Featured iMAGE : tamilwin
සත්‍ය කිසි විටෙකත් වළලා සඟවා තැබිය නොහැක. ඒ නිසාම අප කෙතරම් අසීරු වුවත් යුක්තිය වෙනුවෙන් වන අරගලය අත්හැරිය නොයුතු බව යළි යළිත් සනාථ වී තිබේ.
2016 වසරේ ඔක්තෝබර් 20 වනදා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු වන නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් යතුරු පැදියක සාදයකට ගොස් යාපනය-චුන්නාකම් මාර්ගයේ එමින් සිටිය දී,කොක්විල්හි කුලප්පිට්ටිහිදී පොලිස් වෙඩි පහරින් ඝාතනට ලක් වීමේ සිද්ධියෙන් වසර 2 කට පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ යොමු කරන ලද ඉල්ලීමකට ලැබුණු ප්‍රතිචාරය මේ කියමන සනාථ කොට තිබේ.
කිලිනොච්චියේ පදිංචිව සිටි 23 හැවිරිදි නඩරාජා ගජන් යාපන විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදය හදාරමින් සිට ඇති අතර 24 හැවිරිදි චුන්නාක්කම් හි පදිංචි විජයකුමාර් සුලක්ෂන් දේශපාලන විද්‍යා යාපන විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක සිසුවෙකුව සිටියේය.
පොලීසිය මුලින් පවසා සිටියේ හදිසි අනතුරක් සිදුවී එනම් යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් සිසුන් දෙදෙනා මරණයට පත් වී ඇති බවය.
එහෙත් ඒ සම්බන්ධව බොහෝ චෝදනා පොලිසිය වෙත එල්ල විය. මේ සිසුන්ගේ දෙමාපියන්ද , බොහෝ පාර්ශවයන්ද එවකට කියා සිටියේ පොලිසියේ ක්‍රියා කලාපය සැක සහිත බවත් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බවත්ය.
“අපිට සැකයි. පොලීසිය විසින් විධිමත්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ඇති බව අපිට විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් අපි මේ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව ඉන්නවා” -දෙමළ සිවිල් සමාජ සංසදය-
දෙමළ ජාතික සන්ධානයද ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
“මේක සුලු දෙයක් නොවේ .මෙවැනි වෙඩි තැබීමක් පළමු වතාවට සිදුව ඇත්තේ 2009 වසරේ යුද්දයෙන් පසුවයි. අපි කම්පා වුනා. මේ සිදුවීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ඒ වගේම එම සිදුවීමෙන් සරසවි ප්‍රජාව මහත් කම්පනයකට පත් වුනා”
‘‘ඒ වගේ අපි ආරක්ෂක ලේකම් වරයා විසින් සරසවි සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කොට ඇති ප්‍රකාශයට අපි එකග නැහැ. මේක සුළු දෙයක් නෙමෙයි අපි මෙය හෙලා දකිමින් ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයෙටත් ලිපියක් යොමු කරන්න තීරණය කලා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් අපක්ෂපාතී තීරණයක් බලාපොරොත්තු වෙනවා“ – යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය-
ඒ අනුව පසුව පොලීසිය කියා සිටියේ බීමතින් සිටි සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී සිසුන් දෙදෙනා මරණයට පත් වී ඇති බවත්ය. කෙසේවෙතත් සුලක්ෂණ්ට හිමිවිය යුතුව තිබු රක්ෂණ වන්දි මුදලද අහිමි ව ඇත්තේ ඔහු බීමතින් සිටි බව පොලිසිය විසින් පවසා තිබු නිසාය. වෙඩි පහර වැදී තිබුනේ ද යතුරු පැදිය ධාවනය කර තිබු සුලක්ෂණ්ට විය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානයේ නිළධාරිහු වන සරත්තිස්ස, ජෙයවර්ධන, චන්දන, ලංකාමන්, සහ නවරත්න යන පිරිසගේ සේවය අත්හිටුවා අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා හමුවට ඉදිරිපත් කොට තිබු අතර අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. මයුරන් මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා තිබුණි.
එවකට බොහෝ මාධ්‍ය මේ පිලිබඳ වාර්තා කළ අතර මාධ්‍ය හා සිවිල් සංවිධාන එකමුතුව කොළඹදී ඒ වෙනුවෙන් වන විරෝධතාවක් ද සංවිධානය කරන ලදී.
කෙසේවෙතත් දැන් එම සිදුවීම සිදු වී වසර 2 ක් ගත වී හමාරය.
“මගේ පුතාගේ ඇඟේ තිබිලා වෙඩි උණ්ඩ හමුවෙලා. පරීක්ෂණ කරන්න, යුක්තිය ඉෂ්ට කරන්න” එවකට මේ එක සිසුවකුගේ පියෙකු කියා තිබුණි.
කෙසේ හෝ දැන් පොලිසිය විසින් වසර දෙකක් පුරා වසන් කරන ලද කුරිරු සත්‍ය හෙළිදරව් වී තිබේ.
RTI හෙළිදරව්ව
ලංකාදීපයේ තරිඳු ජයවර්ධන විසින් කළ තොරතුරු ඉල්ලීමකට අනුව මේ සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයේ තොරතුරු දැන් හෙළිවී තිබේ. එම හෙළිදරව්ව අතිශය බියකරුය.මන්ද යත් රටේ ආරක්ෂාවට සිටින මේ පොලිසියේ මහත්වරුන් විසින් බේගල් ඇඳ බා යුක්තිය වෙනුවෙන් වන තම වගකීම සතයකට මායිම් නොකට කොට ඇති විජ්ජාව දැන් රටම දන්නා හෙයිනි. ඊටත් වඩා යහපාලනයේ සුරතේ සිටි, පොලිස් මහත්වරුන් විසින් මේ සිද්ධියට අන්ඳන ලද බොරු සළුපිළි දැන් පුරවැසි තොරතුරු දැනගැනීමේ අයිතිය හරහාම ගැලවී ගොස් තිබේ.
වෛද්‍ය යූ මයුරදන් මහතා විසින් නිකුත් කළ මරණ පරික්ෂණ වාර්තාව, ලංකාදීප පුවත්පත උපුටමින් මෙසේ දක්වමි.
“මරණය සිදුවන අවස්ථාවේ සුලක්ෂණ්ගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750ක් පමණ තිබුණු බවත් මත්පැන් දක්නට නොලැබුණු බවත් , යතුරු පැදිය පැදවූ සුලක්ෂණ් සිසුවාගේ පපුවේ තණ පුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවයි. උණ්ඩය ඇතුළු වූ ස්ථානයේ සෙන්ටි මීටරයක පමණ වටප්‍රමාණයකින් යුත් සිදුරක් තිබී ඇත. ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල තුනක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් දෙකක් ද හඳුනාගෙන තිබේ.නඩරාජා ගජන්ගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල හතක්, සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද පපුවට මෙන්ම මොළයට ද තුවාල සිදුවී තිබේ ඇත. මෙම සිසුවාගේ ආමාංශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබී ඇති අතර ඔහුගෙන් ද මත්පැන් ගඳ වහනය වී නැත.ඒ අනුව තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් ඔහු සිසුවා මිය ගොස් ඇති බවත්, රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් පපුවේ ප්‍රධාන රුධිර නාලවලට හානිවීම නිසා සිදුවූ රුධිර වහනයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවාමිය ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ”
ගැටලුව කුමක්ද?
දැන් ගැටලුව ඇත්තේ මෙයයි. මුලින් සිසුන් දෙදෙනා අනතුරකට ලක්ව මිය ගිය බවද පසුව අන නොතකා බීමතින් ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබූ බවද කියූ පොලිස් වාර්තා දෙකම මෙම තොරතුරු ඉල්ලීම හරහා ප්‍රසිද්ධව ඇති කරුණු මත අසත්‍ය වී තිබේ.
සිසුන් දෙදෙනා යතුරු පැදිය නොනවත්වා ධාවනය කළා නම් යතුරු පැදිය පැදවූ සුලක්ෂණ් සිසුවාගේ පපුවේ තණ පුඩුව අසලින් උණ්ඩය ඇතුලු වන්නේ කෙසේද ?
සිසුන් දෙදෙනාගේම අමාශයෙන් මත්පැන් ගඳ වහනය නොවේ නම් බිමත්ව ධාවනය කළා යයි කියන්නේ කොහොමද ?
වෙඩි තැබීමෙන් පමණක් මිය ගියා නම් කැපුම් තුවාල7 ක් ඇතුලු , අස්ථි බිදීම් හා සිරීම් වලින් සිසුවකු මිය යන්නේ කොහොමද?
මේ සත්‍ය වසන් කළේ කුමන අරමුණකින්ද ?
දැන් තමන්ගේම රෙදි තමන් විසින්ම ගලවා ගෙන සිටින පොලිසිය මේවාට උත්තර දෙන්නේ කොහොමද?
මේ සිසුන් දෙදෙනාට කළේ කුමක්ද ? යන්නට පිළිතුරු ඇත්තේ හොරා පොලිස සෙල්ලම කරන පොලිසියටම පමණි. ඉහත සත්‍ය වළලා දමා පොලිසිය කරන්නට උත්සාහ කළේ කුමක්ද? යුක්තිය උදෙසා කැපවෙන සියල්ලටම දැන් ඇති ප්‍රශ්නය එයයි.
මේ වනවිට කෙසේ හෝ තරුණ ජිවිත දෙකක් තම ජිවිත වලින් වන්දි ගෙවා තිබෙන්නේ අවම වශයෙන් වරදක් කොට හෝ වරදකට දඩුවම් වශයෙන් වත් නොවේ.
සිවිල් ජිවිත ආරක්ෂා කරන්නට බැඳී සිටින පොලිසි, මැර කල්ලි වල භූමිකාව රගපායි නම් පුරවැසියන් තවදුරටත් බලා සිටිය යුතුද? පසුගිය කාලය පුරාම තම සිතගීන්ට අනුව පොලිස් හා හමුදා නිලධාරින් විසින් සිවිල් ජනයා විවිධ අවස්තාවන් හි දී වෙඩි තබා ඝාතනය කිරීමේ හුදෙකලා සිද්ධීන් දකුණේද මෙලෙසම වාර්තා වී තිබුණි.
ඒ අනුව නීතිය හා සාමය අමාත්‍යංශය, පොලිස්පතිවරයා , ජාතික පෝලිස් කොමිසම මේ සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්ද?
මහින්ද රෙජීමය තුළ 2012 සැප්තැම්බර් 27 දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා අධ්‍යන ක්‍රියාකාරීන් අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කිරීම ඇතුලු ඉල්ලීම් මුල් කොට ගෙන මහනුවර සිට කොළඹ දක්වා පැමිණි දැවැන්ත පාගමන් විරෝධතාව පවතින අතරවාරයේදී මෙලෙසින්ම ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනෙකු අබිරහස් මරණයකට ගොදුරු විය.
එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාව සිටි 22 හැවිරිදි ජනක බණ්ඩාර හා රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකුව සිටි 24 හැවීරිදි සිසිත ප්‍රියංකර සිසුන් යන ශිෂ්‍යයින් දෙදෙනාද මිය ගොස් තිබුණේ පසු දින බෙදාදීමට නියමිතව තිබු අත්පත්‍රිකා තොගයක් ගැනීමට එදින රාත්‍රියේ කොළඹ දෙසට යතුරු පැදියේ යමින් සිටියදීය. ඉඹුල්ගොඩ ආසන්නයේදී ලාම්පු කණුවක හැපීමෙන් සිදුවූ හදිසි අනතුරකින් ඔවූන් මිය බව පොලිසිය විසින් දැන්වුවද ඒ සම්බන්ධයෙන් මහින්ද රෙජීමය වෙත චෝදනා එල්ල විය. රහස් පොලිසිය වෙත පරික්ෂණ යොමු කළත් ඒ සම්බන්ධ නිවැරදි තොරතුරක් අදටත් නැත.
මේ හෙළිවීම මත ඒ අනුව දැන් තවත් කුකුසක් ඇති වී තිබේ. ජනක හා සිසිතට අත්වුයේද ගජන් හා සුලක්ෂන් ට අත් වූ ඉරණමද? එහෙත් හේතූව කුමක්ද ?
මහින්ද රෙජීමය හැර යහපාලනය පැතු මිනිසුන්ටත් යුක්තිය ඉටු වී තිබේද?
පොලිසිය ගල් පැලෙන බොරු කියා ආරක්ෂා කරන්නේ කවුද? ජනතාවගේ ආරක්ෂාව ගැන වගවන්නේ කවුද? අපිට ඇති ප්‍රශ්නය මෙයයි.
වැඩිදුර කියවීමට : http://groundviews.org/2016/10/27/gajan-and-sulakshan-tragic-symbols-of-ongoing-police-brutality/