ලෝකයේ ආර්ථික කේන්ද්‍රය අනාගතයේදී ඇමරිකාවෙන් ආසියාවට මාරුවීමේ සන්දර්භය මත හිඳිමින්, ‘ශ්‍රී ලංකාව එම අවස්ථාව අල්ලා ගත යුතුය’ යන උද්ධෘතය යටතේ, ‘වියත් මග’ වාර්ෂික සමුළුව පිළිබඳ වාර්තාවක් ලහිරු පොත්මුල්ල විසින් පසුගිය 16 වැනිදා ‘ඬේලි මිරර්’ පුවත්පත්ට සපයා තිබුණි.
‘බුද්ධිවාදය සහ බුද්ධිය’ යන මාතෘකාව විරුද්ධාභාසයක් හෙවත් පරස්පරයක් වශයෙන් කෙනෙකුට පෙනෙන්ට පුළුවන. බොහෝ සත්‍යයන් වූ කලී, පරස්පරයන්ය. මේ ගැන යම් පැහැදිළි කිරීමක් අවශ්‍යයි. බුද්ධිවාදය යනු, දැනුම එක්රැස් කර ගැනීම සහ එම දැනුම සිතේ ගබඩා කර ගැනීමය. අනිත් අතට, බුද්ධිය යනු, සිත විසින් පාවිච්චියට ගන්නා මෙවලමකි. එය, දැනුම ලබා ගැනීම සඳහා යොදා ගැනේ. ඒ අනුව, බුද්ධිවාදය සහ බුද්ධිය යනු, එකිනෙකින් වෙනස් කාරණා දෙකකි. එහෙත් ඒවා එකිනෙකට සහසම්බන්ධීය. බුද්ධිවාදය යනු බුද්ධිය නොවේ. එසේම, බුද්ධිය යනු බුද්ධිවාදයත් නොවේ. බුද්ධියෙන් කෙරෙන්නේ, විමසා බැලීමයි. මතුපිටින් සමාන සේ පෙනෙන, එහෙත් ඇත්ත වශයෙන් සමාන නොවන දේවල් කිරා බැලීමේ හැකියාව බුද්ධිය වශයෙන් ගැනේ. හෙවත් යෝනිසෝමනසිකාරයයි. හින්දු වේදාන්ත දර්ශනවාදයේදී සංස්කෘති භාෂාවෙන් එය හැඳින්වෙන්ටන්, ‘විවේක’ නමිනි.
‘වියත් මග’ සමුළුව ගත්තොත් එය, එහි සභාපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ ප්රචාරකවාදී ප්රාරම්භයක් වන අතර, 2019 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඔහුට සහාය වීමේ එක් ව්‍යායාමයකි. සමුළුවේ තේමාව වුනේ, ‘බුද්ධිමය වශයෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාවක්’ යන්නයි. එම තේමාව ආටෝපවත් කර ගැනීම සඳහා දේශීය සහ විදේශීය බුද්ධිමතුන් හත්අට දෙනෙකු ඊට සහභාගී කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වීම පුදුමයක් නොවේ. කථිකයන් අතරට දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් දෙන්නෙකු විශේෂයෙන් ඇතුළත් කර ගැනීම චේතනාන්විතව කළ දෙයකි. තමාගේ ජනාධිපති අපේක්ෂාව තුළ සියලු ජන කොටස් ඇතුළත් කර ගන්නා ගතිකත්වයක් ඇති බව පෙන්වීමටත්, ශ්‍රී ලාංකීය සමාජයේ බහුවිධභාවය පිළිගැනීම හරහා සුළු ජාතිකයන්ව ඊට ඇද ගැනීමත් ඒ මගින් අපේක්ෂා කරන්ට ඇත.
ශ්‍රී ලාංකික ප්‍රවාසිකයන්, නොමිලේ ලැබෙන ගුවන් ගමන් ටිකට් පතක් සහ කෑමබීම ඉඳුම්හිටුම් සමග නිවාඩුවකට මව්රටට පැමිණීමට ලැබීම ගැන උදක්ම පිනාගියාට සැක නැත. සමුළුව ආටෝපවත් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂාව සඳහා වන සිය සහාය ගම්‍ය කිරීමත්, ඔහු තේරී පත්වුනොත් ගොඩනැගීමට බලාපොරොත්තු වන ‘බුද්ධිමය වශයෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාවක්’ සඳහා වන තේමාවට යම් විශ්වසනීයත්වයක් ලබා දීමත්, ඔවුන්ට පැවරුණු වගකීමකි. ඒ සඳහා, ගෝඨාභයගේ අපේක්ෂිත ජනාධිපති තන්ත්රය තුළ සැපයෙන පාරිතෝෂ ‘පොරොත්තු ලේඛනයට’ තමන් ද ඇතුළත් වන බවට යම් සහතිකයක් දැන් ඔවුන්ට තබා ගත හැකිය.
මුලින් මා දැක්වූ නිරීක්ෂණයන්ගෙන් ඈත්ව, දැන් මේ සම්පත් දායකයන් ඉදිරිපත් කළ අදහස් ගැන විවේචනාත්මකව විමසා බැලීමට මම කැමැත්තෙමි. එහිදී මා දක්වන අදහස් සීමාවන්නේ, මාධ්‍ය හරහා මෙම සමුළුවට අදාළව සපයා තිබූ වාර්තාවන්ට පමණි. එසේ කරන අතරේ, මම නමට කලින් පී.එච්.ඩී. අකුරු සහිත බුද්ධිමතෙකු නොවන බවත්, හුදෙක් සාමාන්‍ය අවබෝධය සහිත සාමාන්‍ය පුද්ගලයෙකු වන බවත් කියමි.
බුද්ධිමය වශයෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාව
ඉහත සඳහන් සටන් පාඨය තුළට, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, කළමනාකාර සහ තාක්ෂණ විශේෂඥයන් ඇතුළත් කර ගන්නා ගමන්ම ඔහුගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් බුද්ධිමය වශයෙන් උත්තේජනය වන බව ගම්‍ය කෙරේ. ශ්‍රී ලංකාවේ යථාර්ථය අනුව ගත්විට, මේ අන්ධ ශුභවාදය ප්‍රායෝගිකද ? මම නැතැයි කියමි. ඊට මා දක්වන හේතු පහත සඳහන් පරිදිය:
1. ප්‍රථම සහ වැදගත්ම කාරණය වන්නේ, රටක පාලනයක් බුද්ධියෙන් සජ්ජිත වීමට නම්, රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව ‘බුද්ධියෙන් බලගැන්වුණු’ පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බවය. එහෙත් යථාර්ථය වන්නේ, බුද්ධිමතුන් කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සාමාජිකයන්ට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අධ්‍යාපනික සහතිකයවත් නැති බවය. එවැනි පුද්ගලයන්ගෙන් රටට ලැබිය හැකි බුද්ධිමය ආවේශය කුමක්ද ? ආණ්ඩුව යනු රටක ‘ගාමක යන්ත්රයයි’. එහෙත් මෙරටේ එම යන්ත්‍රයට ගාමකත්වය සැපයෙන්නේ බුද්ධියෙන් නොව, ආගමික සහ ජාතිවාදී ඝනයට ගැනෙන ‘චිත්තවේගී ආවේශයන්ගෙනි.’
2. ප්‍රථම පියවරක් වශයෙන්, අර කියන බුද්ධිමය ආවේශය සපයා ගැනීමට නම්, පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපනික ආයතනයකින් ලබා ගත් උපාධියක් හෝ ඊට සමාන වෘත්තීය අධ්‍යාපනික සුදුසුකමක් තිබීම, පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අවම සුදුසුකමක් වශයෙන් සැලකිය යුතුව තිබේ.
3. මේ අතර, බුද්ධිවාදය සඳහා සමානාත්මතාවයේ මූලධර්මය අත්‍යාවශ්‍ය ප්‍රතිපත්තියක් වන්නේය. විශේෂයෙන් ලංකාව වැනි බහු-සංස්කෘතික සමාජයක් තුළ, ජනතාවට සහ පාලකයන්ට ලෞකික දැක්මක් සහ ආකල්පයක් තිබිය යුතුය. බහුතරයේ ආගම ‘විශේෂයෙන් බලගන්වන’ හැඟීම්බර, ආගමික ප්රතිපාදනයක් අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබීම, ඉහත කියූ ‘බුද්ධිමය වශයෙන් බලගන්වන ශ්‍රී ලංකාව’ සමග පරස්පර වන්නේය. බුද්ධිමය බලගැන්වීම ව්‍යුත්පන්න විය හැක්කේ, ලෞකික ආවේශයක් තුළින් පමණි. එබැවින්, ‘බුද්ධිමය වශයෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාවක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් වීම අනිවාර්ය කෙරේ.
4. ලංකාවේ වෙසෙන පුළුල් ජනතාව, යම් මට්ටමක අධ්‍යාපනයක් තුළින්, තමන් තුළ පවතින වාර්ගික-ආගමික අගතීන් සහ අවිද්‍යාව ඉවතලන්නේ නැති තාක් කල්, ‘බුද්ධිමය වශයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක්’ පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම හුදු සිහිනයක් පමණි.
5. අද අපට දකින්ට ලැබෙන්නේ මීට හාත්පසින් වෙනස් තත්වයකි. රටේ පවතින ප්‍රශ්න සඳහා වන ප්රගතිශීලී විසඳුම් බුද්ධිමතුන් සහ වෘත්තිකයන් විසින් ඉදිරිපත් කරන විට, සිංහල බෞද්ධ ආවේශයට යට වන සංඝ නිකායන් සහ වෙනත් අන්තවාදී කොටස් ඒවා කඩාකප්පල් කරති. වෙනත් රටවල් සමග ඇති කරගන්නා වෙළඳ ගිවිසුම්, පෞද්ගලික ආයතන හරහා උසස් අධ්‍යාපන අවස්ථා සලසා ගැනීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සහ ජාතික ප්රශ්නය විසඳීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට ගන්නා ප්රයත්නයන් ආදිය මේ පිරිස් විසින් කඩාකප්පල් කරනු ලැබීම ඊට උදාහරණය.
6. මොන ආණ්ඩුව බලයට පත්වුනත්, දේශීය සහ විදේශීය උසස් තනතුරු සඳහා පත්කර ගැනෙන්නේ, වෘත්තිකයන් හෝ විශේෂ හැකියාවන් සහිත බුද්ධිමතුන් හෝ නොව, ‘දේශපාලනිකව බලගැන්වුණු’ පවුල් සාමාජිකයන් සහ හෙංචයියන්ය.
7. පුද්ගලයන්ගේ සහ අන්තවාදී කණ්ඩායම්වල දැනට පවතින සිංහල බෞද්ධ පටු ආකල්පවලින් බැහැරව, බුද්ධිමය වශයෙන් බලගැන්වෙන ලෞකික සහ නූතන චින්තනයකින් සන්නද්ධ ආකල්ප කරා නොයන තාක් කල්, බුද්ධිවාදයක් සහ වෘත්තීයවාදයක් ගැන කතා කිරීම විහිළුවකි.
ආර්ථික බල කේන්ද්‍රය ආසියාවට මාරු වීම
චීනය, ඉන්දියාව සහ ඈත පෙරදිග රටවල්වල ආර්ථිකයන් පුළුල් වීම සහ වර්ධනය වීම නිසා, බටහිර-කේන්ද්‍රීය ලෝක ආර්ථික අවකාශය, අනාගතයේදී ආසියානු කලාපයට මාරු වන බව, පාසලේ 10 වසරේ සිසුවෙකුට පවා අද දැකගත හැකි ආකාරයේ සරළ කාරණයකි. එහෙත් ඒ ආර්ථික විපර්යාසයට මුහුණදීම සඳහා අපේ ආර්ථිකය අප සූදානම් කරමින් සිටින්නේද ? නැත, ඒ වෙනුවට, වෛවාරන්න දේශපාලඥයන් සහ අදාළත්වයක් නැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ආයතන වෙතින් අපට දකින්ට අසන්ට ලැබෙන්නේ, ශ්‍රී ලංකාව ආවෘත ආර්ථිකයක් හෙවත් වැසුනු ආර්ථිකයක් වශයෙන් පැවතිය යුතු බවට නගන මතවාදයකි. ලෝක ආර්ථික නැඹුරුව ආසියානු මහද්වීපය දෙසට යොමු වන අවස්ථාවක අප ලෝකයට විවෘත විය යුතුවා මිස ලෝකයාගෙන් ඈත්ව සිටිය යුතු නොවේ. ආසියානු කලාපයේ තිබෙන වෙනත් රටවල් සමග අප සංයුක්ත ගනුදෙනුවකට යා යුතුව ඇත. නිදහස් වෙළඳ ගිවිසුම්, දේශසීමා හරහා ව්‍යාප්ත වන කර්මාන්ත සහ වෙළඳපොල අවකාශයන් ප්‍රයෝජනයට ගැනීම වැනි දෑ ඊට අවශ්‍ය වන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ මේ බව හඳුනාගෙන, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් සමග ආර්ථිකමය වශයෙන් ඒකාබද්ධවීමට පියවර ගන්නා අතරේ අපේ දේශීය බුද්ධිමතුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සිංහල බෞද්ධ ආවේශයට යට වූ පිරිස් එම ප්රයත්නයට එරෙහිව නැගී සිටිති. මේ වනාහී, ආසියාවේ නැගීම ඉදිරියේ අපේ දොරවල් අප විසින්ම වසා ගැනීමක් නොවේද ?
මේ පසුබිම යටතේ, සිහි-විපරමට නොපෑහෙන වියත් මග සමුළුවේ කතිකයන් එදා පළ කළ මතවාද ගැන යමක් කීමට මම කැමැත්තෙමි. (ඉතිරිය ඊළඟට)
පී. සෝම පාලන්
*2018 මැයි 23 වැනිදා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, පී. සෝම පාලන් ලියූ, ‘Viyath Maga Convention- Intellectualism and Intellect’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි.
සබැදි සටහන්
ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය | 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්