iMage By: Vikalpa

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ වාර්තාවක්. අනෙක “ජාතික රූපවාහිනිය” OMP කාර්යාලයේ සභාපතිවරයා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක්. එය මෙහෙයවන ලද්දේ ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංග. පළමුව අපි “අද දෙරණ ඊ පුවත් පතේ” තිබුනු වාර්තාව ගැන බලමු. මෙම වාර්තාව ලියන්නේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය කොළඹ ජානකී හෝටලයේ දී පැය ගණනක් කළ සාකච්ඡාවකින් අනතුරුව වීමද සුවිශේෂී කරුණකි.

“යුද්ධයට පෙර සහ පසු කාලවල අතුරුදන්වූවන් සම්බන්ධ පැමිණිලි 13,000ක් පමණ ග්‍රාමනිලධාරීන් වෙත ලැබී ඇති අතර “එල්.එල්.ආර්.සී. පිටිපන සහ මනෝරි මුත්තෙට්ටුවේගම යන කොමිසමන් සභා වාර්තා අනුව ඒවා පිළිබඳ සොයා බැලීමේ කටයුතු අතුරුදන්වුවන්ගේ කාර්යාලය ආරම්භ කර තිබේ.”(2018 ජූලි 10)

“එල් එල් ආර් සී පිටිපන කොමිසම” යන්න මා මේ ඇසුවේ පළමු වතාවටයි. “එල් එල් ආර් සී” යනු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේ පත් කරන ලද කොමිසමකි. එහි සිංහල නම “උගත් පාඩම් හා සංහිඳියා කොමිසම යි”. එල් එල් ආර් සී යනු එහි ඉංග්‍රීසි නාමයේ මුලකුරු කෙටියෙන් සඳහ​න් කිරීමයි. “පිටිපන කොමිසම ” කියන්නේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් විසින් පත්කරන ලද කොමිසමකි. එකක් මනුෂ්‍ය අතුරුදහන් ප්‍රශ්න සොයා බැලීම සඳහාද අනෙක මුදල් අතුරුදහන් ප්‍රශ්න සෙවීම සඳහාද පත් කරන ලද කොමිසම් දෙකකි. කරුණු එසේ වුවත් “අද දෙරණට” අනුව “එල් එල් ආර් සී පිටිපන කොමිසම” යනුවෙන් එකක් ඇත. ​අප මේ පිළිබඳව නොදන්නා නිසා එම කොමිසම පත් කළේ කවුරුන්ද, එම කොමිසමේ කාර්ය භාරය කුමක්ද යන්න පැහැදිළි කළ හැකිනම් අගනේය​.

ඊළඟ සිදුවීම “ජාතික රූපවාහිනි” යේ වැඩසටහනකි. එය විකාශය වූවේ 7.10.2018 දිනය. OMP කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමඟ එකී කාර්යාලයට පැවරී ඇති වගකීම හා එම ආයතනයට තිබෙන්නා වූ බලතල පිළිබඳව මෙහිදී ප්‍රශ්න කැරිනි. ප්‍රශ්න කිරීම සිදු කළේ ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංගය.​.

මාගේ මතකයේ හැටියට ඔහු ලංකාවේ මහජන සේවා ජනමාධ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් එකල රටපුරා පැවැති වැඩ මුලුවල දේශකයෙකි. මහජන සේවා ජනමාධ්‍ය යන්න “හඬක් නැති මිනිසුන් ගේ හඬ” යැයි කැටිකර දේශනා කළ හඬ තවමත් මතකය​. අඳෝ මැයි, පැයකුත් විනාඩි විස්සකට අධික කාලයක් පුරා පැවැති රූපවාහිනී සාකච්ඡාව තුළදී ඔහු ඉගැන් වූ සියල්ල ඔහුට අමතක වී තිබුනි. ඒ වෙනුවට ඔහුගේ හඬ නැගුනේ හඬක් ඇති මිනිසුන් වෙනුවෙනි​.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් යැයි එක් මාධ්‍යයකට ලියන කියන මාධ්‍යවේදියාම තවත් මාධ්‍ය ආයතනයකට එල් ටී ටී ඊ කැරලිකරුවන් යැයි ලියන කියන භාවිතාවක්ද අපේ රටේ තිබේ. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් කිව්වා වාගේ මිස මේවා කිසි විටෙක මුදල් අරබයා සිදුවන්නේ යැයි කුහක කතා නොකියමි.

මංගල හා සුදර්ශන

ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංගට හා “ජාතික රූපවාහිනිය” ටද “රණවිරුවන්” යනුවෙන් කොටසක් සිටී. “රණවිරුවා” යනු දේශපාලන අර්ථකතනයකි. උතුරේ දෙමළාට එරෙහි යුද්ධයට ගිය සිංහල, බෞද්ධ සොල්දාදුවා “රණවිරුවා”ය​. නමුත් ඒ සිංහල, බෞද්ධ සොල්දාදුවාම දකුණේ මිනී මරන විට ඔහු නම් කරන්නේ “මිනීමරු හමුදාව” යනුවෙනි. එයින් පැහැදිළි වන්නේ මිනීමරු හමුදාව හෝ රණවිරුවා වන්නේ වාර්ගික මරා දැමීම අනුවය​. වාර්ගික අසමානාත්මතාවයට විරුද්ධව කතා කරන ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගේ හා හිටපු වාමාංශික වර්තමාන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන ගේ “ජාතික රූපවාහිනිය” තවමත් සිටින ස්ථාවරය මින් මොනවට පැහැඳිළි වේ. මෙය දකුණේ රූපවාහිනිය ලෙසින් නම් කර තිබුනේ නම් ආයතනයේ ස්ථාවරය පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ නැත​.

ප්‍රවීන මාධ්‍යවේදී ශාන් පුන පුනා ප්‍රශ්න කළේ ඔවුන් ගේ රණවිරුවන්, OMP එක මගින් දංගෙඩියට දැක්කීමක් සිදු වන්නේ නැතිද කියාය​. OMP සභාපති නීතිඥ සාලිය පීරිස් පොළොවේ හැපි හැපී පෙන්වා දුන්නේ එහෙම කටයුත්තකට තම ආයතනයට කිසිදු නෛතික ඉඩ කඩක් නොමැති බවය​. එවගේම OMP යේ සිටින කිසිදු සාමාජිකාවකට හෝ සාමාජිකයකුට එවැනි පුද්ගලික ඕනෑ කමක්ද නොමැති බවය​.

නමුත් ප්‍රවීන මාධ්‍යවේදී ශාන් ඒ කිසිවෙකින් සෑහීමකට පත්වන්නේ නැත​.මාධ්‍යවේදී විජේතුංග එමනිසා ප්‍රශ්න කරන්නේ O M P සාමජිකාවක් වන ආචාර්ය නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පිළිබඳවය​. ඇය මහින්ද රෙජීමවාදීන් ගේ දැඩි වෛරයට පාත්‍ර වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ශාන්ට ගැටලුව තිබෙන්නේ ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරවීම් වලට එරෙහිව අතීතයේ හඬ නැගූ නිසා OMP එකේ “සමතුලිතතාවය අඩාල වීම” ගැනය. නමුත් මාධ්‍යවේදි ශාන් වික්‍රමතුංගට හා මෙම වැඩ සටහන අධ්‍යක්‍ෂණය කළ “ජාතික රූපවාහිනිය”ට අමතක වූවේ OMP එකේ ඔවුන් ගේ රණවිරු නිලධාරිනියක්ද​ සිටින බවය​.

මේජර් ජෙනරාල් මෝහන්දි ආනන්දි පීරිස් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නිමල්කා ප්‍රනාන්දු හා සමානම කොමසාරිස්වරියකි. දෙමළ ජන ඝාතක යුද්ධයේදී ආණ්ඩුවේ හමුදාවෙන් යුද අපරාධ සිදු නොවූ බවට වාර්තා හැදුවේ මේජර් ජෙනරාල් මෝහන්දි ආනන්දි පීරිස්ය​. ප්‍රවීන මාධ්‍යවේදී ශාන් ඒ පිළිබඳව සාලිය පීරිස් ගෙන් ප්‍රශ්න නොකළේ මේජර් ජෙනරාල්වරිය සම්බන්දව කරුනු නොදත් නිසාද නැතිනම් රණවිරු ආලය​ නිසාදැයි දන්නේ ඔහු හා “ජාතික රූපවහිනිය”​ පමනි.

OMP වරම

OMP සභාපති නීතිඥ සාලිය පීරිස් දිගින් දිගටම පෙන්වා දුන්නේ සිය කාර්යාලයේ රාජකාරී වපසරියයි. (1) ක්‍රියාන්විතයේදී. (2) උ/නැ: අර්බූදය තුළ අතුරුදහන් වූ තැනැත්තන්.(3) ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ සන්නද්ධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්. වාර්තා වී ඇති ගණන 5100 කි. (4) බලෙන් අතුරුදහන් කරවීම්. උදා; ත්‍රී/ මළේ, කොළඹ​.

මෙම කරුනු හතරට යටත්ව අතුරුදහන් වූ සහ අතුරුදහන් කර වූ පුද්ගලයන් සොයා ගැනීම සිය කාර්යාලයට පැවැරී ඇති රාජකාරිය බව සාලිය පීරිස් කියා සිටියේය​.

මේ ලෙස පැහැදිළි කළ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංගගෙන් විමසා සිටියේ මේ සීමා මායිම් තුළ “සිය ඥාතීන් අතුරුදහන් කරනු ලැබුවේ කවුරුන්ද​? එයාල ඉන්නවාද​?. මරල දාලද කියලා දැන ගන්න ඕන​. මේක දැන ගැනීමේ අයිතියක් තියෙන්නෙ ඕන​. මේ අය ආපසු එනවද නැද්ද කියලා දැන ගන්න ඕන​. මේක මානුෂීය ප්‍රශ්නයක් කියාය​. (අතුරුදහන් කරවීම “මානුෂීය මෙහෙයුම”කි.)

ඩයස්පෝරා

පීඩාවට පත් ජනතාවට OMP එකෙන් කෙවැනි සහනයක් ලබාගත හැකිද හෝ යන්න​ සොයා බැලීමේ නිනව්වක් “ජාතික රූපවාහිනිය”ට​ හෝ මාධ්‍යවේදී ශාන් විජේතුංගට​ තිබූ බවක් නොපෙනුනි. සියලු පැහැඳිළි කිරීම් හබරල කොලයකට වතුර වත්කරා වැනිය​. “ජාතික රූපවානියෙන්” මතුකළ පැනය ඊට කදිම නිදසුනකි. “අතුරුදහන් වූවායැයි කියන බොහෝදෙනා ඉන්නේ විදේශගතව​. දෙමළ ඩයස්පෝරාවත් එක්ක​. ඒ ගැන විවිධ සාක්‍ෂි, කරුනු තිබෙනවා. (මාධ්‍යවේදී ශාන් සතුවද සාක්‍ෂි, කරුනු තිබෙන බවක් ඉන් ගම්‍යවේ.) එමනිසා ඔවුන්ට පුලුවන් මේ කාර්යාලය හරහා අපේ රටේ යුද්දයේ යෙදිලා හිටිය රණවිරුවන්ට යම් අසාධාරනයක්, තර්ජනයක් එල්ල කරන්න​.”

ඉහත පැනය මොන තරම් කුරිරු සහගත විකාරයක් ද​? උතුරේ අතුරුදහන් කෙරූ තම දූ පුතුන්, ස්වාමිපුරුෂයන්, ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලන අම්මලාගේ අඛණ්ඩ උපවාසය මේවන විට දින 500 ද ඉක්මවා ඇත​. අතුරුදහන් කෙරූවන් විදේශ රටක ඉන්නවා නම් මේ අම්මලා බඩගින්නට අව් වැහි කකා කරන්නේ රඟ පෑමක්ද​? පිළිතුරු දී ගැනීමට හෝ අවකාශයක් නොමැති හඬක් නැති මේ මිනිසුන්ට මහජන මාධ්‍ය අවකාශය පාවිච්චි කරමින් කරනා අවමානය ජාතික යැයි කියා ගන්නා මාධ්‍යයකට තරම් වටිනේද​? ඒ අම්මලා සිය ගණන අතරින් කී දෙනෙක් ඔය වායු සමීකරණය කළ මැදිරියට ගෙන්නා සිංහලයන්ට ඔවුන්ගේ හඬ අසන්නට සැලැස්සුවාද?

අතුරුදහන් කළ එක්නැළිගොඩ මාධ්‍යවේදීයා ප්‍රංශයේදී සියැසින් දුටු බව කීවේද සිරිසේන ජනාධිපතිවරයාගේ ගෝලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුය​. ජිනීවා ගොස් ඒ ජාතියේම අතේ රෝලක් මානව හිමිකම් කොමිසමට බෙදූ රාජපක්ෂ ආණ්ඩුවේ නීතිපති මොහාන් පීරිස්ගේ රෙදි ගැලවුනේ, සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ඔහු උසාවියට දක්කනු ලැබීමෙන් පසුය. මරාදැමූ, අතුරුදහන් කර වූ මිනිස් ජීවිත සමඟ සිංහල බලධාරීන්ට ක්‍රීඩා කිරීමට අවසර ඇත​. ඒත් දෙමළ විජයකලාලාට ඒ සෙල්ලමට එරෙහිව අදහසක්වත් කියන්නටත් බැරිය​. මස් රාත්තලම ඉල්ලන දේශපාලකයන් විසින් කිරිජ්ජපල්ලට අනිනු ලැබූ TID එක හිටි පිම්මේ එලවන්න ගනී.

58 සේනාංකය

යුද්ධය අවසානයේදී 58 වැනි සේනාංකයට භාරදුන් පුද්ගල ලැයිස්තුව මේතාක් අධිකරණයට ඉදිරිපත්කර නැත​. එයට මුලු මහත් හමුදාවම වගකිවයුතු නොවේද​? ඒත් හමුදාපති ඇතුළු සියලු යුද නායකයෝ යෙහෙන් වැජඹෙති. “ජාතික රූපවාහිනිය”ට හෝ ශාන් විජේතුංගට මේවා සම්බන්ධයෙන් වගේ වගක් නැත​. එපමණක්ද? නැත​.

වැඩසටහන අතරතුරදී ශ්‍රාවක ප්‍රශ්නවලටද ඉඩදී තිබුනි. එහිදී පීඩාවට පත්වූවන් වෙනුවෙන් මතු වූයේ එකම පැනයකි. “අතුරුදහන්වූවන් ගේ මාපිය දූ දරු සංවිධානයේ ජාතික සංවිධායක” ලෙස තමන් හදුන්වාගත් ඔහු ප්‍රභා නානායක්කාරය​. ඔහු මතු කළේ පවුලක ජීවත්වීමට ආදායම් ඉපයූ පුද්ගලයා අතුරුදහන් කර ඇති බොහෝ නිවෙස් තිබෙන බවයි. එවැනි පවුල් අද ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව අන්ත අසරණභාවයට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය​. එකී පවුල්වල අතුරුදහන්වූවන් සොයාදෙන තෙක් ඔවුන් ගේ යැපෙන්නන්ට ජීවත්වීමට මුදලක් ලබා දෙන්නේදැයි ඔහු වැඩි දුරටත් විමසීය​. තවත් කරුනු ඉදිරිපත් කිරීමට සැරසුනත් ජාතික රූපවාහිනිය ඔහුගේ දුරකතනය විසන්ධි කළේය​. පීඩාවට පත්වූවන් පිළිබඳව​, හඬක් නැති ජනතාව වෙනුවෙන් මේ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් මොන තරම් සංවේදීද​?

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා විමසන ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංග වරක් දරනගම කොමිසමක් ​පිළිබඳව කතා කළේය​. OMP සභාපතිවරයා එය දරනගම කොමිසම නොව පරනගම කොමිසම යැයි ශාන් විජේතුංගට​ කියා දුන්නේය​.

කිසිදු වග විභායකින්, අධ්‍යයනයකින් තොරව OMP එක පිළිබඳව මේ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් මහජනයා දැනුවත් කරන්නේ මොන තරම් සැහැල්ලුවෙන්ද​? එසේ වන්නේ මෙය අපේ නොව අනෙකාගේ ප්‍රශ්නයක්‍ ලෙසින් දකින​ නිසා නොවේද​? සිංහල බෞද්ධ හමුදාව ගැන, දෙමළා මරා දැමීම ගැන තිබෙන්නා වූ අවිඥ්ඥානික ආශාව​ නිසා නොවේද​? ඔය මොන මොන පද පෙරළි කළත් අපේ රණවිරුවාට වින කටින්න තමයි සූදානම් වෙන්නේ යන සැකය, බිය මේ මාධ්‍යකරුවන් ආත්මීය වශයෙන් වෙළාගෙන ඇති නිසා නොවේද​? ශාන් ගේ අවසාන ප්‍රශ්නය එයට සාක්‍ෂි සපයනවා.

ශාන් සහ විජයකලා

ප්‍රවීන මාධ්‍යවේදී ශාන් විජේතුංග OMP ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස්ගෙන් සහතිකයක්, දිවුරුමක් ඉල්ලා සිටියා. “අවසාන වශයෙන් ඔබට සහතිකයක් දෙන්න පුලුවන්ද මේ ගොනු කරන්නේ “රණවිරුවන්ට” දඬුවම් කිරීමේ චෝදනා නොවේ කියලා?”. පැයකුත් විනාඩි විස්සක් තිස්සේ රණවිරු කතා ඇසීම නිසාදෝ සාලිය පීරිස් පිළිතුරු දුන්නේත් “රණවිරුවන්ට” දඬුවම් කරන්නේ නැත යන සහතිකය ලබා දෙමිනි.

විස්මය ජනක කරුණ නම්, අසූව දශකය අගදී සිංහල යෞවනය අතුරුදහන් කරන විට, ටයර් සොහොන් වල පුච්චන විට මාගල් තරම් දිග පිටු පුරා කෝපයත්, ශෝකයත් වැපිරූ පත්තරයක වැඩ කළ ශාන් විජේතුංගට ඒ ඉරණමටම මුහුණ දුන් දෙමළා වෙනුවෙන් හලන්නට කඳුලු නැතිවීමය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියූ තවත් දෙයක් තිබේ. ඒ, සිය සමීපතමයන් අතුරුදහන් කරනු ලැබීමෙන් පීඩාවට පත් වූ ඥාතීන් ගේ ගැටලු වලට සංවේදී කාර්ය මණ්ඩල සහිත ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමේ අවශ්‍යතාවයි. ඒ ගලෙන් පට්ටයක් ගත්තත්, දෙමළ අම්මලාගේ දුක වේදනාවට සංවේදී වීමේ පිහාටුව සිංහල මාධ්‍යවේදී ඉබ්බන්ගෙන් ඉල්ලා ගැනීම කොයි තරම් පහසුද යන්න ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක්ම එකට රංචු ගැසී කළ මේ වාර්තාකරණය හොඳින් පහදා දෙයි.

දකුණේ මාධ්‍යයටත්, මාධ්‍යකරුවන්ටත්,ජනාධිපතිටත්, බොහෝ මැති ඇමැතීන්ටත් තිබෙන්නේ එකම උභතෝකෝටියකි. එනම් සිය “රණවිරුවන්” යුද අපරාධ චෝදනාවෙන් බේරා ගන්නේ කෙසේද​? මේ චෝදනාවලට අදාල සැබෑ සාක්කි එක්සත් ජාතීන් අතට පත්වීම වලක්වා ගන්නේ කොහොමද? එසේ නොමැතිව මේ කිසිවෙක් පීඩාවට පත් වූවන් පිළිබඳ සංවේදී නැත​. ඔවුන් ගේ දුක් වේදනාවට, අඳෝනාවට, විලාපයට ඇහුම්කන් දෙන්න හෝ සූදානම් නැත​.

මෙවන් වූ රටෙක පාලකයා විසින්ම පත් කළ​ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට පීඩාවට පත් වූවන් ගේ විරෝධය මතුවීම කුමන අරුමයක්ද? ප්‍රභාකරන් නැවත ගෙන්වා ගැනිමේ සිහිනයෙන් විජයකලාලා කෙසේනම් ගලවා ගන්නේද​?

ඥානසිරි කොත්තිගොඩ​