iMage BY: thehansindia.com
තෙල්දෙණියේ තරුණයකු තමා කුළියට සේවයේ යෙදෙන ලොරි රථයෙන් ගමන් කරද්දී සුළු අනතුරක් සිදු වූයේ පසුගිය මාසයේ 20 වැනිදා ය. ලොරිය හා අනතුරට ලක්වූ ත්‍රී රෝද රථයේ සිටි ළාබාල තරුණයන් හතරදෙනෙකු ලොරි රියදුරාට අමානුෂිකව පහර දුනි. ඔහු බලවත් ලෙස අනතුරට ලක්වූ අතර පසුව රෝහල් ගත කෙරිණි. පහරදුන් පිරිස අත් අඩංගුවට ගැණුනි.
ලොරි රියදුරා පහර කෑමෙන් මිදෙන්නට ආරක්ෂාව පතා ගියේ ලොරි රථය අයිති ව්‍යාපාරිකයාගේ ඉන්ධන පිරවුම් හලට ය. එහි සේවකයන් නවදෙනෙකු රාජකාරී කරන අතර ඒ සියළුදෙනා රියදුරාගේ මිතුරන් ය. ඒ පුද්ගලයන් නවදෙනාටම තම මිතුරාට පහර දෙන හතරදෙනා මෙල්ල කර ගැනීමට නොහැකි විය. ඇත්තටම නොහැකි වූවා නොව ඔවුහු ඊට මැදිහත් නොවූහ.
පහරදුන්නේ මුස්ලිම් තරුණයෝ හතරදෙනෙකි. පහර කෑවේ සිංහල තරුණයෙකි. එහෙත් එදින හෝ ඒ ආසන්න දිනක හෝ ඒ සම්බන්ධයෙන් වාර්ගික නොසන්සුන්තාවක් පැන නොනැගුණි. එය තවත් අසංවර හා අවිනීත තරුණයන් පිරිසකගේ ගැටුමක් විය. එසේම විය යුතු පරිදිම නීතිය ද මැනවින් ක්‍රියාත්මක විය.
ප්‍රචණ්ඩත්වය පසුපස ප්‍රධාන පෙළේ භික්ෂූන්
පහර කෑ සිංහල තරුණයා මාර්තු මස තුන්වැනි දා මිය ගියේ ය. එදිනත් කිසිම වාර්ගික නොසන්සුන්තාවක් පැන නොනගින්නේ එය අසංවර හා අවිනීත ගැටුමක් ලෙස සැලකූ නිසා විය හැකිය. එහෙත් මියගිය තරුණයාගේ මෘත දේහයට අවසන් ගෞරවය දක්වන්නට මාර්තු හතර වැනිදා ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව පැමිණෙන්නේ ය. ඊට පැය කිහිපයකට පසුව වාර්ගික ගැටුම් හට ගනී.
මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථානයන්ට හා නිවෙස් වලට පහර එල්ල කරන අතර ඒ ප්‍රකෝපකාරීන් පොලිසි අත්අඩංගුවට පත් වේ. එහෙත් පසුදින පොලීසියට පෙළපාලියකින් යන පිරිස අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන්නැයි බල කෙරේ. ඒ අතර කුප්‍රකට භික්ෂූන් වන ගලගොඩ අත්තේ ඥාණසාර ද අම්පිටියේ සුමනරතන ද ක්‍රියාකාරීව කටයුතු කළහ. ඔවුන්ගේ උත්සාහය වූයේ මුස්ලිම්වරුන්ගේ දේපළ වලට හානි කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් සිංහල මැරයන් නිදහස් කර ගැනීමයි. එම නොසන්සුන්තාව මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිර ගිය අතර දෙපාර්ශ්වයේ ගැටුම් පාලනය කිරීමට ආරක්ෂක අංශ අසමත් විය.
ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ජන කොටස් අතර බෞද්ධ භික්ෂූන් සිටි අතර එක් භික්ෂුවක් හඩ නගා පවසන්නේ “මන්නය තියෙන්නේ කොස් කොටන්න ද” යන්නයි. මේ තරුණ භික්ෂූන්ට නායකත්වය දෙන්නේ ඉහ නිකට පැසී ඇති ගලගොඩ අත්තේ ඥාණසාර හා අම්පිටියේ සුමන යන භික්ෂූන් විසිනි. මේ භික්ෂූන්ට කුමන ආණ්ඩුව බලයට පත් වුවත් තම ආධිපත්‍යවාදී හැසිරීම පවත්වාගෙන ගෙන යෑමට කිසිම බාධාවක් එල්ල නොවේ. වර්ගවාදී ලෙස කටයුතු කරමින් වාර්ගික අගතිය ඇතිවන ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ නීතිය ද අක්‍රිය වේ.
විවිධ නම් වලින් ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි කණ්ඩායම් විසින් සෑහෙන කලෙක සිට සරු පසක් නිර්මාණය කරන ලදි. ඒ පසෙහි වර්ගවාදී හැගීම් යහමින් පෝෂණය විය. ඒ නිසා “ඕකුන්ට පහරදීම කොච්චර උනත් හොද වැඩක්” යන අදහස බොහෝ සිංහලයන් තුළ ඇති විය. ඊට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මේ භික්ෂූන් විසින් වර්ධනය කළ වාර්ගික සැක සංකා හා ප්‍රති විරෝධයයි. දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ විධි විධාන සංග්‍රහය අනුව මෙවැනි භික්ෂූන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකි වුවත් ඒ සම්බන්ධයෙන් රජය කිසිම පියවරක් නොගැනීම ශෝචනීය ය.
ගිය වසරේ නොවැම්බරයේ දී ගාල්ලේ ගිංතොට ඇතිවූ වාර්ගික නොසන්සුන්තාව ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය කිරීම පිටුපස ද සිටියේ අන්තවාදී බෞද්ධ භික්ෂූන් ය. ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව ගිංතොට සිද්ධීන්ට ද මැදිහත් වූ අතර එහි ගිය ඔහුව ගාල්ලේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයකු විසින් පිළිගත්තේ දණ නවා ගෞරව කරමිනි. ඒ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ ලියුම්කරු සමග පෞද්ගලිකව කීවේ ගාල්ලේ සිංහල බෞද්ධ සමාජය තුළ පිළිගැනීමක් සහිත භික්ෂූන් ප්‍රචණ්ඩත්වය වැපිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි බවයි. ඊට හේතුව වශයෙන් ඔහු සදහන් කළේ එවිට මහජන නොසන්සුන්තාවක් ඇතිවිය හැකි නිසා එය නුසුදුසු ක්‍රියාවක් බවයි.
මහජනයා අතර පිළිගැනීමක් ඇති සිවිල් චරිත කුමන නීති විරෝධී කටයුත්තකට දායක වුවද නීතිය ක්‍රියාත්මක නොවන බව එහි හරයයි. එහෙත් ආණ්ඩුවක් එලෙස නිවට නියාළු වන්නේ ඇයිදැයි මතු වන්නේ ප්‍රශ්නයකි. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන නම් ද නීතියේ ආධිපත්‍ය බලවත් නම් ද සිවිල් චරිත නීතිය කඩකරන විට ඔවුන් අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව බිය වන්නේ ආණ්ඩුවේ දේශපාලන පෞර්ෂය පිළිබද බරපතල ප්‍රශ්නයක් නිසා ය.
නිකාය කාරක සභා ගන්නා වූ පියවර කුමක් ද?
මෙවැනි භික්ෂූන්ට එරෙහිව ක්‍රියාමාර්ගයන් ගැනීමට පසුබට වන්නේ රජය පමණක් නොවේ. බෞද්ධ භික්ෂු සංවිධානය ද ඒ සම්බන්ධයෙන් මුනිවත රකී. බෞද්ධ භික්ෂූන්ගේ විනය පාලනය වන්නේ ඒ ඒ භික්ෂූන් අයත් වන නිකාය කාරක සංඝ සභාවන් මගින් ය. එහෙත් ගලගොඩ අත්තේ ඥාණසාර හෝ අම්පිටියේ සුමන යන බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් කිසිම විනය පියවරක් ඒ ඒ නිකායන් විසින් ගන්නා බවක් පෙනෙන්නට නොමැත. වරක් මහ නායක හිමිවරුන් හමුවන්නට ගිය ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව ඇමතූ උන් වහන්සේලා ඔහුට දිරිදෙන ප්‍රකාශ කළා මිස විනය ආරක්ෂා කිරීමට කිසිම පියවරක් නොගත්හ. පසු අවස්ථාවක සියම් මහ නිකායේ උභය කාරක සංඝ සභාව ඒකාබද්ධව නිකුත් කළා යැයි කියූ නිවේදනය මගින් ද ප්‍රතිචාර දැක්වූයේ සමාජ කොටස් මැර භික්ෂූන්ට ගෞරව නොකිරීම සම්බන්ධයෙන් පමණි. භික්ෂූන් මැර හා ප්‍රචණ්ඩ ක්‍රියා වලට දායකවීම උන් වහන්සේලාට ගැටළුවක් නොවූ තරම් ය.
සිවුරක් දැරූ පළියට පුද්ගලයකු භික්ෂුවක් වන්නේ නැත. කෙනෙක් විනය දර ධර්ම දර ශීලයක් සමාදන්ව ඒ අනුව කටයුතු කරන්නේ නම් පමණක් භික්ෂුවක් වන්නේ ය. සිල්වත් භික්ෂුවකට සමාජය දක්වන ගෞරවය මැර හා ප්‍රචණ්ඩ ක්‍රියා වලට දායක වන සිවුරුධාරීන්ට දැක්විය යුතු නැත. එහෙත් කාරක සංඝ සභාවන් උනන්දු වන්නේ මැර හා ප්‍රචණ්ඩ සිවුරුධාරීන්ට සමාජය ලවා ගෞරවය ලබා ගැනීමට මිස විනය ගරුක සංඝ සමාජයක් පවත්වාගෙන යෑමට නොවේ. එසේ නොවන්නේ නම් ගලගොඩ අත්තේ ඥාණසාර හා අම්පිටියේ සුමන යන භික්ෂූන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයන් ගැනීමටත් ඒ අනුව දඩුවම් කිරීමටත් කාරක සංඝ සභාවන් නොපැකිළිව කටයුතු කළ යුතුය.
ආරක්ෂක අංශ ආරක්ෂාකාරී පියවරක
සම්මුතික ආණ්ඩුව බලයට පැමිණි පසුව වාර්ගික ගැටුම් කිහිපයක් ඇති විය. මුලින්ම ඇති වූ ගැටුම ගාල්ලේ සිද්ධියයි. ඊළගට මේ ඊයේ පෙරේදා ඇති වූ අම්පාරේ සිද්ධියයි. දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකාට වෛර කරමින් එකිනෙකා හා අනවබෝධයෙන් සිටින ජන කොටස් තුනක් අතර ප්‍රචණ්ඩත්වය ඇතිවීම අරුමයක් නොවේ. එහෙත් ඒ අත්දැකීම් මත ආරක්ෂක අංශ පෙර සූදානමක සිටිය යුතුය. ගාල්ලේ හා අම්පාරේ අත්දැකීම් ඇතිව සිටි ආරක්ෂක අංශ තෙල්දෙණියේ ගැටුමෙන් පසුව පූර්ව සූදානමක නොවීම ප්‍රශ්නකාරීය. ඒ සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඉහළට වාර්තා කළද මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉක්මන් පියවර නොගත් බවට චෝදනා පවතී.
එහෙත් කොළඹ දී හෝ තඹුත්තේගම දී හෝ උද්ඝෝෂකයන්ට පහර දීමට පෙරට එන ආරක්ෂක අංශ වාර්ගික ගැටුමක දී පෙරට එන්නට බියවීම ප්‍රශ්නකාරීය. එක්කෝ ඔවුන් වාර්ගික වශයෙන් අන්තවාදී විය යුතුය. නො එසේනම් මධ්‍යම පළාතේ ආරක්ෂක ප්‍රධානීන් කාර්යශූර නොවිය යුතුය. මේ කුමන හේතුවක් නිසා හෝ ඔවුන් තම රාජකාරිමය වගකීම ඉෂ්ඨ කිරීමෙන් මග හැරියහ. වාර්තාවන අන්දමට සමහර ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ බවට සාධක පවතී. ඔවුන් ජන සමාජය හා අනන්‍ය වෙමින් වර්ගවාදී ලෙස කටයුතු කර ඇත්නම් එය භයානක සිද්ධියකි.
එසේ නම් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූ ආරක්ෂක අංශ වල සාමාජිකයන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේම ආරක්ෂක අංශයන්ගේ ප්‍රබල තනතුරු දරන්නන් තම වගකීම ඉෂ්ඨ කරන්නට පැකිලී ඇත්නම් විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ට ද දඩුවම් කළ යුතුය. එහෙත් රජය පශ්චාත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ගන්නා වූ පියවර මෙතරම් ව්‍යුහාත්මක වන්නේ නැත. රජය කරන්නේ වින්දිතයන්ට හානිපූරක වන්දි ගෙවා නිහඩව සිටීම ය.
අඩත්තේට්ටමට ලක්වූ ජන කොටස් ද හානි පූරක වන්දියෙන් සෑහීමකට පත් වේ. එහෙත් රාජ්‍යයේ වගවීම හා වැරදි වළක්වා ගැනීමේ ක්‍රමවේදය අගතියට පත් වේ.
ජනමත ප්‍රධානීන් නිද්‍රා සුවයේ
මෙවැනි තීරණාත්මක අවස්ථාවක මහජන සාමය පවත්වාගෙන යෑමට ජනමත නායකයින් පෙරට ආ යුතුය. එහෙත් මධ්‍යම පළාතේ කිසිම නායකයකු හෝ ජාතික මට්ටමේ කිසිම නායකයකු හෝ එලෙස පෙරට ආ බවක් වාර්තා නොවේ. සියම් මහ නිකායේ උභය පාර්ශ්වයන්ගේ මූලස්ථානයන් මහනුවර පිහිටා තිබුන ද උන් වහන්සේලා ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැක් වූ මැදිහත්වීම ද ප්‍රමාණවත් නොවේ. උන් වහන්සේලාට තෙල්දෙණියට වැඩම කර මීට වඩා ධනාත්මක මැදිහත්වීමක් කරන්නට ඉඩ තිබුණි. එහෙත් උන් වහන්සේලා මාධ්‍යයන්ට කරන ප්‍රකාශයන්ට පමණක් ඒ මැදිහත්වීම සීමා කළහ.
එහෙත් වාර්තාවන පරිදි කුඩා කුඩා ගම්මානයන්හි හුදකලාව සිටින ජනමත ප්‍රධානීන් දැක්වූ දායකත්වය අතිමහත් ය. ඝාතනය වූ ලොරි රථයේ රියදුරාගේ ගමේ පන්සලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඒ සම්බන්ධයෙන් දැක්වූ දායකත්වය අති මහත් බව උන් වහන්ස්සේට ගෞරව පිණිස සටහන් කර තැබිය යුතුය. එසේම මුරතවෙල ප්‍රදේශයේ තරුණ බෞද්ධ භික්ෂුවක් ද ගිහි තරුණයන් පිරිසක් සමග වාර්ගික සහයෝගීතාව සදහා කළ කෑපවීම අගය කළ යුතුය. හුදකලා පුද්ගලයන් සමාජයේ සමගිය උදෙසා කළ කැපවීම සංවිධානාත්මක මට්ටමකට වර්ධනය කර ගැනීමට හැකිවූවා නම් තත්ත්වය බැරෑරුම් නොවන්නට ඉඩ තිබුණි. එහෙත් ප්‍රධාන ජනමත නායකයන් ඊට දැක්වූ උනන්දුව අල්ප ප්‍රමාණයකි.
විශේෂයෙන් බෞද්ධ ශාසනාරක්ෂක බල මණ්ඩලවල භික්ෂූන් හා ප්‍රාදේශීය ලේකම්වරු ද රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් ද එවැනි සංවිධානාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ කර ගන්නට හැකියාව තිබේ. එහෙත් වාර්ගික හැගීමකින් ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන සමාජ විඥාණය තුළ ඔවුන් ද සිටින නිසා එවැන්නක් එතරම් සාර්ථක විය නොහැක. එහෙත් රජය මහජන මුදල් වැය කරමින් ආයතන පවත්වාගෙන යන අන්දමට අනුව ප්‍රතිපත්තිමය ලෙස එවැනි වැඩපිළිවෙලක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුය.
සංහිදියාව සම්බන්ධයෙන් අමාත්‍යංශ දෙකක් පවතී. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් නිලධාරීන් පත් කර තිබේ. විශාල ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් රජයට සිටී. රජයේ නියෝජිතයා ලෙස ප්‍රාදේශීය ලේකම්වරු සිටී. එහෙත් වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉදිරියේ රජය බාල බොළද ලෙස හැසිරේ. එසේ නම් ආණ්ඩුව තම කොන්ද කඩාගෙන සිටින බවට ඊටත් වඩා සාක්ෂි අවශ්‍ය නොවේ.
සමාජයේ අවිඥාණය බවට පත්ව ඇත්තේ වාර්ගිකහරණයකි. සිංහලබෞද්ධ ආධිපත්‍යවාදය දරන පිරිස අතිමහත් ය. ඔවුන් උත්සාහ දරන්නේ වාර්ගික හරණයකින් සිංහල බෞද්ධ සමාජයක් ඇති කර ගැනීමට ය. එහෙත් එය කිසියම්ම හෝ ක්‍රමයකින් ප්‍රායෝගික නොවේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමට ගෙනෙන බහුතර පිරිස මැද පෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ය. මැද පෙරදිග අති මහත් බහුතරය ශ්‍රී ලංකාවේ වාර්ගික හරණයක දී නිෂ්ශබ්දව නොසිටී. මේ සරළ සත්‍ය තේරුම් ගන්නට නොහැකි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිය ළදරු මානසිකත්වයකින් යුක්තය. එහෙත් එය හැකි ඉක්මනින් පරාජය කළ යුතුය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට පැහැදිලි අනාගතයක් නොමැත.
කේ.ජී. පිලිප් ශාන්ත | K. G. Philip Shantha