Image Credit: Reuters
ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති පොලු උස්සාගෙන ලේ පිපාසෙන් දුවති.
පසුගිය මැතිවරණය කාලේ සුදෝ සුදු තැවරූ පොහොට්ටුවෙන් හැමුවේ තිරිසන් ජාතිවාදයේ ඝන්ධස්කාරයයි. මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදී අවස්ථාවාදී බල ලෝභී දේශපාලකයන් ඈත ගම් දනවුවල අසරණ දුප්පත් සිංහලයන් හොය හොයා පිම්ඹේ ජාතිවාදයේ මාරාන්තික විසයි.
තම පෞද්ගලික වෙළද අරමුණු සහ පටු දේශපාලන වාසි තකා මේ දූෂිත නඩය නැවත බලයට ගෙන ඒමේ බරට උර දී සිටින දෙරණ, හිරු වැනි මාධ්‍ය ජාල විසින්, සාමාන්‍ය සිංහල ජනයා අසික්කිත ලෙස රවටමින්, මුලා කරමින්, උදේ හවා හුළං පිම්ඹේ ජාතියම දවා හළු කරන, ජාති වාදය නමැති විනාශකාරී ගිනි මැළයටයි.
මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට, කුඩු බිස්නස් අධිපතියන්ට පවා සෙත් පතමින් බෝධි පූජා තියන, පිරිත් නූල් බඳින, අර නිකායේ මේ නිකායේ නායක, අනු නායක, සංඝරාජ, බෝධිරාජ ඈ පදවි තානාන්තර දරන මහා නායක උන්නාන්සේලා බණ තලමින් උඩගෙඩි දුන්නේ ජනකොටස් අතර වෛරය වපුරන ආගම්වාදයටයි. ජාතිවාදයටයි.
දැන් අපි නැවතත් ඒ මූසල අතීතයම යළි අත්දකිමින් සිටිමු.
මේ මුතු ඇටයේ වසන නිකැළැල් සිංහ වංශිකයන් වන අපි, ඒ ලේ වැකි භයංකාර පසුගියාවෙන් අබමල් රේණුවක පාඩමක් ඉගෙන ගන්නේ නැති බව ලොව හමුවේ පසක් කරමින් සිටිමු.
ගලබොඩ අත්තේ ඥානසාර පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින්, තෘප්තිමත් බවින් යුතුව සිනාමුසු මුහුණින් කිව්වේ, අපි කවුරුත් මනුස්සයින් බවයි. සාදු සාදු! තමන් වහන්සේලා විසින් කාලාන්තරයක් පුරා සංවිධානාත්මකව දියක් කළ මුස්ලිම් විරෝධී/දෙමළ විරෝධී උග්‍ර ජාතිවාදය විසින් මරා දැමුණු මිනිසුන්ගේ මිනී උඩ හිටගෙන මේ උන්නාන්සේලා කතා කරන්නේ, මොකකින්දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන්ම (වැරදිලාහරි ඉන්නවානම්) පමණි.
කරුමය වන්නේ අපේ සිංහල බෞද්ධ සමාජය හැමදාම එක එක වෙසින් එන, දුෂ්ට, වංක දේශපාලුවන්ට සහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ පැවැත්මට සහයෝගය දෙන ගිහි සහ ගණ අවස්ථාවාදීන්ට අන්තෙටම රැවටීමයි. නැවත නැවතත් තුච්ඡ ලෙස රැවටීමයි. මයික් කටවල් ඉදිරියේ පපු කැවුතු ඉරාගෙන, ළයට අත් ගස ගසා සිංහල අපේ රට, සිංහල අපේ රට කියමින් යටිගිරියෙන් කෑ ගසමින් මොවුන් කරන ව්‍යාජ දේශපාලන රංගනය දෙස ඇස් උඩ ඉන්දාගෙන බලා හිද, පරල වීමයි.
මේ දූෂිත දේශපාලකයන්ගේ, අසික්කිත මාධ්‍ය හිමිතරුවන්ගේ හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයින් වන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දරුවෝ කිසිවෙක් මේ රටේ ජීවත් වෙන්නේ නැත. මේ රටේ දුප්පත් මහජනයාගේ දේපල කොල්ලකමින්, වංචාවෙන් රැවටිල්ලෙන් උපයා ගත් කෝටි ප්‍රකෝටි ගණන් මෙරට සහ පිටරට බැංකුගත කර ඇති බැවින් තම ආදරණීය දරුවන් උස් මහත් වූ හැටියේම පිටරට අධ්‍යාපනයට පිටත් කර හරින්නටත්, බටහිර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී රටක පදිංචි කරවන්නටත් උන්ට හැකිය. එවිට ඒ දරුවන්ට, යුද්ධ කලකෝලාහල නැති, සුවදායී රටක පුරවැසියන් වී නිවී සැනසිල්ලේ ජීවත් වෙන්නට පුළුවන්ය. ඒ අයට ලංකාව අවශ්‍ය වන්නේ, ඉන්වෙස්ට්මන්ට් වලට කැලෑ කපා හෝටල් හැදීම වැනි පොඩි පොඩි බිස්නස් වැඩවලට සහ නිවාඩුවට ඇවිත් ඕනෑම පිස්සුවක් කෙළිය හැකි විගඩම් මඩුවක් හැටියට පාවිච්චි කරන්ටත් පමණි.
නැත්තටම කෙළවෙන්නේ, මේ දේශපාලුවන්ගේ රැවටිල්ලට හසුවී, උන් ඔසවා දුන් ජාතිවාදය කරපින්නාගෙන සිහිවිකල් කරගත්, අපේ ඈත ගම් බිම්වල ජීවත්වන දුප්පත් අසරණයන්ටයි. උන්ට ජීවත් වෙන්නට මේ කුඩා රට හැර වෙන තැනක් නැත. උන්ගේ දරුවන්ට ජිවත් වන්නට මේ රට හැර වෙන තැනත් නැත. තව දශක ගාණක් දිග ඇදෙන ජාතිවාදී යුද්ධයක් ඇති වූවොත්, එ් මහා කරුමයට කර ගසන්නට වෙන්නේ ඒ දරුවන්ටය.
කෙතරම් තිත්ත වුවත් ඇත්ත මෙයයි.
අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?
නදී කම්මැල්ලවීර | Nadie Kammallaweera