iMage : Vikalpa 

2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ  යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය විසින්ම සිදු කලේ යයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපනය කිරීමටද ශ්‍රී ලංකාව විසින් පොරොන්දු විය. මෙම ක්‍රියාවලියට අන්තර්ජාතික විශේෂඥයන්ගේ දායකත්වයද  ඇතුලත්ය.

රජයේ මෙම පොරොන්දුවට ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඍජුව විරෝධතාවය දක්වා ඇති අතර රජයද අධිකරණ ක්‍රියාවලියේදී අන්තර්ජාතික සහභාගිත්වය ලබා ගන්නා බවට දුන් පොරොන්දුවෙන් බැහැරව කටයුතු කරන බවක් දක්නට ලබයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූ  වලට අන්තර්ජාතික ප්‍රජාවගේ මැදිහත් වීම අනවශ්‍ය බැවින් අධිකරණ කටයුතු වලදී අන්තර්ජාතික සහභාගිත්වය ලබා නොගන්නා බවට ජනපති සිරිසේන සහ රජයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයන් විසින් ඉඟි ලබා දී ඇත.

කෙසේ වෙතත්, ඇතැම් නීති විචාරකයන් තර්ක කරන පරිදි රට තුළ ඇති වූ ගැටුම් වලට තුඩු දුන් ශ්‍රී ලංකාව තුළ මුල්  බැස ගෙන ඇති අපරාධයන්ට දඬුවම් ලබා නොදී සිටීමේ සංස්කෘතිය විධිමත් ලෙස පරාජය කිරීමට නම්  ශ්‍රී ලංකාව විසින්  අපරාධයන්ට නඩු පැවරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතුය.  මෙහිදී මතු වන ගැටලුවක් වන්නේ යුධ සමයන්හිදී සිදු කරන ලද අන්තර්ජාතික අපරාධ වලට එරෙහිව ජාතික හෝ අන්තර්ජාතික වශයෙන් සිදු කරන නඩු විභාගයන් තිරසාර සමයක් ඇති කිරීම සඳහා උපකාර වන්නේද නැද්ද යන්නයි.

සහකාර මහාචාර්ය ජෙෆ් ඩන්සි(Geoff Dancy ) සහ එරික් විඑබෙල්හොස්- භ්රාම්   (Eric Wiebelhaus-Brahm ) විසින් මෑතකදී සිදු කරන ලද ගැඹුරු අධ්‍යනයකින් පශ්චාත්  යුධ අපරාධ නඩු පැවරීම් සහ යුද්ධය නැවත ඇති වීම අතර සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳව විශ්ලේෂණය කරමින් මෙම ගැටලුවට පිළිතුරු සැපයීමට උත්සාහ කර ඇත. මින් පෙර පර්යේෂකයන් කිහිපදෙනෙකු විසින් මේ පිළිබඳව පශ්චාත් යුධ වාතාවරණයන් පවතින රටවල් කිහිපයක අත්දැකීම් අනුසාරයෙන් පර්යේෂණ කර තිබු හෙයින්  එය නොවිසඳෙන විවාදයක් ලෙස  සලකනු ලැබිණ.  ආනුභවික පර්යේෂණ සිදු කර ඇති අවස්ථාවලදී එම පර්යේෂකයන් විසින් එක් එක් පශ්චාත් යුධ වාතාවරණයෙහි අවේනික තත්වයන් ප්‍රමාණවත් තරම් සැලකිල්ලට ගෙන නොතිබිණ. ඩන්සි සහ විඑබෙල්හොස්- භ්රාම් විසින් ඔවුන්ගේ ආනුභවික  පර්යේෂණයේදී දැනට  පවත්නා පර්යේෂණ සොයා ගැනීම් වල දක්නට ඇති මෙකි අඩු පාඩු වලට විසඳුම් ලබා දීමට  උත්සහ දරා ඇත.

මෙම පර්යේෂකයන් දෙපළ විසින් ඔවුන්ගේ පර්යේෂණයේදී වසර 40ක කාල සීමාවක් තුල (1970- 2010) පශ්චාත් යුධ කාල වකවානු 236කට අදාළ දත්ත අධ්‍යයනය කර ඇත. පර්යේෂකයන් විසින් එකී කාල සීමාව තුල සිදු කරන ලද සියලු නඩු පැවරීම් වාර්තා ගත කළ අතර ඉන් පසු යුද්ධය නිම වී සාමය පැවතී කාල සීමාව සහ නඩු පැවරීම් අතර සම්බන්ධයක් ඇත්දැයි විශ්ලේෂණය කර බැලීය. පර්යේෂකයන් විසින් නඩු පැවරීම්, රජයේ නියෝජිතයන්ට එරෙහිව දේශීය නඩු පැවරීම්, විප්ලව කණ්ඩායම් වැනි විරුද්ධ කණ්ඩායම් වලට එරෙහිව දේශීය නඩු පැවරීම් සහ මේ දෙයාකාරයේම අන්තර්ජාතික නඩු පැවරීම් වශයෙන් වර්ග 3 කට බෙදා වෙන් කරන ලදී. අන්තර්ජාතික නඩු පැවරීම් යන කොට්ටාශයට අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉදිරියේ නඩු පැවරීම් වැනි පුර්ණ වශයෙන් අන්තර්ජාතික නඩු පැවරීම් මෙන්ම අන්තර්ජාතික සහ දේශීය යන පාර්ශව දෙකෙහිම මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන මිශ්‍ර අධිකරණද අයත් වේ.

මෙම අධ්‍යයන සිව් වැදෑරුම් අවසන් නිගමයන්ට ලඟා විය. ඉන් පළමු වන්න නම්, සමාව දීම්, එනම් අපරාධ සිදු කළ පුද්ගලයන්ට නිල වශයෙන් සමාව ලබා දීම, මගින් යුද්ධයක් නැවත ඇති වීමේ අවදානම, අතර කෙටි කාලයේදී ( යුද්ධයක් අවසන් වී මුල් වසර 5 ඇතුළත) අවම වන බවයි. එහෙත් දිගු කාලීනව ගැටුම් යළි ඇති වීම වැලැක්වීමේ ශක්‍යතාවය අතින් තරමක් අඩු සාර්ථකත්වයක් පෙන්වයි. දෙවන සොයාගැනීම වුයේ රජයේ නියෝජිතයන්ට එරෙහිව දේශීය නඩු පැවරීම් මගින් කෙටි කාලීන වශයෙන්,  සාමයට  බාධා ඇති නොවන බව සහ දිගු කාලීන වශයෙන්, ගැටුම් නැවත ඇති වීමේ අවදානම 53% කින් අවම වන බවයි.  තෙවන සොයා ගැනීමට අනුව විප්ලව කණ්ඩායම් වැනි රජයට එරෙහිව සටන් වැදී අනෙක් කණ්ඩායම් වලට එරෙහිව දේශීය වශයෙන් නඩු පැවරීම සහ දිගු කාලීන සාමය අතර විශේෂ ධනාත්මක හෝ ඍණාත්මක සම්බන්ධතාවයක් නොමැති බවයි.  අවසාන වශයෙන් මෙම අධ්‍යයනයට අනුව අන්තර්ජාතික නඩු පැවරීම් මගින් කෙටි කාලයේදී හෝ දිගු කාලයේදී ගැටුම් නැවත ඇති වීමේ අවදාම ඉහල නොයයි.

විශේෂයෙන් අවධාරණය කල යුතු කරුණක් වන්නේ මෙම අධ්‍යනය මගින් ගැටුම් යලි ඇති වීමේ අවදානම අවම වීම සහ සිවිල් යුද්ධයේදී බරපතල අපරාධ සිදු කල රජයේ නියෝජිතයන්ට එරෙහිව දේශීය නඩු විභාග කිරීම අතර සම්බන්ධයක් පවතින බව දැක්වීමයි. රාජ්‍ය නියෝජිතයන් යන්නට රජයේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් ඇතුළත් වේ. විශේෂයෙන්ම ඉහල තනතුරු දරන නිලධාරීන්ට එරෙහිව ඉහල සංඛ්‍යාවක නඩු විභාග කිරීම සහ ඉහල සංඛ්‍යාවක වැරදිකරු බවට තීන්දු කිරීමද  යුද්ධය අවසන් වීමෙන් පසු දීර්ඝ කාලීන වශයෙන් සාමය පවත්වා ගැනීමට සහසම්බන්ධ වේ.  එසේම මෙම අධ්‍යයනය මගින් සොයා ගත් කරුණු අනුව අන්තර්ජාතික නඩු විභාගයන් කෙටි කාලීනව සාමයට බාධා ඇති නොකරන අතර දිගු කාලීනව සාමය ඇති කිරීමට හෝ බාධා කිරීමට හේතු නොවේ.

සංක්ෂිප්තයක් ලෙස ගත කල, “ සිවිල් යුද්ධයකදී  සිදු කරන ලද අන්තර්ජාතික යුධ අපරාධයන්ට වග වීම, තිරසාර සාමයට මග කියන්නේද? “ යන ගැටලුවට “ ඔව්” යයි පිළිතුරු දීමේ හැකියාවක් පවතී. නඩු විභාග සහ සාමය අතර ධනාත්මක සහසම්බන්ධතාවයක් පවතී.   ඊට හේතුවක් විය හැක්කේ දේශපාලනමය වශයෙන් අපහසු වුවද බරපතල ගණයේ අපරාධ සිදු කළ අයවලුන්ට එරෙහිව නඩු පැවරීම මගින් රජයන් විසින් සාමයට ඔවුන්ගේ ඇති කැපවීම පිලිබඳ විශ්වසනීයත්වය ඉහල නංවා ගැනීම විය හැකිය. එසේම නඩු විභාගයන් යුද්ධයකදී පිළිගත හැකි හැසිරීම් රටාව පිළිබඳව ප්‍රමිතීන් හඳුන්වා දෙන අතරම අනාගතයේදී එවන් අපරාධ සිදු වීම වැළක්වීමට අනෙක් පුද්ගලයන් හට නිවර්තකයක් හෙවත්  බිය ගැන්වීමක් ලෙස කටයුතු කරනු ඇත. තමන්ගේ  ක්‍රියාකාරම් හේතුවෙන් දිගු කාලීන් සිර දඬුවම් වැනි දරුණු ඵල විපාක විඳීමට සිදු වනු ඇති බව දන්නා විට වරදකරුවන් විසින් මානව හිමිකම්  උල්ලංඝනය කිරීමට පෙර දෙවරක් සිතනු ඇත.  වග වීම පිලිබඳ රීතින්, සම්ප්‍රදායන් සහ ආයතන ගොඩ නැගීම මගින් අනාගතයේදී ප්‍රචණ්ඩකාරී විය හැකි අයවලුන් ප්‍රචණ්ඩකාරී නොවන අයවලුන් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාවය  ලඟා කර ගත හැකිය.

එනයින්,  වගවීම සහ ශ්‍රී ලංකාවට තිරසාර සාමය ලඟා කර ගැනීම වෙනුවෙන් රජය විසින් අවංක ලෙසම කැපවී සිටී නම්, යුධ සමයේදී දෙපාර්ශවය විසින්ම සිදු කරන ලද අපරාධ පිළිබඳව නඩු පැවරීම සඳහා අන්තර්ජාතික සහභාගිත්වය සහිත විශේෂ අධිකරණයක් පිහිටුවීම ඉතාම වැදගත් පියවරක් වන බව සාක්ෂි මගින් තහවුරු වී ඇත. එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී අතීතයේ ගැටළු වලට විසඳුම් දෙමින් සාමකාමී අනාගතයක් තහවුරු කර ගත හැකි වනු ඇත.

නදේශ් ද ජයකොඩි  

DOES ACCOUNTABILITY FOR INTERNATIONAL CRIMES COMMITTED DURING A CONFLICT LEAD TO SUSTAINABLE PEACE?  යන ලිපියේ සිංහල පරිවර්තනය