Colombo, end of the War, Featured Articles, Features

වසරකට පසු උතුරේ දෙමළ ජනයා


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

“ප්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි”

“යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ”

“ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා – ගෝඨාභය”

“එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකා කමිටුවට ජපානයේ සහයෝගය”

ඉහත දැක්වෙන අහඹු ලෙස තෝරා ගත් ජනමාධ්‍ය පුවත් මගින් පෙනෙන්නේ යුද්ධය අවසන් වී වසරකට පසු අපට කතාන්තර දෙවර්ගයක් අසන්නට ලැබෙන බව යි. ආණ්ඩුවෙන් අසන්නට ලැබෙන්නේ යුද්ධය අවසන් වූ නමුත් එල්ටීටීඊ ය අවසන් නැති බව යි. එබැවින් මර්ධනකාරී අණ පනත්, යුද බලය සහ ඔත්තුසේවා ශක්තිමත් කිරීම තවමත් අවශ්‍ය බව යි. ප්‍රභාකරන්ගේ ජායාරූපය පවා සළකනු ලබන්නේ අනතුරක් සහ තර්ජනයක් ලෙස ය.

අනෙක් බොහෝ පාර්ශවයන්ගෙන් අසන්නට ලැබෙන්නේ වන්නියේ යළි පදිංචි කරන ලද ජනයාගේ ජීවන තත්ත්වය ඛේදනීය බව යි. එම ජනයා යුද්ධයේ අවසන් දවස්වල මුහුණ දුන් යුද්ධමය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නිසි පිළියම් තවම යෙදී නැති බවයි. එමෙන්ම මෙම ජනයාට දකුනේ ජනයා භුක්ති විදින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වත් නැති බව යි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය මාස කිහිපය පුරා උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් මැදිහත්වීමට දරණ ලද උනන්දුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කේන්තියට හේතු වූ බව දක්නට ලැබුණි. වන්නියේ යළි පදිංචි කරන ලද ජනයා හමුවීම පිනිස ගිය ජවිපෙ නියෝජිත පිරිසට කිලිනොච්චියේ දී යුද හමුදා ප්‍රධානීන් කියා සිටියේ ඒ 9 පාරෙන් එපිටට යාමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු බව යි. ඒ නොසළකා එහි ගිය ජවිපෙ නියෝජිත පිරිස එහි ජනයා සමඟ කතා බව කිරීමෙන් පසු කියා සිටියේ සෑම පවුලකම අයෙක් යුද්ධයෙන් මරණයට පත්ව හෝ අතුරුදහන්ව හෝ ඇති බව යි.

පසුගිය 16 දින යාපනයේ පැවැති පුවත්පත් සාකච්ජාවක දී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මෙසේ කීවේ ය: “ අපට හමු වූ බොහෝ දෙනෙකු තමන්ගේ ආදරවන්තයින් මිය ගොස් ඇත් ද, අතුරුදහන්ව ඇත් ද හෝ සිරබාරයේ සිටින්නේ ද කියා දන්නේ නැත. සිය ආදරවන්තයින් සිරගතව සිටින බව දන්නා අය ඔව්නට එරෙහිව ඇති චෝදනා මොනවාදැයි දන්නේ නැත. එළෙස කඳවුරු ගත කොට ඇති අයවළුනට විරුද්ධව නීතිමය පියවර කවදා ගනු ඇත්දැයි ඔව්න් දන්නේ ද නැත. අපරාධ කර ඇති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමත් අනෙක් අය නිදහස් කිරීමත් ආණ්ඩුවේ වගකීම ය.” ආරක්ෂක ලේකම්වරයා ජවිපෙ උතුරේ ජනයා අවුස්සන බව කියා සිටියේ දෙමළ ජනයාගේ අපේක්ෂා ගැන ජනතා විමුක්ති පෙරමුණේ මෙම ප්‍රකාශයෙන් පසුව ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය මෙයට මාස දෙක තුනකට පෙර කරුණූ සහිත දීර්ඝ ප්‍රකාශයක් කරමින් නඩු නොපවරා දීර්ඝකාලයක් සිර ගත කර ඇති දෙමළ තරුණයින් පිළිබඳව ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා ය. යාපන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170ක් අතුරුදහන්ව ඇතැයි හෝ තොරතුරක් දැන ගන්නට නැතැයි එය මෑතදී ප්‍රකාශ කළේ ය. පසුගිය සතියෙහි යාපන සරසවි සිසු සිසුවියන්ට ආධාර රැගෙන ගිය අවිශිබම නියෝජිත කණ්ඩායමට යාපන සරසවියට ඇතුල් වීම ආණ්ඩුවේ බලධාරීන් විසින් තහනම් කරන ලදී. කොළඹ දිනපතා පුවත්පතක් එම සිදුවීම සහමුලින්ම විකෘති කොට වාර්තා කළේ “යාපනයේ දී අවිශිබම සිසුන්ට ප්‍රහාරයක්” යනුවෙනි.

මෙම සිදුවීම් දෙක අපට එක් කරුණක් පෙන්වා දෙයි. එනම් යුද්ධයට සිය සම්පූර්ණ සහාය දුන් ජවිපෙ වැනි දේශපාලන පක්ෂයක් පවා උතුරු දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සහ අවශ්‍යතා ගැන කටයුතු කිරීම රාජපක්ෂ ආණ්ඩුව නොරුස්සන බව යි. ඒ උතුරු දෙමළ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්ණ ප්‍රසිද්ධියට පත්වීම තර්ජනයක් ලෙස ආණ්ඩුව සළකන නිසා විය යුතු ය. වසරක් ගෙවී යෑමෙන් පසුත් උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ආණ්ඩුව සළකන්නේ මෙළෙස නම් ඉන් අදහස් වන්නේ කුමක්ද?

යාපනයෙන් සහ වන්නියෙන් ලැබෙන ආරංචිවලින් දැක්වෙන්නේ යුද්ධයෙන් පසු ප්‍රජාවක් ලෙස දෙමළ ජනයාගේ ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුව අසමත් වීම කෙරෙහි එම ජනයා එන්න එන්නම කළකෙරෙමින් සිටින බව යි. එල්ටීටීඊ ය කෙරෙහි වූ කළ කිරීම වෙනුවට දැන් එම ජනයාගේ වැඩිම කළ කිරීම ඇත්තේ ආණ්ඩුව කෙරෙහි බව පවසන පිරිස් ද සිටිති. ඔව්හු මෙයට හේතු වශයෙන් දක්වන කරුණු ගණනාවකි.

ප්‍රධාන කරුණ නම් යළි පදංචි කරන ලද ජනයාට හරියාකාර සහායක් ලබා දීමට ආණ්ඩුව දිගින් දිගටම අසමත් වීම යි. එමෙන්ම එම ජනයාගේ මියගිය, අතුරුදහන් වූ සහ අත්අඩංගුවේ සිටින නෑසියන් පිළිබඳව සොයා බැලීමට සහ යුක්තිය ඉටු කිරීමට වසරක් ඉක්ම යෑමෙන් පසුත් ආණ්ඩුව අසමත්ව සිටීම යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයකු වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරීට පවා වන්නි ජනයාගේ ඛේදනීය තත්ත්වය ගැන කතා කිරීමට සිදුව තිබෙන්නේ එනිසා ය.

තවත් ප්‍රධාන කරුණක් වන්නේ උතුර පුරා ඇති දැවැන්ත මිලිටරිකරණය යි. යුද්ධ කාලයේදීටත් වඩා දැන් එම ප්‍රදේශ මිලිටරිකරණය වී තිබේ. කවර ජනතාවක්වත් මිලිටරි පාලනයක් යටතේ ජීවත් වීමට කැමැති නැත. යුද්ධයට වසරක් පිරීම නිමිත්තෙන් මියගිය දෙමළ ජනයා වෙනුවෙන් අනුස්මරණ උත්සව සංවිධානය කළ ආගමික නායකයිනට මරණ තර්ජන පවා එක එල්ලේම කරන ලද අවස්ථා වූ බව එම ආරංචි මාර්ග සනාථ කරයි. උතුරෙහි එදිනෙදා ජීවිතය පාලනය කරනු ලබන්නේ තවමත් සන්නද්ධ හමුදා මගිනි.

තවත් එවැනිම කරුණක් වන්නේ බලහත්කාරයෙන් සිංහළ බෞද්ධ සංස්කෘතිය මෙම ජනයා මත බලයෙන් පැටවීමට දරණ උත්සාහය යි. දෙමළ වන්නියේ පාරවල් සඳහා සිංහල නම් දී තිබීම අනුමත කරන එකම දෙමළ වැසියකුවත් සිටිය හැකි ද? එම ජනයා මත බලයෙන් වෙසක් උත්සවයක් පැණවීම බුදුදහමට පමණක් නොව සාමාන්‍ය අවබෝධයටවත් ගැලපෙන්නේ නැත. කිලිනොච්චියේ ප්‍රධාන මංසන්ධියෙහි බුදු සසුන බැබලේවා යනුවෙන් ස්ථිර තොරණක් ඉදි කර තිබෙන්නේ දෙමළ ජනයා වෙනුවෙන් ද? එසේ නැත්නම් දෙමළ ජනයා මත සිංහල බෞද්ධ ආධිපත්‍ය ඇති බව පෙන්වීමට ද? ඉරණමඩු වැව ආසන්නයේ වන හින්දු කෝවිල අසළ යුද හමුදා කඳවුරක් ද, පන්සලක් ද ඉදි කිරීම දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට මඟක් ද ? සිත් පෑරවීමට මඟක් ද? බෞද්ධයින් ජීවත් නොවන මෙම දෙමළ ප්‍රදේශයන්හි පන්සල් ගොඩ නඟා බෝගස් හිඳුවීම යුද්ධමය ජයග්‍රහණය ආගමික සහ සංස්කෘතික ආධිපත්‍යයක් බවට වර්ධනය කිරීමකි. එමගින් දෙමළ ජනයා තව තවත් ඈත්වනවා මිස සංහිදියාවක් ඇති වන්නේ නැත.

යුද්ධයෙන් වසරකට පසු සිදුව ඇත්තේ උතුරෙහි දෙමළ ජනයා ශ්‍රී ලංකාණ්ඩුවෙන් තව තවත් ඈත්වීම මිස එය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීම නොවේ. ක්ෂමාලාපක වන්දිභට්ටයින් විසින් ‛විමුක්තිය ලද’ උතුරු දෙමළ ජනයාගේ ජීවිතය ගැන අලංකාර කතාන්තර ලියා පළකරනු ඇතිමුත් ඇත්ත යථාර්තය තිත්ත ය. දෙමළ ජනයාගේ සිත් සතන් තේරුම් ගෙන සැබෑ සංහිදියාවක් කරා ගමන් කිරීම අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයා සම්බන්ධයෙන් සිය ආකල්පය පාරවල් සෑදීමේ සිට සිතහැදීම කරා වෙනස් කර ගත යුතු ය. ඒ සඳහා දේශපාලන සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය ය. පෙනෙන විදියට වත්මන් පාලනයට එවැනි අවබෝධයක් හෝ අවශ්‍යතාවයක් නැත එය තවම ජීවත් වන්නේ වන්නියේ යුදබිමේ වෙඩි බෙහෙත් ගඳ උරා බොමිනි. යුද්ධ මානසිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මානසිකත්වයට මාරුවීම දුෂ්කර නමුත් සැබෑ සංහිදියාවක් සඳහා අත්‍යවශ්‍ය ය. වසරක් ගෙවුණු තැන ආණ්ඩුව ඉගෙන ගත යුතු පාඩම එය යි.

ප.ලි.

මෙම සටහන ලියන අතර තුර වාර්තාවන්නේ යුරෝපා සංගමය ජීඑස්පී සහනය තවත් මාස හයකට දිගු කිරීම පිණිස ආණ්ඩුවෙන් මානව හිමිකම් තත්ත්වය වැඩි දියණූ කිරීම පිණිස නිශ්චිත පොරොන්දු ඉල්ලා ඇති බව යි. එමෙන්ම එ.ජා. මහ ලේකම් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධ සිය විශේෂඥ මංඩලය පත් කර ඇති බව යි. මෙම කරුණූ දෙකම අපට පෙන්වන්නේ යුද්ධ ජයග්‍රහණයේ ආනුභාවය මත පමණක් රාජ්‍ය පාලනය කරගෙන යාම වත්මන් ලෝක තත්ත්වය යටතේ අප්‍රායෝගික බව යි. යුද්ධයෙන් විපතට පත් ජනයාගේ දුක්ගැනවිළි සහ ප්‍රජාතන්ත්‍රවාද විරෝධී පිළිවෙත් මගින් බැටකන සමස්ත ශ්‍රී ලාංකික ජනයාගේ ප්‍රශ්ණ ලෝක දේශපාලන තලය මත රැව් පිළි රැව් දීම වැළැක්වීමට යුද්ධ ඝෝෂා අප්‍රමාණවත් බව දැන්වත් තේරුම් ගත යුතුය.