“මට ඔබව වෙත විමුක්තිය ගෙන දිය නොහැක. එය ඔබ විසින්ම සාධනය කරගත යුතුය”. මේ චේ ගුවේරා ගේ ප්‍රකාශනයකි.
විමුක්තිය සොයා යාමේ එක් මාර්ගයක් වන්නේ, අධ්‍යාපනයයි. අධ්‍යාපනය යනු දැනුමට මාර්ගයවන අතර, දැනුම නිෂ්පාදනවන එක් අයාතනයක් නම්, විශ්ව විද්‍යාලයයි. විශ්ව විද්‍යාලය (university) යනු ලතින් භාෂාවෙන් බෙදී භාෂිතයක් වන අතර එය, ශික්ෂණය සහ පර්යේෂණය අතර එකතුවක් මගින්, අපක්ෂපාති යථාර්ථය ගවේෂණය කරනු ලබන ස්ථානයක් ලෙස හදුනා ගනී. එම ඥානය නිෂ්පාදනය කරණ ආයතනය, නිදහස් සහ ස්වායත්ත යුතුවන අතර, එය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී කරණ කරමින්, මානව සම්මතයන් ගොඩ නැගිය යුතු බවට පිළිගනී(Robert Anderson, 2010, http://www.historyandpolicy.org/policy-papers/papers/the-idea-of-a-university-today). 1963 Robbins වාර්තාව මගින්, විශ්ව විද්‍යාල ප්‍රභූ කරණයෙන් වියුක්තකිරීමට යෝජනා කරන්නේ ද, එය, මානවයා වෙනුවෙන් සමානාත්මතාවය සහිත ස්ථානයක් විය යුතු හෙයිනි (https://www.timeshighereducation.com/features/robbins-50-years-later/2008287.article). එසේම සරලව ගතහොත්, විශ්ව විද්‍යාලය යනු විශ්වීය දැනුම ගවේෂණ කරනු ලබන ආයතනයක් වන අතර, ඒ තුලට විවිධ ගෝත්‍ර සංකල්ප නොගෙනා යුතුවේ. මෙවැනි පසුබිමක, එවැනි ආයතිනක අවුරුදු 24ක සේවා කාලයක් හිමි මහා ආචාර්ය, සාලිය කුලරත්න (http://arts.pdn.ac.lk/sinhala/academic/pages/GGSKularathne.php) ලියු ලිපියක් වෙත කංචුකා ධර්මසේන ලිවූ පිළිතුරක් මා නදීකා බණ්ඩාරගේ , මුහුණු පොතෙන් සොයා ගතිමි. කංචුකා ගේ ලිපිය (https://www.lakbima.lk/index.php/විශේෂ-පුවත්/10296-පේරාදෙණි-සරසවි-මහැදුරු-සිසුවි-පෙම්කතාවට-පිළිතුරක්) කියවූ පසු මා තුල වුයේ කුතුහලය නම්, මහා ආචාර්ය කුලරත්න තුමන් ලිපියේ විෂය සහ අන්තර්ගතය කුමක ද යන්නය. මහා ආචාර්ය සාලිය කුලරත්න ගේ විෂය මාතෘකාව පේරාදෙණිය සරසවි මහ අදුරෙකුගේ සහ සරසවි සිසුවියකගේ ප්‍රේම කතාව සහ එමගින්, ස්ත්‍රී පුරුෂ භූමිකා විස්තර කිරීමය. (බලන්න)
කුලරත්න මහා ආචාර්යගේ ලිපියේ අරමුණ ලෙස ප්‍රකාශ ව තිබුනේ, සරසවි අදුරුකුගේ, ශිෂ්‍ය ප්‍රේම සංසිද්ධිය මගින් අසංවේදීව ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත්වන ඇතැම් ස්ත්‍රීන්ට තම තමන් දෙස නැවත හැරී බලන්න අවස්ථාවක් සැලසීමය. කංචුකා ද ප්‍රකාශ කර තිබු අකාරයට, මෙහි ඊනියා උගත්කම් සහිත ගැහැණිය පිලිබඳ නිර්වචනයක් නොවිය. නමුත් ඊනියා උගත් ගැහැණු ස්ත්‍රීවාදී වීම, ගැටළු කාරී බවත්, එවැනි ගැහැනුන් යශෝධරාව, පත්තිනි වැනි, කුලරත්නට අනුව, පිතෘ මුලික සමාජයේ ‘එකාකෘතිවූ’ (Stereotyped) ගැහැණුන්ගේ චරිත විවේචනය කිරීම එම, ඊනියා උගත් ස්ත්‍රීවාදිනියන්ගේ ලක්ෂණයක් බව, විෂය නිමිති වන, සරසවි අඳුරාගේ බිරියගේ චරිතය විස්තර කරමින්, පෙන්වා දීමට හෙතෙම උත්සුක වේ. එසේම, ඔහු ගේ ලිපියෙන් පහත කොටස උපුටා ගමි “ගැහැනු හා පිරිමි සමාන බවද එකම වෙනස ලිංගික වෙනස පමණකැයි ද කී මහාචාර්ය රත්නායකගේ බිරිඳ තම සැමියා නිවසට පැමිණිවිට ‘ඔයා තේ ඕන නම් කුස්සියට ගිහින් හදාගන්න’ යි ඉතා සුහදව මතක් කළාය”. මේ ප්‍රකාශයේ වන ගැටලුව කුමක්ද?
පලුමුවෙන්ම කිව යුත්තේ, යශෝධරාගේ හඬ අර්ථකථනය කලේ, බහුතරක් පිරිමි කතෘ වරුන්ය. ඇයගේ හඬවූ වේදනාව හදුනාගැනීමට, පිතෘ මුලික සමාජ ආකෘතියේ වන එම පිරිමි කතෘ වරුන්ට හැකි වුයේද? යම් දුරකට හෝ යශෝධරාවට සධාරණයක් ඉටු කල සිනමා රචනයක් වුයේ Ron Frick ගේ සම්සාරා (2011)යි https://www.youtube.com/watch?v=IvSm2Xnc_UA . විවාහ ජීවිතයෙන්, තම බිරිඳ සහ දරුවා හැර පලා යන, Tashi (පුරුෂ චරිතය) ට Prema (ස්ත්‍රී චරිතය) මෙසේ පවසයි:
“යශෝධරා, සිද්ධාර්ථ සමඟ විවාහ විය. ඇය ඔහුට ආදරය කළා. එහෙත්, එතරම් ආදරය කළ ඇයව සහ ඔවුන්ගේ දරුවා, රාහුල අත්හැර, අඩුම වශයෙන්, කිසිම දැනුම් දිමකවත් නොමැතිව, සිද්ධාර්ථ ගිහි ගෙයින් පිටව ගියා, ඒ ඔහුගේ බුදු වීම වෙනුවෙන්. ඇය, ඔහු අසනීප සිටින විට දයාව දැක්වුවා. ඔහුගේ වේදනාව එකට බෙදා ගත්තා. සිද්ධාරථ, තමන්ගේ බුදුවීම වෙනුවෙන් යශෝධරාවට ණයගැති නොමැති බව කිව නොහැක්කේ කාටද? සමහර විට, යශෝධරාවට සිද්ධාර්ථ සහ රාහුල අතහැර යාමට අවශ්‍යව පවතින්න ඇති. එහෙත් ඇයට කිසිදිනක, තම ආදරවන්තයා සහ දරුවා හැර යාමට නොහැකි වුයේ ඇය වෙත ආරෝපණය කල සමාජ වගකීම්ය. සිද්ධාර්ථ හැර ගිය පසු, ඇයගේ වේදනාව, තරහා, ජිවන අමිහිරිතා, කවුරු දනීද?” ….
මෙම යශෝධරාවට සිදුවූ අසාධාරණය, පුරුෂ මුලික දෘෂ්ටිවාදයෙන් යටපත් කර ඇතිබව, ප්‍රශ්න කිරීම මානවාදීය. එය කුලරත්න මහා ආචාර්ය වටහා ගතයුතුය . එය ඊනියා ස්ත්‍රීවාදිත්වය නොවේ, එය හදවතේ වන වේදනාවේ සහකම්පනය පිලිබඳ කරුණකි. සමහර විට යශෝධරාවට, වෙනත් ආදරයක් සොයායාමට අවැසි වුවත්, ඇයට, එදා දැඩි පුරුෂ මූලික සමාජය ඉඩ නොදෙන්න ඇති. ඇය පුරුෂ මූලික සමාජයට බියව, රාහුල සමඟ වේදනාවෙන් කාලය ගත කරන්නට ඇත. පුරුෂ මූලික සමාජ රචනා, ස්ත්‍රියව වටහා නොගන්නේ, ඇයව බලයට යටත්කරගැනීම හේතුවෙනි. අනෙක් අතට, කල්ප ගානක් පෙරුම් පුරා තමන් සමඟ බෑදී පැමිණුන, ආදරවන්තිය හැර දමා, තමාගේ සහ ලෝකයාගේ සුබසෙත වෙනුවෙන්, සිද්ධාර්ථගේ ගිහිගෙයින් පලායාම මා සදිසි කරනුයේ කුලරත්නගේ ලිපියේ වන, අදාළ සරසවි අඳුරාගේ හැසිරීම , ඔහු විසින් ‘උතුම්’ කොට සැලකීමටය.
ලිපියේ නාමිකව හදුන්වන, රත්නායක නම් සරසවි ඇදුරා ගේ බිරිය විසින්, පත්තිනි විවේචනය කිරීම ද කුලරත්නගේ දේෂ දර්ශනයට ලක්වේ. තමන් සමඟ සම්බන්දතාවක් පවතින විට, එයට ද්‍රෝහී ව වෙනත් ගැහැනියක් සමඟ බැදෙනවිට, එම පිරිමියා වෙනුවෙන් නොකා නොබී බලා සිටීමක්, කුලරත්න මහා ආචාර්ය අපේක්ෂා කරන්නේ නම්, එය හාස්‍ය ජනකය. එසේ සිටීම පත්තිනිගේ තෝරාගැනීමක් මිස, එය සියලුම ස්ත්‍රීන්වෙත පාරාරෝපනය කිරීමට උත්සහා කිරීම කිසි විටක අනුමත කළ නොහැකිය. තමාගේ සම්බන්දයට ද්‍රෝහී වන පිරිමියා වෙනුවෙන්, දේවාල ගානේ යමින්, පිහිට සෙවීම, සාදුකින් පෙලිමින් සිටීම හෝ, ඒ වෙනුවට වෙනත් පිරිමියකු හෝ පිරිමින් සමඟ ලිංගිකව හැසිරීම හෝ වෙනත් ආකාරයකින් තෝරා ගැනීමක් වෙනුවෙන් ගැහැණුට බලය සහ වරණය හිමිවිය යුතුය. එසේම, එම තෝරාගැනීම, වෙනුවෙන්, චරිත සහතික ලබාදීමට කිසිවෙකුට බලයක් නොමැත.
පිරිමි සහ ගැහැණු යනු ලිංගිකව පමණක් වෙනස් නමුත් සමාන ජීවින් කොටසකි. එවැනි ජීවින්ට තම තමන්ගේ අවශ්‍යතා ද කුටුම්බයක් තුල දී ඉටු කරගැනීමට හැකි විය යුතුය. ලිපියේ වන රත්නයක ඇදුරාට, අතපය සතර නිසි ලෙස පිහිටා ඇතිනම්, මොලය භාවිතා කර තේ කෝප්පයක් හදා ගැනීමට හැකි විය යුතුය. එසේ නොමැතිව, තේ කොප්පයටත් ස්ත්‍රී ශ්‍රමය මත යැපීම, කුලරත්න සාධාරණී කරණය කිරීම මගින් එලඹිය හැකි නිගමනය නම් රත්නායක සරසවි ඇදුරා යනු අනුන් මඟින් නඩත්තු කල යුතු පරාධීන චරිතයක් බවය.
මගේ ආනුභාවික අත්දැකීම් වලට අනුව නම්, ගෙදර දී ස්ත්‍රිය ගේ ශ්‍රමයෙන් නඩත්තුවන පුරුෂ පරානයන්, විදේශයන්හි දී, කිසි කරදරයක් නැතිව, තමන්ගේ ආහාර සකසා ගනී. නමුත්, මෙරටට පය තිබු විටම මේ චරිත, තමන්ගේ බල පරාක්‍රමය, පෞද්ගලික අවකාශය තුල සංකේතවත් කිරීමට, ස්ත්‍රිය, බත්දුන් ගෙයට සිමා කර ඇයගේ ස්වාධිනත්වය අහිමි කරමින් ගෘහස්ථ ශ්‍රමිකා වක් බවට පත් කර ගනී. එයින් නොනැවතී එම පිරිමි එය, පොදු අවකාශය වෙත ද රැගෙන එමින්, එහි වන ස්ත්‍රීන් ද යටත්කිරීමට ලක් කරයි.
ලිපියේ ප්‍රවේශයේදී, මා ප්‍රකාශ කළ ආකාරයටම, විශ්ව විද්‍යාලය යනු, විශ්වීය දැනීම ගවේෂණය කරන ස්ථානයකි. එහිදී, ශිෂ්‍ය- ශිෂ්‍යාවන් යනු ආචාර්යවරුන්ගේ, කණගාටුව, දුක සැප සොයා ඔවුන්ව ආහාර හෝ ලිංගික සේවා සපයා පෝෂණය කරණ ස්ථානයක් නොවේ. ලිපියේ විෂය වන අාචාර්යවරයා, ඔහුගේ වෘත්තීය ආචාර ධර්ම ද උල්ලංඝනය කර ඇත. එනම්, මහජන මුදලින් නඩත්තුවන අධ්‍යන ආයතනයක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක මගින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමය. එය ශිෂ්‍යාවගේ එකගත්වය මත සිදුවූ ද නොවුව ද, මෙය තද බල ලෙස ආයතනික අචාරධර්ම සහ නීති උල්ලංඝනය කිරීමකි. යම් අවස්ථාවක, මෙකි ශිෂ්‍යාව, අදාළ ඇදුරාගේ, යම් විෂය පාඨමාලාවක් හදාරයි නම්, මෙම සම්බන්දය ඇයගේ ප්‍රතිපල වෙනුවෙන් අනුග්‍රහයක් වන අතර, මෙවැනි සම්බන්ද ප්‍රතික්ෂේප කරනු ලබන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආචාර්යවරුන්ගේ බලයේ වින්දිතයන් වනු ඇත. මහජන මුදලින් නඩත්තුවන ආයතනයක් තුල, පුද්ගලික සම්බන්දතා හේතුවෙන්, මෙවැනි අගතීන් සිදුවීමට කිසිදු ඉඩක් නොදීය යුතුය. ගෙදරින් කෑම නොලබෙනම්, මා දැනුවත්ව, පේරාදෙණි විශ්ව විද්‍යාලය තුළ ආහාර ලබා ගැනීමට ආපන ශාලාවන පවතින බව, 24 වසරක විශ්ව විද්‍යාල සේවයක් සහිත කුලරත්න මහා ආචාර්යවරයා නොදැන සිටීද?
කෙසේ නමුත් කුලරත්නගේ එක් ප්‍රකාශනයක් සමඟ මම එකඟ වෙමි. එනම්, ප්‍රචන්ඩත්වය, කිසිදු ගැටලුවකට පිළිතුරක් නොවන බවය. ලිපියේ විෂය වන සරසවි ඇදුරාගේ බිරිය, යම් ප්‍රචණ්ඩත්වයක්, අදාළ ශිෂ්‍යාව වෙත මුදා හැරී බවට සාක්ෂි ඉදිරිපත් වන්නේ නම්, එයට විරුද්ධව පියවර ගැනීම අනිවාර්යෙන්ම සිදු කල යුතුය.
කුලරත්න මහා අචාර්ය මෙන්ම, බහුතරක් දුපත් වාසි පිරිමි සහ පිතෘ මුලික හැසිරීම් අනුමත කරන ස්ත්‍රීන් ද, නියම ස්ත්‍රියක් ලෙස හදුනාගනු ලබන්නේ, තම පුරුෂ මූලික බලයට අභියෝග නොකරන සහ එම බලය පිළිගෙන, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එයට යටත්වන ස්ත්‍රීන්ය. එසේ නොවන සියලු ස්ත්‍රීන්, ඊනියා ස්ත්‍රී වාදීන්ය. මෙහි බරපතලම අවස්ථාව නම්, අපක්ෂපාති, තාර්කික දැනුම නිෂ්පදනය වෙනුවෙන් වන විශ්ව විද්‍යාල මෙම, ප්‍රථමික, අශිෂ්ට, ගෝත්‍රික කියවීම්, ඥානමිමංසා වන් ලෙස දක්වමින්, එය සත්‍ය බව, විමුක්තිය වෙනුවෙන් වන අධ්‍යාපනය හරහා සමාජ ගත කිරීමය. තම ලිංගික අනෙකාව යටපත්කිරීම අනුමත කරන සහ එසේ කරන පිතෘ මුලික බල නියෝජිතයන් ගේ ඊලග ඉලක්කය වන්නේ, වාර්ගික, ආගමික, කුල හෝ වෙනත් සමාජ ගොඩනැගීමක වන තම අනෙකාව පීඩනයට පත් කිරීම සහ බලයට යටපත් කිරීමය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම දැකිය හැකි අශිෂ්ටාචාර දේශපාලනයයි.
කුලරත්න මහා ඇදුරුතුමනි, ලිංගිකත්වය ස්වභාවික නිර්මාණයකි. එය මත සමාජය විසින් ගොඩනැගු කාරණය නම්, පුමිතිරිභාවය / ස්ත්‍රී පුරුෂ සමාජ භාවය (GENDER)වේ. ඔබ දකින සංවේදී ස්ත්‍රිය එම පුමිතිරිභාවය මගින් තීරණය කල අයෙකි. එය, මානව සංවේදීතාව නොව, ඔබ වැනි පුරුෂ මුලික බල කතෘවරු විසින්, බලහත්කාරයෙන් ස්ත්‍රීන් වෙත කළ පැවරුමක් පමණි. එම බලහත්කාර පැවරුම අහෝසි කිරීමට, මේ මොහොතේ දී, පේරාදෙණිය ද ඇතුළුව බොහෝ විශ්ව විද්‍යාලයන් හි පුරුෂ සහ ස්ත්‍රී ආචාර්ය- මහාචාර්ය වරුන් පෙළගැසෙමින් සිටි. ඔබට ද එම අවකාශය විවෘතය.
අරුණි සමරකෝන් | Aruni Samarakoon