවර්ශයට අවශ්‍ය මාතෘකා භාවිතා කරන අතරේ 18 වන සියවස වන විට ලෝකය කතාකිරීම අවසන් කළ ආගම, ජාතිය, පංතිය වර්ගය හා කුලය වැනි ආන්තීකරණය වූ තේමාවන් යොදාගෙන සමස්ත මැතිවරණ ව්‍යාපාරයට මෙහෙයවීමට පො.ජ.පෙ හැකි විය.

වත්මන් ආණ්ඩුව කරනවා යැයි කියා නොකළ දූෂිතයන්ට දඩුවම් දීම, ජනතාවට ආර්ථිකමය වශයෙන් සහන ලබාදීම, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි දේ ද නොකරනවා යැයි කියා කරන දූෂිතයන් ඉදිරියේ මධ්‍යස්ථ වීම, දූෂිතයාට සහය දීම, ජනතාව මත බදු බර ක්‍රමයෙන් වැඩිකිරීම, රාජ්‍ය දේපළ විදේශයන්ට උගස් කිරීම, නව ව්‍යවස්ථාවක් නිරමාණය නොකිරීම වැනි දේ ද ජනතාවට ජන්ද පොළේදී තම ජන්දයේ අයිතිය ගැන අවසන් තීරණයක් ගැනීමට බලපෑම් කළේය. මෙම අඩුලුහුඩුකම් ඉහතින් කියූ 18 වැනි සියසයට ඔබින මාතෘකා සමග මුසු කර මුදාහරින විට කුමන බලවත් දේශපාලන චරිතයකට හෝ ජනපිය ආණ්ඩුවකට වුවද ඔරොත්තු නො දෙන ප්‍රථිඵලයක් උදාකළ හැකිය.

ඒ අනුව පො.ජ.පෙ වාසියට සිටි මෙම මාතෘකා සමඟ සසඳන විට ඔවුන් මෙබදු අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීම මවිත විය යුතු කරුණක් නොවේ.

විකල්පයක් තෝරාගැනීමේ ගැටළුව

මේ මැතිවරණයේදී ජනතාව විකල්පය තෝරාගැනීමට හෝ විකල්පයක් අත්හදා බැලීමට තිබූ ඓතිහාසික අවස්ථාව නැති කරගත්තෝය. මේ ගැන මහාචාර්ය නවරත්න බණ්ඩා ලීවේ මුලින්ම ඡන්දය දීමට සුදුසු ජනතාවක් තෝරාගැනීමට ‘මහජන වරණයක්’ පැවැත්විය යුතු බවයි. දේශපාලනයේදී විකල්පයක් යනු නව දැක්මක්, දර්ශනයක් ඇති’ නව පිරිසක් විය යුතුය. එම විකල්පය ජනතාව විකල්පය ලෙස මැතිවරණයෙන් තෝරාගත් විකල්පය නොවන බව කිව යුතුය.

එම විකල්පය ජනතාව දශකයක් තිස්සේ අත්හදාබැලීම් කළ පරණ පන්නයේ පාලනයක්. ජනතාව කළේ පරණ වයින් නව බඳුනක දමා සව්දිය පිරීමට සැරසීමයි.

ජනතාව 18 වැනි සියවසට අයත් මාතෘකාවලට වසඟ විය. ජන්දය ලබාදීමට නියම විකල්ප තිබියදී තමන් පෙළී සිටි දේශපාලන දුකෙන් මිදීමට හෝ විරෝධය පෑමට ඡන්දය භාවිතා කළහ. ඒ ජනතාවගේ දේශපාලන දැනීම පැත්තෙන් බලනවිට ඔවුන් තොරන්නේ මැජිකල් වැඩ කළ හැකි ජනපිය නායකත්ව නිසාය.

ප.ලි : නායකයාට බලයට ඒමට ඕනෑම ජනපිය මාතෘකාවක් භාවිත කළ හැකිය. එය ජන සමාජයේ ඉරිතැලීම් මතු නොකරන්නේ නම් හා ජනතාවට හිමි තෝරාගැනීමේ වරණීය අයිතියට බාධා නොකරනවා නම්, එසේත් නැතිනම් වැඩවසම් සංස්කතික ලකුණු මතුකර ලබන ජයගහණයේ දිගුකාලීන අරුතක් තිබේද?

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva