Photos by Deshan Tennekoon
Text by Raisa Wickrematunge
ඈ තම දෑත් ඉඟටියෙහි තබා ගෙන, අධිෂ්ඨාන සහගත ලෙස හා ස්ථිරව ඈත බලා ගෙන කැමරාව ඉදිරියේ පෙනී සිටියා ය. කණ්ඩායම ඇය දෙස සාවදානව බලා සිට සිනා පෑහ. ඇය දිරි ගන්වමින් ඔල්වරසන් දුන්හ. වාතාවරණය අවබෝධාත්මක ද සහායක ද විය. එහෙත් ගෙවී ගියේ විනාඩි පහක් පමණකි. ඡායාරූපයට නගන ලද එක් ගැහැණු ළමයෙක් තමන් තම ඡායාරූප ඔන්ලයින් ක්ෂේත්රයට තැපැල් කළ හැම විට ම තමන් තුළ ඇති වන කාංසාව ගැන කතා කරන්නට වූවා ය.
”හැම දෙනා ම අපි කරන හැම දේ ම දිහා බලා ඉන්නවා වගේ මට දැනෙනවා. අපි ඇඳන් ඉන්න ඇඳුම් දිහා පවා… එයින් යමක් කියවෙනවා,” දේශානි ධර්මදාස පවසයි.” ඒක නිසා මගේ හිතේ තියෙන කාංසාව වැඩි වෙනවා.”
මෙම කණ්ඩායමට පොදු එක් දෙයක් වේ. එනම්, බොහෝ විට ඔවුන්ගේ පෙනුම ගැන කඨෝර අදහස් දක්වමින්, ඔන්ලයින්(ONLINE) ක්ෂේත්රයේ දී ඔවුන් ඉලක්ක කර ගනු ලැබ ඇත.
‘සයිබර් හිංසනය’ යන යෙදුම විවිධාකාරයෙන් නිර්වචනය කරනු ලැබ ඇත. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව පිළිබඳ යුරෝපා ආයතනය (European Institute of Gender Equality) ඒ පිළිබඳ පිළිගත් නිර්වචන කිසිවක් නැතැයි සඳහන් කරමින් එය නිර්වචනය කිරීමේ කාර්යය මග හරියි. ප්රගතිශීලී සන්නිවේදනය සඳහා සංගමය (Association for Progressive Communications – APC) වැනි වෙනත් සංවිධාන ඔන්ලයින් හිංසනය ඕෆ්ලයින් ක්ෂේත්රයේ දී ද කාන්තාවන්ට බලපෑම් කරන බැවින් සමස්තයක් ලෙස කාන්තාවන්ට එරෙහිව එල්ල වන ප්රචණ්ඩත්වයේ කොටසක් ලෙස පිළිගත යුතු යැයි අභිදේශනයේ යෙදෙයි. එම නිසා, සයිබර් හිංසනය යන යෙදුම වෙනුවට ‘කාන්තාවන්ට එරෙහි තාක්ෂණය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය’ යන යෙදුම යොදා ගත යුතු යැයි APC සංවිධානය කියා සිටියි.
කෙසේ වුව ද, කණ්ඩායම සමග තව දුරටත් කතා කරන විට තවත් පොදු ලක්ෂණයක් අනාවරණය විය. එනම්, සෑම කෙනෙකු ම තමන්ට එල්ල වී ඇති වෛරය සමඟ පොර බැදීම සඳහා සහ හැකි නම් පරාජය කිරීම සඳහා තමන්ගේ ම ක්‍රමයක් සොයා ගෙන ඇති බව යි. සමහරු උපහාසය යොදා ගනිති, අනෙක් අය ඍජුව ම ඊට මුහුණ දෙති.
උදාහරණයක් ලෙස දේශානි, ෆේස්බුක්(Facebook) හා ඉන්ස්ටග්‍රෑම් (Instagram) අඩවිවල දී ඉල්ලීමකින් තොරව තමන් ගැන කර තිබෙන අදහස් දැක්වීම්වල Screenshots විටින් විට තැපැල් කරයි. ගිණුම්වල පෞද්ගලිකත්වය (privacy) සක්‍රිය කර ඇතත් තව මත් ඇයට සාමාන්‍යයෙන් සතියකට පණිවුඩ එකක් දෙකක් තුනක් ලැබෙයි. තැපැල් කරන විට ඔවුන් තමන්ගේ අනන්‍යතාව වසන් කිරීමට පරිස්සම් වන නමුත් බොහෝ විට ඈ ඔවුන්ගේ චර්යාව දැඩි ලෙස විවේචනය කරමින් පෞද්ගලිකව ඔවුන්ට පණිවුඩ යවයි. ”මම නිතර ම ඒ ගොල්ලන්ට කියනවා මටත් සහෝදරයෙක් ඉන්න බව, එයත් ඔයාලා වගේ කාන්තාවන්ට සලකනවා නම්, කාන්තාවන් ගැන කතා කරනවා නම් ඒක මට ලජ්ජාවට කරුණක් බව. එයාලා තැපැල් කරන අදහස් ගැන එයාලා ලවා හිතවන්න මම උත්සාහ කරනවා,” ඈ පැහැදිලි කරයි. දේශානිට කිසි විටෙක තමන් යවන පණිවුඩවලට පිළිතුරක් ලැබී නැත.
එපමණක් නොවේ. තමන් කවටකම් නොදන්නියක හෝ අහංකාර තැනැත්තියක ලෙස හංවඩු ගසනු ඇතැයි බියෙන් මුල දී මේ අදහස් දැක්වීම් සිනහවෙන් භාර ගෙන තමන් කළ වරද ගැන ද දේශානි අවංකව කතා කරයි. ”මම කරපු වැරැද්ද නම් කරන්න එපා. නිහඬව ඉන්න එපා,” ඈ පවසයි.
පසු ගිය වසරේ පැවති Lanka Comic Con උලෙළේ දී විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු තරුණියන් (female cosplayers) සමච්චලයට ලක් කිරීමත් ඔවුන්ගේ ශරීර ස්වභාවය සරදමට ලක් කිරීමත් දැක ගත හැකි විය. ඔවුන්ට සරදම් කිරීම සඳහා උලෙළේ ඡායාරූප යොදා ගැනුණු අතර එම චර්යාව වෛරසයක් මෙන් බොහෝ දෙනෙකු අතර පැතිර ගියේ ය. විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදීම (cosplay) (විකට චිත්‍ර පොතක් වැනි ප්‍රබන්ධ කෘතියක, වීඩියෝ ක්‍රීඩාවක හෝ රූපවාහිනී වැඩසටහනක එන චරිතයක වේශයෙන් පෙනී සිටීම) සඳහා සහභාගි වූ ගැහැණු ළමයි මෙම චර්යාව නිසා දැඩි කම්පනයකට පත් වූහ.
අමායා සූරියප්පෙරුම මුල දී මේ සමච්චලයට ලක් කිරීමේ චර්යාව ගැන දැන සිටියේ නැත. එදින ඇයගේ උපන් දිනය වූ නිසා ඇයගේ මිතුරු මිතුරියෝ ඒවා ඇයගෙන් වසන් කිරීමට උත්සාහ කළහ. ඒවා දුටු විට ඈ මවිතයටත් කම්පනයටත් පත් වූවා ය. අමායා විලාසිතා වෙස් පෑවේ Wonder Woman චරිතය පදනම් කර ගෙන ය. ඇය සමච්චලයට ලක් කළ බොහෝ දෙනෙකු ඇය ‘පමණට වඩා කෙට්ටු’ යැයි පවසා තිබිණ.
මනෝ විද්‍යාව හදාරන සිසුවියක වන අමායා මෙම අදහස් දැක්වීම්වල අර්ථය විග්රහ කර ගැනීමට උත්සාහ කළා ය. ”මගේ මුල් ම ප්රශ්නය වුණේ ‘කෙනෙකු මෙවැනි දෙයක් කරන්නේ ඇයි?’ කියන එක යි. එහෙම කරන්නේ ඒ අයට ආත්ම සම්මානනයක් නැති නිසා වෙන්න පුළුවන්. නැත් නම් තමන්ට එවැනි ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නැති නිසා වෙන්න පුළුවන්.”විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදීම ශ්‍රී ලංකාවට තරමක් අලූත් දෙයක් බව ද ඈ පෙන්වා දුන්නා ය.
ඉන් අනතුරුව අමායා අනපේක්ෂිත ප්‍රසාදයකට පාත්‍ර වූවා ය. Geek Club of Sri Lanka ^ Lanka Comic Con (උලෙළ සංවිධානය කළේ ද ඔවුන් ය) සාමාජිකයෝ එකට එක්ව සමහර ෆේස්බුක් පිටු පිළිබඳව දිගින් දිගට ම පැමිණිලි කළහ. එක් පුද්ගලයෙක් ඇයගේ ඡායාරූපයක් ට්වීට් කර Wonder Woman චිත්‍රපටයේ අධ්යක්ෂ පැටී ජෙන්කින්ස් සහ Wonder Woman චරිතය රඟපෑ ගැල් ගැඩෝ නම් නිළිය ඊට ටැග් කළේ ය. ඒ දෙදෙනා ම එම ඡායාරූපය යළි ට්වීට් කරමින් ඇයට සිය සහාය පළ කර තිබිණ.
අමායාට මෙම තත්ත්වය දරා ගත නොහැකි තරම් විය. ඇය ‘හිතුවේ එයා Wonder Woman කියලා, එයා කල්පනා කළේ එයාට කීර්තියක් ලැබෙන ඒ විනාඩි 15 ගැන විතර යි, සමහරු අනතුරුව කීහ. මේ තරම් සහායක් ලබන්නට තරම් තමන් සුදුසු දැයි ඈ පුදුමයට පත් වන්නට විය. අවමානාත්මක අදහස් පළ කිරීමේ චර්යාව පිළිබඳව අධ්‍යයනය කරන ශාස්ත්රාලයීය කණ්ඩායමක් මෙම සිදුවීම නිසා අනපේක්ෂිත ලෙස දොම්නසට පත්ව සිටියහ. ‘‘හදිසියේ ම මට මතක් වුණා… ඒයි, මේක සිද්ධ වුණේ මට නේ ද කියලා.”
අවසානයේ අමායා තමන් විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදීමෙන් සතුටු වූයේ මන්දැයි සිහිපත් කළා ය.”ඒක කළේ ඇයි කියන එක මතක් කර ගැනීමත් තමන් ම දැන කියා ගැනීමත් වැදගත් වෙනවා. ජනතාව තමන් විවේචනයට ලක් කරන කොට ඒක විශාල වශයෙන් උදව් වෙනවා.” අමායා විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදීමට තීරණය කර තිබුණේ තමන් ඒ වන විට අත්දකිමින් සිටි කාංසාවට හා විෂාදයට විසඳුමක් වශයෙන් සහ තමන් වඩාත් ම ප්‍රිය කරන චරිතවලට ගෞරවය පුද කිරීමක් වශයෙනි. අදහස් දැක්වීම්වලත් එවැනි අදහස් පළ කිරීමේ චර්යාවේත් අවසන් ප්‍රතිඵලය වූයේ තමන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැගීම බව ඇය පවසයි.
ඈ තවත් පණිවුඩයක් ද ඉදිරිපත් කරයි.
”කියන්න තියෙන්නේ අනෙක් අයට, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හෝ ආත්ම සම්මානයට හානි වෙන දෙයක් නම්… ඒක කියන්න එපා!”
Supergirl ලෙස විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු ෂාමින්ද්රි ද සේරා ඉලක්ක කර ගැනුණේ අමායා ඉලක්ක කර ගැනුණු සමයේ දී ම ය. ඇයගේ ශරීර ස්වභාවය සරදමට ලක් කරමින් බොහෝ දෙනෙකු අදහස් දැක්වීම් කර තිබිණ. ගැල් ගැඩෝ අමායාට සහාය දක්වමින් පළ කළ ට්වීට් පණිවුඩයෙන් පසු බොහෝ දෙනෙකු අමායාට පහර දීම නතර කළ නමුත් උලෙළේ දී විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු අනෙක් තරුණියන් දිගින් දිගට ම ඉලක්ක කර ගැනීම දොම්නසට කරුණකි.
අමායා ඉලක්ක කර ගනිමින් පළ කළ පළමු ප්‍රකාශ දුටු විට තමන් අතිශයින් ම කෝපයට පත් වූ බව ෂාමින්ද්රි පැවසුවා ය. ”මට එයාට උදව් කරන්න විදියක් තිබුණේ නැහැ. ඒත් ඒ අය මම ඉලක්ක කර ගන්න එක නතර කරන්නේ කොහොම ද කියලා මම දිගින් දිගට ම කල්පනා කළා.” ඈ මෙසේ ද පැවසුවා ය. ”අපි අපේ වඩාත් ම ප්‍රිය කරන චරිත විදියට විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයේ යෙදුණේ අපි ඒ චරිතවලට ආදරය කරන නිසා. කැඩපත ඉදිරියට ගිහිල්ලා ‘මම ලස්සන යි, මගේ පෙනුමට මම කැමති යි’ කියලා හිතුවා නම්, අයුතු බලපෑම් කරන මේ පුද්ගලයන්ට අපහාස කරලා අපි පීඩාවට පත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.”
නීති ශිෂ්‍යාවක වන හමේසා තාසිම් ද ීSupergirl ලෙස විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණා ය. තමන්ගේ ඡායාරූප බෙදාහදා ගනිමින් තිබෙන බව ඇය දුටුවේ Comic Con උලෙළේ දෙවන දිනයේ දී ය. අදහස් දැක්වීම් ගැන නොදැන සිටි ඈ එදින ද විලාසිතා වෙස් ඇඳුමක් හැඳ සිටියා ය. තමන්ගේ ඡායාරූප ඔන්ලයින් ක්ෂේත්රය තුළ බෙදාහදා ගෙන තිබෙන බව හා සමච්චලයට ලක් කර තිබෙන බව සහ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් වැටහුණු විට ඇති වූ ලජ්ජාව ගැන හමේසා කතා කළා ය.
මුස්ලිම් ගැහැණු ළමයෙකු වීම නිසා හමේසා අමතර විවේචනයන්ට ද ලක් වූවා ය. මුස්ලිම් ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් ඇය ‘ඉස්ලාමීය නොවන’ කාන්තාවක බවට පත්ව ඇතැයි පවසා තිබිණ.
”අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම අපට තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ අපි කැමති ඕනෑ ම දෙයක් කියන්න පුළුවන් ය කියන එක නොවෙන නිසයි මෙහෙම වුණේ. ඒ පුද්ගලයා අපි දැන හඳුනන කෙනෙක් වුණත් අපි කියන දෙයින් ඒ පුද්ගලයාට හානියක් වේවි ද කියලා හිතා බැලිය යුතු යි,” හමේසා පැවසුවා ය.
විකී ෂාජහාන් වෙන ම ආකාරයක හිංසනයකට මුහුණ දෙන බව කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ගේ අදහස විය. විකී ද්විලිංගික පුද්ගලයෙකු බව දැන ගැනීමෙන් පසුව ඔහු කොම්පඤ්ඤවීදියේ වෙසෙන, මින් පෙර ද්විලිංගික පුද්ගලයෙකු හමු වී හෝ එවැන්නෙකු ආශ්‍රය කර නොතිබුණු සාම්ප්‍රදායික ප්‍රජාවේ පීඩා කිරීම්වලට ලක් වූයේ ය.
විකීගේ ලිංගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වූ ආකාරය විවිධාකාර ලිංගික සම්බන්ධතාවන් පවත්වන බව පෙන්නුම් කරන නිසැක ලකුණක් යැයි ප්‍රජාවේ බොහෝ සාමාජිකයන්ට හැඟුණේ ඔවුන් සමලිංගිකත්වය පිළිකුල් කොට සැලකූ නිසා ය. මිතුරන් හෝ මිතුරියන් සමග පවත්වන කවරාකාර සම්බන්ධතාවක් වුව එම අදහස තහවුරු කරන්නක් ලෙස දකිනු ලැබිණ. කෙසේ වුව ද, විකී මෙම විවේචනයට ප්‍රතිචාර දැක්වූයේ උපහාසයෙනි. විශේෂයෙන් ම කලාව ඔස්සේ එක දිගට ම කළ අදහස් හුවමාරු කර ගැනීම් මගින් මෙම වැටහීම් වෙනස් කිරීමට විකී සමත් විය. ඔහුට එරෙහි වෛරය අඛණ්ඩව පවතින නමුත්, දැන් අසල්වැසියන් හා ප්‍රජා සාමාජිකයෝ බොහෝ විට විකී වෙනුවෙන් පෙනී සිටිති.
එහෙත් විකී ඔන්ලයින් ක්ෂේත්රයේ දී සමලිංගික භීතිකාවට මුහුණ නොදෙන බවක් මින් අදහස් නොවේ. නින්දා කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් යෙදුම් යොදා ගැනීම යනු විකීට ප්‍රබල ලෙස දැනෙන සහ ඔහු නිතර ම කතා කරන මාතෘකාවකි.
තමන්ගේ ලිංගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වන ආකාරය නිසා අපහසුවට පත්ව සිටින අයට දිරි දෙමින් විකී පවසන්නේ ඔවුන් ශක්තිමත් විය යුතු බව යි. ”ඔබ විනිශ්චයට ලක් කරන, ඔබගෙන් ප්‍රශ්න කරන අය ඔබ යන එන කොතැනක දී වුණත් හමු වෙන්න පුළුවන්… ඔබ සූදානම්ව සිටිය යුතු යි.”
ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගන්නා ලෙස කෙරෙන ඉල්ලීමෙන් ප්‍රකාශයට පත් වන්නේ වඩාත් ගැඹුරු ප්රශ්නයකි. එනම්, අනුමැතියකින් තොරව ඔන්ලයින් ක්ෂේත්රයට හානිකර අදහස් දැක්වීම්, ඡායාරූප හෝ වීඩියෝ රූපාවලි තැපැල් කෙරෙන විට ඊට එරෙහිව පිළියමක් සලසා ගැනීම සඳහා විධිමත් ක්‍රම නොපවතින බව යි. අමායා පෙන්වා දුන්නේ, Geek Club of Sri Lanka සාමාජිකයන් එකට එක්ව ෆේස්බුක් පිටු පිළිබඳව දිගින් දිගට ම පැමිණිලි කරමින් සහ තමන් දිරි ගන්වමින් ලබා දුන් සහාය නිසා විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු අය වාසනාවන්ත වූ බව යි. අනුමැතියකින් තොරව ඡායාරූපය බෙදාහදා ගැනීමට ලක් වූ සාමාන්‍ය ගැහැණු ළමයෙකුට නම් එවැනි සහායක් නොලැබෙනු ඇත. එපමණක් නොවේ. පිළියමක් සොයා ගැනීම සඳහා ඇයට පවතිනු ඇත්තේ ද සීමිත අවස්ථාවන් ය. නින්දා කිරීම සම්බන්ධයෙන් මේ වන විට බලපවත්නා ශ්‍රී ලාංකික නීතිය සමාජ මාධ්‍යය ප්‍රමාණවත් ලෙස ආවරණය නොකරන අතර, පැමිණිලි ඉදිරිපත් කිරීමට තිබෙන ආයතන බොහෝ විට පැමිණිලිවලට ප්‍රතිචාර නොදක්වයි, නැත හොත් ප්‍රතිචාර දක්වන්නේ ඉතා සෙමිනි.
භාෂාව සම්බන්ධ බාධක නිසා ෆේස්බුක් අඩවියේ ඇති පැමිණිලි කිරීමේ යන්ත්‍රණය පවා බොහෝ විට ක්‍රියාත්මක නොවේ. විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදෙන අය, ෆේස්බුක් අඩවියේ පළ කිරීම සඳහා තමන්ගේ ඡායාරූප සොරකම් කර ඇති බවට උලෙළේ නිල ඡායාරූප ශිල්පීන් ලවා පැමිණිලි කරවා ආක්රමණකාරී චර්යාවන් මැඩ පැවැත්වීමට උත්සාහ කළ නමුත්, ඡායාරූපවල අන්තර්ගතය දැනුම් දීමෙන් පමණක් එය සාර්ථක නොවූයේ, ආක්රමණකාරී අදහස් දැක්වීම්වලින් බොහොමයක් සිංහල භාෂාවෙන් පළ කර තිබූ බැවිනි.
”අපිට අපි වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වෙනවා,” අපගේ සම්මුඛ සාකච්ඡාව අවසානයේ අමායා පැවසුවා ය.
”ඔන්ලයින් හිංසනය පාලනය කරන ශ්‍රී ලාංකික නීතිය කිසි සේත් ම ශක්තිමත් නැහැ. ඒ නීතිය සමාජ මාධ්‍යය ආවරණය කරන්නේ නැහැ. ඒ නිසා (නීතිමය පියවර ගැනීමෙන්) පලක් වෙන්නේ නැහැ.”
”ඒක කනගාටුවට කාරණයක්,” ඇය අවසන් වශයෙන් පැවසුවා ය.
මේ කතා පුවත්වලින් ඔන්ලයින් ක්ෂේත්රයට ඡායාරූප කාන්දු වූ හෝ සමච්චලයට ලක් වූ අනෙක් ගැහැණු ළමයින්ගේ හඬ ද දෝංකාර දෙයි. බොහෝ විට ඔවුන්ට කවරාකාර හෝ ප්‍රතිචාරයක් හෝ පියවරක් ලබා ගැනීම සඳහා තමන් සතු සම්පත් හා සම්බන්ධකම් මත ම විශ්වාසය තැබීමට සිදු වේ. මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු මේ කණ්ඩායම මුහුණ පාන ගැටලූ කාන්තාවන්ට එරෙහිව එල්ල වන තාක්ෂණය පදනම් කර ගත් ප්රචණ්ඩත්වය පිළිබඳව අප මේ වන විට සිදු කරමින් තිබෙන පර්යේෂණයේ දී ද ඉස්මතු වෙමින් පවතී. මේවා හුදෙකලා සිදුවීම් නොවේ. ඒවා වූ කලි ඔන්ලයින් ක්ෂේත්රය ඔස්සේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් අමතන විට හා කාන්තාවන් ගැන කතා කරන විට කාන්තාවන් කෙරෙහි පළ කෙරෙන වෛරයෙන් හා ස්ත්‍රී පුරුෂ භාවය මත කරන වෙනස්කම් කිරීමෙන් සමන්විත වඩාත් විශාල වාතාවරණයක කොටසකි.
අයුතු සයිබර් බලපෑම් කළ අවස්ථාවක් ගැන වාර්තා කිරීමට ඔබ කැමති නම්, ඊළඟ පියවරයන් ගැන දැන ගැනීම සඳහා Bakamoono වෙබ් අඩවියට පිවිස මෙම කෙටි මාර්ගෝපදේශය කියවන්න. (VIKALPA)
Full Story in English by Groundviews