end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ යුද මානසිකත්වයෙන් ඔබ්බට

ගිය අවුරුද්දේ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ලද මිලිටරි පරාජයත් සමග ඇති වුණු ප්‍රමෝදය නිම වන්නට ආසන්න ය. නව උනන්දු වීම් හමුවේ පැරණි උනන්දු වීම් පසු බැස යයි. යුද්ධය අවසන් වී වසරකට පසුව ජනයාට පොර බදන්නට සිදු වී තිබෙන්නේ, සිය ගෙවල්වල ලිප ගිනි අඛණ්ඩව දල්වා තබා ගන්නේ කෙසේ ද යන්නත් ඇතුළු වෙනස් යථාර්ථයන් සමග ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂත්, ආණ්ඩුවත් තේරී පත් වුණේ ‛කළගුණ සැලකීමේ ඡන්දයකිනි.’ එනම්, විමුක්ති කොටි මිලිටරිමය වශයෙන් කුඩු කර දැමීමට දේශපාලන නායකත්වය සැපයීම වෙනුවෙන් මහජනයා ලබා දුන් අතිමහත් ඡන්දයකිනි. ජනාධිපති රාජපක්ෂ සහ ආණ්ඩුව පශ්චාත් යුද අවශ්‍යතාව ලෙස දකින්නේ ගිය අවුරුද්දේ සුන්බුන්වලින් ඔබ්බට යමින් මිලියන 22ක් වන ශ්‍රී ලාංකික ජනයාගේ ජීවිත යළි ගොඩ නැගීම පිළිබඳ කරුණ යි.

යුද්ධය දිනීම දුෂ්කර කටයුත්තක් විණි නම්, මෙම රට පශ්චාත් යුද්ධයේ සිට පෙර නොඇසූ විරූ ජයග්‍රහණ කරා මෙහෙයවීමත් එම ජයග්‍රහණ මුළුමනින් ම මුදුන් පමුණුවා ගැනීමත් ඊට වඩා විශාල අභියෝගයක් බව ඔප්පු වනු ඇත. මෙම ජයග්‍රහණ මුදුන් පමුණුවා ගැනීම සඳහා ශ්‍රී ලාංකික සමාජය දැඩි ලෙස ඇළලී ගොස් තිබෙන යුද මානසිකත්වයෙන් ඔබ්බට යාම සඳහා සාමූහික සහ සහයෝගී ප්‍රයත්නයක් දැරිය යුතු ය.
බලයේ සිටින ජනාධිපතිවරයා මෙම වසරේ තීරණාත්මක මැතිවරණ දෙකකට තරඟ වැදී ජය ගත්තේ ය. එහෙත් එම ජයග්‍රහණ පදනම් වී තිබුණේ, දූරදර්ශී දේශපාලනික තෝරා ගැනීමක් කරනවාට වඩා ‛මහජනයා සිය කළගුණ සැලකීම ප්‍රදර්ශනය කිරීමක්’ (සමහරු මෙය දාසභාවය හැටියට ද අර්ථ දක්වති) කරනු ඇතැයි යන අනුමානය මත ය. එනම්, චිත්තවේග මත පදනම්ව කළ අනුමානයක් උඩ ය. ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයන්ගේ තැතිගත් ස්වභාවයෙන් පෙන්නුම් කෙරුණේ ද කළගුණ සැලකීම ප්‍රකාශයට පත් විය හැක්කේ කවර වන්දියක් ගෙවීමෙන් ද යන්න යි. එහෙත් එය වෙන ම ම සාකච්ඡාවට ගත යුතු වෙනස් මාතෘකාවක් වේ.

ආර්ථික-සාමාජීයව මෙන්ම දේශපාලනිකව මිල අධික වූ යුද්ධයක් අවසන් කිරීම දුෂ්කර කටයුත්තක් බව සතයය. එහෙත් වසරක් ගෙවුණු තැන ප්‍රශ්නය බවට පත් වී තිබෙන්නේ තව දුරටත් ජයග්‍රහණ යේ කීර්තිය මත විවේක සුවයෙන් සිටිම නොවේ, කලයුතු වන්නේ වත්මන් දේශපාලන මුඩු බිමෙන් ඔබ්බට ශ්‍රී ලංකාව රැගෙන යා හැකි වඩා ප්‍රගතිශීලී සූත්‍රයක් නිර්මාණය කර ගැනීම යි.

ආර්ථිකය සම්බන්ධයෙන් වඩා මූලෝපායාත්මක වුණු කළමනාකරුවන්ගේ එම වැඩි මූලෝපායාත්මක බව නිසාම, ඔවුන්ගෙන් යුද්ධ දිනූ නායකයන් ඉවතට තල්ලු වුණු අවස්ථා පිළිබඳ උදාහරණවලින් ඉතිහාසය පොහොසත් ය. එහෙත් එල්ටීටීඊය මුලිනුපුටා දැමීමේ කර්තව්‍යය රාජපක්ෂ පාලනයට භාර දී තිබුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල බහුතරයක් – මේ වතාවේ දී නම් ආර්ථික සමෘද්ධිය උදෙසා කරන්නට යන වෙනස් යුද්ධයක පෙරමුණ ගැනීම සඳහා – ඔවුන් යළි බලයෙහි පිහිටුවූහ.

‛අපි ආර්ථික දියුණුව සඳහා උදාර සැලසුම් සකස් කරන ගමන් මලයාසියානු සහ සිංගප්පූරු ආර්ථික ආකෘති, ඒ තුළට උකහා ගන්නට උත්සාහ දරමින් සිටිමු.’ යන්න් ප්‍රකාශිතය. එහෙත් එම උත්සාහය තුළ මෙම සමාජය නිර්මාණය කිරීමට සහ පෝෂණය කිරීමට පදනම වුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනතුරෙහි හෙළීමේ අභිප්‍රායක් පවතින බව එළිදරව් වීම සෘණාත්මක කරුණකි.

2010 මැයි මාසයෙන් යුද්ධය අවසන් වෙයි, දැනුම් දීමකින් තොරව රටේ න්‍යාය පත්‍රය සංශෝධනය කරන්නට වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තිබුණු හැකියාවත් මහජනයාගේ සිත් තුළට බිය කාන්දු කරමින් පුපුරා ගිය බෝම්බත් දැන් ඉතිහාසයට අයත් කරුණු ය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පවතින සැබෑ අභියෝගය නම් මෙම රට, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා සංක්‍රමණය වන බව සහතික කිරීම යි.
එපමණක් ද නො වේ. එල්ටීටීඊය නැති තත්ත්වය තුළ, ගැටුමට පදනම් වුණු මූලික හේතූන් සමග පොර බැදීමේ දී දෙමළ නායකත්වය වඩා ඵලදායී දේශපාලන කේවෙලකට එකඟ කරවා ගත හැකි අද්විතීය අවස්ථාවක් ද ආණ්ඩුව හමුවේ පවතී. දෙමළ දේශපාලන නායකත්වයේ සැර බාල වී සහ එය කෑලිවලට කැඩී ගොස් ඇත. එබැවින්, ඇතැම් සටන්කාමී කණ්ඩායම්වල ග්‍රහණයට හසු වී බහුතරයේ පිළිගැනීමට ලක් නොවිය හැකි සීමාන්තික ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා සිරකරුවන් මෙන් ඔවුන් ක්‍රියා කිරීමට පවතින ඉඩකඩ අඩු ය. එහෙත්, මෙම අතිශය වැදගත් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව උදාසීන ලෙස නිහඬව සිටී.

ප්‍රචණ්ඩ ගැටුම යළි මතු වී ඒමට පවතින ඉඩකඩ ද ඇතුළුව පුරවැසියන් කරන ඇතැම් සලකා බැලීම් පශ්චාත් යුද විශ්ලේෂණයක දී සටහන් කර ගැනීම උචිත ය. සැලකිය යුතු මට්ටමකින් ආධාර නොලැබීම ද (ලහි ලහියේ ජී.එස්.පී.+ පහසුකම සුරක්ෂිත කර ගන්නට තිරයෙන් පිටුපස සාකච්ඡා පැවැත්වෙන්නේ මේ නිසා ය) නොතකා රාජපක්ෂ තන්ත්‍රය සංවර්ධන පරිශ්‍රමය කෙරෙහි මුළුමනින් ම යොමු වී සිටින බවක් පෙනී යයි.
එහෙත් දශක තුනක යුද්ධයකින් පීඩා විඳි රටක් තුළ සමාජ-දේශපාලනික සංක්‍රමණය සම්පූර්ණ කිරීම සඳහා කළ යුතුව තිබෙන දෙය කෙරෙහි, එනම් ගැටුමට පදනම් වුණු මූලික හේතුව කෙරෙහි අවධානය යොමු කිරීමට කැප වීමක් පෙනෙන තෙක්මානයක වත් දක්නට නැත.
ආරම්භයක් වශයෙන්, චණ්ඩ භාවය අඩු කිරීමත් හමුදා ඉවත් කර ගැනීමත් සහතික කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු ය. එය නීතියේ පාලනය මුල් බැස ගැනීමට උදව් වනු ඇත. මේ සම්බන්ධයෙන් දැවැන්ත සම්මුති ගසා ගැනීම් සිදු වුණු බව සැබෑවකි. එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ (පී.ටී.ඒ.) සහ මහජන ආරක්ෂක පණතේ (පී.එස්.ඕ.) නියෝගවලින් අනෙක් බොහෝ නීති නිෂ්ප්‍රභ වුණු බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

එකම සාධාරණ දෙය වන්නේ, වැඩි වශයෙන්ම දහස් ගණනක් දෙනා තවමත් අවතැන් වූවන්ගේ කඳවුරු තුළ තෙරපී සිටියි. එය වෙනස් යහපත් අතට වෙනස් කිරිමට ආන්ඩුව පියවර ගතයුතුවා මෙන්ම, උතුරෙහි සහ නැගෙනහිරෙහි පුරවැසියාට සාමාන්‍ය තත්ත්වය අත්විඳීමට ඉඩ සලසා දීමත් ප්‍රමුඛ කාරණාවක් වෙයි. සාමාන්‍ය තත්ත්වයේ දී ආරම්භය සිදු විය හැක්කේ චණ්ඩතාව අඩු කිරීම සහ හමුදා ඉවත් කර ගැනීම සඳහා ආණ්ඩුව බැරෑරුම් ලෙස කැප වන බව පෙන්නුම් කළ හොත් පමණකි – එහෙත් එවන් පියවරක් තවමත් පෙනෙන තෙක් මානයකවත් නැත.
යුද්ධය ඵලදායී ආකාරයෙන් මෙම රට ‛ජාතික ආරක්ෂාව’ සහිත තත්ත්වයකට පත් කළ බවත්, විමුක්ති කොටින් මිලිටරිමය වශයෙන් පරාජය කිරීම ඉෂ්ටකර ගැනුණේ දැවැන්ත මානව සහ මූල්‍යමය වියදමක් දරමින් ය යන්නත් අමතක වන්නට ඉඩ නොදිය යුතු ය. මෙම ක්‍රියාවලිය තුළ දී යහපාලනයට සහ සිවිල් නිදහසට තදබල පහරවල් එල්ල විය. එහෙත්, නරකම පහරවල් එල්ල වුණු අවස්ථාවල දී පවා ඒවා අතිශය තාවකාලික තත්ත්වයක් පමණක් විය යුතුව තිබිණ.

දකුණු අප්‍රිකාවෙහි පිහිටුවුණු “සත්‍යය සහ සමගි සන්ධානය පිළිබඳ කොමිසමට” සමාන කොමිසමක් පත් කිරීමට යන බව අසන්නට ලැබීම සතුටුදායක වෙනසකි. එනමුත්, ප්‍රධාන විධායකයාම දේශප්‍රේමියා කවුරුන් ද දේශද්‍රෝහියා කවුරුන් ද යන්න අර්ථ දක්වන රටක දී එවැනි ප්‍රයත්නයකින ලැබෙන ප්‍රතිඵල නිරර්ථක බව ඔප්පු වනු ඇත. එනම්, පුරවැසියන් ක්‍රමයෙන් පුළුල් කඳවුරු දෙකකට බෙදී යනු ඇත. එබැවින් මෙය ජනවාර්ගික හිත් රිදීම් සුවපත් කර සමෝධානය ප්‍රවර්ධනය කරන සූත්‍රයක් නොවනවාට සැකයක් නැත.

සැබවින් ම, මේ මාසයේ දී ධනාත්මක වර්ධනයන් දෙකක් සිදු වී ඇත. ආණ්ඩුව මහජන ආරක්ෂක පණත යටතේ පැනවුණු හදිසි නීති සම්බන්ධයෙන් ඵලදායී සංශෝධන දෙකක් හඳුන්වා දුන්නේ ය. එමෙන් ම, මැයි 3 දා ජාත්‍යන්තර පුවත්පත් නිදහස් දිනයට සමගාමීව, බන්ධනාගාරගත කර සිටි පුවත්පත් කලාවේදී ජේ.එස්. තිස්සනායගම්ට ජනාධිපති සමාවක් පිරිනැමිණ. එහෙත් තවමත් මෙම පියවරයන් දෙකෙහි පවත්නේ සංකේතාත්මක වටිනාකමක් පමණකි. හමුදා ඉවත්කර ගැනීමේ සහ සාමාන්‍ය තත්ත්වයක් පිළිබඳ වඩා පැහැදිලි සලකුණු අත්දැකීමේ අවශ්‍යතාවෙන් පෙළෙන රටකට ඒවා පෙනෙනු ඇත්තේ අතිශය ස්වල්ප දේ හැටියට ය.

අධිආරක්ෂක කලාප ඉවත් කිරීමේ සිට අභ්‍යන්තරව අවතැන් වූවන් වහාම යළි පදිංචි කිරීම දක්වා, රැකියා දහස් ගණනක් ඇති කිරීම දක්වා, දූෂණය වැළැක්වීම දක්වා වූ ප්‍රතිඥාවලින් මැතිවරණ ව්‍යාපාර පිරීතිරී තිබුණු මුත්, ඒවා තවමත් හුදු මැතිවරණ පොරොන්දු ලෙසම පවතී. යුද්ධය උත්කර්ෂයට නැංවූ මෙම වේදිකාවල දී, ගැටුමට පදනම් වුණු මූලික හේතූන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතු කෙරුණේවත් නැති බව සඳහන් කිරීම උචිත ය. මෙම රට ජාතික ආරක්ෂාව සහිත තත්ත්වයක සිට පශ්චාත් යුද, දියුණුව කරා යන සහ දේශපාලනිකව පරිණත රටක් දක්වා සංක්‍රමණය වීම සම්පූර්ණ කිරීමෙහි ලා එම හේතූන් කෙරෙහි අවධානය යොමු කිරීම ඒ තරමට ම වැදගත් ය.
එහෙත් ඉසිලිය නොහැකි යුද්ධය, ඉතිහාසයට භාර වීමත් සමඟ, රට සංවර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අද්විතීය අවස්ථාවක් පිළිගැන්වී ඇත. මේ සඳහා මූලෝපායක් සහ දේශපාලන පරිණතකමක් අවශ්‍ය ය. 2009 මැයි මාසයේ දී ප්‍රමුඛතාව වූයේ පරම අවසානයක් දක්වා යුද්ධය කර ගෙන යාම නම්, වසරකට පසුව ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනවාර්ගික සමෝධානයට යි. ඒ හරහා දිවයින තුළ සාමාන්‍ය තත්ත්වය යළි ඇති කිරීමේ කර්තව්‍යයට යි. ජාතිය ගොඩ නැගීමේ ප්‍රයත්නය වැඩි දියුණු කළ හැකි වන්නේ මෙම ක්ෂේත්‍රවල දී දරනු ලබන දැවැන්ත ප්‍රයත්නවලින් පමණකි.

ශ්‍රී ලාංකික විරුද්ධ පාර්ශ්වය බොහෝ ආකාරවලින් සැබෑ ලෙසම දුර්වල වී පවතී. ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ චෝදනා මත පොදු විපක්ෂයේ අපේක්ෂක විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා යුද්ධාධිකරණයක් හමුවට පමුණුවා තිබීම, ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික විරුද්ධ පාර්ශ්වය සමඟ ගනුදෙනු කිරීමේ දී බුරුම ආකෘතියෙන් ඈත් නොවන බවට දී ඇති පැහැදිලි පණිවුඩයකි. කැබලිවලට කැඩී ගිය එක්සත් ජාතික පක්ෂය (එජාප) වඩා හොඳ යැයි කියන්නට තරම් දෙයක් නැත. නොකියා නොහැකි දෙය නම්, එජාපයේ නායකත්ව අර්බුදය දිගින් දිගටම පැවත යාමෙන් සිදු වන්නේ බලය තමන් අත ගොනුකර ගැනීමට තලු මරමින් සිටින ආණ්ඩුවක් තව තවත් ශක්තිමත් වීම පමණක් බව යි.

තාවකාලික ජනකාන්ත රැල්ලක් මත නැගී යන ගමන් ම, ආණ්ඩුව දිගින් දිගටම මාධ්‍යයට එරෙහිව වෙනම යුද්ධයක් ද කර ගෙන යයි. එක් මාධ්‍යවේදියෙකුට ජනාධිපති සමාවක් පිරිනැමීම අතිශය සතුටුදායක පියවරක් වුවත්, තනි තනි පුවත්පත් කලාවේදීන් සහ මාධ්‍ය ආයතන දිගින් දිගටම ප්‍රහාර අත්දකිමින් සිටින්නේ ය යන යථාර්ථය වසං කරන්නට ඊට නොහැකි ය. පශ්චාත් යුද්ධයේ දී, ඇතැම් මාධ්‍යවලට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ප්‍රහාර එල්ලවන තතු යටතේ තමන්ට තාවකාලිකව රට හැර යන්නට බල කෙරෙන බවක් ද පුවත්පත් කලාවේදීන්ට දැනී ඇත. සැබවින් ම, අතුරුදන් වූ දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පී ප්‍රදීප් එක්නැළිගොඩ මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය තව මත් අභිරහසකි.
මෑත කාලයේ පමණ ඉක්මවා හුවා දැක්වෙන කාරණා නම් උතුරු-නැගෙනහිර පුනර්ජීවනය සහ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් තිබෙන්නේ ය යන්න යි. වරක් යුද්ධයෙන් ඉරි තැළී ගිය ප්‍රදේශවල බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බව සැබෑවකි. එහෙත් අපේක්ෂාව ලෙස පවතින්නේ ප්‍රදේශයේ ජනයා ඉක්මනින්ම මෙම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබනු ඇත යන්න යි, දිගු කලක් තිස්සේ ඇන හිටුවා තිබුණු ආර්ථික දියුණුවේ ඵල ප්‍රයෝජන භුක්ති විඳිනු ඇත යන්න යි.

එසේ වුවත් එම ප්‍රදේශවල පවතින්නේ සටන්කාමිත්වය නිසා කැබලිවලට ඉරී ගිය සාමාජීය වියමනකි. එල්ටීටීඊය තව දුරටත් ක්‍රියාකාරී නොවනවා විය හැකි ය. එහෙත් වෙනත් සන්නද්ධ කණ්ඩායම් පවතින අතර ඇතැම් ඒවා ආණ්ඩුව සමඟ එක්ව වැඩ කරයි. ජනයා ඔවුන්ගේ පවුල්වලින් වෙන් කරනු ලැබ ද ඔවුන්ට සිය නිවාස, ජීවනෝපායන් සහ මූලික අයිතීන් අහිමි වී ඇත. ඔවුන්ගේ ජීවිත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා වෙනස් ආකාරයක ආශ්චර්යයක් අවශ්‍ය ය. ශ්‍රී ලංකාව පෙරට යන්නට නම් එම ආශ්චර්යය සිදු විය යුතුම ය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වඩා ශක්තිමත් කිරීමටත් සිවිල් නිදහස අනතුරෙහි නොහෙළන වඩා ලිබරල්වාදී නීත්‍යනුකූල පාලන තන්ත්‍රයක් හඳුන්වා දීමටත් දැන් කාලය උදා වි ඇත.. විවෘත භාවයේ සහ එක්සත්කමේ නව සංස්කෘතියක් වැළඳ ගැනීමටත් සියලු ජනයාගේ මූලික අයිතීන් සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සහ සංස්කාතියක් සැකසිමටත් කාලය යි මේ.

අන්තිමේ දී ජනාධිපති රාජපක්ෂ මුහුණ දෙන අවසන් පරීක්ෂණය වනු ඇත්තේ යට කී සමාජ-දේශපාලනික, නීතිමය සහ ආර්ථික වෙනස් වීම් සහතික කිරීමට තරම් ඔහු අධිෂ්ඨාන සහගත ද පරිණත ද යන්න යි. ඔහු නිසැකව ම එල්ටීටීඊය පරාජය කර කුසලානය දිනා ගත්තේ ය. එහෙත් ඔහු මෙම රට යුද අවධියෙන් ඔබ්බට යොමු කරනු ඇත්තේ කෙසේ දැයි ලෝකය අඛණ්ඩව ඔහු දෙස පරීක්ෂාකාරීව බලා සිටී.

අපේක්ෂාව වන්නේ, තම ජනකාන්ත පදනම පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකාව සැබවින්ම මේ ලෝකය තුළ පිහිටුවූ නායකයා ලෙස ඉතිහාසගත වීමටත් ජනාධිපතිවරයා උනන්දු වන්නේ නම්, අතිවැදගත් සංක්‍රමණය සම්පූර්ණ කිරීම සඳහා ඔහු අර්ථවත් පියවරයන් ගනු ඇත යන්න යි. ස්ථිර සාමයක් ඇති විය හැක්කේ එවිට පමණකි. තමන්ට පත්විය හැකි තත්ත්වය ගැන ශ්‍රී ලංකාවට සාධාරණ ලෙස ආඩම්බර විය හැකිවන්නේ එවිට පමණකි.


දිල්රුක්ෂි හඳුන්නෙත්ති

(www.groundviews.org වෙබ් අඩවියේ 2010 මැයි 23 දා පළවූ Beyond the war psyche in Sri Lanka ලිපියේ පරිවර්තනයයි.)