iMage:Lankainformation.lk
යටත් විජිත සමයේ ඒ ඒ ජාතීන් විසින් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිකරන ලද ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානයන් බොහොමයක් සංරක්ෂණය කල යුතු හෝ සංචාරක වටිනාකමක් ඇති ඒවා බව කවුරුත් දනිති.
බොහෝ විට ඒවා පාලනය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. නැතිනම් අදාල ප්‍රදේශයේ සිවිල් පරිපාලන ආයතනයන්ය. ගාල්ල, මාතර, මඩකලපුව, ත්‍රීකුණාමලය ආදී ස්ථානයන් එයට උදාරහණයන්ය. (ඇතැම් ස්ථානවල නාවික හමුදාව/හමුදාව කිසියම් ආරක්ෂක කටයුත්තක නිරතඋනත්…)
නමුත් යාපනයේ තත්ත්වය එයට සපුරා වෙනස්ය.
යාපනය නගරයේ පිහිටා ඇති පෘතුගීසි කොටුවේ අයිතිය සම්බන්ධයෙන් ලුතිනනන් ජනරාල් මහේෂ් සේනානායක හමුදාපතිවරයා අදහස් දැක්වූයේය. ඔහු පවසා තිබුණේ,
‘යාපනය කොටුවේ පමණක් නොව ත්‍රිකුණාමළය ගාල්ල වැනි කොටුවලද ආරක්ෂක කටයුතු සඳහා යුද හමුදාව යොදවා සිටිනවා. ඒ විතරක් නෙමෙයි යාපනය කොටුවේ ද අවුරුදු ගණනාවක සිට යුද හමුදාව සිටිනවා. කොටුව පිළිබද තීන්දු ගන්නේ අපි’
මේ තත්ත්වය ඇති වූයේ නැවත වරක් යාපනය කොටුව තුළ හමුදා කදවුරක් ඉදිකරන බවටත්, ඒ පිළිබදව උතුරු පළාත් සභාවේ මංත්‍රීවරු බොහෝ පිරිසක් විරුද්ධ වූ තත්ත්වයක් තුළය.
තවමත් යාපනය පරිපාලනය ‘හමුදාවේද’
යාපනය අර්ධද්වීපය තුළ යුදමය තත්ත්වය අවසන් වූයේ 2009ට පෙරය. දැන් එහි පළාත් සභාවක් ඇතුලු සිවිල් පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කර වසර ගණනාවකි.
නමුත් දකුණට වඩා තත්ත්වය වෙනස්ය. බොහෝ පරිපාලන තීන්දුවලට හමුදාව සෘජුවම මැදිහත් වෙයි. කොටින්ම කිවහොත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රශ්ණයක දී පවා අදාලා සාකච්ඡාවන් සදහා හමුදා ප්‍රධානීන් ගේ සහභාගීත්වය අනිවාර්ය අංගයක් වී තිබේ. නගර සභාව සිදුකරන ඇතැම් කාර්යන් හමුදාව බාර ගෙන තිබේ. සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් කොතනක හෝ සිදු වන්නේ ද හමුදා බුද්ධි අංශ යැයි හදුන්වන පුද්ගලයන් රැසක් එහි තවමත් සැරිසරයි. යුද්ධය අවසන් වුවත් පොලීසියේ කාර්යන් නිරායාසයෙන්ම හමුදාවට බාර දී ඇත්දැයි සැකයක් මතු වන බව ජනමාධ්‍ය මිතුරෙක් පසුගිය දා අපත් සමග කීවේය. ඒ තරමට තවමත් සිවිල් තීන්දු ගැනීමට හමුදාව මැදිහත් වේ.
යාපනයේ කොටුවේ සිදුවීමත් එයට හොදම උදාහරණයකි. පළාත් සභා පිහිට වූයේ අවම වශයෙන් අදාල ප්‍රදේශවල පරිපාලන තීන්දු ගැනීමට ඔවුන්ට බලය පැවරීමටය. ඒ තුළින් ප්‍රාදේශීයව සිවිල් ආයතන මෙන්ම ඔවුන්ගේ අනන්‍යතා ශක්තිමත් වෙමින් ඔවුන්ගේ දේශපාලන ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාරවත් වන බව තිබෙන අදහසයි.
නමුත් යාපනයේ පළාත් සභාව හෝ නගර සභාවට අයත් විය යුතු ව ඇති ‘යාපනය කොටුව’ තුළ හමුදා කදවුරක් ඉදිකිරීමට තීරණය කරන්නේ හමුදාපති වරයයා ය. ඒ යුදමය තත්ත්වයක් හෝ කිසිදු කැරලිකාරී තත්ත්වයක් නැති අවස්ථාවකය. හමුදාපතිවරයාට අදාළ ආයතන ඒ පිළිබදව දක්වන අදහස අදාළ වන්නේ නැති සේයකි.
යාපනය තුළ ඉඩම් නිදහස් කිරීම පිළිබද හමුදාපතිවරයාගේම වචන කිහිපයක් මෙහි සටහන් කරනු වටී. ‘අපි ඉඩම් දෙනවා වගේම, ආපහු ගන්නත් පුලුවන්’ ඒ ඔහුගේ මිලිටරි බලය උතුරේ දෙමළ මිනිසා වෙත මුදාහළ බියකරු අවස්ථාවකි. (මෙහි ඛේදවාචනය දකුණට දැනුනේ නැත. දකුණට දැනුනේ දෙමළ මිනිසුන් පිරිසක් විසින් මල් මාලා දමා ඔසවා තැබූ හමුදා නිළධාරියා පමණි. එයින් කියැවෙන්නේ දකුණේ බොහෝ ප්‍රගතීශීලී යැයි කියා ලන්නා අයට පවා අවශ්‍ය වන්නේ හමුදාව උත්කර්ශයට නංවන, දෙමළෙකි. දකුණ ආශා කරන දෙමළෙකි.)
මෙයින් සෘජුවම අදහස් වන්නේ කුමක්ද? පළාත් සභාව, නගරසභා, ප්‍රාදේශීය සභා, පොලීසි කොතරම් යාපනය අර්ධද්වීපය තුළ ගොඩනැගුවත් වැඩක් වන්නේ නැත. සියලු තීරණ ගැනීම හමුදාව සතුය. එයින් මතුවන්නේ දකුණට සාපේක්ෂව උතුරේ හමුදාව සිවිල් ජන ජීවිතයට කොතරම් තෙරපුමක් එල්ලකරන බව නොවේද? උතුරින් මිලිටරිය අවම කරනවා වෙනුවට තවමත් එය ශක්තිමත් කරනවා නොවේද?
මිලිටරිය සිවිල් ජන ජීවිතය තුළට කාවද්දමින්, සිවිල් පරිපාලන ආයතන විසින් සිදුකළ යුතු බොහෝ සිවිල් කටයුතු වලට හමුදාව මැදිහත්වීමෙන් ඇති කරන්නට යන ‘සංක්‍රාන්ති යුක්ති’ ක්‍රියාවලිය කුමක් ද?
යුද්ධයකින් පසුව මිලිටිරිය බැරැක්කවලට යොමු කරමින් සිවිල් ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීම, සිවිල් ආයතනවලට බලය පවරමින් බලය බෙදාහදා ගැනීම ප්‍රමුඛ කාර්යක් ව තිබුණත් දැන් දැන් නැවතත් වර්ධනය කරන්නේ එහි ප්‍රතිපක්ෂයයි.
මෙය 2015 දී දෙමළ ජනයා මෙන්ම රටේ සමස්ථ ප්‍රගතිශීලි ජනයා අපේක්ෂා කළ ‘වෙනස්කම’ නම් නොවන බව ‘යහපාලන’ මහත්වරුන්ට කිව යුතුය.
රාජපක්ෂ පාලනය තුළ මෙන්, උතුරේ නැවතත් වර්ධනය වන්නේ සිවිල් පරිපාලනයේ බොහෝ දේවල් හමුදාවට බාරදීම ද? පොල් පැල බෙදා දීමේ සිට පෙර පාසල් කටයුතුවලට පවා සෘජුවම හමුදාව මැදිහත් වීම නම් කල යුත්තේ ‘සිවිල් පාලනයක්’ කියාද?
යාපනය කොටුවේ හමුදා කදවුරක් ඉදිකිරීමේ කටයුත්තේ දී හමුදාපතිවරයා තව දුරටත් මෙසේ පවසයි. ‘හමුදාව යම් ස්ථානයක සිටින්නේ නම් ඉන් බොහෝ දෙනාට ආරක්ෂාව සැලසෙනවා’
‘අපේ දරුවන්ගේ ආරක්ෂාවට 2009 මැයි 17,18 අපේ අතින්ම හමුදාවට අපේ ළමයි බාර දුන්නා, තවමත් අපේ ළමයි ගැන කිසිම තොරතුරක් නෑ’
උතුරේ අම්මාවරුන් කියන මේ ප්‍රකාශයට, උතුරේ ආරක්ෂාව ගැන වදවන හමුදාපතිවරයා පිළිතුරු දිය යුතු නොවන්නේ ද?