අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ නතරවී සිටි 300 කට අධික උද්යෝගිමත් ජනතාවක් සමගය.
මේ දූපත් වැසියෝ සියල්ලෝම සුලුජාතික දමිල කතෝලික ජන කොටසකි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී මේ දූපත් වල ජීවත්ව සිටි ජනතාවට 1992දී තමන් ජීවත්වූ ගම්බිම් අතහැර යාමට සිදුවූ අතර ඒ සමගම නාවික හමුදාව එවායේ කදවුරු ඉදිකර ගත්තේය.
2007 වනතුරුම ගම්වැසියන්ට මේ දූපත් වලට පැමිණ නැවත යාමට අවස්ථාව ලබාදී තිබුනද පසුව 2009 යුද්ධය අවසන් වනතුරුම තමන්ගේම උපන් ගම්බිම් ඔවුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්විය.
මේ කුඩා දූපත් වට කරගෙන තිබෙන මුහුද ගම්වැසියන්ට තමන්ගේ ධීවර කර්මාන්තය කරගැනීමට මහගු රුකුලක් විය. දූපත්වල සරුවට වැවුනු පොල්ගස් පිරීතිබුනි. සරුසාර පොළවේ ගොවිතැන් බතක් කරගෙන හරකබාන ඇති කරගෙන වැසියෝ කල් ගෙවූහ. දූපතේ ඓතිහාසික කතෝලික දේවස්ථානය වැසියන්ගේ ජීවිතවලට ආධ්‍යාත්මිකව සහයවු අතර දූපත තුල පාසැලක්, සමූපකාර කඩයක්, මැහුම් මධ්‍යස්ථානයක්, ආරෝග්‍ය ශාලාවක් සහ ගම්සභා කාර්යාලයක්ද තිබුණි.
2015 බිහිවූ අලුත් ජාතික ආණ්ඩුවත් සමග තමන්ගේ ගම්වලට නැවත පැමිණීමට වැසියන් තුල නැවුම් බලාපොරොත්තු ඇතිවූවත් එය ඔවුන් අපේක්ෂා කල පරිදි සිදු වුයේ නැත.
ගම්වැසියෝ 2016 සහ 2017 කාලයේ අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් සමග රැස්වීම් ගණනාවක්ම පවත්වා තමන්ට නැවත තම උපන් ගම්බිම්වලට යන්නට අවසර ඉල්ලා නොකඩවා දින 359ක් උද්ඝෝෂණ කලත් නැවත පදිංචිවීමේ ඔවුන්ගේ සිහිනය යථාර්ථයක් වූයේ නැත.
අප්‍රියෙල් 23 වෙනිදා බෝට්ටු 40කට ගොඩවන ගම්වැසියෝ, පූජකතුමන්ලා, පැවදිසොයුරියන්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සමග දූපත දක්වා පැමිණියහ.
වසර ගනනාවක් තිස්සේ අතහැරදමා තිබීම නිසා දූපතේ බොහෝමයක් ගොඩනැගිලි අබලන්ව විනාශ වී ඇත. තමන්ගේ එදිනෙදා ජීවිතයට අපහසුවක් නොවනසේ දූපත තුල නාවික හමුදාව සිටීම පිලිබදව දූපත් වැසියෝ විරෝධයක් නොදක්වන අතර තමන් මෙවර දූපතට පැමිණියේ මෙහි රැදීසිටීමට මිස නැවත පිට නොවන්නට බව තරයේම කියා සිටියහ.
ඉඩම් මුදා හැරීම සහ විනාශයේ මාවත
මීට දින 10 කට පෙර යාපනය දිස්ත්‍රික්කයට අයත්ව පිහිටි ප්‍රදේශයක හමුදාව අත්පත් කරගෙන තිබූ අක්කර 683 භූමි ප්‍රමාණයක් ඒවායේ නිත්‍යානුකූල මුල් අයිතිකරුවන්ට වසර 28 පසුව හමුදාව නැවත භාර දුන්නේය.
කෙසේවුවද ප්‍රාදේශීය සමාජ ක්‍රියාකරීන්, දේශපාලකයින් සහ මාධ්‍යවේදීන් පවසන්නේ භාරදුන් මෙම ඉඩම් වලට ඇති ප්‍රවේශයන් සහ පාසැල් තවමත් පවතින්නේ හමුදාව යටතේ බවය.
තමන්ට අතහැර දමා යන්නට සිදුවූ මොහොතේ හමුදාවට භාරදෙන අවස්ථාවේ එවායේ ගොඩනැගිලි ඉතා හොද තත්ත්වයක තිබුනත් නැවත ඒවා තමන්ට භාරදෙන විට සියල්ල විනාශ වී ඇති බව ඒවායේ අයිතිකරුවෝ පවසති.
එසේම මෙලෙස තමන්ගේ දේපල තමන්ට භාරදීම සදහා හමුදාව විසින් උත්සව සංවිධානය කරන බවත් ඒවාට පැමිණෙන විට මල්මාලා දමා පිලිගැනීම තමන්ව දැඩි අපහසුතාවට පත්කිරීමක් බව ජනතාවගේ අදහසයි.
ජනතාවට අයත් දේපල නැවත ඔවුන්ටම භාරදීම හමුදා ජනතාවට “තෑග්ගක් ” දීමක් ලෙස සලකනු ලැබීම ජනතාව ප්‍රතික්ෂේප කරති.
තමන්ගේ දේපල අත්පත්කරගෙන වසර ගනනාවක් ඒවායේ පදිංචිව සිටීම, ඒ නිසා තමන්ට අවතැන්වීමට සිදුවීම ගැන මෙන්ම තමන්ට විදින්නට වු කරදර-දුක්ගැහැට ගැන හමුදාව හෝ රජය කිසිම සමාව ගැනීමක් හෝ පාඩුවට වන්දි ගෙවීමක් කරන්නේ නැත.
ජනතාවට තමන්ගේ ඉඩම් සහ දේපල නැවත ලබාදීම සදහා රුපියල් බිලියනයකට අධික මුදලක් හමුදාවට ලබාදී ඇතිබව රජය දැනුම්දී තිබුනද නැවත එම ඉඩකඩම්වල පදිංචියට පැමිණෙන ජනතාවට ලබා දෙන්නේ ඉතා සුලු මුදලකි.
රජයේ සහ හමුදාවේ මේ මුරණ්ඩු යොමුව ඉඩම් නැවත ලබාදීම තුලින් සංහිඳියාව ගොඩනැගීමට ඇති අවකාශය වලකාලනු ලබයි.
මුස්ලිම් සහ සිංහල ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු
හමුදාව විසින් ඉඩම් අත්පත්කරගෙන ඒවායේ පදිංචිවීම නිසා වැඩියෙන්ම පීඩාවට පත්වී ඇත්තේ උතුරේ දමිල ජනතාවය.
එසේම මෙම කලාපයේ ජීවත්වන මුස්ලිම් සහ සිංහල ජනතාවටද මේනිසා පීඩාවට පත්වීමට සිදුවී ඇති අවස්ථා බොහොමයක් ඇත. මේ පිළිබඳව අදාල පැමිණිලි, සාකච්ඡාවන්, උද්ඝෝෂණ සහ උසාවියේ නඩු පැවරීම් තිබුනත් මේ ඉඩම් පිලිබදව තවමත් විසදුමක් ලැබී නැත.
එසේම 1990දී දෙමල කොටි සංවිධානය උතුරින් පලවාහරිනු ලැබූ මුස්ලිම් ජනතාව නැවත එම ප්‍රදේශවල පදිංචි කර ඇතත් රජයෙන් මෙන්ම දෙමල ජනතාවගෙන් ඔවුන්ට එතරම්ම සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.
ඉඩම් සහ සංහිඳියාව
උතුරේ අලුතින් ඉඩම් අත්පත් කර ගැනීම දිගින් දිගටම සිදුවේ. පොදු අවශ්‍යතාවයන් යැයි කියමින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ අක්කර 671ක ප්‍රමාණයක් රජය නාවික හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට අත්පත් කරගෙන ඇත.
ගැමි ප්‍රජාවට ඉඩමක් යනු මුදලකට තක්සේරු කරනු ලබන දේපලකට ඔබ්බට ගිය දෙයකි. එය සැමවිටම තමන්ගේ ජීවනෝපාය වන ධීවර කර්මාන්තය සහ ගොවිතැන සමග එකට බැදී ඇත.
එසේම එය ඔවුන්ට තමන්ගේ මුතුමිත්තන්ගේ ආත්මීය සුවද වෑහෙන තමන්ගේ ක්‍රිස්තියානි හෝ හින්දු ආගමික විශ්වාසයන් සමග දිවෙන දෙව්මැදුර හෝ කෝවිලට යාබද ශුද්ධවූ භූමියකි.
තමන් උපන් සහ ජීවත්වූ මේ භූමියට ඔවුන්ගේ ප්‍රානය බද්ධවී ඇත. එබැවින් වෙනත් ප්‍රදේශයක ඉඩම් වල ඔවුන්ව පදිංචි කර ඔවුන්ට මුදල් ආධාර ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිත වල පැවැත්මට එය උපකාර වන්නේ නැත.
උසාවිවල ගොනු කර ඇති නඩු, පෙත්සම්, වගකිවයුත්තන් සමග පවත්වන සාකච්ඡා සහ උද්ඝෝෂණ ඉදිරියටත් පවතිනු ඇත.
රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී අවතැන්ව සිටින ජනතාව ඉරනයිතිවු දූපත්වල සිදුවූ ආකාරයටම තමන්ගේ ඉඩකඩම් යලි අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ඇත.
තමන්ගේ ඉඩකඩම් වලට ලගාවීමට නොහැකි වාතාවරණයක් තුල සංහිඳියාව සදාකාලික සිහිනයක් පමණක් වනු ඇත.
රුකී ප්‍රනාන්දු
Access to land is a must for reconciliation in Sri Lanka https://www.ucanews.com/news/access-to-land-is-a-must-for-reconciliation-in-sri-lanka/82349 නම් ලිපියේ පරිවර්තනයකි. සිංහල පරිවර්තනය: අරුණ ශාන්ත නෝනිස් ( අශානෝ )