“විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා විරෝධී සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන් කැපවුන බව කියන යුද හමුදාපතිවරයා දක්වා ගමන් කරලා තියෙන්නේ. හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “සංහිඳියාවට හරස්වන්නන්ට යුද හමුදා කඳවුරු තුළට ඇතුල්වීම තහනම් හා එවැනි මහජන නියෝජිතයන් සහභාගීවන රැස්වීම් වර්ජනය කරනවා,” යි යනුවෙනි.
ඒ අතරේ ලිබරල් යහපාලන සංහිඳියාකාරයන් කන්කෙඳිරි ගාන්නේ “මේ ගෑනිට කට පරෙස්සම් කරන් ඉන්න බෑනෙ. අපි මේ හෙමින් හෙමින් වැඩේ කරගෙන යන්නේ, ඕකෙන් වුනේ දකුණ ඇවිස්සුන එක විතරයි. දැන් නිව් යෝර්ක් ටයිම්ස් වැඩෙත් යටගියා, ෂික්!” කියමිනි.
පක්‍ෂ, ආගම්, කුලභේද හෝ වෙනත් භේද පසෙක ලා දකුණේ සිංහල බෞද්ධ සමාජය එකාවන්ව එකට හිටගත් මොහොතක් මේ. හරියට කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවා වගේ. 2009 න් පස්සේ ඉස්ලාම් භක්තිකයන් ද ඇතුලුව, සිංහල මහජාතියේ මේ එක්සත්කමට මඟ පෑදුනේ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී කළ කතාවක්.
ඇය කතාව පටන් ගන්නේ මෙහෙම.
ඇත්තටම ගැණූ කෙනෙකුගේ අමාරුව තවත් ගැහැණියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. පිරිමින්ට තේරෙන්නේ නැහැ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරා දමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට අපි කුමක් කළ යුතුද? මේකටද අපි ජනාධිපති පත් කරලා ගෙනාවේ. අපි උරදිලා තමයි අපේ ජනාධිපති පත් කරගත්තේ. ජනාධිපතිතුමා අද මොකක්ද කරන්නේ. එයාගේ පක්ෂය විතරක් දියුණු කරනවා. අපේ මිනිස්සු ආරක්ෂා කරලා නැහැ.
තමන් විශ්වාසයෙන් පත් කරගත් “මෛත්‍රී පාලනයක්” යටතේත්, මහින්ද රෙජීමයට වඩා “සැබෑ වෙනසක්” දෙමළ ජනතාවගේ සමාජීය තත්වයේ සිද්ධවෙලා නෑ කියලා තමයි ඇය පෙන්වා දෙන්නේ. ඒ තුළ ළමුන් හා කාන්තාවන් ලිංගික ගොදුරු බවට පත් කර ගැනීම ගැන අපි මොනවද කරන්නේ කියලා ඇය ප්‍රශ්න කරනවා. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නව සම සමාජ නායකයා කියලා තිබූ පරිදිම ඇත්තෙන්ම මෙය ප්‍රශ්න කිරීමක් නොවේ මහා විලාපයක්. එහෙම බැලුවාම දැන් මේ කවුරු කවුරුත් නොකියා කියන්නේ උඔලාගේ විලාපයටවත් මේ සිංහල බෞද්ධ රාජ්‍යය තුළ ඉඩක් නෑ. අපි දෙන දේ කාලා, අපි දෙන දේ අරගෙන දෙපැත්ත වහගෙන ඉඳපල්ලා කියලා. නමුත් උතුරේ දෙමළාට ඉන්න එහෙම බෑ. මොකද දෙමළ සමාජය තුළ කාන්තාවට රැකවරණය තිබූ පාලනයක් තිබුනා. ඒක දෙමළ රාජාවලියේ තිබුණු ශ්‍රී විභූතියත් නොවේ. එහෙම නැතිනම් උටෝපියාවකුත් නෙමේ. තමන් අත්දුටු, අත්විඳි පාලනයක්.
ඒ ගැන ඇමැතිනිය දෙවනුව මෙහෙම කියනවා.
2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජිවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි.
මේ කතාව දකුණේ සිංහල බෞද්ධයාට දිරවන්නේ නැති හේතු කීපයක් තියෙනවා.
සිංහලයාට නැති දෙමළාට ඇති
1948 න් පස්සේ ලංකාවේ තිබුනු එකදු සිංහල පාලනයක් දෙමළාගේ හෝ සිංහලයාගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් දුන්නා කියලා අපට පෙන්නන්න බෑ. එහෙම පෙන්නන්න පුලුවන් පරමාදර්ශී නායකයෙක් ඉතිහාසය පුරාම ඉඳලාත් නෑ. ඒ නිසා දකුණ කතා කරන්නේ කළුද, සුදුද කියා දන්නේවත් නැති, කවුරුන් හෝ ලියා ඇති මහා පරාක්‍රමබාහු, දුටු ගැමුණු වගේ රජවරු ගැන. එහෙම නැතිනම් ලෝකයේ කොහේ හරි හිටපු මහතීර් මොහමඩ්ලා (ඔහු හොරෙක් බව අමතක කර) නෙල්සන් මැන්ඩෙලාලා ගැන. හැබැයි දෙමළාට තමන් රැකගත් නායකයෙක් හොයන්න එළාරගේ යුගේටවත්, පිට දීප දේස වලටවත් දුවන්න ඕනේ නෑ. ඉතින් සිංහලයාට නැති දෙමළාට ඇති මේ උරුමය සිංහල බෞද්ධයා කෙසේ ඉවසන්නද? අනෙකාගේ සතුට තමන් ගේ සතුටක් ලෙසින් මුදිතාවෙන් ලෝකය දිහා බලන්න කියලා බුදුන් කිව්වට බුදුන් ගේ දේශයයි කියන එකේ ඒවා වානා.
අනෙක් කාරණාව තමයි කොටියාගේ පාලනය හොඳ නැහැයි උඹලාම තීන්දු තීරණ අරගෙන මහා ජනඝාතනයක් කරලා තිස්වසරක් තිබූ ඒ පාලනය විනාශ කළා. ඉන් වසර දහයක් ගෙවුනු තැන ශේෂ පත්‍රය බලද්දී අපි කබලෙන් ළිපට ඇදලා දමලා. ඒ දහයෙන් වසර තුනක් යහපාලනේ. එක්කෝ තිබිච්ච පාලනේ තියෙන්න ඕන. ඒක විනාශ කළා නම් අපේ මිනිස්සුන් ගේ ජීවිත වඩා ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනා. මොකද අපේ මිනිස්සු කොළඹ පාරවල් අහුරා ගෙන උඹලාගෙන් ඉල්ලා හිටියේ නෑ ප්‍රභාකරන් ගේ පාලනය පෙරළා දමන්න කියලා. ඉතින් උඹලා මේ මොන අපරාධයක්, මොන වින්නැහියක්ද අපට කළේ කියලා තමයි විජයකලා ශිෂ්ට සම්පන්න විදියට අහන්නේ.
ලක්‍ෂ ගණනක් මරා “මානුෂික මෙහෙයුම” කරපු සිංහල බෞද්ධයාගේත්, “සැබෑ වෙනසකට” බලය ගත්ත සිරිසේන – රනිල් අණ්ඩුවේත් මුඛ පූට්ටු වෙන්නේ මෙන්න මෙතැනදී. හවසට දෙකක් දාගත්තු මනුස්සයෙක් නම්, මේක මීට වඩා බොහෝම සරළ භාෂාවෙන් සිරිසේන – රනිල් ආණ්ඩුවෙන් අහවි.
උපාලි සාදු සහ විජයකලා සමාන නෑ
මේ අතර ඇතමුන් විජයකලාගේ මේ අඳෝනාවත්, අස්ගිරි වේඞරුවේ උන්නාන්සේගේ දේශනාවත් සමපාත කරළා අදහස් දක්වනවා. අස්ගිරියේ සාදු මුණ ගැහෙන්න එන්නේ රජවරු. සිටුවරු. අඩුම තරමේ දොරටු පාලකයෙක්වත් වෙන්න ඕන. විජයකලා හමුවෙන්න එන්නේ පටාචාරා, කිසාගෝතමී, සෝපාක, සුනීතලා. වේඞරුවේ සාදු කරන්නේ අනුසාසනා නැතිනම් දෙන්නේ උපදෙස් . හැබැයි විජයකලා හමුවට එන අයට උපදෙස් නොවේ විසඳුම් ඕන. උපදෙස් දෙන්න, නැතිනම් අනුසාසනා කරන්න ගියොත් පිං පමුණුවන්නේ ඇය ගේ සදාදරණීය මව් දෙමව්පියන්ට. ඉතිං විජයකලාගේ මුවින් පිටවන්නේ බණ නෙවෙයි. තමුන් හමුවට එන ළමුන්ගේ හා කාන්තාවන්ගේ හඬ.
අස්ගිරියේ උන්නාන්සේ අනුසාසනා කරන්නේ යුද්ධයේ පීඩකයාට. දැන් කොහොමද සිංහල බෞද්ධ රාජ්‍ය ඊළඟට හදන්නේ කියලා. විජයකලා ඉන්නේ යුද්ධයේ පීඩිතයා එක්ක. ඇය උත්සාහ කරන්නේ මේ වහල්භාවයෙන් මිදෙන්නේ කොහොමද කියලා. උපාලි සාදු අනුසාසනා කළ යුත්තේ ත්‍රිපිටකය මුල් කර ගනිමින්. ඒත් උපමා සඳහා ගන්නේ මුලු මහත් ශිෂ්ඨ ලෝකයාම පිළිකෙව් කරන හිට්ලර්. ඒත් මහේෂ්වරන් ඇමතිනිය උපමාවට ගන්නේ දෙමළ ජනතාවගේ වීරයා වූ ලොව පුරා සිංහල බෞද්ධයා පමණක් සලිත කරවන වේලුපිල්ලේ ප්‍රභාකරන්. ප්‍රභාකරන් දෙමළාගේ වීරයෙක් නොවේ නම් විජයකලා ගේ කතාවට උතුරේ විරෝධයක් මතුවෙන්න ඕන. ඒත් සිද්ධ වුනේ විජයකලාට පක්‍ෂව හා සහයෝගය පළකරමින් උතුර පුරා පෝස්ටර් ඇලවීම.
තනි එජාප ආණ්ඩුවේ කොටළුවන්
මෙහි තිබෙන ඛේදවාචකය නම් විජයකලා මේ සියලු දුක්ඛ දෝමනස්සයන් ගේ මිදෙන්නාවූ මාර්ගය ලෙස දකින්නේ එජාප බලයේ සිටින තනි ආණ්ඩුවක්.
ඇයගේ නිවන, විමුක්ති මාර්ගය වැටී තිබෙන්නේ සිරිකොත හරහා. ඇයට සිය කතාව නිසි ලෙස ගලපා ගන්න බැරි මෙන්න මේ පරස්පරය තුළ හිරවී සිටින නිසා. වඩාත්ම සරළව කියන්නේනම් “සිරිකොත ගිජිදාය දුටුවොත් වනසාය, අතකින් කරවලෙකි අතකින් දඞු බෑය.” ඉතිං එහෙව් මරණ තුනක් අතරේ වුවත් ඇයගේ විලාපයෙන් එළියට පනින්නේ උතුරේ මේ මොහොතේ තිබෙන්නා වූ පරම සත්‍යය. උතුරේ වහලුන් ගේ බුර බුරා නැඟෙන වේදනාව හා කෝපය. ඒ දෙමළ වහලුන් වහල් භාවයෙන් මුදා ගැනීමට දකුණෙන් එන දේව පුත්‍රයෙක් පිළිබඳ අපේක්‍ෂාවෙන් ඇය පසු වෙනවා. විනාඩි පහළොවක් පමන වූ ඇයගේ විලාපය අවසාන මොහොතේ නාභිගත කරන්නේ මෙහෙම.
අපි ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂ සමයේ තමයි ප්‍රභාකරන් එක්ක සාකච්ජා කළේ. ඉදිරියේදීත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවා සාකච්ජා කොට කටයුතු කිරීමට හැකියාක් තිබෙනවා. තනි ආණ්ඩුවක් යටතේ තීන්දු තීරණ ගෙන පාලනයක් ගෙන යා හැකියි. ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
ඇය විමුක්තිය සොයන්නේ වෙනම රාජ්‍යයකින්, සන්නද්ද අරගලයකින්, ත්‍රස්තක්‍රියා මාර්ගයෙන් හෝ උතුර දකුණ එක් වූ ජන අරගලයකින් හෝ නොවේ. එජාප තනි ආණ්ඩුවක් බිහිකර ගැනීමෙන්. එහෙම කියන විජයකලාටත් “සිරිකොතේ” ඉන්නා ඇතැම් අං නැති කොටළුවන් අනින්න පනින එක තමයි මේකෙ තියෙන හොඳම උත්ප්‍රාසය. විද්‍යාත්මක පදනමකින් පත්කළ සිරිසේන – රනිල් ආණ්ඩුවේ, විජයකලා වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී බව ආණ්ඩුවේම නාම්බන්ට නොතේරීම මොන අවාසනාවක්ද? යහපාලනයත් එහෙමනම් පළවා හැරි යම පාලනවාදීන් ගැන කුමන කතාද?
ජනතා විරෝධී ව්‍යවස්ථාව
ඊළඟ කාරණාව විජයකලා ඇමතිනියට දඞුවම් ඉල්ලා සිටින්නේත්, සිරිකොත මේවන විටත් ඇය දඞුකඳේ ගසා තිබෙන්නේත් කුමන චෝදනාවක් පදනම් කරගෙනද? ඇය මහජන නියෝජිතවරියක් ලෙස පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා කියලා. 2015 ජනවාරි 08 ලක්‍ෂ 62ක ජනතාවක් මේ පවතින ව්‍යවස්ථාව පරාජය කරලා, අහෝසි කරලා තියෙන්නේ. උතුරේ ජන්ද ලක්‍ෂ හතරක් විතර විජයකලාලා ඒ ජනමතයට එකතු කළේ මේ ව්‍යවස්ථාව පට්ට පතුරු ගහලා. එදා ඒක නීත්‍යානුකූලනම් එහෙව් ව්‍යවස්ථාවක් ආරක්‍ෂා කරන්න මහජන නියෝජිතවරියක් ලෙස ඇය බැඳී ඉන්න ඕනද? නෑ. කොහෙත්ම නෑ.
ඒ විතරක්ද මේ පවතින ව්‍යවස්ථාව 1994 ඉඳලා ජනමතය විසින් වාර ගණනකදීම පරාජය කරළා තියෙන්නේ. ඒත් බලයට පත්වුණු චපල, නිවට පාලකයෝ තවමත් ජනතාවට අපුල, ජනතා විරෝධී ඒ ව්‍යවස්ථාව තොරොම්බල් කරමින් ඉන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි සිංහයාගේ නැට්ට මුලුමනින්ම කපාදාල නැති නිසා. සිංහල බෞද්ධ ඡන්ද පදනමට කෙළවේවි කියලා හිතලා. ඉතින් විජයකලාලා ඒවාට වන්දි ගෙවන්න ඕනද?
එහෙමනම් විජයකලාට දඞුවම් දෙන්න පෙර ජනතාව විසින් අවලංගු කර ඇති ව්‍යවස්ථාවක් තවමත් පවත්වාගෙන මේ කොන්ද පණ නැති පාලකයන්ට පළමුව දඞුවම් කරන්න ඕන. විය යුත්තේ එයයි. එතකොටවත්, විජයකලා මහේෂ්වරන් ඇමැතිනිය කියන දේ තේරුම් ගැනීමේ ප්‍රඥාව පෑදේදැයි බලමු.
Gnanasiri Koththigoda