iMage by: wikimapia
මහනුවර මීරමක්කම් පල්ලියට රාස්සිගේ අව්ව වැටී තිබුණි. කොන්ක්‍රීට් පඩිපෙලේ සිටි, මැදි වියේ පිරිමියෙකු, අළු පරවියන්ට, ධාන්‍ය විසිකරයි. පුංචි කොන්ඩ කරල් දෙකක් ගොතා, කහපාට පටි ගවුමක් ඇඳ, රතුපාට සපත්තු පැළදී, කුඩා දැරිවියක්, අළු පරවියන් වෙත දිව ගියාය. ඒ 1995 වසරයි.
“පුංචි කෙල්ලේ, කොහොද මේ දුවන්නේ? කා එක්ක ද පල්ලි ආවේ?” මහළු, කළු, සුදු හිස් වැසුම්ක් සහිත, පුද්ගයෙක් ඇසීය. “ආච්චි එක්ක ආවේ”. කෙළි පිළිතුරු දුනි. “පල්ලිය බලන්න කැමති ද?” ආපසු , නන්නාදුන පුද්ගලයා ඇසිය. කෙළි සිනා සුනාය. “එන්න” ඔහු ඇය වඩා ගත්තේය. “පල්ලිය පෙන්නු පසු, ඔහු ඒ, කෙල්ලට, ඉදි ගෙඩි කිහිපයක් සහ කිරි වීදුරුවක් දුන්නේය. ඇයගේ මිත්තනිය, මේ සියලු දේ දුටුවාය. ඉන්පසු, ඒ කෙල්ල සමඟ මහළු මිත්තනිය, පල්ලියේ, මවුලවි තුමා මුණ ගැසුණි. “මගේ දුව ඉන්නේ පිටරට. ඇයගේ සුභ සෙත වෙනුවෙන් යාඥා කරනවද? ”. මිත්තනිය ඇසුවාය. ඉන්පසු පල්ලියේ බිම ඇය ඉද ගත්තාය. පැසුණු රැවුලක් සහිත සුදු සමක් ඇති, මවුලවි තුමා, වයසක කාන්තාවගේ, සයුරෙන් එතෙර සිටින, සිංහල- බෞද්ධ දියණිය වෙනුවෙන් යාඥා කළේය. ඉන් පසු, දඟකාර කෙලි දෙසට හැරී, “බබාට තව ඉදි ගෙඩියක් දෙන්න ද?” ඇසුවේය. කෙළි නැවතත් සිනාසුනේය. ඇයට ඉදි ගෙඩි දෙකක් ලැබුණි. මීරමක්කම් පල්ලියේ, පඩි පෙළෙන් බැස ආ, ඒ, කෙලි සිතා සිටියේ, දළදා මාලිගාවට ගොස්, ඉන් පසු, සතර දේවාල වැඳ, මුස්ලිම් පල්ලිය වෙත යාම, සාමාන්‍ය සිංහල- බෞද්ධ සම්ප්‍රධායක් බවය.
මේ, මම 1995 දී ලද සොදුරු අත්දැකීමකි.
එදා, අද මෙන්, සන්නිවේදන තාක්ෂණය දියණු නොවිය. මගේ, නැන්දනිය, සිටියේ විදේශ ගතවය. මාසකට ලැබෙන ලිපිය සහ, කලාතුරකින් ලද, දුරකථන ඇමතුම හැර වෙනත් කිසිදු ආකාරයක සන්නිවේදන මාධ්‍යයක් එදා අප අතර නොවිය. ඇය, එතෙර විදි දුක් සියල්ල, පිටු දෙකක ලිපියකින් ලියා එවන විට, මාගේ මිත්තනිය, සියලු ආගමික ශාස්තෘවරුන් ගේ මෙලොව නියෝජිතයන්වෙත දැනුම් දී, සහන සලසන ලෙස ඉල්ලා සිටියාය. මම, මිත්තනිය සමඟ, මාසකට වරක් වන ආගමික සංචාරය වෙත සහභාගී වුයේ, අවසානයේ ලැබෙන, සෝයා හිම කිරම වෙනුවෙනි. එහෙත්, මම, එදා පල්ලියේදී ලද අත්දැකීම, අවුරුදු විසිතුනකට පසුව නැවත කියවීමි. එදා මගේ මිත්තනිය, පල්ලියේ දී, මාහට හිමි වූ, ඉදි ගෙඩි විසිකරන ලෙස බල කරේ නැත. මහලු මුස්ලිම් පුද්ගලයාට, මා වඩා ගැනීම වැලක්වුයේ නැත. සිංහල- බෞද්ධ පවුලක ඉපිද, තමාගේ දුක, මවුලවි කෙනෙකු වෙත පැවසීමට තරම් ඇය එඩිතරව, මුස්ලිම් පුජ්‍ය පක්ෂය විශ්වාස කළාය. ඇය, මාහටද මගේ නොවන අනෙකා විශ්වාස කරන්නට ඉඩ දුන්නාය.
මෙම විශ්වාසය තවත් තහවුරු වුයේ, මහනුවර වූ සර්ව ජනවාර්ගික සහ ආගමික පසුබිම හේතුවෙනි. බාලිකාවේ, අපේ කණ්ඩායමේ, සිටි, චුටියා ගේ හාපුරා ආදරය මුස්ලිම් ජාතික ශ්‍යාම්ය. අපි චුටියා ගේ සහ ශ්‍යාම් අයියාගේ දරුවන්, සුදුම සුදු වනු ඇතැයි උපකල්පනය කළෙමු. රාමසාන් උත්සවයේ දී ලැබෙන, ප්‍රනීත වටලප්පම, ගුරුවරුන්ට සහ අපගේ විනය හැදීමට තමන් උපන්නේ යැයි ,උපකල්පනය කළ, ශිෂ්‍ය නායිකාවන්ට, හොරැහින්, බුක්ති වින්දෙමු. ඉදහිට, ශ්‍යාම් අයියා ගෙන ආ, මුස්ලිම් හෝටලයෙන් ගෙන ආ පේස්ට්‍රි බෙදා ගැනීමට පොර කෑවෙමු. ශ්‍යාම් අයියා විදේශ ගත වීමත් සමඟ, චුටියාගේ ආදරය බිඳ වැටුණි. අද ඇය විවාහක, එක් දරු මවකි. ඇය හෝ අපේ කණ්ඩායමේ කිසිවෙකු, මුස්ලිම් ශ්‍යාම් අයියාගේ කෑම හේතුවෙන් වඳ වුයේ නැත.
ඉංග්‍රීසි සහිත්‍ය යනු කිසි දිනක තෝරා බේරා ගත හැකි විෂයක් නොවූ අවධියක, අපේ පිහිටට පැමිණියේ, පේරාදෙණියේ ක්‍රිස්ටෝෆර් පාරේ හනිෆා මැඩම්ය. ඇයට, ලස්සන දෙතොලක් විය. ඇයගේ ඉංග්‍රීසි කථනය අනර්ඝය. එසේම ඇය තරවටු කිරීමට ද ඉතා දක්ෂය. ඇයගේ සහකරු වූ හනිෆා සර් ගේන් ඉංග්‍රීසි උගත්, ශ්‍යමා අක්කා අද ඔස්ට්‍රේලියාවට සංක්‍රමයවී ඇත. දහම් පාසල් ගිය ද, හනිෆා පන්ති පැමිණි, තිලාන් දැන් ජිවත් වන්නේ ඇමරිකාවේය. සිංහල- බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින, ඒ පන්තිවලම සිට, ඉංග්‍රීසි උගත්, අරුණ අයියා, අද, ප්‍රධාන විදේශ සමාගමක විධායක කළමනාකරුවෙකි. මාගේ සහ- මිත්‍ර සහ හනිෆා සර්ගේ ශිෂ්‍යයාවක් වන නාලි, සිංහල- බෞද්ධ බහුතරයක් ශ්‍රමිකයන් වන බැංකුවක, කළමනාකාර තනතුරක් දරයි. ඒ හනිෆා ඉංග්‍රීසි පන්ති, අපුර්වය. බහුතරය සිංහල – බෞද්ධ දරු දැරිවියෝය. සැම වසරකම, ජනවාරි පළමුවෙනි දාට, එහි උත්සවයක් වේ. උත්සවයේ බර පැන හනිෆා සර් ගෙනි. උත්සවයට අතිරේක පන්තියේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මෙන්ම, ඔවුන්ගේ දෙමාපියන්ට ද අරධානා කරයි. සැම පන්තියකම දරු – දැරියන් , කුමන හෝ ආකාර ඉංග්‍රීසි ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතුය. මා, බොහෝ විට, ඉංග්‍රීසි කවියක් හඬ නගා කියා ඇත. මෙය, ඒ දිනවල, කථාපුහුණු ව ලෙස වන පන්තියේ සිටි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට ද අනිවාර්ය විය. අපි ඉංග්‍රීසිය ගොඩ ගියේ, මුස්ලිම් ජාතික ගුරු යුවලගේ අධාරයනි.
උසස් පෙළ අතිරේක ඉතිහාස පන්තියේ, කාඩ් මාර්ක් කළේ මුස්ලිම් මාමා කෙනෙකි. පන්ති ප්‍රවේශය පත, අමතකව ගෙදර දමා ආ දවසට ද, අපට බැන වැදී, පන්තියට සහභාගී වීමට ඔහු ඉඩ දුන්නේ, සිංහල- බෞද්ධ අපගේ අනාගතය වෙනුවෙනි. අතිරේක පන්තිය තිබුනේ, බාලිකාවට ඉහලින් වූ පන්සලේය. කවුරුන් හෝ පන්සලේ, ප්‍රේම ජවනිකා ඉදිරිපත් කර, එය, මුස්ලිම් මාමා ගේ ඇස ගැටීමට බයංකාර විනාශයකි. ඔහු මුලින්ම, මෙය පුජා භූමියක් හෙයින්, බෞද්ධ ආගමට ගරු කර හැසිරෙන ලෙස විධානය කරයි, ඉන්පසු අදාල පාර්ශවයන්ට වෙන වෙනම දැඩිව අවවාද කරයි. ඉන්පසු දයාන්විතව, දරුවෝ, ඉගෙනගන්න, විභාගේන් පසුව විවාහය ගැන සිතන්න. ඔහු මෙසේ අවවාද දුන් සියල්ලෝම, සිංහල-බෞද්ධ දරු දැරියන්ය. මුස්ලිම් ඔහුට, සිංහල-බෞද්ධයා වෙනුවෙන් පපුව වේදනාත්මක වුයේ ඇයි ද යන්න අදටත් මට ගැටලුවකි.
මහනුවර මුස්ලිම් හෝටලයේන්, ස්පන්චි කෑමට මා පුරුදු කලේ, මගේ සහජාත සිංහල-බෞද්ධ මිතුරිය, නයනාය. අදටත් නයානාට මේ පුරුද්ද ඇත. එහිම දිගු වක් වුයේ, බම්බලපිටිය, පිලාවුසයෙන්, චීස් කොත්තු කෑමය. අපි කිසිදිනක, කෑමට බියෙන් ජීවත් නොවිය. මුස්ලිම් කඩයේ සව් කැඳ සහ, වැල්ලවත්තේ, යාල් හෝටලයේ, කැකුළු කරියේ රසය, කිසි දිනක මොන යාකාටවත් බියෙන් හෝ, අමෝඥ වඳ වීම් ප්‍රචාරණය හේතුවෙන්, අත්හැරිය හැකි කෑම ජාති නොවේ.
‘වඳ වීම’ ට බියේ අහාර අත්හැරීම් නොව කල යුත්තේ, ලිංගික නිදහසට පරිසරක් නිර්මාණය කිරීමය. විරුද්ධ ලිංගිකයා සිප මහජන අවකාශයක් තුලදී සිප ගැනීමට කෙස් වෙතත්, වැළඳ ගැනීමටත් විරුද්ධවන, සිංහල-බෞද්ධ සිවුරු පොරවාගත් ශරීර, වඳ වීම, කෑමෙන් සිදුවන බව ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. අනෙක් අතට, පන්සලේ තනි භුක්තිය වෙනුවෙන්, තම අනෙකා පීඩනය කරන, අගති කණ්ඩායම්, සිංහල කාන්තාවන්ගේ ලිංගය, මැෂිමක් ලෙස දැකිමත්, එම මැෂිමෙන් දරුවෝ සැදීමට බල කිරීමත් හිරිකිතය, මන්දයත්, පන්සලට නොමිලේ අහාර ලැබුනත්, සාමාන්‍ය ජනයාගේ බඩගින්න නිවීමට ඔවුන් ශ්‍රමය වැගිරිය යුතුය. පවුල් නඩත්තුව, පන්සල නඩත්තුවට වඩා එහා ගිය, බාර ධුර කර්තව්‍යකි. පවතින ආර්ථිකයෙන්, එක වේලක් පමණක්, කා ජිවත්වන, සිංහල- බෞද්ධයගේ, ජනගහන වර්ධනය වෙනුවෙන්, ජනයාගේන්ම යැපෙන චීවර ධාරීන් පෙරට ඒම පරිහාසකය. එසේම, සිංහල- බෞද්ධයා ගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රචන්ඩත්වය වැපිරීම තරයේම ප්‍රතික්ෂේප කළ යුතුය.
2009 දී, දකුණේ සිංහල-බෞද්ධයා කිරිබත් කෑවේ, රට නිදහස් යැයි සිතාය. එහෙත්, මා දිග හැරී සොදුරු මතකයන් සිදුවන විට, මෙරට සිවිල් යුද්ධයක් විය. එදා අපි, අදට වඩා නිදහස් ව ජිවත් වීමු. අපි අපේ මෙන්ම අපේ අනෙකා සමඟ ද ආදරයෙන් බැදී සිටියෙමු, විශ්වාසයෙන් සිටියෙමු. එය, අමානුෂික යුද්ධ ජයග්‍රණය සහ ඒ සමඟ බැදී අශිෂ්ට දේශපාලනයෙන් විනාශ කර දමා ඇත. එය නැවත ගොඩ නැගීමට නම්, දැනුම සහ ආදරයෙන් පිරි හදවතකින් යුතුව, සියලුම ශ්‍රී ලාංකිකයන් අරගලය ගෙන යා යුතුය.
අරුණි සමරකෝන් | Aruni Samarakoon