කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි.
එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසයභංගයක් ගෙන ඒමයි. ඒ පිළිබදව අදහස් දැක්වූ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ ‘එයට සම්පූර්ණයෙන්ම විරෝධය දැක්විය යුතුයි’ යනුවෙනි.
අගමැතිට එරෙහි විශ්වාසභංගය භංග වූ වහාම
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආ ‘ඒකාබඩ්ඩ විපස්සය’ එයින් පැරදී ගියේ පසුගිය අප්‍රේල් 4වනදාය. අගමැතිවරයා හෝ යහපාලනය පිළිබදව වන තත්ත්වය පිළිබද සතුටුදායක තත්ත්වයක ලියුම්කරු නොපවතිනමුත් ‘‘ඒකාබඩ්ඩ විපස්සය’ මෙවැනි නාටකයන් රග දක්වන්නේ ඇයි යන්න පොදු පුරවැසියාට නොතේරෙන්නේ නැත.
ඉන් එකක් නම් රාජපක්ෂලා ප්රමුඛ නඩයට එරෙහි මේ වන විට එල්ලවී ඇති දූෂණ චෝදනාවලින් කිසියම් දුරකට හෝ කල් මැරීමක්, එසේත් නැතිනම් ඒවාට ඇති වලංගුබාවය දුර්වල කිරීමක් ප්‍රමුඛය. ඒත් සමගම විශ්වාසභංගය පැවති අවස්ථාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ පක්ෂයේ හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබද ජනාධිපතිවරයා උපුටා දක්වමින් නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතාගේ කටින් පැනපු සත්‍ය සැගවීමට උත්සහ කළ කතාව යළි ඇසීමට යෝජනා කරමි. එසේම විශ්වාසභංගය පිළිබද පැවති විවාදයේදී, පාර්ලිමේන්තු මංත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ හරබර කතාවත් යළි ඇසීම වැදගත් යැයි හැගෙන්නේ ජනාධිපතිවරයා, ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික ගැටලුව මෙන්ම සිංහල නොවන ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණයේ තවත් මානයක් තේරුම් ගැනීමට එය පාලමක් යෝජනා කරන බැවිනි.
කෙසේ නමුත් පැවති විශ්වාසභංගය ගැන මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය දිනක මෙසේ ලියා තිබිණි.
‘……විශ්වාස භංගය ගෙනා ඒකාබද්ධයට වැඩි පරාජයක් සිරිසේන ලැබුවේය. එය පසුපසින් සිට නොව, ඉදිරියෙන්ම සිට එම විශ්වාස භංගය මෑනුවේ ඔහුය. ඒ අනුව, එක්තරා අර්ථයකින් ලී කොටය උඩ තිබුණේ ඔහුගේ මිස රනිල්ගේ හිස නොවේ. එය දැන් සිඳී ගොසිනි. සිරිසේන ඔල්මාද ගතියකින් පෙලෙන සෙයකි. හිස සුන් කුකුළෙකු සේ ඔහු දඟලයි. එහෙත් ඒ පිස්සුවට තර්කයක් තිබේ. ඇස්පනාපිට ඇති දෙය අප එයාකාරයෙන් දැකිය යුතුය. මීදුම් පටලයේ සහ දූෂිත වා ගැබ අරක්ගත් එවුන් සමග ඇතිකර ගත් තීන්දුවක් මත ඔහු තමන්ගේ කොටස ඉටු කෙළේය. ‘දෙමළ ජාතික සන්ධානය’ සමග ‘ගේම් ගහන්න එපා’ යැයි කී ජාතිවාදී කුණකටුවා කවුද ?’
එය යළි යළි කියවා ගැනීම ද මේ මොහොතේ වැදගත්ය.
එසේ යළිත් සිහිපත් කර ගැනීම වැදගත් වන්නේ ගෙන එන බවට පැවසෙන විශ්වාසබංගය, දෙ.ජා.ස නියෝජනය කරන, ආර්. සම්බන්දන් විපක්ෂනායකවරයාට වීම නිසාය.
සම්බන්ධන් සහ 2015 ජනවාරි 8
දෙමළ ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ ආර්. සම්බන්ධන් යනු පුළුල් දේශපාලන දැක්මක් ඇති පිළිගත් දේශපාලනඥයකි. එසේම ආර්. සම්බන්ධන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්කර ගැනීමට හැකි වීම ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ඊටත් වඩා වටිනාකමක් එක් කළ සළකුණක් විය.
ඒ මක්නිසාද? ඒ අන් කිසිවක් නිසා නොව, ලංකාවේ කේන්ද්‍රීය ගැටලුවක් වන ‘ජාතික ගැටලුව’ සදහා දේශපාලන විසදුමක් සියලු දෙනා එක්ව සොයාගැනීම සදහා පළමුව බිදී ගිය විශ්වාසය යළි තහවරු කිරීම ප්රමුඛ කරුණක් වන නිසාය. එය සරලව කිවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන භුමිකාවකට දෙමළ ජාතිකයෙක් පත්කර ගැනීම එතෙක් පීඩාවට පත්කර සිටි දෙමළ ජනයාට බලාපොරොත්තුවක් ඇති කරන්නක් වීමය.(නමුත් එය තවමත් ප්‍රායෝගික වූවාද නැතිද යන්න වෙනම විමසිය යුතු කරුණකි)
ප්‍රධානම කරුණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන භුමිකාවන්,‘සිංහල බෞද්ධ’ අධිපති ධාරාව පමණක් නියෝජනය කරමින් සිටි වකවානුවන සම්බන්ධන් විපක්ෂනායක කරගැනීමට හැකිවීම ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සුභදායක ලකුණක් එක් කළේය. එය අනෙක් පැත්තෙන් ‘මේ රට සිංහලයන්ගේ පමණයි’ යන ගෝත්‍රික මතවාදයන් උස්සගන කෑ මොර දෙන කහ සිවුරුකාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දෙනු ලැබූ පිළිතුරකි.
අනෙක් පසින් සිංහල නොවන ජනයාට ප්රජාතන්ත්රවාදය පිළිබද නව බලාපොරොත්තු ඇති කරන ලද්දකි.
නමුත්, ‘ඒකාබඩ්ඩ විපස්සය’ සහ එහි සිටින ජාතිවාදීන් එදා සිට කුරුමානම් ඇල්ලුවේ මේ ප්රජාතන්ත්රවාදී පියවර විනාශ කිරීම සදහාය. නමුත් වසර 3කත් යන තුරු විවිද උප්පරවැට්ටි දැමුවාට එය විනාශ කිරීමට පුලුවන් කමක් ලැබුණේ නැති වුවත් 2015 ජනවාරියේ ‘යහපාලනයට’ ඡන්දය දුන් දෙමළ, මුස්ලිම් ඇතුලු ජනතාවගේ මූලික අපේක්ෂාවන් බොහෝමයක් ඉටු කිරීමට යහපාලනය සමත් වූයේ නැත. එයින් දැන් ඕනෑවටත් වඩා සතුටු වන්නේ අන් කිසිවෙක් නොව, රාජපක්ෂලා ප්රමුඛ නඩය ය.
නමුත් දැන් එක් විශ්වාසභංගයක් පරාද වුවත් තවත් විශ්වාසභංගයක් ගෙන එමින් එය යළි උරගා බැලීමට මේ නරුම දේශපාපලකයන් උනන්දු වනු පෙනේ. එයට කිසියම් ආශිර්වාදයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් පෙනෙන්නට නැතත්, ඔහුගේ හැසිරීමෙන් කිසියම් ඉගි දල්වනු පෙනෙන බවක් දක්නට තිබේ. එය අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගයේදී මෙන්ම පැවති පළාත් පාලන ඡන්දවීමසීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඔහුට ‘පොදු අපේක්ෂක’ තත්ත්වය අමතක කර දමා, ‘යහපාලන’ ආණ්ඩුවේ එකගතාවයන්ද පසෙකට දමා ජාතිවාදීන් සමග ඇවිද ගොසින් ගොඨා හුරතල් කිරීමට පෙළබී ඇති බව පෙනෙන්නට තිබේ.
මෙය එක් පැත්තකින් ‘නරුම’ ඒකාබඩ්ඩ විපස්සයේ ඩීල් දේශපාලනයට මෙන්ම කොක්කෙන් හෝ කෙක්කෙන් ආණ්ඩු බලය ලබා ගන්නට කැස කවන රාජපක්ෂලාට අනියමින් මෙන්ම විටක සෘජුවම ආශිර්වාදයකි. නමුත් මේ අශිර්වාදය අනාගත ලංකාවට නම් ඛේදවාකචයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
යළිත් හැරවිය නොහැකි ලෙස පසුපසට?
කිසියම් අන්දමකින් ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය මේ වසර 3 තුළ යම් හෝ ප්රගතිශීලි දේවල් කුඩා ප්‍රමාණයක් හෝ දිනා සිටියත් වැඩක් වන්නේ නැත.
යුද්ධය සමයේ අතුරුදහන් වූවන් ඉල්ලා උපවාස කරන දෙමාපියන්ට තවමත් යුක්තිය ඉටුවී නැති, මිනිසුන්ගේ ඉඩම්වලින් තවමත් හමුදාව ඉවත්ව නැති, උතුර හමුදකරනයෙන් මුදවාලන්නනට වන උතුරේ මිනිසුන්ගේ ඉල්ලීමට තවමත් යුක්තිය ඉටු වී නැති, උතුරේ සිදුකල ජනමාධ්‍ය මර්දනයට වගකිව යුත්තන් තවමත් නීතිය හමුවට පැමිණවීමට නොහැකි තත්ත්වයක් තුළ දෙමළ ජනයා සිටින්නේ බලාපොරොත්තු සුන්වූ තත්ත්වයක බව අමුතුවෙන් ලියා තැබිය යුතු නැත. වෙඩි හඩ නොඇසුනාට තවමත් ඔවුන් සිටින්නේ පීඩාකාරී තත්ත්වයකින් බව නාගදීපෙ යන උපාසක උපාසිකාවන්ට පෙනෙන්නේ නැති වුවත් යථාර්ථය නම් ඔවුන් සිටින්නේ පීඩාවකිනි.
‘යහපාලන ආණ්ඩුව පත් වුනාම අපි සතුටු උනා. අපිට මොනව හරි හොදක් වෙයි කියලා, ඒත් අද අපිට උනේ අපේ මැරුණ අය සිහිකරන කොට ඔවුන් උසාවි ගිහින් ඒවා කරන්න එපා කියලා අධිකරණ නියෝග ගන්නවා. අපිට දුකයි’ 2017 මැයි මස 18වනදා මුල්ලිවෛක්කාල්වල මරා දැමූ මිනිසුන් සිහිකිරීම වලක්වමින් මුලතිව් පොලීසිය අධිකරණ නියෝගයක් ගත් අවස්ථාවේ එහි සිටි තරුණයෙක් කීවේ එළෙසිනි. තවත් උදාහරන ඕනෑ තර්ම් තිබේ.
දැන් පාර්ලිමේන්තුවේ සිටින ඔවුන්ගේ ප්‍රධාන නියෝජිතයාට එරෙහිව, දකුණේ මංත්‍රීවරු විශ්වාසභංගයක් ඉදිරිපත් කළහොත් ඔවුන් සිතන දෙය කුමක් විය හැකිද? උතුරේ මිනිසාට විශ්වාසයේ දෑත් දිගු කර ගන්නට බැරිව සිටින දකුණේ මිනිසා මෙසේ කරන විට මේ දකුණේ මෙම ‘නරුම තක්කඩියන්ට’ උතුරේ දෙමළාගේ සිතිවිලි වැදගත් වන්නේ නැති බව හුස්ම ගන්නා මිනිසුන් නොදන්නේ නොවේ.
එහෙත් දැන්වත් මේ පොළොව සුවපත් කළ යුතුය. යුද උන්මත්තකයින් සහ ජාතිවාදීන් ගිණිතැබූ මේ පොළොව දැන්වත් සුවපත් කළ යුතුය. මේ පොළොවේ මිනිසුන් සුවපත් කල යුතුය. ඔවුන්ට නිදහසේ ඉන්නට පරිසරය සකස් කළ යුතුය. අවම තරමින් ඔවුන්ට ඔවුන් වෙන්නට ඉඩ දිය යුතුය.
එබැවින් එවැනි නරුම නාටකයන් උපන්ගෙයිම විනාශ කිරීම පුරවැසියන්ගේ මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජාතිවාදයට විරුද්ධ ඉතිරි වී ඇති පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ වගකීමක් වන්නේය.
තවද ජනවාරි 8 වෙනසට උර දුන් සිවිල් සංවිධාන වල ද ප්රමුඛ වගකීමක් වන්නේ එවන් තත්ත්වයකට පත්වීම වැලැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීමය.