පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ රියදුරා සමඟ කතා බහක් පටන් ගත්තේය.
ආරම්භය ඉන්ධන මිලෙනි. රියදුරා ඉන්ධන මිල යළිත් ඉහළ දැමීම ගැන කෝපයෙන් කතා කරමින් ඊළඟ පාර ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉහළින්ම දිනන බවට කැට තැබීය. අප උගත් මිතුරා ඔහු හා එකඟ වෙමින් නමුත් තෙල්මිල තවමත් රාජපක්ෂ සමයට වඩා අඩු නේදැයි විමසීය. එවිට රියදුරුතෙම කීයේ ‘ඒ වුනාට අනෙක් දේවල් ගණන් වැඩියි’ කියා ය. අප උගත් මිතුරා සහ රියදුරා අතර කතා බහ ඇදී ගියේ මෙසේය:
මිතුරා: ‘ඉතින්, ගෝඨාභය රාජපක්ෂ ඇවිත් අද තියෙන ණය බිලියන ගණනාව පියවන්නේ කෙසේදැයි කියා තිබෙනවාද?’
රියදුරු: ‘නැහැ, ඒ වුනාට බලයට ආවම ඒවට ක්‍රම හැදෙනවානේ. ඔය හම්බන්කොට වරායටත් ඒවගේ ක්‍රමයක් හදන්න තිබුණා.’
මිතුරා: ‘හැබැයි මේ ත්‍රී රෝද රථය ගන්නත් ෆිනෑන්ස් එකක් දාන කොට ගෙවන හැටි කියන්න වෙනවා නේද? හැබැයි එදා චීනයෙන් ණය ගන්න කොට එහෙම කියල නෑනේ?’
රියදුරු: ‘බලයට ආවහම කරන්න පුලුවන්. මේ බලන්න දැන් ඉස්කෝල ට්‍රැෆික් එක. මට පුලුවන් නම් කරන්නේ කොළඹ ඔක්කොම ඉස්කෝල අක්කර 20ක් විතර අරගෙන එක තැනකට දාන එකයි. බස් දාන්නත් අක්කර පහක් විතර දෙනවා. එතකොට ට්‍රැෆික් එක ඉවරයි.’
මට පුදුම හිතුණි. මේ ගෝඨාභයවාදී රියදුරා ගොඨාභය මෙන්ම කල්පනා කරන්නේ කොහොමද? ඔහුට අවශ්‍ය පාසල් නිසා අැතිවන තදබදය නැති කිරීම විනා දරුවන්ට නිසි සහ පහසුවෙන් අධ්‍යාපනය ලබා දීම නොවේ. දරුවන් ජීවත්වන ප්‍රදේශ නොසලකා, මහා ජනයා සමඟ කිසිදු සාකච්ජාවකින් තොරව තමන්ගේ අදහස එක එල්ලේ ක්‍රියාත්මක කිරීමට ය.
කතාව දිගටම ගිය අතර රියදුරා ආණ්ඩුවට දිගට ම දෙහි කැපුවේ ය. ඔහුගේ එකම අපේක්ෂාව වූයේ ගෝඨාභය රාජපක්ෂ ඔසවා තැබීම යි. ‘අනෙක් රාජපක්ෂලා වැඩක් නෑ. එකම මිනිහා ගෝඨාභය යි, යුද්ධය ඉවර කළ රට ගැන නියම කැක්කුම තියෙන මිනිහා තමයි ගෝටා’ ඔහු යටි උගුරෙන් කෑගසන තත්වයට පත්වෙමින් සිටියේ ය.
‘දැන් අප බහින්න ළඟයි. මං එක ප්‍රශ්නයක් අහන්නද?’ යැ යි මිතුරා ඇසූවිට රියදුරු ‘ඔව්, කියන්න’ කීයේ ගෑස් පෙඩලය වේගයෙන් පාගමිනි. ‘ඔබ කියන හුඟක් දේ හරි. ඒත් කියන්න යුද්දෙ අතරමැද්දේ ඔබ කියන රට ගැන කැක්කුම තියෙන ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට ගිහින් එහේ පුරවැසිකම ගත්තේ ඇයි කියලා?’
උත්තරයක් නොදුන් රියදුරු ජියර් මාරු කළේ එකවරම ය. ‘මම නම් ඔය කාටවත් ඡන්දේ දෙන්නේ නෑ. දෙපාරක් දුන්න මහින්ද මහත්තයට. ඒච්චරයි.’
‘අන්න හරි, අපි හැමෝටම හරියන කෙනෙක් දැන් සොයන්න ඕනෑ’යි කියමින් අප මිතුරු වෛද්‍යවරයා රථයෙන් බැස්සේ ය. ඇත්තටම රියැදුරුට උත්තරයක් තිබුණේ නැත. ඒ ප්රශ්නය ගන්නවා වෙනුවට ඔහු තරඟයෙන් ඉවත්වීමට තීරණය කළේ ය.
ගෝඨාභය රාජපක්ෂවාදීන්ට පිළිතුරු නැති, නොගන්නා ප්රශ්නය නම් ‘යුද්ධය අතහැර ඇමෙරිකාවට ගියා පමණක් නොව එහි පුරවැසිකමද ලබා ගත්තේ ඇයිද?’ යන්න ය. පරණ ප්‍රශ්නයක් වන නමුත් එහි ඇති බලය යට කී ත්‍රීරෝද රථ රියදුරු කොර වීමෙන් ම පෙනී ගියේ ය. එම නොගන්නා ප්රශ්නයේ ම දෙවන කොටස නම්, සිය ඇමෙරිකානු පුරවැසිබව අත් හරින්නේ 2020 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන්නේ තමා නම් පමණක් බවට මෑතදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය යි. ජනාධිපතිකම නැතහොත් ගෝඨාභයගේ කැමැත්ත ඇමෙරිකානු පුරවැසියකු ලෙස දිගටම සිටීම නම් දේශද්‍රෝහීන් මරා දැමීමට කැස කවන ඔහුගේ දේශපාලන සොල්දාදුවන් කියන්නේ කුමක්ද?
එම ප්රශ්නය විශ්වසනීය ලෙස අහන්නට පුලුවන් කෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවාද යන්නත් එම ප්රශ්නය දැනෙන ලෙස අහන්නට ආණ්ඩු දේශපාලනඥයින්ට හැකියාවක් තිබේද යන්නත් වෙනම ප්රශ්නයකි.
ගෝඨාභය රාජපක්ෂවාදීන්ට පිළිතුරු දිය නොහැකි තවත් බොහෝ තහනම් වචන මෙන්ම නොගන්නා ප්‍රශ්න තිබේ. පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ අද මෙරට නීතියේ පාලනයක් නැතැයි කියා තිබුණේ ඔහු බලයට පැමිණි විට නීතියේ පාලනය ඇති කරන බවට ඉඟි කරමිනි.
රාජපක්ෂවරුන් විසින් ‘නොගන්නා ප්‍රශ්නයක්’ බවට පත් කර ගත හැකිව තිබූ නීතියේ පාලනය දැන් ගෝඨාභය රාජපක්ෂ ගෝල ලබා ගැනීමට පාවිච්චි කරන පාපන්දුවකි. රාජපක්ෂවරුන් යටතේ නීතියේ පාලනයට සිදුව තිබූ දේ දැන් අපට ද අමතකව යමින් තිබීමෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුව කොතරම් පුස්සක් බවට පත්ව ඇත්ද යන්න යි.
අපේ මතකය සඳහා දැන් ගෝඨාභය රාජපක්ෂට මතක් වී ඇති නීතියේ පාලනයට එකල සිදුව තිබූයේ කුමක්ද යන්න කෙටියෙන් හෝ මතකයට නංවා ගැනීම වැදගත් ය.
රාජපක්ෂවරුන්ගේ පාලනය යටතෙහි මෙරට ස්වාධීන කොමිසන් සභාවන්ට සාමාජික සාමාජිකාවන් පත් නොකළා පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පුරප්පාඩු පුරවන ලෙස කරන ලද නියෝග පවා නොසලකා හැරියේ ය. පසුව 18වන සංශෝධනය මගින් එම කොමිසන් සභාවන්හි ස්වාධීනත්වය නැත්තටම නැති කළේ ය.
රාජපක්ෂවරුන් යටතේ මෙරට මානව හිමිකම් කොමිසම අන්තර් ජාතික වශයෙන් පහළ දමන ලද අතර එයට යළි ගරුකටයුතු ‘A’ තත්වය ලැබුණේ ඊයේ පෙරේදා ය. දැන් ගෝඨාභයගේ දේශපාලන සොල්දාදුවන් විසින් වත්මන් ස්වාධීන මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනියට තර්ජනය කරන්නේ දේශද්‍රෝහීන් මරා දමන බව කියමිනි.
රාජපක්ෂ සමයෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් පත් කළේ ගෙදර යන ගමන් හමුවීමට එන්නැයි කියා සිය මිතුරු මිතුරියන් ය. තමන්ට අවශ්‍ය තීන්දු නොදුන් නිසා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරිය ගෙදර යැවූයේ කැකිල්ලේ අධිකරණයක් මගිනි.
රාජපක්ෂවරුන්ගේ පාලනය යටතෙහි පොලීසිය විසින් මෙරට දකුණු බද පළාත්හි නීතියට පිටින් ‘පාතාල’ යැයි හංවඩු ගසා ඝාතනය කරන ලද සංඛ්‍යාව සියයකට ආසන්න විය. එකල උතුරු නැගෙනහිර සහමුලින් ම වාගේ තිබුණේ නීතියේ පාලනයක් නොව රාජපක්ෂවාදී යුද හමුදා පාලනයකි.
එදා නීතියේ පාලනය කෙසේ වීද යත් විමල් වීරවංසගේ නීති විරෝධී රංචු ගැසීමක් පාලනය කරන්නට ආ ඉහළ පොලිස් නිලධාරියකුට විරවංශගේ දුරකථනය හරහා කාටත් ඇසෙන සේ ගෝඨාභය නියෝග කළේ පැත්තකට වී ඉන්නා ලෙසය.
එවකට ජවිපෙ නායකයා වු සෝමවංශ අමරසිංහ, 2010 ජනාධිපතිවරණය අවසන්ව ගිය වහාම ජනවාරි 28වනදා ගෝඨාභය රාජපක්ෂ තමාට දුරකතනයෙන් කතා කොට ‘ඔහුගේ දේශපාලන වැඩ සහ ලංකා පුවත්පත නතර කරන ලෙසත් එසේ නොකළහොත් නපුරක් සිදුවිය හැකි බවට’ තර්ජනය කළේ යැයි වර්තා කළේ ය.
පාර්ලිමේන්තුවට කරු ජයසූරිය විසින් ගෙන එන ලද තොරතුරු නිදහසේ පනත් කෙටුම්පත පරාජය කරන ලද්දේ ද රාජපක්ෂවරුන් විසිනි.
රාජපක්ෂ දරුවන් විසින් ක්‍රීඩා පිට්ටනිය මැද දී ම රගර් ක්‍රීඩා විනිසුරුවරයකුට පහර දෙන ලද නමුත් ඊට විරුද්ධව කිසිදු පියවරක් ගැනුණේ නැත.
‘ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වග කිව යුත්තේ කවුරුන්දැයි’ ඇසූ විට ‘ලසන්ත කියන්නේ කව්ද? ටැබ්ලොයිඩ් පත්තරකාරයෙක්’ යැයි අවඥාවෙන් පිළිතුරු දීම ගෝඨාභය රාජපක්ෂගේ නීතියේ පාලනය බව අප මතක තබා ගත යුතු ය. ‘යුද්ධය විවේචනය කළ හොත් මට පක්ෂපාත අයවලුන් විසින් තමුන් මරා දමන්නට ඉඩ ඇතැයි’ සනත් බාලසූරියට සහ පෝද්දල ජයන්තට තර්ජනය කිරීමද ගෝඨාභය රාජපක්ෂගේ නීතියේ පාලනය යි.
ප්‍රගීත් එක්නැළිගොඩ ජීවතුන් අතර සිටියේ නම් ‘ගෝඨාගේ නීතියේ පාලනය’ යැයි මන බඳින පොතක් ලියන්නට ඉඩ තිබුණි. ඔහු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමද අයත් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නීතියේ පාලනයට ය.
අද එවැනි නීතියේ පාලනයක් නැත. අප සමඟ උණුසුම් කතා බහක නිරත වූ කලින් කී ත්‍රී රෝද රථ රියදුරු මහතා මෙන් තවත් බොහෝ අයද නොදන්නා කාරණය නම් ගෝඨාභය පන්නයේ නීතියේ පාලනයක ගොදුරු බවට පත්වන්නේ කවරකු කවර දිනක කොතැනකදී ද යන්න කිසිවකුට කිව නොහැකි බවයි!
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya